අලුත් අත්දැකීම

නොවැම්බර් 12, 2020

කමල් හසන්ගේ වැඩිමහල් දියණිය වන ශ්‍රැති හසන් දෙමළ හා තෙළිඟු සිනමා කර්මාන්තයන්හි සාර්ථක චිත්‍රපට කිහිපයක් සමඟ දකුණු ඉන්දියානු සිනමාවේ සුවිශේෂී ස්ථානයක් ලබාගෙන තිබේ. ඇය බොලිවුඩයට පිවිසියේ 2009 දී සොහාම් ෂා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ලක්' හින්දි චිත්‍රපටය සමඟිනි. මේ වන විට ඇයගේ අවසන් හින්දි චිත්‍රපටය වූයේ තිග්මන්ෂු ධුලියා අධ්‍යක්ෂණය කළ 'යාරා' ය. කොරෝනා මර්දනය ලිහිල් කිරීමත් සමඟ ශ්‍රැති ද නැවත දර්ශනතලයට පැමිණ සිටී. "එය නියත වශයෙන්ම අලුත් අත්දැකීමක්". දර්ශනතලයක විශාල පිරිසක් සමඟ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම වෙනදා නොවූ වෙනස් අත්දැකීමක් බව ඇය පවසන්නීය. එමෙන්ම මාස හයකට ආසන්න කාලයක් තනිවම සිටි කාලයේ විශාල ඉගෙනීමේ අත්දැකීමක් ලද බව ද පවසන්නීය. ගෝවිචන්ද් මාලිනේනි විසින් අධ්‍යක්ෂණය කරන තෙළිඟු චිත්‍රපටයක් වන 'ක්‍රැක්' හි රූගත කිරීම් සඳහා ශ්‍රැති මේ වන විට හයිද්‍රාබාද්හි කාර්යබහුල වී සිටී. මීට පෙර ඇය චෙන්නායි හිදී විජේ සේතුපති සමඟ 'ලාබම්' නම් දෙමළ චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරත වූවා ය.