‘ඒ කෙල්ල දක්ෂයි... හැඩයි’

නොවැම්බර් 12, 2020

 ලාංකේය සිනමාවේ පළමු නිළි රැජන රුක්මණී දේවිය සිනමාවට දායාද වූයේ වේදිකාවෙනි. ඇයගෙන් පසුව ලාංකේය සිනමාවේ නිළි රැජන ලෙස සම්භාවිත ආචාර්ය මාලිනී ෆොන්සේකා ද සිනමාවට තිළිණ කෙරුණේ වේදිකා නාට්‍යයෙනි. එහෙයින් මාලිනිය සිනමාව දිග්විජය කළ අග්‍රගණ්‍ය රූපණවේදිනිය මතු නොව ජීවමාන සුපිරි තාරකාව, පුරාවෘත්තය වුවත් ඇය වේදිකා නාට්‍ය කලාවෙහි නිෂ්පාදනයක් යැයි මා කීවොත් ඇය මෙන්ම මෙරට බුද්ධිමත් සහෘදයා ද එකඟ වනු නියතය. පසුව මුළුමනින් මාලිනිය ස්වකීය අනුහාසාත්මක මහිමාලංකාරයෙන් (Charisma)) සිනමා කලාවෙහි පමණක් ව්‍යාවෘත වීම හේතු කොට ඒ මහා රූපණ ප්‍රතිභාව වේදිකාවට අහිමි වූයේ යැයි ප්‍රේක්ෂකයකු හෝ විචාරකයකු පැවසූ කල්හී ඊට විරුද්ධ විය හැක්කේ කාටද? 1963 ඇරැඹි 1967 අවසන් වූ ඇගේ වේදිකා නාට්‍ය රූපණ දිවිය සිවු වසරකට සීමා වුණි. මාලිනියගේ ප්‍රවිෂ්ටය වේදිකාවේ මතු සිනමාවෙහි ද ස්වර්ණමය යුගයේ සිදු නොවිය. කැලණිය ගුරුකුල විද්‍යාලයේ සිසුවියක ලෙස ඇගේ රූපණ දිවියෙහි ආරම්භය පිළිබඳව මහාචාර්ය තිස්ස කාරියවසම් ‘විශ්වවිද්‍යාලයීය නාට්‍ය වංශය’ කෘතියෙහි (පිටු 78) මෙසේ දක්වයි.

‘1963 ජූනි මස 14 දින ප්‍රථම වරට සරසවි කලා උලෙළක් සංවිධානය කරන ලද බව පෙනේ. මෙහිදී මුද්‍රා නාටකයක විලාසය ගත් සේ කියැවෙන ‘යාදෙක නොරත රත’ නම් නාටකයක් රචනා කොට නිෂ්පාදනය කර තිබේ. මෙයට මුල් වූයේ පිංගුත්තර කථාවයි. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් නොසිටීම බලවත් පාඩුවක් විය. මේ අඩුව සපුරන ලද්දී එවකට පාසල් ශිෂ්‍යාවකව සිටි මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මෙනෙවියයි. මෙම භූමිකාව මාලිනී ෆොන්සේකා නිළියගේ ප්‍රථම රංගගත විම සේ සැලකේ.”

එච්. ඩී. වීරසිරි නිර්මාණය කළ ‘නොරත රත’ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (වත්මනෙහි කැලණිය විශ්වවිද්‍යාලය) පළමු නාටකය විය. විශ්වවිද්‍යාලයේ එකල (1963) උගත්තේ පැවිදි හා ගිහි සිසුන් පමණි. එහෙයින් විශ්වවිද්‍යාලයීය නාට්‍යකට ස්ත්‍රින් සහභාගි කොට ගැනීමට සනාතන සභාවෙන් අවසර ලබා ගත යුතු විය. අදාළ අනුමතිය ලැබීමෙන් පසුව මේ නාට්‍යයේ උදුම්බරා දේවියගේ ප්‍රධාන චරිතයට නිළියක් සොයා ගැනීමට වීරසිරි ප්‍රමුඛ පිරිස උත්සුක වූහ. එහිදී මුලින් තෝරා ගැනුණේ ප්‍රේමකුමාර එපිටවලයන්ගේ ‘පරෙවිය’ ඉඟි නළුවෙහි ප්‍රධාන භූමිකාව රැඟූ සීතා ගමගේය. එහෙත් එවක ඇය ප්‍රවීණ මාධ්‍යවේදී, ගේය කාව්‍ය රචක ධර්මසිරි ගමගේ මහතා සමඟ විවාහ වීමට දින නියම කොට ගෙන සිටි බැවින් මෙහි රඟපෑමට නොහැකි බව දන්වා සිටියාය. පසුව වැල්ලවත්තේ විසූ රූමත් දෙමළ නර්තන ශිල්පිනියකට මේ සඳහා ඇරැයුම් ලැබුණත් ඇය ඉල්ලා සිටි මුදල නිර්මාණකරුවාට බරපතළ ගැටලුවක් විය. ‘නොරත රත’ වූ කලී ගීත නාටකයෙකි. මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය සුජාතා අත්තනායක මෙහි ගී ගැයූහ. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි සනත් නන්දසිරි තරුණයා නිවාඩුවකට ලංකාවට පැමිණි අවස්ථාවක මේ නාටකයේ ගැයූ මේ ගීතය ඔහුගේ සමාරම්භක ගැයුමකි.

