මම තෝරලා බේරලා චරිත කරන කෙනෙක්

දිනූපා කෝදාගොඩ
ඔක්තෝබර් 8, 2020

රයිගම් Tele'es හොඳම සහාය නිළිය

ඔබට මතක ඇති හපන්පැදුර. 90 දශකයේ සියලුම දරුවන් නැළවුණු ගී රසවින්දන වැඩසටහන. එහි දිග කොණ්ඩය කරල් දෙකට ගෙතූ මල් ගවුමකින් සැරසී සිටි නිතර සිනාසෙන තලෙළු දැරිය ඔබට මතක ඇති. ඒ දිනූපා කෝදාගොඩ. ඇය දැන් සම්මානනීය රංගන ශිල්පිනියක් යැයි පැවසුවොත් ඔබ විශ්වාස කරනවාද? ඔව්... ඇය 2019 රයිගම් Tele'es සම්මාන උලෙළහි හොඳම සහාය නිළියට හිමි සම්මානලාභිනියයි. ඇය හා කතාබහකට එයම ප්‍රමාණවත්.

ලැබුණු සම්මානයේ සතුට කොහොමද?

ගොඩක් සතුටුයි. තමන්ගේ ඉදිරිපත් කිරීමක් අගය කිරීම තමයි කලාකාරයෙක්ට තියෙන වටිනම දේ කියලා මම විශ්වාස කරනවා. ලංකාව වගේ රටක් තුළ කලාකරුවන්ට සම්මාන උලෙළක් පවත්වන එකම ලොකු දෙයක්.

වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය ගැන කිව්වොත්?

මට සම්මානය ලැබුණේ වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ විශාකාගේ චරිතය වෙනුවෙන්. මේ චරිතය හරිම ග්‍රාම්‍ය දුප්පත් පවුලක තරුණියක් වටා ගෙතෙන්නේ. කතාවේ ප්‍රධන චරිතයත් එක්ක ඇයට ප්‍රේම සබඳතාවක් ඇති වෙනවා. තමන්ගේ පෙම්වතා හමුදාවට ගිහින් ටික කලෙකින් ඔහු මැරුණා කියලා ගමට මිනියක් එනවා. ඉන්පසුව විශාල කරදර ගොඩකට මූණපාන තරුණියකගේ කතාවක් මේක.

මේ චරිතය කරන්න ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහාය කොහොමද?

ඒක ලොකු අත්දැකීමක්. වීරයා ගෙදර ඇවිත් කියන්නේ මගේ පළවෙනි දීර්ඝ ටෙලිනාට්‍ය. මෙහිදී මම ගොඩක් ගෞරව කරන ප්‍රවීණයන් එක්ක මට වැඩ කරන්න ලැබුණා. මම පොඩි කාලේ ඉඳලා ආනන්ද අබේනායක සර්ගේ ටෙලිනාට්‍ය බලපු කෙනෙක්. මට ලොකු අවස්ථාවක් ඔහු එක්ක වැඩ කරන්න ලැබුණු එක. මට ගොඩක් රඟපාන්න ලැබුණේ රොෂාන් රවීන්ද්‍ර සහ ජයනි සේනානායක එක්ක. ඒ දෙන්නම ප්‍රවීණයි. මට ලොකු සහයෝගයක් ලැබුණා ඒ දෙන්නාගෙන්. අපි ආධුනිකයි කියලා දැනෙන්නේ නෑ ඒ අය එක්ක වැඩ කරද්දි.

දිනූපාගේ නම අපිට මුලින්ම ඇහෙන්නේ හපන් පැදුරෙන්?

ඔව්. මිනිස්සු මාව මුලින්ම අඳුරගන්නේ හපන් පැදුරෙන්. හපන් පැදුරට කලින් මම නන්දා මාලිනී මිස්ගෙන් සංගීතය ඉගෙනගත්තා. හපන් පැදුරට මාව යොමු කරන්නේ නන්දා මිස්. ඇය මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක්. හපන් පැදුරට එන්න කලින් මම රෝහණ වීරසිංහ සර් ළඟ ළමා ගායිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. හපන් පැදුර මට ලොකු අත්දැකීමක් වුණා මගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න.

ඔබ සංගීතය වැඩිදුර හැදෑරුවාද?

ඔව්. මම පාසල් අධ්‍යාපනයෙන් පසුව විශ්වවිද්‍යාලයට යන්න කලින් මම ප්‍රේමසිරි කේමදාස සර් ළඟ ඉගෙනගන්නවා. Voice control  වගේ තාක්ෂණික කාරණා මම ඉගෙනගන්නේ එහිදී. ඊටපස්සේ මට අග්නි ඔපෙරාවට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබෙනවා. ඉන්පසුව තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. ඒ කාලේ මම ඒ තරම් ප්‍රසිද්ධ කෙනෙක් විදිහට හිටියේ නැහැ. මගේ අධ්‍යාපන වැඩවලට කාලය වැය කළා. නමුත් මම දකින්න පෙනෙන්න හිටියේ නැති වුණාට සංගීත ක්ෂේත්‍රයේ විවිධ වැඩ කළා.

