සිනමා රංගන දේශනය

ඔක්තෝබර් 8, 2020

“නඩුකාර මහතාගේ දියණිය බයස්කෝප් නාට්‍යාංගනාවක්වීම”

මේ 1930 වසරේ පෙබරවාරි මස 25 වැනි දින දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ පළ කරන ලද ප්‍රවෘත්තියක ශීර්ෂ පාඨයකි.

මේ පුවතෙහි තවත් උප ශිර්ෂයක් ද ඇත්තේය. ඒ ලංකාව. චිත්‍රපට සෑදීමට යෝග්‍ය ස්ථානයක් සේ සැලකීම යනුවෙනි. ප්‍රවෘත්තිය සහමුලින් මෙලෙසය.

“චිත්‍රපටවලට ඇති මගේ ආශාව නිසා ඒ සම්බන්ධ නෘත්‍ය දැක්වීමට බැඳුනෙමි. යි ඉන්දියානු නලඟනක්වූ ඊනක් රාවු තරුණ නෝනා ඊයේ දිනමිණ නියෝජිතයකු සමඟ ප්‍රකාශ කළාය. රාමා රාවු තරුණ නෝනා වනාහි විශ්‍රාම වැටුප් ලබා සිටින ඉන්දියානු නඩුකාර මහතෙකුගේ දියණියකි.

ඉන්දියාවේ චිත්‍රපට සමාගමක අධ්‍යක්ෂ කෙනෙකු වූ බව්නානි මහතා සමඟ පෙරෙයිදා ලංකාවට පැමිණි ඕතොමෝ කොළඹ ඇඩිනබා ක්‍රෙසන්ටි හි හයිස් ක්ලිප් නිවාසේ නැවැතී සිටී. රාවු නෝනා ළඟදීම ඉන්දියාව බලා පිටත්වෙනවා ඇත. තමන්ට අයිති ච්ත්‍රපටයක ට කථා කිරීමේ යන්ත්‍රයක් කරවා ගැනීමටත් තවකෙක් නිපදවීමට කටයුතු සැලසීමටත් බව්නානි මහතා අද ජර්මනිය බලා නැව් නගින බැවි සැලයි.

බ්‍රාහ්මණ ගෝත්‍රයට අයත් මේ තරුණ නෝනා රූප ශ්‍රීයෙන් යුත් කාන්තාවකි. ඕ තොමෝ දෙවර්ෂයකට පෙර නාට්‍ය දැක්වීමට බැඳුනාය. ඈ පෙනී සිටි රාමා රාවු නෝනා ගේ රැඟුම් වලින් යුත් ඊළඟ කථාව වනාහි සෙල්ලම් කරත්තය හෙවත් වසන්තසේනාය.බව්නානි මහතා රුපියල් ලක්ෂ දෙකක් වියදම් කොට හමසකින් චිත්‍රපටය පිළියෙළ කළේය. කථාවට ඇතුලත් යම් යම් කොටස් සඳහා ස්වකීය මාලිගාව ඉඩදීමෙන් මයිසූර් හි මහාරාජා බව්නානි මහතා සමඟ සහයෝගයෙන් ක්‍රියා කළේය. කථාන්තර දහ අටක් ඒ මහතා විසින් දැනට සම්පාදනය කොට තිබේ. ජර්මන් චිත්‍රපටි අමෙරිකන් චිත්පටි වලට වඩා හොඳ බවත් ඊටත් රුසියන් හොඳ බවත් ඒ මහතාගේ තවත් ප්‍රකාශයක් විය. චිත්‍රපටියක් තැනීමට ලක්දිව බොහෝ අවකාශ තිබෙන බව රාමා රාවු නෝනා සහ බව්නානි මහතාගේ අදහස විය. ලංකාවේ මනොරම්‍ය භාවය ගැන අසන්නට ලැබුනා. මම දුටුවේ ස්වල්පයයි. ඒ ටික ගැන කල්පනා කරන කල්හි බව්නානි මහතා සහ මමත් ලංකාවේ දී චිත්‍රනෘතයක් තැනීමට කැමැතියි යයි රාවු නෝනා කීවාය.

