ඇද්ද මෙදිය කුස ඔබ වැනි නිරිඳුන්

ඔක්තෝබර් 8, 2020

ප්‍රවීණ රංගන ශිල්පිනී මැණිකේ අත්තනායක වූ කලී කෘතහස්ත කලාකරු ධම්ම ජාගොඩ සූරීන්ගේ සොයා ගැනීමකි. එනම් ඇය රංගන කලාවේ අත් පොත තැබුවේ ධම්ම ජාගොඩ සෙවණෙහි ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙනි. චරිත නිරූපණය, නාට්‍යකරණය අරභයා ඇය ධම්මගෙන් නිරතුරු පැන විමැසුවාය. තර්ක විතර්ක නැඟුවාය. මේ ප්‍රශ්න කිරීම් පසු පස තිබුණේ කලා ක්ෂේත්‍රය මැනවින් හැදෑරීමට ඇය තුළ තිබූ අපරිමිත කැපවීම බව ධම්මට වැටහී තිබුණි. ‘මැණිකේ ඔබ කවදාක හරි මේ කලා ක්ෂේත්‍රයට නැතිවම බැරි නිළියක් වෙනවා’ යනුවෙන් ඔහු ඇය ගැන අනාවැකි පළ කළේය. ඉක්බිතිව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ යෝධ සෙවණ මැණිකේගේ රංගන, ගායන ජීවිතය සුපුෂ්පිත කොට සුපෝෂණය කළේ්ය. සරච්චන්ද්‍රයෝ නාට්‍ය වනාහි අධ්‍යක්ෂවරයාගේ කලාවක් (ACTOR’S ART)  බව විශ්වාස නොකළහ. එතුමෝ නාට්‍යවලදී නළු නිළියන්ට තම චරිතය වටහා ගැනීමට ඉඩ දී ඔවුන්ටමැ ඒවාට නිවැරැදි අර්ථ කථන ලබා දීමට පොලඹවා උපදෙස් දෙනු විනා ඒවා මෙසේ නිරූපණය කළ යුතු යැයි විධාන නොදුන්හ. එනම් නාට්‍ය නිර්මාණයේදී එය අධ්‍යක්ෂවරයාගේ කලාවකට වඩා නළු නිළියන්ගේ කලාවක් (Director’s Art)  බව මහාචාර්ය සරච්චන්ද්‍රයෝ විශ්වාස කළ බැව් පෙනේ. ඒ ආභාසය ලැබූ කෘතහස්ත නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන් ද නාට්‍ය නිර්මාණයේදී නළු නිළියන් මෙහෙය වූයේ මීට සාම්‍යය වූ ආකාරයෙනි. නිවුමන් ජුබාල් මෙරටට පැමිණ නාට්‍ය නිර්මාණය කළ අවස්ථාවේ සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන මතවාදීව ඔහු සමඟ ගැටුණේ ජුබාල් ‘නාට්‍ය යනු මුළුමනින්ම අධ්‍යක්ෂවරයාගේ කලාවක්’ ලෙස ඇදැහූ බැවිනි. දයානන්ද ගුණවර්ධනයන් තම නාට්‍ය පුහුණුවීම්වලදී රඟහලේ ඈතට ගොස් අසුන් ගෙන දෑස් වසා දෙබස් හා ගැයුම්වලට පමණක් සවන් දීගෙන සිටියේ මේවා නිවැරැදිව ශ්‍රවණය වේ නම් නාට්‍ය නිවැරැදිව රඟ දැක්වෙන බව ඔහු විශ්වාස කළ හෙයිනි. එකල්හී ඔහු තම පරිකල්පනය මෙහෙයවා සංවාද හා ගැයුම් ශ්‍රවණය කිරීමෙන් රංගනය සිතෙහි මවා ගත්තේය. දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘මධුර ජවනිකා’ නාට්‍යයෙහි මැණිකේ අත්තනායක වරක් එකිනෙකට වෙනස් ඓතිහාසික චරිත පහක් රඟපෑ බව ද මා සිහියට නැඟේ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර’ හාස්‍යෝත්පාදක නාට්‍යයක් සේ මතුපිටින් දිස් වුව ද එහි යටි පෙළෙන් මිනිසාගේ ඛේදනීය ඉරණම පිළිබඳ ගැඹුරු අරුතක් මතු කරනු දැක්ක හැකිය. ‘මහාසාර’ හී දේවියගේ භූමිකාව මැණිකේ අත්තනායකගේ රූපණ දිවියේ කඩඉමකි. ඇය සමඟ මෙහි රජුගේ චරිතය ආචාර්ය ජයලත් මමෝරත්න ද විජේරත්න වරකාගොඩ ද වරින්වර රැඟූහ. රන් අභරණ පලඳනාවන්ට ලොල් කරන ස්ත්‍රී චිත්තය මින් විවරණ කෙරිණ. දිය කෙළියට බට දේවියගේ මහාසාර පලඳනාව නැති වේ. එය සිදු වන්නේ කෙසේද? මෙය සොරා ගනුයේ වැඳිරියක බව ප්‍රේ්ක්ෂකයෝ හොඳින් දනිනි. එහෙත් මෙහි පාත්‍රයෝ එය නොදනිති. තම මහාසාර පලඳනාව සොයා දෙන ලෙස ඉල්ලා සිටිමින් දේවිය රජුට බලවත් සේ ඇවිටිලි කරන්නීය. රජ, බිසව හා ඇමැතිවරුන් ඉදිරියේ අසරණ ගැමියා ද සංවේදී සිතැති ගාන්ධර්වයා ද තාවකාලිකව බේරී යති. කෝසිය පඬිතුමාගේ ඥානයෙන් රජුට සත්‍යය අනාවරණය කොට ගත හැකි වේ. එතැනින් පසු රජු, බිසව හා ඇමැතිවරුන් උපහාසයට ලක් කෙරේ. මතුපිට හාස්‍ය ඉක්මවා ගැඹුරු අරුත් නැංවීමට සරච්චන්ද්‍රයෝ සමත් වෙති.

