නිව්ස් කියන දොස්තර මහත්තයා

-ප්‍රමිත මහානාම
නොවැම්බර් 12, 2020

වෛද්‍ය පීඨයේ උද්ඝෝෂණයට ගිහින් හවස නිව්ස් කියද්දි ඒ රූපරාමුවල මමත් ඉන්නවා

වැඩිපුරම කැමත්තෙන් කරන්නේ නිවේදන වෘත්තිය

හෙතෙම වෛද්‍යවරයෙකි. ප්‍රවෘත්ති නිවේදකයෙකි. මේ ක්ෂේත්‍ර ද්විත්වය ආශ්‍රයෙන් ජනතා සේවයට කැප වුණු වෘත්තිකයෙකි. ඔහු ප්‍රමිත මහානාම නම් වේ. වලස්මුල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙන්ද කොළඹ ආනන්ද විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හැදෑරූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උසස් අධ්‍යාපනය හදාරා වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන අතර හිරු ටීවී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසද සේවය කරයි. එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක වෘත්තීන්හි නිරත වන මෙම අපූරු තරුණයා සමඟ අපි මෙසේ පිළිසඳරක යෙදුණෙමු.

 

වෛද්‍යවරයෙක් කොහොමද නිවේදකයෙක් වෙන්නේ කියන තැනින් මේ කතාව පටන් ගමු?

පුංචි කාලේ ඉඳලාම කියවන්න කැමතියි. ඒ කියවන්න තියෙන උනන්දුව අන්තිමටම නිවේදකයෙක් කියන තැනට මාව ගෙනාවා.

 

ඒ තැනට එන්න පාර හැදෙන්නේ කොහොමද?

පුංචි කාලේ ඉඳලා වෘත්තිමය වශයෙන් නිවේදකයෙක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඉස්කෝලේ යන කාලේ නිවේදන කටයුතු, කථික තරග, විවාද තරග ආදියට සම්බන්ධ වුණා. මගේ ඉස්කෝලේ කොළඹ ආනන්ද විද්‍යාලය. ඒ දේවල් විනෝදාංශ වුණාට ඉගෙනීමට මුල්තැන දීලා වෘත්තිකයෙක් වශයෙන් මොනයම් හෝ ක්ෂේත්‍රයකින් ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වුණේ. වෛද්‍ය වෘත්තියට තමයි ආස කළේ. උසස්පෙළින් පසුව විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණා. වෛද්‍යවරයෙක් නිවේදකයෙක් වෙන්නේ කොහොමද කියලා කිව්වොත් පුංචි කාලේ ඉඳලාම නිවේදකයෙක් තමයි. වෘත්තීය මට්ටමෙන් නොවුණත්. වෘත්තිය මට්ටමේ නිවේදකයෙක් වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් පසුව. මට ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ පාඨමාලාවක් හදාරන්න අවස්ථාව ලැබුණා රූපවාහිනී වැඩසටහන් සහ නිවේදන කලාව සම්බන්ධයෙන්. එහිදී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සහ වැඩසටහන් ඉදිරිපත් කිරීම යන අංශ දෙක ගැනම යම් අවබෝධයක් ලැබුණා. මම ඉගෙන ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ. විශ්වවිද්‍යලයට ඇතුළත් වුණු මුල් වකවානුවේ සිටම වෛද්‍ය පීඨයේ සහ විශ්වවිද්‍යාලයේ නිවේදනය කටයුතුවලට වෘත්තිය මට්ටමෙන් සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. අපේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ. කලා ක්ෂේත්‍රයේ ගොඩක් නම ගිය පිරිසක් හිටියා. ඒක මට ලොකු උදවුවක් වුණා. ඒ අත්දැකීම් වෘත්තිය මට්ටමේ නිවේදකයෙක් වීමේදී ගොඩක් වැදගත් වුණා. ඒ අවස්ථාවන්වලදී ලැබුණු ප්‍රතිචාර රූපවාහිනී නිවේදකයෙක් වෙන්න මඟපෑදුණා. වෘත්තිය මට්ටමේ නිවේදකයෙක් වෙන්න විශ්වවිද්‍යාලය තමයි හේතු වුණේ.

 

වෛද්‍ය ක්ෂේත්‍රය සහ නිවේදන ක්ෂේත්‍රය කියන්නේ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක්.

