මහ ගෙදරට සම්මාන දිනූ චන්ද්‍රසිරි ගනේගොඩ අභාවප්‍රාප්ත වෙයි

ඔක්තෝබර් 8, 2020

සිය මුල්ම චිත්‍රපටයෙන්ම හොඳම නිෂ්පාදක ලෙස සරසවිය සම්මානය දිනූ මෙන්ම මෙරට ඇඟළුම් කර්මාන්තයේ පුරෝගාමී පරිපාලකයෙකු ද වූ චන්ද්‍රසිරි ගනේගොඩ මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී නොබෝදා අභාවප්‍රාප්ත විය. ඔහු හොඳම නිෂ්පාදක ලෙස සම්මාන දිනුවේ මහගෙදර චිත්‍රපටයටය.

දකුණු ලක ජන්ම ලාභය ලබා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා රජයේ පරිපාලන සේවා නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතයට පිවිසුණේය. ලංකා ගමනා ගමන මණ්ඩලයේ කීර්තිමත් අවධිය ලෙස සැලකෙන සභාපති අනිල් මුණසිංහ යුගයේදී ඔහු පරිපාලන ලේකම්වරයෙකු ලෙස එහි සේවය කළේය.

සාහිත්‍යකාමී, කලාලෝලී ශාස්ත්‍රවන්තයෙකු වූ ගනේගොඩ මහතා නිරතුරුව මෙරට කලා කටයුතුවලට අනුග්‍රහය සැපයූ රසිකයෙකු ද විය. සිය විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ මහාචාර්ය සරච්චන්ද්‍ර මහතාගේ ලෝම හංස නාට්‍යය සඳහා ඔහු මූල්‍ය දායකත්වය ලබා දුන්නේය. ඔහුගේ සරසවි සගයෙකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා සම්පාදනය කළ සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ කටයුතුවලට ද මූලික අනුග්‍රහය දැක්වුයේ එතුමාය.

තිස්ස අබේසේකරයන් අධ්‍යක්ෂණය කළ මහගෙදර චිත්‍රපටය තුළින් ඒ මහතා චිත්‍රපට නිෂ්පාදනයට එක් විය. 1983 වසරේ පැවති සරසවිය සහ ජනාධිපති සම්මාන උලෙළයන්හිදී සම්මාන රාශියක් දිනාගත් මහගෙදර චිත්‍රපටය තුළින් ගනේගොඩ මහතා හොඳම සහ විශිෂ්ට සිනමා කෘතියේ නිෂ්පාදකවරයා ලෙස සම්මානයට පාත්‍ර විය.

දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා කලකට පෙර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය එතුමා පසුව සිය ස්ථිර පදිංචිය සඳහා එරට තෝරා ගත්තේය. පසුගිය සඳුදා අභාවප්‍රාප්ත වූ ඒ මහතා සිංග්ලංකා අධිපති ආනන්ද ගනේගොඩගේ වැඩිමහල් සොහෙයුරා ද වේ. 1980 වසරේ සරසවිය සම්මාන උලෙළේ අනුග්‍රාහකත්ව දැරුවේ සිංග් ලංකා සමාගමයි.