ගිමන් හරින තොටුපළක් මැ විය

අඹ යහළුවෝ නිමල් - අශේන් මංජුල අලුත් වැඩක
නොවැම්බර් 12, 2020

ජීවිතයේ කොයි තරම් බාධක, දුක් කම්කටොලු පැමිණියත් විවාහ බැම්මෙන් සවිමත්ව බැඳුණු අඹු සැමි යුවළකගේ ජීවිත අවබෝධය හැමදාමත් ඒ ජීවිත සතුටින් සොම්නසින් තබනවා. නිවෙස තුළ සාමය, සතුට රඳවමින් ස්වාමියාට ඇය ගිමන් හරින තොටුපළක්ම වෙනවා කියලයි අශේන් මේ ගීතයෙන් කියන්නේ.

අපට තියෙන්නේ අති ගෞරවනීය බැඳීම් සමඟ මුසු වුණු, යහ ගුණයෙන් පෝෂණය වුණු සංස්කෘතියක්, සභ්‍යත්වයක්. අනාදිමත් කාලයක පටන් අපේ ජීවිත හැඩගැසුණේ මේ ගෞරවනීය සංස්කෘතියේ යහගුණ දම් එක්ක. කලාව කියන දෙයිනුත් අපි පෝෂණය වුණේ මේ කියන සියල්ල රැකගෙන. කලාවෙන් කළෙත් අපේ කියන අනන්‍යතාවය රැකගෙන යහපත් සිතුවිලි සමාජයට මුදා හරින සංවේදී පිරිසක් බිහි කරලීමේ මහඟු කාර්යභාරය. ගීතය සංගීතය වගේ කලා මාධ්‍යයක් ගත්තත් එයින් කළේ අපේ හිත් සුවපත් කරපු එක. මනුෂ්‍යත්වය සපිරි හැඟුම් සමුදායක් සමඟ අපි ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරපු එක. 60, 70, 80 දශකවල බිහිවුණු ගීත නිර්මාණ ගත්තම කොයිතරම් ආකර්ෂණීය බවක් ඒ ගීතවල තිබුණ ද කියල හිතෙන්නේ මේ අද දවසෙහි ඇසෙන සමහර අරුත් සුන් පද අතර මෙන්ම, කර්ණ කඨෝර රළු සංගීත රිද්මයන් අතර එදා රැව් දුන් ගී හඬවල් තවමත් විරාජමාන වෙන්නේ හදවත ස්පර්ශ කළ ඒ සියුම් සංවේදනා නිසාමය.

ආදරය, සෙනෙහස, මනුෂ්‍යත්වය, ගුණ ගරුකකම්, ප්‍රේමනීය බව සිත ළඟ රැඳෙන අපූරු නිර්මාණ එකතුවක් පසුගිය දිනක මට රසවිඳින්නට අවස්ථාව ලැබුණා. මෙහි මිහිරි සංගීත රටා සේම අර්ථ පූර්ණ පද රචනාවනුත් මගේ හිත ඒ නැවුම් ගී රිද්මයන්හි ආස්වාදය විඳින්නට තව තවත් බලපෑම් එල්ල කළා. ‘ගිමන් හරින තොටුපළක් විය’ නම් ලද මේ ගීත එකතුව මා අත තැබුවේ අශේන් මංජුල සොයුරායි. අශේන් මා මුලින්ම හඳුනා ගත්තේ ඔහු අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ රඟපාන නිමල්ගේ චරිත නිරූපණය ලෙසටය. ඉන් පසු නොයෙක් වර ඔහුගේ රංගනය පිළිබඳ ලියන්නට ඔහුත් මමත් හමු වී තිබුණා. මෙවර කලකට පසු ඔහුත් මමත් හමු වුණේ ‘ගිමන් හරින තොටුපළක්’ ද සමඟයි. අශේන්ගේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ අධ්‍යක්ෂණයෙන් එළි දකින එහි බොහොමයක් ගීත ද ඔහු විසින් රචනා කර තිබුණා.

