HONEST THIEF

නොවැම්බර් 12, 2020

අනුන්ට අයිති වස්‌තුවක්‌, අයිතිකරුට නොදන්වා හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම හොරකම් කිරීම නම් වේ. දණ්‌ඩ නීති සංග්‍රහයට අනුව යම් කිසිවකු සන්තකයේ ඇති යම් චංචල වස්‌තුවක්‌ ඔහුගේ අනුදැනීම නැතිව බැහැර කිරීම හොරකමයි. හොරකම් කරන්නා හොරා නම් වේ. සමාජයේ විවිධ ආකාරයේ හොරු සිටිති. අතීතයේ රජ දවසේ ද හොරු සිටියහ. බෝසතාණන් වහන්සේගේ පෙර භවයන් ගෙන එන ජාතක කතා වස්‌තුවලද හොරුන් ගැන කියවේ. බුදුන්ගේ කාලයේදී පවා හොරුන්ගෙන් අඩුවක්‌ නොවීය. අරාබි නිසොල්ලාසයේ එන අලි බබා සහ හොරු හතළිහ හොරු කණ්ඩායමක් ගැන කියවෙන ලොවපුරා ජනප්‍රිය වූ කතාපුවතකි. මේ අනුව කාලයක් වෙන් කළ නොහැකිව හොරා යන නාමය හැමතැනම කියවෙන්නකි. හොරුන් නැත්තේ කොහෙද? ඒ අතර අවංක හොරුත් සිටීද?

 

ටොම් කාටර් වසර ගණනාවක් තිස්සේ බොස්ටන් වටා සැරිසැරූ අති දක්ෂ හොරෙකි. ඔහු වඩාත් දස්කම් දක්වන්නේ බැංකුවලට ඇතුළු වී මුදල් විශාල ප්‍රමාණයක් රැගෙන කාටත් නොදැනීම පිටතට පැමිණීමටය. කාලයකට පසු ටොම්ගේ ජීවිතය වෙනස්වීමට පටන් ගන්නේ ඇනී නම් මනෝවෛද්‍ය ශිෂ්‍යාව හමු වීමත් සමඟිනි.

ඇය සමඟ වූ ටොම්ගේ සබඳකම කෙතරම් ප්‍රබල දැයි කිවහොත් තමාගේ හොරකම් කිරීමේ ජීවිතයට නැවතීමේ තිත තබා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම වෙනුවෙන් තමා මෙතක් කළ වරද පිළිගෙන හොරකම් කළ සියලු මුදල් ආපසු ලබා දී එෆ්බීඅයි වෙත භාර වීමට තීරණය කරයි. මෙලෙස තම කළ වරද කලින් පිළිගෙන ඉදිරිපත් වන්නන්හට කෙටි දඬුවම් කාලයක් ලැබී නිදහස්ව සාමකාමී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා වේ. ටොම්ගේ බලාපොරොත්තුවද එලෙස ඇනී සමඟ සාර්ථක ජීවිතයක් ගත කිරීමයි.

නමුත් එෆ්බීඅයි විශාල ගැටලුවකය. මෙතෙක් ටොම් වරදකරුවකු බවට සාක්ෂි හෝ සැක කටයුතු තොරතුරක් පවා නොමැත. ඇත්ත වශයෙන්ම ටොම් හොරෙකු බව පිළිගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මේ හේතුවෙන් ඔවුන් ටොම්හට තමා හොරෙකු බව ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා දේ.

එනම් රහසිගත තත්ත්වයක් යටතේ ප්‍රවාහනය කරන මුදල් හොරකම් කර පෙන්වීමට ටොම්හට අවස්ථාව ලබා දේ. මෙම කටයුත්ත භාර වී තිබෙන්නේ බේකර් සහ නිවෙන්ස් නම් නිලධාරින් දෙදෙනා හටය. ඔවුන්ගේ අත වෙනම සැලසුමකි. එනම් ටොම් ඝාතනය කර මුදල් ඔවුන් සතුකර ගැනීමයි. පළමුවර ටොම් වරද පිළිගෙන අවසන්ය. දෙවැනිවර ලද මෙම අවස්ථාවට ඔහු මුහුණ දෙන්නේ කෙසේද? Honest Thief  චිත්‍රපටය ගෙන එන්නේ එම කතා පුවතයි.

පසුගිය ඔක්තෝබර් 16 වැනිදා තිරගත වීම ඇරඹි අමෙරිකානු ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Honest Thief  මාර්ක් විලියම්ස්ගේ අධ්‍යක්ෂණයකි. ලියම් නීසන්, කේට් වෝල්ෂ්, ජේ කර්ට්නි, ජෙෆ්‍රී ඩොනොවන්, ඇන්තනි රාමන්ස්, රොබට් පැට්‍රික් ඇතුළු පිරිසක් මෙහි චරිත මවති. මෙම චිත්‍රපටය මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලැබීමට සමත්වී ඇත. ලියම් නීසන් මෙහි කතාව පිළිබඳ නොව ක්‍රියාදාම පිළිබඳ පමණක් උනන්දු වී ඇති බව විචාරක අදහසයි. වැරයිටි සඟරාවේ විචාරක ඕවන් ග්ලිබර්මන් පවසා සිටින්නේ මෙය අසාර්ථක චිත්‍රපටයක් නොවන බවයි. එහි අලුත් යමක් නොමැති වුවද ක්‍රියාදාම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන දේ ඇතුළත් වී ඇති බවයි. අයිඑම්ඩීබී දර්ශකයේ එයට 6.1/10ක ලකුණු ප්‍රමාණයක් හිමි වී ඇත.