එකවගේ දෙන්නෙක්

ඔක්තෝබර් 8, 2020

සාමාන්‍යයෙන් මහත ගෑනු උදවියට බතලි බතලි කියලා විහිළු කළාට ඒ මහත එයාලට කොතරම් වටිනවාද කියලා දැන ගත්තේ නිල්මිණී සිගේරා නිසා. ඇගේ මහතට තමයි අශෝක හඳගම ඇය අසංධිමිත්තා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගත්තේ. ඒ වරමින් ඇය උපරිම ප්‍රයෝජන ගත්තා. නිල්මිණී හොඳම නිළිය ලෙසට අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුණෙත් ඒ චරිතය නිසානේ. ඇය හා සමාන වෙන කෙනෙක්ව හොයාගන්න අමාරුයි. හොයාගත්තත් එකට තියලා මේ වගේ පින්තූරෙක් ගන්න එකත් අමාරු වැඩක්නේ. නිල්මිණී මේ ඉන්නේ රේණුකා බාලසූරියත් එක්ක. මෙහෙම ඉද්දී නිකම් අක්කයි නංගියි වගේ කියලයි දකින දකින අය කිව්වේ. දැන් ඉතින් දෙන්නාගෙන් මහත කවුද කියලා හොයන්න එපා.

බබා නෙවේ අයියා කෝ

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා ගැන ඔබ නොදන්නවා ඇති කියලා හිතන්න අමාරුයි. පබා නාට්‍යයේ ඉඳලා මේ දිනවල විකාශය වන සිහිනි වෙනකම් ඔහු අතිශය ජනප්‍රිය නාට්‍ය ගණනාවක්ම නිර්මාණය කළා. මේ සිදුවීම වුණේ ඒ ශාන්තගේ ගෙදරදි. ඔහුගේ මව වෙනුවෙන් කළ දානමය පින්කමක් පැවැත්වූයේ ඉකුත් දවසක. මේ සඳහා ශාන්තගේ පවුලේ උදවිය වගේම කලා ලොවේ කිහිපදෙනෙකුත් සහභාගී වෙලා සිටියා. ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂත් එතැන සිටි පිරිවර අතරින් කෙනෙක්. ඇය කෑම බෙදාගෙන අයිනකින් වාඩි වෙන්න කලින් ශාන්තව හෙව්වා ටික වේලාවකින් පේන්න හිටියේ නැති නිසා. වටපිට බලලා බැරිම තැන ශාන්තගේ අක්කාගෙන් ඇහැව්වා කෝ ශාන්ත කියලා.

බබා එළියට ගියානේ.

අක්කා කිව්වා.

නැහැ නැහැ.. බබෙක් ගැන නෙවෙයි ඇහැව්වේ, ශාන්ත අයියා කෝ කියලානේ ඇහැව්වේ.

අංජුලා කිව්වා.

නැහැ නැහැ.. ශාන්ත එළියට ගියා කියලා තමයි කිව්වේ..

එතකොට බබෙක් ගැන කිව්වේ? අංජුලා ආයෙත් ඇහැව්වේ කුතුහලයෙන්.

ශාන්තට අපි කියන්නේ බබා කියලා. පොඩි කාලේ ඉඳන් එහෙම තමා කතා කරන්නේ.

ඒ කතාව ඇහැව්වාම තමා අංජුලාට බබා කියන්නේ කාටද කියලා පැහැදිලි වුණේ. ඔන්න ඉතින් අදින් පස්සේ ශාන්ත සොයිසට බබා කියනවා නෙවෙයි ඕං...

කොරෝනා කල්දැමීමක්

බොහෝ දෙනෙකු මේ වසරේ යොදාගත් වැඩකටයුතු කල් දැම්මා. ඒ කොරෝනා වසංගතය නිසා. අපේ කලා ලොවේ තරුත් එහෙමයි. අකැමැත්තෙන් වුවත් ජීවිතේ වැදගත් අවස්ථා කල් දැම්මා. ජනප්‍රිය නිළි අයෝධ්‍යා දක්ෂිකාටත් එහෙම කරන්න වුණා. ඇය විවාහ වෙන්න හිටියේ මේ වසරේ නොවැම්බර් වල. කොරෝනා වසංගතය ඊට හරස් වුණානේ. දැන් ඉතින් ලබන වසරේ තමයි එය සිදුකරන්නට බලාපොරොත්තු වන්නේ. අයෝධ්‍යාගේ පෙම්වතා ගිහාන් බුවනායක. ඔහු වෙළෙඳ නාවුක නිලධාරියෙක්. මේ දිනවලදීනම් ඔහු ලංකාවේ නැහැලු.

දුරකතනය missing

කලණ ගුණසේකරගේ දුරකතන අංකය කාලයක් තිස්සේ වැඩ කරන්නේ නැහැ. අපි විතරක් නෙවේ කිහිප දෙනෙකුම දවස් ගාණක් තිස්සේ ඔහු ඇමතුවත් දුරකතන අංකය සම්බන්ධ කළ නොහැකියි කියලයි කියන්නේ. මුලදි හිතුවේ කලණ විදෙස්ගත වෙලා කියලා. ඒත් නැහැ, ඔහු ලංකාවේ ඉන්නවා. මොකද මේ වෙලා තියෙන්නේ. ඔහුගේ ජංගම දුරකතනය නැති වෙලා කියලා මූණු පොත හරහා අපිට දැන්වූවා. කිසියම් කෙනෙක් කලණව සම්බන්ධ කරගන්න ඕනේ නම් කලණ ගුණසේකර කියන මූණූ පොතෙන් හෝ ඔහුගේ දුරකතන අංකයෙන්ම වට්ස්ඇප් හරහා පුළුවන් කියලා ඔහු වැඩි දුරටත් සඳහන් කළා