‘ඇරඹුමක් ලබමු ප්‍රිය සොහොයුර, සොහොයුරිය

මංසලක් අසල නැවතී දැක්මක නිමිති ගෙන

රන් කෙතක් විල දරන අස්වද්දනු විලස

දම්වැලක් ලෙසට අත්වැල් බැඳගමු අප සමඟ’

අශේන් ලියපු මේ ගීතය සැබවින්ම නව පරපුරකට කරනු ලබන ආදරණීය ආමන්ත්‍රණයක් හැටියට මට දැනුණා. ඔහු ආරාධනා කරන්නේ යමෙකුට ජීවිතය දිනන්නට, යහපත් අරමුණු ළඟා කර ගන්නට, සමාජයට සේවයක් කරන්නට එක්වෙන ලෙසය. ප්‍රවීණ ගායන ශිල්පී සේනානායක වේරලියැද්දයන්ගේ හඬ පෞරුෂය සේම සංගීතඥ නවරත්න ගමගේ ගේ සංගීතය ඊට මනා සංකලනයක් රැගෙන එනවා.

මේ ගීත එකතුවේ තවත් සිත් ගත් ගීත දෙකක් වූයේ මාතෘත්වය පිළිබඳ ලියවුණු පදවැල ද්විත්වයයි. මව් සෙනෙහසට ලියවුණු ගීත අපි අතර කොතෙක් තිබුණත් ඒ සෙනෙහස කියල ලියලා ඉවර කරන්න බැරි දෙයක් කියලයි මගේ විශ්වාසය. කාන්තාවකගේ ජීවිතයේ අසිරිමත්ම දේ මම හිතන්නේ ඇය මාතෘත්වයට එක්වීම කියලයි. යහගුණ සපිරි දරුවෙකු සමාජයට තිළිණ කිරීමේ මහඟු කාර්ය භාරයේ නියමුවන් වන ඒ මාතෘත්වයට ප්‍රවීණ ගේය පද රචිකා මාලිනී ජයරත්න මෙහෙම ලියලා තිබුණා.

‘දස මස දරා මෙලොවට පුදා

කිරි දී පුතුන් තුරුලේ හොවා

සිප්සත පොවා සැනසේ ඔවුන්

පුදහරට සේ දරුවන් තනා . . .

ඇය ගීතයේ අවසානයට කියන්නේ ගුණ නැණ බෙලෙන් යුතුව සමාජයට දරුවන් තිළිණ කරනා ඔවුන් බුදු බව ලබන්නට පෙරුම් පුරන ළඳක් සේම වන බවයි.

‘එක පුන් සඳක් ගණඳුරු නසා

නෙක තරු රැසින් නොම ඒ ලෙසා

ගුණ නැණ බෙලෙන් දරුවන් තනා

බෝසත් මවුන් බුදු වෙයි සදා . . .’

නවරත්න ගමගේ ගේ සංගීතයට මේ ගීතය ගායනා කරන්නේ ටී. එම්. ජයරත්න විසින්. මේ හා සමානවම දරුවෙකු සමාජගත කරන්නට කුස තුළට පිවිසි දා පටන් සුබ සිහින මවනා මවකගේ සිතුවිලි අශේන් මෙහෙම අකුරු කර තිබුණා.

‘නේක හැඩ ඇති මිනිසත්කම්

අඳුන ගත්තේ ඔබ දුන් දැක්මෙන්

කිරි සුවඳ මුව අග නොරැඳුණත්

කුස තුළ රැඳි ජීවන සුවඳින්

මා එකලු කළා ඔබ මග බලා සිටියා...’

ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මෙන්ම නෙලූ අධිකාරිගේ හැඟුම්බර ගායනය මාතෘත්වය වෙනුවෙන් උපන් ගෞරවනීය සිතුවිල්ලක් හැම හදවතකටම ජනිත කරන්නට සමත් වෙනවා.

