සිංහල සිනමාවේ ‘නළුවා’ බිහිවුණේ ගාමිණිගෙන් පසුවයි

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා 16 වැනි සැමරුම
ඔක්තෝබර් 8, 2020

- ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය

හෙළ සිනමාවේ සක්විති, අසහාය නළු ගාමිණි ෆොන්සේකාගේ 16 වැනි ගුණ සමරුව නිමිත්තෙන් පසුගියදා ඒ මහතාගේ පිළිරුව පිහිටි කොළඹ එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට දී සැමරුම් වැඩසටහනක් සංවිධානය කර තිබිණි.

එම සැමරුමට සහභාගී වූ ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, බන්දු සමරසිංහ හා ගාමිණි ෆොන්සේකා මහතා‍ගේ පුතණුවන් වන දම්මිත් ෆොන්සේකා යන මහත්වරුන් විසින් පිළිරුවට මල්දම් පැලඳවීම සිදු කරන ලදි. ඉන් අනතුරුව ඒ මහතාගේ දියණිවරුන්, මුනුපුරු මිනිබිරියන්, රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් එම පිළිරුවට උපහාර දැක්වූහ.

මෙහිදී රැස්ව සිටි පිරිස එහි පැමිණ සිටි පාසල් සිසුන් වෙත පොත් පාර්සල් බෙදා දීමක් ද සිදු කර තිබේ. මෙම අවස්ථාවට එක් වූ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය කියා සිටියේ සිංහල සිනමාවේ 'නළුවා' යන භූමිකාව බිහි වූයේ ගාමිණි ෆොන්සේකා මහතාගෙන් පසුව බවයි.

හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

"ගාමිණි ෆොන්සේකා, එඩී ජයමාන්න හා රුක්මණී දේවිගෙන් පසු අපේ රටේ බිහි වූ අතිශය ජනප්‍රිය සිනමා තාරකාවක්. රඟපෑම පිළිබඳ අලුත් ශෛලියක් බිහි කිරීම. නළු නිළියන්ගේ වෘත්තීය ගෞරවය දිනා ගැනීම, සිනමාව සමාජ ව්‍යාපාරයක් ලෙස යොදා ගැනීම ආදිය නිසා ඔහු සිනමා තාරකාවක්ම පමණක් වුණේ නෑ. ඔහු විශාල ප්‍රේක්ෂක පිරිසක් බිහි කර ගත් නළුවෙක්. සිනමාවේ 'නළුවා' යන නම බිහි වුණේ ගාමිණි ෆොන්සේකාගෙන් පසුවයි.

"ලෝක ධර්මතාවන්ට අනුව ගාමිණි ෆොන්සේකා ජීවිත සිනමාවෙන් සමු ගත්ත ද සිංහල සිනමාව තුළ ඔහු නොමියෙන මිනිසෙක්. සිය විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් නිරූපණය කළ සියයකට අධික චරිත සමූහය තුළ ගාමිණි ෆොන්සේකා පරසතු මලක් මෙන් අපේ සිනමාව සදා සුවඳවත් කරන බව විශ්වාසයි."