‘මගෙ පඬිමුළුවේ

විදුරු මිණක් බඳු

මහෞෂධ පඩිදාණෙනි සැරදේ’

මෙය සංගීතවත් කළ නිමල් අමරසිංහ ඇතුළු මීට දායක වූ බොහෝ දෙනකුගේ පළමු නාට්‍යය මෙය විය. මේ සඳහා නිළියක සොයා ගිය වීරසිරිට කැලණිය ගුරුකුල විද්‍යාලයේ නර්තන ගුරුවරයා වූ එස්. මලල් හමු විය. ඔහු ඊට විසඳුම දුන්නේ මෙලෙසිනි.

‘නිළියො හොය හොයා රට වටේ යන්න ඕනෑ නෑ. අපේ මාලිනී කෙල්ල ගන්න. ඒ කෙල්ල හරිම දක්ෂයි, හැඩයි’.

‘නොරත රත’ නාටකයේ උදුම්බරා ලෙස රඟමින් සොළොස් හැවිරිදි මාලිනිය කලා ලොවට ප්‍රවිෂ්ට වූයේ ඒ අයුරෙනි. දිවුල් ගස වෙනුවට වේදිකාවේ නිර්මිත සංකේතාත්මක වෘක්ෂයකට උදුම්බරා (මාලිනී) නංවා පිංගුත්තරයා (විල්මට් පෙරේරා රැඟූ) පලා යන ජවනිකාව ප්‍රේක්ෂකයෝ විස්මිතව බලා සිටියහ. මෙහිදී නිර්මාණකරු වීරසිරි ඇයට උපදෙස් දුන්නේ ‘තම සැමියා තමාව අතරමං කොට දමා යන බව සිතා ප්‍රේක්ෂකයා දෙස කෙළින්ම නොබලා ඉන්න’ කියාය. එහෙත් මාලිනිය මේ ජවනිකාවේදී සැබැවින්ම ඇඬුවාය. මෙහිදී කුලුඳුලේම මාලිනිය ප්‍රකට කළ පරිකල්පනය ඇයගේ කෘත පුණ්‍ය වාසනා මහිමය නොවේද?

එහෙත් මාලිනී ෆොන්සේකා නම් වූ ප්‍රතිභාපූර්ණ වේදිකා නාට්‍ය නිළිය කොයි කාගේත් අවධානයට යොමු වූයේ ධර්මදාස ජයවීර සහ එස්. කරුණාරත්න නිර්මාණය කළ ‘අකල් වැස්ස’ (1965) නාට්‍යයෙනි. ඒ සඳහා මාලිනී තෝරා ගැනීමට නිෂ්පාදකවරුන්ට බලපෑවේ බී. කේ. රත්නායකගේ ‘අමල් බිසෝ’ (1964) නාට්‍යයෙහි ඇගේ කැපී පෙනෙන රංගනය බැව් පෙනේ. එකල බොහෝ නාට්‍යවල ආණ්ඩභාෂණය වෙසෙස් ලකුණක් විය. ‘අකල් වැස්ස’ හි ආණ්ඩභාෂණය ඊට වෙනස් ස්වරූපයක් ගත් අතර එය හුදෙක් දෙබස් උච්චාරණයට පමණක් සීමා නොවුණි. මෙහි එක්තරා ආකාරයක අභ්‍යන්තර රංගනයක ස්වරූපය ඉසිලීය. එනම් මේ නාට්‍යයේ දිස් වූයේ වාක්‍යයෙන් වාක්‍යයට උච්චාරණය හා අංග චලන වෙනස් කරමින් වාචික හා ආංගික අභිනයට පෙර සාත්වික අභිනය උපරිම ආකාරයට භාවිත කළ රූපණ ශෛලියකි. මෙය ප්‍රේක්ෂකයන්ට මෙන්ම විචාරකයන්ට ද නවමු සහානුභූතියක් මැ විය. 1965 හොඳම නිළියගේ සම්මානය රාජ්‍ය නාට්‍ය උලෙළේ දී මාලිනියට හිමි විය. නාට්‍ය උත්සව දිනයේ ‘අකල් වැස්ස’ වේදිකා ගත කළ අවස්ථාවේ ඇය සහලවා උණ ගැනීමෙන් සිටීම වෙසෙස් සිදුවීමකි. ‘අකල් වැස්ස’ නාට්‍යයේ ඈ සමඟ ප්‍රධාන චරිතය රැඟූ ප්‍රවීණ නාට්‍යවේදී සුමන ආලෝක බණ්ඩාරයන් වරක් පැවසූ කියුමක් මට සිහිපත් වේ.’