අඹු සැමි ප්‍රේමයේ විස්මිත බැඳීමට ලියූ අපූරු පෙරවදනක් විදියටයි අශේන් ලියපු මේ ගීතය මට දැනුණේ. ඒ හැඟීම් හදවත් ඇතුළේ කිසියම් රිදීමකුත් සමඟ ස්පර්ශ කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය හා විශාරද අමරසිරි පීරිස්ගේ ගායන විලාසය.

ඔබේ සොඳුරු සියුමැලි දෑතින්

මා හිස පිරිමදිනා විට

ගිමන් හරින තොටුපළක් විය

සොඳුරේ ඔබ ලැබ දෙන සිහිලස

 

අතිනත ගත් දා සිට ඉවසීම නොවන්නට

මා පසුකර ගිය හැරවුම් අනන්තය

මනස එකඟ කොට ලොව දකිනට දිරිදුන්

මවගෙන් පසුව ලද හුස්ම පොද නුඹ

අශේන්ගේ මේ පදවැල් බුදු දහමේ එන මාතු භාර්යා සඛී භාර්යා මට මතක් කරල දුන්නා.

ජීවිතයේ කොයි තරම් බාධක, දුක් කම්කටොලු පැමිණියත් විවාහ බැම්මෙන් සවිමත්ව බැඳුණු අඹු සැමි යුවළකගේ ජීවිත අවබෝධය හැමදාමත් ඒ ජීවිත සතුටින් සොම්නසින් තබනවා. නිවෙස තුළ සාමය, සතුට රඳවමින් ස්වාමියාට ඇය ගිමන් හරින තොටුපළක්ම වෙනවා කියලයි අශේන් මේ ගීතයෙන් කියන්නේ.

මේ ගීත එකතුවට අයත් සෑම ගීතයකින්ම සමාජයට ලබා දෙන්නේ කිසියම් වූ ආදර්ශයක්. ප්‍රවීණ ගේය පද රචක මහින්ද දිසානායකයන් රූකාන්ත ගුණතිලකට මෙහෙම ගීතයක් ලියලා තිබුණා.

‘ඔබේ වම් කම්මුලට

යමෙකු දුන්නොත් පහර

නොකිපෙන්න - හරවන්න

දකුණු කම්මුල ඔහුට

ඉවසන්න - ජිවිතය

සැනසුමෙන් ගෙන යන්න’

මේ අයුරින් සමන්ත පෙරේරා, ආචාර්ය වික්ටර් රත්නායක, හිරුනි හංසනී ද සිල්වා, විශාරද ජගත් වික්‍රමසිංහ, රූකාන්ත ගුණතිලක, විශාරද හර්ෂණ දිසානායක, ශාලිත අබේවික්‍රම, උදේශ් මනෝජ්, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී, ලක්ෂ්මන් විජේසේකර, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද නීලා වික්‍රමසිංහ, විශාරද අමරසිරි පීරිස්, විශාරද ජානක වික්‍රමසිංහ, විශාරද නෙලූ අධිකාරි, ටී. එම්. ජයරත්න, සේනානායක වේරලියද්ද ගිමන් හරින තොටුපළ වෙනුවෙන් ගායනයෙන් එක් වී ඇත. ගීත රචනයෙන් අශේන් මංජුල, මාලිනී ජයරත්න, යමුනා මාලිනී පෙරේරා, කුලරත්න ආරියවංශ, මහින්ද දිසානායක, බන්දුල නානායක්කාරවසම්, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ එක් වී ඇති අතර සංගීත නිර්මාණයෙන් මහින්ද බණ්ඩාර, ආචාර්ය වික්ටර් රත්නායක, නවරත්න ගමගේ, ආචාර්ය රෝහණ වීරසිංහ එක් වී ඇත. ගිමන් හරින තොටුපළ සංකල්පය හා නිෂ්පාදනය ලාල් ජයසිංහගෙනි.