වෛද්‍ය ක්ෂේත්‍රය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරද්දි මේ ක්ෂේත්‍ර දෙකම ඉතාම වගකීම් සහගත වෘත්තීන් දෙකක් විදිහට මම සලකන්නේ. ඒ දෙකටම අනන්‍ය වුණු වගකීම් තියෙනවා. ඒ දෙකම සමබරව කරගෙන යන්න අවශ්‍යයි. පුරුද්දක් විදිහට වෛද්‍ය ශිෂ්‍යයෙක් කාලේ ඉඳලා මම ප්‍රමුඛතා අනුපිළිවෙළට වැඩ බෙදාගෙන කටයුතු කරන්න පුරුදුවෙලා හිටියා. ඒ පුරුද්දත් එක්ක අද වෙනකොට මේ ක්ෂේත්‍ර දෙකෙන් වැඩ කටයුතු දින චර්යාවෙම කොටස් බවට පත් වෙලා තියෙනවා. හිතලා මතලා කාලසටහනකට අනුව වැඩ කළත් කාලවේලාව කලමනාකරණය කරගන්න පුළුවන්. වෛද්‍ය වෘත්තිය සහ මාධ්‍ය ක්ෂේත්‍රය කියන්නේ වෙනස් වෘත්තිමය ජවනිකා දෙකක්. වෙනස්ම චරිත නිරූපණයන් දෙකක්. නිවේදකයෙක් විදිහට වැඩ කරද්දි මම එතැනත් වෘත්තියක් නම් කරන්නේ ඒ වෘත්තියට අවංකව වැඩ කරනවා නම් ඒ තුළින් මට ආත්ම තෘප්තියක් ලැබෙන්නේ. ඒ වෙලාවට වෛද්‍ය වෘත්තියෙන් මඳක් ඔළුව නිදහස් කරගෙන රූපවාහිනී නිවේදකයාගේ භූමිකාවට මම පණ පොවනවා. සමහර වෙලාවල් තියෙනවා වෛද්‍ය වෘත්තියයි නිවේදන වෘත්තියයි එකට ගැටෙනවා. ඒ හැම වෙලාවකදීම පුළුවන් තරම් ඒ භූමිකා දෙක පටලවා නොගෙන වැඩ කරන්න උත්සාහ කරනවා. වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරද්දි "මම රූපවාහිනී නිවේදකයෙක්" කියන එක ඔළුවට දාගෙන අවශ්‍ය මවා පෑමක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙලාවට මම වෛද්‍යවරයෙක් විතරයි. ඒ භූමිකාවට අවතීර්ණ වෙලා රෝගීන් එක්ක අනෙකුත් වෘත්තිය ආචාරධර්මත් එක්ක මම කටයුතු කරනවා. රෝහලෙන් පිටත යම් ප්‍රසංගයකදී හෝ රූපවාහිනි මැදිරියේදී මම නිවේදකයෙක්.

 

 

මේ වෘත්තීන් දෙකෙන් එකක් තෝරාගන්න ලැබුණොත් ප්‍රමිත තෝරාගන්නේ මොන වෘත්තියද?

වෛද්‍ය වෘත්තිය. හේතුව තමයි මම වෛද්‍යවරයෙක් වෙන්නේ අධික ලෙස විපතට පත් වුණු අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට පිහිට වෙන්න. මාධ්‍ය ක්ෂේත්‍රයෙත් එහෙම උදව් කරන්නඅවස්ථා ලැබෙනවා. නමුත් වෛද්‍යවරයෙක් විදිහට එහෙම උදවු කරන්න මට ලැබෙන අවස්ථා ප්‍රමාණය වැඩියි. විශේෂයෙන් වෘත්තියෙන් ලැබෙන සතුට සහ ආත්ම තෘප්තිය වෛද්‍යවෘත්තියෙන් වැඩියෙන් ලැබෙනවා වැඩියි. මම ඉතා කැමත්තෙන් ආශාවෙන් කරන්නේ මොන වෘත්තියද ඇහුවොත් ඒ නිවේදනය.

 

නිවේදන ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොච්චර කල්ද?

දැන් අවුරුදු එකොළහක්

 

ඒ අවුරුදු එකොළහ දෙස ආපසු හැරිලා බැලුවොත්?

