කොවිඩ් තිබුණත් රූකඩ පැංචි හා මිස් ජෙනිස් දිගටම

ඔක්තෝබර් 8, 2020

නැවතත් කොවිඩ් 19 රෝගීන් පොකුරක් මෙරටින් ඉකුත් දින හමුවීමත් සමඟ බොහෝ දෙනෙකුගේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබේ. උද්ගත වී ඇති තත්ත්වය වර්තමානයේ තිරගත වන සිනමාපට කෙරෙහි කුමන අන්දමේ බලපෑමක් ඇති වී තිබේ ද යන වග අපි සොයා බැලුවෙමු. මේ වන විට රූකඩ පැංචි සහ මිස් ජෙනිස් යන චිත්‍රපට තිරගත වෙමින් තිබේ. ඒවා හි අධ්‍යක්ෂවරු අපට පැවසුවේ මෙවන් වූ කතාවකි.

කල්පන සහ වින්දන - රූකඩ පැංචි අධ්‍යක්ෂවරුන්

මේ තතත්ත්වය මත ඇතැම් අයට හිතෙන්නට පුළුවන් චිත්‍රපට ශාලාවලට සෙනඟ නොඑනවා කියලා. ඒත් ගිය සඳුදා ඒ කියන්නේ පස්වැනිදා ඊට කලින් සඳුදාට වැඩිය රූකඩ පැංචි නරඹලා තිබුණා. එයින් ගම්‍ය වන්නේ චිත්‍රපට නැරැඹීම කෙරෙහි ඇති උනන්දුව කිසිදු අයුරකින් අඩු වෙලා නැහැ කියලනෙ. නිසි සෞඛ්‍ය උපදෙස් මත ශාලාවලට මිනිස්සුන්ට යන්න ඉඩ සලස්වලා තියෙනවා. රූකඩ පැංචි ශාලාවලින් ඉවත් කරන්නේ නැහැ. බැරි වෙලාවත් ශාලා වැහැව්වේ නැත්නම් අපේ මතය නම් චිත්‍රපටය දිගටම ප්‍රදර්ශනය කළ යුතුයි කියන එක.

සුසිරන් ද සිල්වා - මිස් ජෙනිස් අධ්‍යක්ෂ

මේ වෙලාවේ අනිසි බියක් ගෙන ශාලාවලින් මිස් ජෙනිස් ගලවන්න කිසිම අදහසක් නැහැ. චිත්‍රපටය ප්‍රදර්ශනය වන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා හැර වෙන විකල්පයක් නැහැනෙ. තවම ශාලා වහන්න කියලා නැහැ. එහෙම තීරණයක් ගත්තොත් ඊට හිස නමන්න වෙනවානෙ. නැතනම් චිත්‍රපටය ප්‍රදර්ශනය වුණාදෙන් කියලා තමයි මට කියන්න තියෙන්නේ.