ඔව් ලංකාවට ගැලපෙන හැටියට පටි පහකින් හෝ හයකින් යුත් පොඩි කථාවක් සෑදීම හොඳ අදහසකැයි බව්නානි මහතා ද ප්‍රකාශ කළේය. “

මේ ඊනක් රාවු තරුණ නෝනා හා බව්නානි මහතා යනු අඹු සැමි යුවළකි. ඊනක්ෂි රාම රාඕ යනු ඉන්දියානු සිනමාවේ බ්‍රාහ්මණ වංශික එමෙන්ම එම්.ඒ . උපාධිධාරි මුල්ම  නිළියයි. ඔවුන් පැමිණෙන්නේ වසන්ත්සේනා තිර ගත වද්දී නොවේ. ඒ වන විට ඇය රඟපෑ ඉන්දියානු සිනමාවේ වැදගත් චිත්‍රපටයක් වැල්ලවත්තේ ප්ලාසා සිනමාහලේ ඒ දිනවල තිරගත වෙයි. මේ චිත්‍රපටය සමඟ සිනමා රංගනය පිළිබඳ ඇය කොළඹ වයි.එම්.සී.ඒ ශාලාවේ දී දේශනයක් ද පවත්වන බැව් ඩේලිනිවුස් පුවත්පත් වාර්තා කරයි. මේ දේශනයේ දී ඇය සිනමා රංගනය පිළිබඳ කවරාකාර දේශනයක් පැවැත්වූයේ ද යන්න හෙළිදරවු වන්නේ නැත. එහෙත් එය මෙරට දී සිනමා රංගනය පිළිබඳ පැවැත්වූ මුල්ම දේශනය ලෙස ඉතිහාසගතවූවාට වරදක් නැත. ඇය මෙරටට පැමිණෙන අවදියේ ප්ලාසා සිනමාහලේ තිරගත වනුයේ ඉන්දියානු නිහඬ සිනමා යුගයේ අතිශය වැදගත් සිනමා කෘතියක් ලෙස සැලකෙන ශිරාෂ් (1928) චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ජර්මානු ජාතික ෆ්‍රාන්ස් ඔස්ටන් විසින්ය. මේ ඔස්ටන් මෙන්ම නිරන්ජන් පාල් හා හිමන්සු රායි තිදෙනා විසින් නිර්මාණය කරන ලද නිහඩ චිත්‍රපට ත්‍රිත්වයේ දෙවැන්නයි. නිරන්ජන් පාල් ශිරාෂ් මුලින් වේදිකා ගත කරනුයේ එංගලන්තයේදීය. හිමන්සු රායි මේ චිත්‍රපටවල ප්‍රධාන නළුවා මෙන්ම නිෂ්පාදකවරයා ද විය. පළමුවැන්න ප්‍රේම් සන්‍යාස් (1926) වූ අතර තෙවැන්න ප්‍රපංච් පාශ් (1929) ය. ප්‍රේම් සන්‍යාස් බුදු සිරිත අලළා තැනූ චිත්‍රපටයක් බැවින් එය මෙරට තහනම් කරන ලද මුල්ම ඉන්දියානු චිත්‍රපටය විය. ( සරසවිය අපේ සිනමා වත - දෙසැම්බර් 19-ඹඹඹ.ඵචපචඵචමඪරච.තඬ) පසුකලෙක බොලිවුඩ් සිනමා අධිරාජ්‍යය ගොඩ නැඟිමෙහිලා මූලික වන බොම්බේ ටෝකිස් සමාගම පිහිටුවීමෙහිලා පුරෝගාමි වනුයේ ද රායි, පාල් හා ඔස්ටන් ගේ එකතුවයි.

ශිරාෂ් චිත්‍රපටයට පාදක වනුයේ ටාජ් මහල් කථාවේ එන ශෝකාන්තයකි. මෙහි ඊනක්ෂි නිරූපණය කරන ලද්දේ සෙලීමා නම් රාජ කුමරියකගේ කථාවයි. ළදරු වියේ දී ඇය පිරිවර හා ගමන් ගනිද්දී සතුරු මුලකට හසුවේ. කුඩා දැරිය මැටි කර්මාන්තයේ නියැළි පවුලක ට හමුව ඔවුන් විසින් හදා ගනු ලබයි. එහි පුත්‍රයා ශිරාෂ් ලෙස චරිත නිරූපණය කරනු ලද්දේ හිමන්සු රායි විසින්ය. ඉතා සරාගී අකාරයේ හාදු දර්ශන කිහිපයක් ද සහිත ශිරාෂ් දැවැන්ත සිනමා නිර්මාණයකි. ජර්මානු කැමරා අධ්‍යක්ෂ එමිල් ෂූන්මාන් මෙහි කැමරා අධ්‍යක්ෂවරයාය. එය සිනමා ඉතිහාසයේ විශිෂ්ටතම රූ ගැන්වීමක් බැව් කිව යුතු මනාය. එහි එන යුද දර්ශන අද මිම්මෙන් පවා දැවැන්ත ඒවාය. ඉතා මෑතකදී මේ චිත්‍රපටය සංරක්ෂණය කරන ලදී.(චිත්‍රපටය යූටියුබ් හරහා නැරඹිය හැකිය)