අකල් වැස්ස’ හී බොහෝ අවස්ථාවල මාලිනීට හුදෙකලාවම වේදිකාවේ රැඳී සිටින්නට සිදු විය. එසේ හුදෙකලාව සිටින විට ද වේදිකාව පිරි පවතින ආකාරයේ වේදිකා ප්‍රභාවක් ද ඒ ළපටි අවධියේදී ද ඇය සතු වූවාය. එකල සිටි නිළියන් අතරින් මේ වේදිකා ප්‍රභාව මා දුටුවේ සෝමලතා සුබසිංහ හා ප්‍රේමා ගණේගොඩගෙන් පමණි.’

තත්ක්ෂණ ජීව කලාවක් වූ වේදිකා නාට්‍යයක රඟපෑමේදී ක්ෂණිකව මතුවන අභියෝගයන්ට තමන්ගේ ආධුනික සමයේදීම මාලිනිය මුහුණපෑවේ පරිණත කලාකාරිනියක ලෙසිනි. ‘අකල් වැස්ස’ රඟපෑමේදී සිදු වූ වෙසෙස් සිදුවීමක් ආවර්ජනය කරමින් සුමන ආලෝක බණ්ඩාර (සිංහල වේදිකාවේ රත්තරන් අවධිය පිළිබඳ සුමන මතක - පිට 34) මෙසේ ලීවේය.

‘දැන් මාලිනී වේදිකාවට එන්න ඕනෑ. මම පත්තරේ බැලුවා. කමිසෙ බොත්තම් ගැලෙව්වා. සපත්තු ගැලෙව්වා. පවන් ගහ ගත්තා. ටිකක් ඒ මේ අත ඇවිද්දා. දැන් නම් නිකං හිටිය හොඳටම ඇති ටිකක් ඇතුළට ඇහුම්කන් දීල බැලුවා. ඇතුළෙ ගාලගෝට්ටියක්. මාලිනී පීරිසි කුට්ටමක් ඉල්ලනවා. සංවිධායකයෝ පීරිසි කුට්ටම් නෑ කියනවා. ඒවත් ලොරි කබලේ. මාලිනිත් අන්දමන්ද වෙලා පීරිසි කුට්ටමක් නැතිව මාලිනීට එන්න විදියක් නෑ. ‘අකල් වැස්ස’ පිරිද්දිලා තියෙන්නේ පීරිස් කුට්ටමක් එක්ක. ‘මාලි‘ පීරිසි කුට්ටමක් අරගෙන ඇවිත් අහනවා ‘නිමල් ඔයාට ඕනෑ තේ ද කෝපි ද’ කියලා. එතකොට නිමල් කියනවා ‘කෝපි ටිකක් නම් වඩා හොඳයි’ කියලා. ‘එහෙනම් මෙන්න ඔයාගෙ කෝපි එක’ කියල මාලි පීරිසි කුට්ටමක් දික් කරනවා. ඒ උඩ තමයි කතාව දික් ගැහෙන්නේ. ඒත් පීරිස් කුට්ටමක් නැතුව ඒක කියා ගන්නේ කොහොමද? ඒ කාලෙ අභිරූපණ රංග කියල එකක් සිංහල වේදිකාවෙ තිබුණෙත් නෑනෙ. විමල් කුමාර ද කොස්තා සිංහල වේදිකාවට ඒක හඳුන්වල දුන්නෙත් ඊට සෑහෙන කාලෙකට පස්සෙ. තවත්නං වේදිකවේ නිකං ඉන්නට පුළුවන්කමක් නැතිම තැන ‘මාලි ඔය තේ එක කුස්සි අම්මට හදන්ඩ කියල මෙහෙ එන්නකො’ කීවා. මාලිනී ආව නෙවෙයි ඇදුණා. එතකොට නං ආවේ ‘හූවක්’ නෙමෙයි ‘ෂූවක්’. අවුරුදු කුමාරියක්නෙ වේදිකවෙ ආලෝකෙ මැද්දෑවෙ බැබැළි බැබැළී ඉන්නෙ. ඊට පස්සේ කෝපි එක වෙනුවට පොළොස් ඇඹුලක කතන්දරයක් ගළපලා ගත්තා. සරත් පිටපතේ පිටු පෙරළනවා පොලොස් ඇඹුල් හොයන්ඩ. පිටු පෙරලනව විතරක් නෙමෙයි කෑ ගහනවා. ‘පොලොස් ඇඹුල නෑ, පොලොස් ඇඹුල නෑ’ කියල. මාලිනී සරත් වගෙ පොට පටලවා ගත්තෙ නෑ. පොට අල්ලගෙන ටික දුරක් යනකොට තමයි සරත්වත් නියම තැනට ආපහු ආවෙ. එතැන ඉඳල නාට්‍ය අවසාන වෙනකම්ම කරදරයක් ඇති වුණේ නෑ’.

ඉතිරි කොටස ලබන සතියේ...