තමාව අමතක වූ මිනිසකුගේ කතාව

විසංගමනය
නොවැම්බර් 12, 2020

සහාය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදන කළමනාකරුවෙක්, නිෂ්පාදන සම්බන්ධීකාරකවරයෙක් ලෙස ටෙලි, සිනමා නිර්මාණ කිහිපයකට දායකත්වය සැපයූ රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ සිහිනපුරය ටෙලි සිතුවම සමඟිනි. අනතුරුව ටෙලි නාට්‍ය ගණනාවක් ඔහු නිර්මාණය කළේය. විසංගමනය ඔහු අධ්‍යක්ෂණය කළ පළමු සිනමාපටයයි. එහි සියලු වැඩ කටයුතු නිමා වී ඇති අතර තිරගත කිරීමට සූදානමිනි. වෙනස්ම කතා පුවතකින් සමන්විත එහි තිරරචනය උපාලි ගම්ලත්ගෙනි.

රන්ජන්, ඔබ සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ අහම්බෙන් නේද?

ඔව්. ඒක මම බලාපොරොත්තුවෙන් හිටපු අවස්ථාවක් නෙමෙයි. විසංගමනය නිෂ්පාදනය කළේ මහේෂ් විජේරත්න මහත්මයා. ඔහුට අවශ්‍ය වුණා ඔහුගේ සිතේ තියෙන කතා පුවතකට අනුව සිනමාපටයක් නිර්මාණය කරන්න. හැබැයි ඒ අවස්ථාව පළමුව මට නෙවෙයි ලැබුණේ. ඒ සඳහා වෙනත් නිර්මාණකරුවෙකු තෝරා ගෙන හිටියත් ඔහු කැමැති වුණේ නෑ මහේෂ් මහත්මයාගේ කථාව අනුව චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මම ඒ මොහොතේ හිටියේ මහේෂ් මහත්මයාගේ ව්‍යාපාරයක සම්බන්ධ වාර්තා වැඩසටහනක් කරමින්. මම ඒකට වෙන මහන්සිය සහ කැපවීම දැකලා මට කිව්වා සිනමාපටයකට ගැළපෙන ප්ලොට් එකක් තියෙනවා නම් එවන්න කියලා. මම ගම්ලත් අයියට කියලා කතා සාරාංශයක් හදලා යැව්වා. ඒකට ඔහු කැමති වුණා . ඔහොම තමයි මට විසංගමනය නිර්මාණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ.

මේ චිත්‍රපටය මොන තේමාවක් අනුව ද නිර්මාණය වූයේ?

වර්තමානයේ ඉන්නේ පුදුමාකාර විදියට කාර්යබහුල වුණු පුද්ගලයින්. ඔවුන් බහුතරයකගේ අරමුණ මුදල් හම්බ කිරීම. මේ තත්ත්වය මත අනෙක් සියලු කාරණා දෙවැනි තැනට දානවා. සමහර අයට තමන්ගේ පවුල තමන්ගේ අම්මා තාත්තාවත් මතක නෑ සල්ලි හම්බ කරන්න ගියාම. කෙටියෙන්ම කිව්වොත් මේ කාර්යබහුලකමත් එක්ක තමාට තමාවම අමතක වෙනවා. අන්තිමේ තමයි වැටහෙන්නේ මුදල් නිසා මානුෂීය සබඳකම් කොච්චර දුරට අමතක කරලද කියලා. මේක තමා චිත්‍රපටයේ කතා තේමාව.

චිත්‍රපටයකින් සමාජයක් හදන්න පුළුවන්ද?

සමස්තයක් යහමගට යොමු කරන්න චිත්‍රපටයකින් බැහැ. නමුත් යම් තාක් දුරකට මිනිස් සිතට පණිවුඩයක් දෙන්නට චිත්‍රපටයකින් පුළුවන්. අඩුම තරමේ ආදර්ශවත් චිත්‍රපටයක් බලද්දී ඒ ඉන්න චරිත දැකලා කෙනෙකුට හිතන්න පුළුවන් "අනේ මේ ඉන්නේ මම නේද" කියලා. එතැන් පටන් ඔවුනගේ මනසේ වැඩකරනවා "මමත් කොච්චර වැරදි දේවල් ටිකක් ද මෙච්චර කල් කරලා තියෙන්නෙ" කියලා. සියයට සියයක් නැති වුණත් යම්තාක් දුරකට ඔහුගේ හෝ ඇයගේ වැරදි අවම වෙන්න පුළුවන්. මම කියන්නේ නෑ චිත්‍රපට සියල්ල හදන්න ඕනේ ආදර්ශවත් අයුරින් කියලා. නමුත් එහෙම චිත්‍රපටවලට ලෝක සිනමාවේ වුණත් ඕනෑ තරම් උදාහරණ තියෙනවා.

