නෑනාලා නිසා ප්‍රවීණයන් එක්කත් මට තර්ක කරන්න වුණා

හිරුණි රණසිංහ
නොවැම්බර් 12, 2020

මේ දිනවල ජාතික නාළිකාවේ විකාශය වන නෑනාලා ටෙලි සිතුවමේ නෑනා කෙනෙකි මේ. ඒ නෑනලා අතරින් මේ නෑනා විශේෂ වන්නේ නෑනාලා ටෙලි සිතුවමට ඇය නිෂ්පාදිකාවක් විදියට ද දායකත්වය දැක්වීම හේතුවෙනි. නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙසින් නිර්මාණ කිහිපයකින්ම ඔබ හමුවට ආ ඇය නමින් හිරුණි රණසිංහ වන්නීය. නාලන් මෙන්ඩිස්ගේ නෑනාලා ටෙලි සිතුවම සමඟින් ඇය නිෂ්පාදිකාවක් ලෙසටද කලඑළියට ආවාය. මේ භූමිකා ද්විත්වය හේතුවෙන් කාර්යබහුල වී සිටින හිරුණි, කලා කටයුතුවල නියැළෙන අතරතුර දී අපිත් එක්ක මෙහෙම පුංචි කතා බහකට එකතු විය.

හිරුණි, ඔබ නිෂ්පාදිකාවක් බවට දැන් පත් වෙලා. දැන් ටිකක් වැඩ වැඩි ඇති නේද?

ඒක නම් එහෙම තමයි. මම නිෂ්පාදිකාවක් වුණේ අහම්බෙන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම රඟපාන්න තියෙන ආසාවට ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළා කියලා. ඇත්තටම මම ආවේ නෑනාලා ටෙලි නාට්‍ය රඟපාන්න. ඔය අතරතුරදී මට නිෂ්පාදිකාවක් විදියට එයට දායක වන්නට ලැබුණා. බුද්ධික ලොකුකැටිය තමයි අනික් නිෂ්පාදකවරයා. ඔහුත් එක්ක එකතු වෙලා නෑනාලා ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් ටික කරගෙන යන්නට නිෂ්පාදිකාවක් විදියට මට දායක වන්නට ලැබුණා. ඔන්න ඔහොමයි මම නිෂ්පාදනයට යොමු වුණේ.

නිෂ්පාදන භූමිකාව ටිකක් සංකීර්ණයි?

ඒ ගැන නම් කියන්න වචන නෑ. මට තාම අවුරුදු විසි හතරයි. මේ වගේ වයසකදී නිෂ්පාදිකාවක් වුණා කියලා මට හිතන කොට පුදුමත් හිතෙනවා. ඒ වගේම මේක හරිම රිස්ක් එකක්. ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරද්දි අනිවාර්යනේම ප්‍රශ්න එනවාමයි. මටත් එවැනි වූ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. මට වඩා ප්‍රවීණයොත් එක්ක තර්ක කිරීම් කළා. මොනවා වුණත් ඒ හැම දෙයක්ම කළේ නිර්මාණය සාර්ථකත්වය උදෙසා පමණයි.

දැන් ඔබ දිගින් දිගටම නිෂ්පාදිකාවක් විදියට කටයුතු කරන්න ද ලැහැස්ති වෙන්නේ?

තවම ඒ ගැන හිතලා නැහැ. මට ඕනේ හොඳ රංගන ශිල්පිනියක්. වෙන්න ඒ වෙනුවෙන් තමයි මම මහන්සි වෙන්නේ. ඒ ඉන්න ගමන් මේ අතුරු කාර්යයක් විදිහට තමයි නිෂ්පාදනයට යොමු වුණේ. සමහරවිට මම ඊළඟ නිෂ්පාදනයටත් යොමු වෙන්න පුළුවන්. නැත්නම් නිළියක් විදිහට සුපුරුදු පරිදි කටයුතු කරන්නත් ඉඩ තියෙනවා.

නැනාලා නාට්‍යයේ ඔබේ චරිතය මෙතෙක් ඔබ කළ චරිත අතුරින් වෙනස්ම එකක්?