නිවේදන කලාවට ආව නිසා මගේ ජීවිතේ හුඟක් දේවල් වෙනස් වුණා කියලා හිතෙනවා. දැන හඳුනා ගන්න ලැබුණු උදවිය, මුහුණදෙන්න ලැබුණු අත්දැකීම් හැමදේම එක්ක මට වාසනාවක් තිබුණා කියලා හිතෙනවා වෘත්තිමය නිවේදකයෙක් ලෙස එකොළහක් අඛණ්ඩව වැඩ කරන්න ලැබීම. ඒ ගමන සුමටව සරලව ආපු ගමනක් නෙමෙයි. සෑහෙන්න අසීරුතා මැද්දේ ආපු ගමනක්. එහෙම වුණත් අද වෙනකොට ඉන්න තැන ගැන සතුටුයි.

 

 

ප්‍රමිතට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මතක හිටින සතුටු හිතෙන ප්‍රතිචාර ලැබෙනවා. ලොකු කුඩා වැඩිහිටි භේදයකින් තොරව ඒ ආදරය මට ලැබෙනවා. නිවේදන ක්ෂේත්‍රයට එන්න බලාගෙන ඉන්න අය කියලා තියෙනවා "අපි ඔයාව අනුගමනය කරනවා, ඔයාගෙන් සෑහෙන්න දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා" කියලා. ඒ දේවල් අහද්දි අවංකවම සතුටු හිතෙනවා.

 

මේ ක්ෂේත්‍ර දෙකෙහිම නිරත වනවිට සිදුවුණු ප්‍රමිතට අමතක නොවන සිදුවීම් ගැන මතක් කළොත්?

විශ්වවිද්‍යාල කාලයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක් විදිහට අධ්‍යාපනය ලබන කාලයේදී අපිට අපේ දේශපාලන මතය කුමක් වුවත් උද්ඝෝෂණවලට සහභාගී වෙන්න සිදුවුණා. මමත් දවල්ට ඒ උද්ඝෝෂණවලට සහභාගි වෙලා තියෙනවා. පසුව රෑට ප්‍රවෘත්ති කියන්න ආවාම ඒ පුවත මටම කියන්න වෙලා සමහර වෙලාවට ඒ උද්ඝෝෂණය අදාළ පුවතේ රූපරාමුවල මම ඉන්න අවස්ථා තිබිලා තියෙනවා. එවැනි අවස්ථාවල අපහසුතාවයට පත්වෙලා තියෙනවා. වෛද්‍යවරයෙක් ලෙස නම් වෘත්තිය සමිතිවලින් කරන වැඩ වර්ජනවලදි සමස්ත වෛද්‍යවරු නියෝජනය කරමින් ඒ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වනවා. නමුත් මම රෑට ඇවිත් වෙනස්ම භූමිකාවක නියැළෙමින් ඒ වැඩ වර්ජනයට අදාළ පුවත කියන අවස්ථා තියෙනවා. ඒක මම හිතන්නේ අමතක නොවන හරිම අමුත් අත්දැකීමක්.

 

ප්‍රමිත දිගටම මේ ක්ෂේත්‍ර දෙකේම නියැළෙන්න බලාපොරොත්තු වෙනවාද?

වසර කීපයකට පෙර නම් බලාපොරොත්තුව තිබුණේ වෛද්‍යවරයෙක් ලෙස ඉදිරියටයන්න විතරයි. නිවේදන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න මොනයම් හෝ විදිහකින් අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ වෛද්‍යක්ෂේත්‍රයේ තියෙන අධික රාජකාරි බහුලකමත් එක්ක. නමුත් මෑතකාලීනව මම තීරණය කළා මේ ක්ෂේත්‍ර දෙකම පුළුවන් තරම් කාලයක් පුළුවන් විදිහහට නියැළෙන්න ඕනේ කියලා. මොකද මම මේවසර 11ක් පුරා වෘත්තිමය නිවේදකයෙක් ලෙස සේවය කරද්දි මට වැටහුණු දෙයක් තමයි මේ ක්ෂේත්‍ර දෙකේම නිරත වන විට එක් ක්ෂේත්‍රයක සිට තවත් ක්ෂේත්‍රයකට වැඩක් ගන්න පුළුවන් කියන කාරණාව. මමලබාදෙන සේවාව ගොඩක් විදිමත්ව හිතටදැනෙන විදිහට කෙනෙකුට ලබා දෙන්න පුළුවන් ක්ෂේත්‍ර දෙකේම තියෙන දැනුමෙන්.ඒ නිසා මම හිතනවා මම නියෝජනය කරන ක්ෂේත්‍ර දෙකේම නියැළෙන පිරිසත් ලංකාවේ අඩු නිසා මේ ක්ෂේත්‍ර දෙකම කරගෙන යන්න ඕනේ කියලා මම හිතනවා.