නිර්මාණකරුවෙකු, විදිහට ඔබ ක්ෂේත්‍රයට කොපමණ කල්ද?

වසර තිහක් විතර.

මේ කාලය ඇතුළත ඔබට ප්‍රමුඛ පෙළේ නිර්මාණකරුවන් කිහිපදෙනෙකු යටතේ වැඩ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබුණා?

ඔව්, ඒක මම ලද භාග්‍යයක්. ලංකාවේ නිර්මාණකරුවන් අතරින් සියයට අනුවක පිරිසක් එක්ක මම වැඩ කරල තියනවා. ප්‍රසන්න විතානගේ, බූඩි කීර්තිසේන, බෙනට් රත්නායක, සනත් ගුණතිලක, නාලන් මෙන්ඩිස්, සෙනේෂ් බණ්ඩාර දිසානායක, සංජය නිර්මාල්, දී.ග. සෝමපාල, රෙජිනෝල්ඩ් ජයමාන්න, සුනෙත් මාලිංග ලොකුහේවා ඒ අතරි

න් කිහිපදෙනෙක්. මම හිතනවා හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ කියලා. මගේ මොනවා හරි සුවිශේෂත්වයක් ඇතිනේ,ඒකනෙ ඔවුන් මට නිතරම වැඩවලට කතා කරන්නේ.

ඔබ අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය පෙළ මතක් කළොත්?

සිහිනපුරය තමයි අංක එක. සුජාතා සුරවිමන, රෑන, පහේ කල්ලිය, සේයා, අරුමවන්ති, රතු පිච්ච වගේ ටෙලි නාට්‍යය මම අධ්‍යක්ෂණය කළා.

විසංගමනයේ රඟපාන නළු නිළියෝ කවුද?

අශාන් ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ, සමනලී ෆොන්සේකා, ඩග්ලස් රණසිංහ, හයිසින්ත් විජේරත්න, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ, චරිත් අබේසිංහ, චින්තක කුලතුංග, ඉෂාන් මෙන්ඩිස්, ගාමිණී ජයලත්, බන්දුල සූරියබණ්ඩාර, සුජීව කරුණාරත්න, ජයතිස්ස අතුලසිරි, වගේ අය තමයි විසංගමනයේ රඟපාන්නේ.

කවදා වගේද චිත්‍රපටය තිරගත කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මම හිතාගෙන ඉන්නවා ලබන අවුරුද්දේ මාර්තු වලදීවත් චිත්‍රපටය රිලීස් කරන්න.

විසංගමනය සිනමාපටය සාර්ථක කරගැනීමට තිරය පිටුපස සිට සහාය වූ පිරිස ගැන මතක් කරන්න දැන් වෙලාව?

කැමරාකරණය තිසුල දීප තඹවිට, සංගීතය සමන්ත පෙරේරා, සියලු පසු නිෂ්පාදන කටයුතු, වර්ණ සංයෝජනය ප්‍රවීන් ජයරත්න, කැමරා උපකරණ සැපයීම සහ තාක්ෂණික උපදෙස් රොහාන් වැලිවිට, කලා අධ්‍යක්ෂණය චන්දන ප්‍රියංකර, සහය අධ්‍යක්ෂණය තරංග නිරිඇල්ල, අංග රචනය ප්‍රියංක රත්නායක, නිෂ්පාදන සම්බන්ධීකරණය ප්‍රසිත් හසන්ක, නිෂ්පාදන කළමනාකරණය තිස්ස ලියනාරච්චි සහ සුජීව කරුණාරත්න. සංස්කරණය තිසර ධනංජය, ශබ්ද පරිපාලනය ශෂීන් ගිම්හාන් සහ සංස්කරණය සහය තනුෂ්ක කහදවල.