දිනූපා මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල මම මගේ සංගීත වැඩ කටයුතුවලට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. මගේ ගීත නිර්මාණ කීපයක වැඩ කරලා තියෙනවා.

ඔබේ ගීත නිර්මාණ ගැන කිව්වොත්?

දැනට මම ගීත දෙකක් අන්තර්ජාලයට සහ  live screening platform වල release  කරලා තියෙනවා. මුදු වුවන පින්බරයි, ප්‍රේමණීය සුසුම් කියලා ගීත දෙකක්. තව එක යුග ගීයක් කිව්වා හර්ෂණ දිසානායක එක්ක. මම තව ඉස්සරහට ගීත කීපයක වැඩ කරගෙන යනවා.

දිනූපා කෝදාගොඩ මෑත කාලයේ ජනප්‍රිය වෙන්නේ "කුවේණියේ" ගීතයෙන්?

ඒක ඇත්තටම අහඹු සිදුවීමකින් ලැබුණු අවස්ථාවක්. හපන් පැදුරෙන් පස්සේ මිනිස්සු නැවත මාව දැනගන්නේ කුවේණියේ ගීතයෙන්. ඒක රසිකයන් ආදරෙන් වැලඳගත්ත ගීතයක්. මම රිද්ම වීරවර්ධනත් එක්ක ඒක ගායනා කරන්නේ. ඒකට භාරත හෙට්ටිආරච්චි වෙන විදිහක රූපරචනාවක් කළා. ඒකෙත් මම රඟපෑවා. ඒක හැමෝම ආදරයෙන් වැලඳගත්තා.

ඔබ වැඩිපුරම ප්‍රිය කරන්නේ රංගනයටද ගායනයටද?

මට එහෙම එකක් තෝරගන්න බැහැ. මොකද මේ දෙකම මම හරිම කැමැත්තෙන් කරන්නේ. ඒ නිසා මාව ප්‍රාසංගික කලා ශිල්පිනියක් ලෙස හඳුන්වනවාට කැමතියි.

සිනමාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

මම චරිත තෝරලා බේරලා නිර්මාණවලට දායක වෙන කෙනෙක්. මම සිනමාවට ගොඩක් කැමතියි. මම හිතනවා ඉදිරියේදී මට ගැළපෙන තෘප්තිමත් චරිතයක් ලැබුණොත් මම සිනමාවටත් ඒවී.

දිනූපාගේ පෞද්ගලික විතර කිව්වොත්?

මගේ පවුලේ ඉන්නේ අම්මායි, තාත්තයි, අක්කයි අයියයි. ඒ හැමෝම මගේ ගමනට ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන්ම මගේ අම්මා. මං එක්ක හැමදේටම හෙවනැල්ලක් වගේ ඉන්නේ එයා. ඒ වගේම මම විවාහකයි. නදීක මගේ සැමියා.

ඔහුත් සංගීත ක්ෂේත්‍රයේ නේද?

ඔව්. මගේ සැමියා නදීක වැලිගොඩපලගේ තමයි "තීව්‍ර" සංගීත කණ්ඩායම. සංගීත වැඩකදිම තමයි අපි දෙන්නා මුණගැහෙන්නේ. 2008 වසරේදී ලයනල් වෙන්ට් එකේ එයා තීව්‍ර කියලා ප්‍රසංගයක් කළා. ඒකේ ගීත ගායනා කරන්න මම සම්බන්ධ වුණා. ඒකෙදි තමයි අපේ හිතවත්කම ඇති වුණේ. දෙන්නාම එකම ක්ෂේත්‍රයේ නිසා අපිට ජීවත් වෙන්න පහසුයි. අපේ ජීවිතය කලාව වීම ඇතුළේ අපිට ජීවත් වෙන්න පහසුයි.

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

මම හරිම ආසාවෙන් ඉන්නවා මගේම ගීත නිර්මාණ ඇතුළත් ගීත ඇල්බමයක් නිකුත් කරන්න. ඒ වගේම තවත් ආසාවක් තියෙනවා මගේ ප්‍රසංගයක් කරන්න. ඒ වගේම අවස්ථාවක් ලැබුණොත් හොඳ නිර්මාණයකට රංගනයෙන් දායක වෙනවා. මම ළඟදි මගේ ලස්සන ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. නදී කම්මැල්ලවීර අක්කා ලියපු, නදීක වැලිගොඩපළ (සැමියා) සංගීත අධ්‍යක්ෂණය කරපු ගීතයක් ඒක. ඒ නිර්මාණයේ රූපරචනාවත් කරන්න ඉන්නේ. ඒ වගේම මම කපිල පළිහවඩන සර්ගෙන් නර්තනයත් හදාරනවා.

 

 

තුෂාර සංජීව

Hash & Manga

ශාම් සන්ජය