වැඩි බර අඩු කිරීම

නොවැම්බර් 12, 2020

පසුගිය කාලයේ බොලිවුඩයේ චිත්‍රපට චරිත වෙනුවෙන් තම සිරුරේ බර වෙනස් කළ නළුවන් කිහිප දෙනෙකු ගැනම අසන්න ලැබුණා. ඒ අතරින් අමීර් ඛාන් 'ධන්ගාල්' චිත්‍රපටය වෙනුවෙනුත් සල්මන් ඛාන් 'සුල්තාන්' චිත්‍රපටය වෙනුවෙනුත් තම ශරීර බර වැඩි කර ගැනීමේ අභියෝගය ජය ගත්තා. කන්ගනා රනාවුත් පසුගිය කාලයේ තම සිරුරේ බර වැඩිකර ගත්තේ ඒ. එල් විජේ විසින් අධ්‍යක්ෂණය කළ 'තලෙයිවි' චිත්‍රපටය වෙනුවෙන්. අභාවප්‍රාප්ත, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ චරිතාපදානය ගෙන එන 'තලෙයිවි' චිත්‍රපටයේ ජයලලිතා චරිතය වෙනුවෙන් කන්ගනාහට සිරුරේ බර කිලෝග්‍රෑම් 20ක් වැඩිකර ගැනීමට සිදු වුණා. කන්ගනා ට්විටර් වෙත සටහනක් තබමින් පවසා සිටින්නේ මේ වන විට චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වී ඇති බැවින් තමා පෙර සිටි තත්ත්වයට ගමන් කරමින් සිටින බවයි. "මම තලෙයිවි සඳහා කිලෝ 20 ක් වැඩිකර ගත්තා. දැන් අපි එය සම්පූර්ණ කිරීමට ඉතා ආසන්න බැවින් මගේ කලින් බර ප්‍රමාණය, ක්‍රියාශීලී බව හා නම්‍යශීලීභාවය වෙත ආපසු යා යුතුයි. ඒ නිසා වේලාසනින් අවදි වී ඇවිදින්න යනවා. මා සමඟ සිටින්නේ කවුද? " යනුවෙන් ඇය සටහන් කළා. කන්ගනා යනු අභියෝගාත්මක චරිත භාර ගැනීම අතින් පෙරමුණේ සිටින බොලිවුඩ් නිළියක්. 2011 වසරේදී 'තනූ වෙඩ්ස් මනූ' චිත්‍රපටයේ රූගත කිරීමේදී සිදුවූ බයිසිකල් අනතුරක් හේතුවෙන් කළ සැත්කමකදී ඇයගේ පාදයට මැහුම් 52ක් යෙදීමට සිදු වී ඇති අතර 2019 වසරේදී 'මනිකර්ණිකා'හි රූගත කිරීම් අතර ලෝහ කඩුවක් වැදීම හේතුවෙන් නළලට මැහුම් 15ක් දැමීමට සිදුවිණි.