සැබෑ ජීවිතයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ශූර උපහාස ශක්තියක් තිබූ  (SENSE OF HUMOUR)  ප්‍රාඥයකු බව එතුමා සමීපව ආශ්‍රෙය කොට ඇති සියල්ලෝම හොඳින් දනිති. ‘මහාසාර’ නාට්‍යයේ පාත්‍ර වර්ගයා අතර සංවාදවලදී එතුමාගේ එකී ශූර උපහාසය මැනවින් ධ්වනිත විය.

මැණිකේ (බිසව) - මට මහාසාර පලඳනාව හම්බවෙනකන් මං කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. නොකා නොබී මැරෙනවා’

මනෝරත්න (රජු) - අයියෝ එහෙම කරන්නෙපා... කොහොම හරි කරලා මේක හොයා ගන්න බලමු. නොකා නොබී නම් ඉන්න එපා. ඉස්සෙල්ලාම මොනවා හරි කාලා හිටින්නකෝ’

මැණිකේ (බිසව) - මට දැන් මොකුත් කන්න බෑ, මගේ ඇඟ ඔක්කොම ගැහෙන්න වගේ’

මනෝ (රජු) - ඒක තමයි මං කියන්නේ මොනවා හරි කාලා හිටින්ඩ කියලා.

මැණිකේ (බිසව) - දැන් ටිකකට ඉස්සර වෙලා මගේ ඇඟ ඔක්කොම ගැහෙන්න පටන් ගත්තා. මට දැන් නම් මොකුත් කන්න බැහැ. දාසිය ඇවිල්ලා ක්ෂීරපායාස වගයක් ගෙනල්ලා එපයි කියද්දී මට බලෙන්ම කැව්වා”

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘වෙස්සන්තර’ (1980) ගීතාංග නාටකයේ මන්ද්‍රි දේවියගේ භූමිකාව ද මැණිකේ අත්තනායක රංග ශිල්පිනියගේ කලා ජීවිතයේ මංසලකුණකි. ආචාර්ය ජයලත් මනෝරත්නයන් මෙහි වෙස්සන්තර රජු ලෙස ඈ සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කළේය. පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයෝ මෙහි ස්වර සංරචනා කළහ. විවෘත අර්ථ ක්‍රමය හා සමාජයේ ශීඝ්‍රයෙන් සිදු වූ විපර්යාසය අබිමුව සංවේදී ප්‍රඥායකු වූ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ‘ධර්මිෂ්ඨ සමාජය’ මැයෙන් ලියූ සුප්‍රකට විචාරාත්මක කෘතිය ඔස්සේ මෙකී ප්‍රකම්පනය මුදා හළහ. එමෙන්ම ‘වෙස්සන්තර’ නාට්‍යය හරහා ද ඔහු නිර්මාණාත්මකව ඉටු කළේ එම කර්තව්‍යයම නොවේද? එදා මේ නාට්‍යය අරභයා සරච්චන්ද්‍රයෝ මෙසේ කීහ.

‘මා වෙස්සන්තර ජාතකය ඇසුරින් නාට්‍යයක් රචනා කොට එය නිෂ්පාදනය කරන්ට සිතුවේ, ප්‍රධාන වශයෙන්ම ධනවාදී සමාජයක් බිහි වීම හේතු කොට මිනිසුන්ගේ චරිතයෙහි මා දුටු පරිවර්තනය නිසා මා තුළ ඇති වූ සංවේගය ප්‍රකාශ කිරීමටය. පරාර්ථ චර්යාව අපේ පාරම්පරික පුරුෂාර්ථ පද්ධතියෙහි ඉහළ තැනම තබා සලකන ලද්දකි. එහෙත් ධනවාදී සමාජයේ ඇගැයීම් අනුව මේ ගුණ ධර්මයට ලැබෙන්නේ නොවැදගත් තැනකි. ජීවිතයේ පරමාධ්‍යාශය ධනෝපායන වශයෙන් ගැනෙන ධනවාදී සමාජයෙහි වස්තු තණ්හාව හා ආත්මාර්ථ චර්යාව යහපත් ගුණධර්ම ලෙස සලකනු ලැබේ. වස්තු තණ්හාව සහ ආත්මාර්ථ චර්යාව නොමැතිව ධනෝපායනය කළ නොහැකි බැවිනි... වෙස්සන්තර රජ්ජුරුවෝ වස්තු තණ්හාව මුලිනුපුටා දැමීම සඳහා තමා සතු ඉතා වටිනා වස්තු වන තම දරුවන් දෙදෙනා ද, බිරිඳ ද පරිත්‍යාග කරති. ඒ වූ කලී බෞද්ධ ඇගැයීම් තාරතම්‍යයේ මුදුන් හිණි පෙතය. ආත්මාර්ථ චර්යාව යහපත් ධර්මයක් කොට සලකන අවධියක, අතීතයෙහි වුව මෙබඳු පුරාෂෝත්තමයන් හුන් බව මතක් කර දීම වටනේ යැයි සිතුවෙමි.’