වසන්ත්සේනා චිත්‍රපටය තිර ගත වනුයේ එයින් පසු ඔලිම්පියා සිනමාහලේය. වසන්ත්සේනාවට පාදක වනුයේ ශුද්‍රක විසින් රචනා කරන ලද පුරාණ සංස්කෘත නාට්‍යයක් වන මැටි කරත්තයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබනුයේ ඊනක්ෂිගේ සැමියා වූ මොහාන් දයාරාම් භව්නානිය. භව්නානි මැන්චෙෂ්ටර් විශ්වවිද්‍යාලයෙන් තාක්ෂණවේදය හදාරා පසුව ජර්මනියේ දී සිනමාකරණය හැදෑරුවේය. කොහිනූර් චිත්‍රගාගාරය වෙනුවෙන් නිළි සුලෝචනා යොදා ඔහු විසින් නිර්මාණය කරන ලද සිනෙමා ක්වීන්, වයිල්ඩ් කැට් ඔෆ් බොම්බේ වැනි චිත්‍රපට හොලිවුඩ් සිනමා තාරකා සම්ප්‍රදායන් ඉන්දියාවට හඳුන්වා දුන් මුල් අවස්ථාව විය. පසුව ඉම්පීරියල් සිනමා සමාගම වෙනුවෙන් ද චිත්‍රපට නිර්මාණය කළ ඔහු යළි ජර්මනියට ගියේ සිනමා ශබ්ද තාක්ෂණය හැදෑරීමටය. පසුව අජන්තා සිනෙටෝන්, ඉන්ඩියන් ආට් ප්‍රඩක්ෂන් සමාගම්වල සේවය කළ ඔහු තමාගේම භව්නානි ප්‍රඩක්ෂන්ස් ගොඩ නඟා ගත්තේය. ඉන්දියාවේ පළමුවැනි මිලි මිටර් 16 ප්‍රමාණයේ වර්ණ චිත්‍රපටය අජිත් නිර්මාණය කරන ලද්දේ ඔහුය. පසුව ඉන්දියානු රජයේ ෆිල්ම් ඩිවිෂන් ආයතනයේ ප්‍රධානියා ව කටයුතු කළ ඔහු සම්මානනීය වාර්තා සිනමාකරුවකු ලෙස පතළ විය. 1948 වසරේ දී චීන අගමැති චූ එන් ලායි ගේ ආරාධනාවෙන් ඔහු එරට දී ද වාර්තා චිත්‍රපට නිර්මාණය කළේය. භවිනානි ශබ්ද තාක්ෂණය හදාරන්නට ජර්මනිය බලා පිටත්ව යනුයේ ලංකාව හරහා බැව් ඉහත ප්‍රවෘත්තිය සාක්ෂි සපයයි.

මේ වන විට කථානාද සිනමාව එළැඹීමත් සමඟ එතෙක් වේදිකා වටා ඉතිරිව සිටි ප්‍රේක්ෂකයෝ ද සිනමාහල්වලට රොක් වන්නට වූහ. එය මුළු ලොව පුරා මෙන්ම ලංකාවේද සිදුවූ බවට සාක්ෂියක් වනුයේ පැරණි රංග ශාලා බහුතරයක් සිනමා ශාලා බවට අනුවර්තනය වන්නට පටන් ගත් හෙයින්ය. කොළඹ ටවර් මෙන්ම කැපිටෝල් ශාලා ද සිනමා ශාලා බවට පරිවර්තනය විය. කැපිටෝල් සිනමා ශාලාව ආරම්භයේ සිලෝන් තියටර්ස් සිනමාහලක් විය. ඒ කථානාද සිනමාහලක් විය. දැවැන්ත එල්ෆින්ස්ටන් ශාලාව ද 1931 වසරේ මාර්තු මස 15 වැනිදා සිට හැදින්වනුයේ එල්ෆින්ස්ටන් ටෝකිස් යනුවෙන්ය. එහෙත් ඔලිම්පියා සිනමාහලට තවත් කලක් නිහඬ සිනමාහලක් ලෙස පවතින්නට සිදුවිය. මහනුවර එම්පයර් සිනමාහල ද 1931 වසර වන විට කථානාද සිනමාහලක් විය.