ඔව්. චරිතයේ නම සුභානි සුභානි කියන්නේ වතුකරේ හැදුණු වැඩුණු කෙනෙක්. ඇගේ තාත්තා හැටේ වත්තේ පරණ බඩු එකතු කරන බෙනට්. සුබානිගේ ස්වාමිපුරුෂයාගේ පවුල් පසුබිම සුභානි ගෙ පවුල් පසුබිමට වඩා හාත්පසින් ම වෙනස්. වතුකරයේ ඉඳලා කොළඹ ඇවිල්ලා ඒ ජීවිතය දරා ගන්න බැරි වෙනවා සුභානිට. ඒක ටිකක් වෙනස්ම චරිතයක් තමයි

නිෂ්පාදන ගැටලු විසඳන ගමන් සුභානිගෙ චරිතය හොඳට කරන්න පුළුවන් වුණා කියලා ඔබට විශ්වාසද?

මෙහෙමයි. මම මොන චරිතය රඟපාන්න කැමරාව ඉදිරියට ගියත් මගේ පෞද්ගලික ජීවිතය එහෙන් පිටින්ම අමතක කරනවා. නිෂ්පාදිකාවක් විදියට මාව පෙනෙන්නේ නැති වුණාට නිළියක් විදියට ප්‍රේක්ෂකයන්ට මාව පෙනෙනවානෙ. හිතේ ප්‍රශ්න ඔළුවට අරගෙන ඒවා මගේ මුහුණෙන් පෙනෙන්න ගත්තොත් නිළියක් විදියට මම අසාර්ථක වෙනවා. ඒ නිසා නෑනලා ටෙලි නාට්‍යය විතරක් නෙමෙයි මොන ටෙලි නාට්‍යයක මම රඟපාන්න ගියත් සියලුම ප්‍රශ්න අමතක කරලා දාල තමයි කැමරාව ඉදිරියට එන්නේ.

නිෂ්පාදිකාවක් විදියට නෑනාලා නාට්‍යයට සම්මානයක් බලාපොරොත්තු වෙනවාද?

අනේ එහෙම එකක් නැහැ. මට ඕන වුණේ හොඳ නාට්‍යයකට දායක වෙන්න. සම්මාන ලැබුණෙත් ඉතින් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ.

නිළියක් විදිහට ඔබ කැමති මොන වගේ චරිත රඟපාන්න ද?

මට ඕනේ ඒකාකාරී නොවන විවිධ චරිත රඟපාන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ගුරුවරියකගේ චරිතයක් මම නාට්‍යයක කළොත් මම කැමැති නෑ දිගින් දිගටම ගුරුවරියන්ගේ චරිත කරන්න. ඒ වගේ එකිනෙකට වෙනස් චරිත කළාම තමයි නිළියක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්.

රඟපාන්න ලැබෙන ආරාධනා ඔබ ප්‍රතික්ෂේප කරල තියෙනවද?

ඔව්. කිහිප අවස්ථාවකදීම මම ප්‍රතික්ෂේප කළා මට ලැබුණු චරිත. එහෙම කරලා තියෙන්නේ මට ඒ චරිතය ගැළපෙන්නෙ නැති නිසාවත්, මට ඒක රඟපාගන්න බැරි වෙයි කියල හිතුණු නිසාවත් නෙවෙයි. යම් යම් ප්‍රඩක්ෂන් ගැටලු නිසා මම ඒවාට ගියේ නැහැ. සමහර අය කතා කරන්නේ චරිතයත් දෙන්න බලාගෙනම නෙමෙයි. එක එක අදහස් හිතේ තියාගෙන තමයි ඔවුන් අපිට රඟපාන්න ආරාධනා කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවන්වල දී මම ඒවාට යන්නේ නැහැ.

නෑනාලා ටෙලි සිතුවමට අමතරව ඔබ රඟපාන ටෙලි නාට්‍ය මොනවද මේ දවස් වල විකාශය වන්නේ?

අග්නි පියාපත්, අහස් මාලිගා, පුළිඟු.

නිශ්ශංක විජේරත්න