මන්ද්‍රි දේවිය වූ කලී මෙරට ආගමික සහ සාහිත්‍ය වංශයෙහි පූජනීය ස්ත්‍රී චරිතයකි. ඇය තම සැමියාගේ සිතැඟි අනුව වංකගිරියට නික්ම යමින් ඔහුගේ සියලු දුක් පීඩා සතුටින් බෙදා ගන්නා උතුම් භාර්යාවකි. තම සැමියාගේ පාරමිතාව සඵල කර ගැනීමට ඉඩ දෙමින් දරු දෙදෙනා දන් දීමද මහත් ශෝකයෙන් ඉවසා දරා සිටින්නීය. මන්ද්‍රි දේවිය ලෙස රඟන මැණිකේ අත්තනායකගේ මුවෙන් වරෙක අපට ඇසෙන ගී ඛණ්ඩයක් මේය.

‘ගුණයුත් සමිඳුනි ඔබ පවසන මේ

උදාර සිතුවිලි ඇසූ කෙනෙහි මා

පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියේ හද

මේ සා නැණසර වදන් අමාවන්

ඇසූ විරුවෝ වෙන

ඇද්ද මෙදිය කුස

ඔබ වැනි නිරිඳුන් මෙත් කුළුණෙන් යුත්

දුටු විරුවෝ වෙන සිටිද්ද මෙලොවේ?

මුදුනෙන් පිළිගන්නෙමි ඔබ කීවා

දස රජ දහමේ නිවැරැදි පදරුත්

පහදා දෙනු ලෝ සත වෙත මෙත පා’

වෙස්සන්තර ජාතකය ඉන් පෙරද ලාංක්ය නාට්‍යවේදීන්ට මූලාශ්‍ර විය. නීතිඥ ජෝන් ද සිල්වා සූරීන්ගේ ‘වෙස්සන්තර ජාතක’ නුර්තිය බිහි වූයේ 1916 දීය. මේ පිටපත පාදක කොට ගනිමින් ජේ. ඩී. ඒ. පෙරේරා 1961 ‘වෙස්සන්තර’ නාට්‍යය නිර්මාණය කළේය. මෙය නිෂ්පාදනය කරමින් වෙස්සන්තර රජු ලෙස ප්‍රධාන චරිතය රඟපෑවේ සුප්‍රකට සිනමා නළු එච්. ඩී. කුලතුංගය. රුක්මණී දේවිය එහි මන්ද්‍රි දේවිය ලෙස රඟපානු දැක පේ‍්‍රක්ෂකයෝ වසඟ වූහ. විමල් ජයවර්ධන හා ජයන්ත කුමාර දැකුම්කලු ලෙස වංකගිරිය වේදිකාවේ ඉදි කළහ. ලෝරන්ස් පෙරේරා මේ නාට්‍යය සංගීතවත් කළ අතර පණීභාරතයෝ නර්තනය නිර්මාණය කළහ. විමලා අමරදේව (අමරදේවයන්ගේ භාර්යාව) චිත්‍රා රත්නායක (වික්ටර් රත්නායකයන්ගේ භාර්යාව) හා බියට්‍රිස් වීරසිංහ (රෝහණ වීරසිංහයන්ගේ භාර්යාව) එහි නැටුම් කණ්ඩායමෙහි සිටියහ. ජූජක බමුණා ලෙස එඩී ගුණවර්ධනට පසුව මෙහි රඟපාමින් කලා ලොව දොරට වැඩියේ සතිස්චන්ද්‍ර එදිරිසිංහය. අමිත්තතාපා වූයේ ප්‍රකට නිළි, ගායිකා ශීලා පීරිස්ය. බෙනී දාබරේ සඳ මහා රජු වූයේය. ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ නාට්‍යය තවමත් බිඳී නැති වාර්තාවක් තැබූ බව බොහෝ දෙනා නොදනිති. එනම් දින 14 ක් (සති 2 ක්) එක දිගට කොළඹ ලුම්බිණි රඟහලේ සවස 6.30 දර්ශනය වේදිකා ගත කිරීමෙනි. එහිදී පස්වරු 6.30 දර්ශනය පමණක් වේදිකා ගත වූයේ වංකගිරිය වේදිකාවේ ඉදි කිරීමට ගත වූ කාලය නිසාය.

 

ඉතිරි කොටස ලබන සතියේ...