මං ජෝතිටත් බැන්නා

චන්දන ඇල්ලෙන් ඇතුළු ගීත රැසක් තැනූ ගලගෙදර එම්.එම්.ඒ.හක්
ඔක්තෝබර් 8, 2020

ඔහු ගීතයක පෙර වාදන ඛණ්ඩයක් මුමුණනු ඇසෙයි.

මම එයට සවන් යොමුකරමි.

චන්දන ඇල්ලෙන් නාලා

අංජන මල්මී ගාලා

හැංගුණු බඹරා ආවා

ලස්සන රහසක් කීවා...

ඔහු ඊට පසුව ගයනු ඇසෙයි.

කෝමද ටියුන් එක?

ඔහු මගෙන් විමසයි.

ලස්සනයි. මම විතරක් නෙවේ හැමෝම ආස සින්දුවක්නේ..

පුතා.. පුතා කිව්වාට කමක් නැද්ද?

ඔහු සැකයෙන් බලයි.

කමක් නැහැ. 

මම එලෙස කියා නැවතත් ඔහුට සවන් යොමුකරමි.

මේ අහන්නකෝ. මට සංගීතේ මුකුත් බැහැ. කටින් තමයි මෙලඩි කියන්නේ. මෙන්න මෙහෙම.

ඔහු යළිත් ගයා පෙන්වයි. ඊට ප්‍රථම සුපුරුදු පරිදි ගීයේ පෙර වාදනය මුමුණයි.

මගෙ හද වෙණ පිරි මැදලා...

ඕකත් ඈත කන්ද දිහා බලාගෙන ඉද්දි ආව මෙලඩි එකක්.

මේ අපූරු විස්වකර්ම මිනිසා කවුද?

ඔහු ගලගෙදර එම්. එම්. ඒ. හක් වේ.

හක්ට ස රි ග ම ප බැරිය. මෙලෝ වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්නටද නොහැකිය. එහෙත් ඔහු නිමවා ඇති ගීත අති විශාල සංඛ්‍යාවකි. ඉන් කිහිපයක් මෙසේය.

චන්දන ඇල්ලෙන් නාලා

හිටින්න පොඩ්ඩක් හිටින්න

නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ

දකින දසුනේ

පැන පැන එන සඳේ

හද සන්තානේ

ආදරණීය  බබෝ..

ඉන් කිහිපයක්.

මේ මියුරු තනු හක් නිමැවූයේ කෙසේද? මම ඔහුගෙන් අසමි..

ඔය මෙලඩි ඔක්කොම එක පාරට තමා ඔළුවට ආව ඒවා. කොහෙන් එනවද කියලා මමවත් දන්නේනෑ. එකක්වත් හින්දි තනු ආශ්‍රයෙන් අරන් නැහැ. එක්සාම්පල් චන්දන ඇල්ලෙන් නාලා, මගේ දුවට මම හරි ආදරෙයි. උදෙන්ම නැගිට්ට ගමන් ඩැඩා කියලා මගේ පපුවට තුරුලු වෙනවා. එයාව අතේ තියාගෙන නළවනකොට ඉබේ ඔය ටියුන් එක ආවා. මම දෙමළෙන් වචන ලියලා කියකිය හිටියා. මිස්ටර් ගමගේ (ධර්මසිරි ගමගේ) තමයි පද ලිව්වේ. පස්සේ හදපු සෝංග් ඔක්කෝම ඒවගේ තමයි. මෙලඩි මම කටින් කියනවා. මියුසික් පාර්ට් හම් කරනවා. ලතීෆ් මාස්ටර් වගේ අය ඒවායේ නොටේශන් ලියනවා. ඇත්ත කියන්න එපායෑ මට ඕවා මොකවත් බෑ.

ජෝ දේව් ආනන්ද් කියන අධ්‍යක්ෂවරයා නේද ඔබගේ හැකියාවන් එළි දක්වන්න වැඩිපුර අවස්ථා දුන්නේ?

ගීතා, සුජීවා, සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි පින්තූර පහම මට දුන්නානේ. ඒවායින් තමයි මම එළියට ආවේ. බලන්න පුතා දැන් චිත්‍රපට දුවන්නේ නැහැ.. ඇයි... සින්දු නැහැ. ගීතා, සුජීවා, සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි පික්චර් දිව්වේ ඇයි... සින්දු නිසා. බය නැතුව ඔයා ලියන්න. ඉස්සර හෝල් මැනේජර් කෙනෙක් මට මීට් වුණා. මිනිහා මගේ ෆ්‍රෙන්ඩ්. අයි ආස්ක් දැන් චිත්‍රපට දුවන්නේ නැත්තේ ඇයි.

මිනිහා දුන්නු උත්තරේ තමයි කෝ ඒවා වල සින්දු.. සින්දු හොඳනම් චිත්‍රපටයටත් සෙනඟ ඉන්නවා පුතා.

ගීත පටිගත කිරීමට පෙර ගීත පුහුණු කරන්නෙත් ඔබමද?

පුරුදු කරන්න එපායෑ. මගේනේ මෙලඩි. ජෝති, එම් එස් කියලා නැහැ. මට ඕන ෆීලිං එක ආවේ නැත්නම් මම කෑ ගානවා. හිටින්න පොඩ්ඩක් හිටින්න රෙකෝඩිං කරද්දි ඔච්චර කේන්ති ගියෝතින් ලයින් එක හරියට ආවේම නැහැ. මම ජෝතිට බැන්නා. එහෙම වුණත් එයා කේන්ති ගත්තේ නැහැ. ආයේ ආයේ ගත්තා. කවුරු වුණත් හරියට කිව්වේ නැත්නම් මම බැනලා හරි,හරි මෙලඩිය ඒ ෆීලිං එකටම ගන්නව.

දැන් සංගීත කටයුතුවලින් ඉවත් වෙලාද?ඔබ ඉන්නවද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ..

ඒක තමයි දෝසේ. මම කොහොමද සංගීතයෙන් අයින් වෙන්නේ. තවම මට මෙලඩි එනවා. දෙන්න තමයි කෙනෙක් නැත්තේ. ඩිරෙක්ටර් කෙනෙක් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. අපි ඉතින් ඕල්ඩ් පීපල්ස්නේ. හැබැයි වැඩ පුළුවන් තවම.

ගලගෙදරට වෙලා තනිවමද ජීවිතේ ගෙවන්නේ?

තනියම තමා දැන් ගොඩක් කල් ඉඳන්  ඉන්නේ. මගේ නෝනා ගියා මාව දාලා. කේලම් අහලා දරුවොත් තරහා වෙලා ඉන්නේ. පුතා ලන්ඩන්. දුව රුසියාවේ. කවුරුවත් නිකමටවත් කතා කරන්නේ නැහැ. හිත හදාගෙන තමා ඉන්නේ. මොනවා කරන්නද.

අතීතය ගැන මතක් වෙද්දි මොකද හිතෙන්නේ?

දුකයි සතුටයි දෙකම තියෙනවා. සතුට තමා අරවගේ චිත්‍රපටවලට මට මියුසික් කරන්න ලැබුණනේ. දුක මගෙන් පස්සෙ කාලේ නිසි ප්‍රයෝජන ගත්තෙ නැති එක.

0779182393 / 0778052763 මේ හක්ගේ දුරකතන අංකයි