මොන ගෝලයාද කැමති තමන්ගේ ගුරුවරයා ගුටි කනවට...

නව පරපුරේ සටන් අධ්‍යක්ෂ ඔසඳ සමන් බණ්ඩාර
නොවැම්බර් 12, 2020

 

ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මධ්‍යයේ ධාරණි ටෙලි සිතුවම දෙරණ නාලිකාවේ විකාශය වෙනවා. එය සාර්ථක කරගැනීමට තිරය පිටුපස සිට වෙහෙසනෙ තැනැත්තෙකු අපි මෙහෙම අද කැඳවාගෙන ආවා. ඔහු වරින් වර තිරය ඉදිරියට එනවා ඔබ දැක ඇති. තවත් අන්දමින් කිව්වොත් ඔහු ධරණි නාට්‍යයේ චරිතයක් ද නිරූපණය කරනවා. ඔසඳ සමන් බණ්ඩාර තමයි ඔහුගේ නම. ධරණි ටෙලි සිතුවමේ සටන් අධ්‍යක්ෂණය‍යි ඔහු තිරය පිටුපස සිට කරන කාර්යය. ධරණි ටෙලි නාට්‍යය නරඹන ඔබ දකින ඒ සියලුම සටන් ජවනිකා අධ්‍යක්ෂණය කරනු ලබන්නේ මේ ඔසඳ. ඒ වගේම ධරණි ප්‍රධාන චරිතය වන තරුමිණිගේ පියා හැටියටයි ඔහු රංගනයෙන් දායක වන්නේ. සටන් අධ්‍යක්ෂවරයකු විදිහට දිගු ගමනක් යන්න අපේක්ෂා කරන ඔසඳගේ තොරතුරු දැන ගන්න ඔබත් කැමැති ඇති. ඒ බව දන්නා අප ඔහු මෙවර සරසවියට ආරාධනා කළා.

ඔසද, ඔබේ නම සටන් අධ්‍යක්වරයා කියන අංශය යටතේ නිර්මාණ කිහිපයකම නාමාවලියේ අපි දුටුවා. කොහොමද ඔබ ඒ සටන් අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ?

සටන් කලාව කෙරෙහි ලැදියාවක් තිබුණු නිසා මම වූෂු ඇතුළු සටන් ක්‍රම කිහිපයක්ම හැදෑරුවා. ටෙලි නාට්‍ය හෝ සිනමාවට එනවා කියන අදහසින් නෙමේ එහෙම කළේ, හුදෙක්ම මගේ හිතේ තිබුණු කැමැත්ත නිසායි ඔය හැදෑරීම් කරනු ලැබුවේ. ඔය අතරතුර මට හමු වෙනවා චරිත් කොතලාවල කියන පුද්ගලයාව. ඔහු තමයි වර්තමාන දෙරණ නාළිකාවේ නාට්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයා. ඔහුගේ මාර්ගයෙන් දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා හඳුනා ගන්න ලැබුණා. මේ දෙදෙනාගේ ම දැන හැඳුනුම්කම මත දෙරණ නාළිකාවේ ගිනි අවි සහ ගිනි කෙළි කියන එවකට විකාශය වූ නාට්‍යයේ සටන් අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාව ලැබුණා. මම පුළුවන් උපරිම සාධාරණයක් ඒ නිර්මාණය වෙනුවෙන් කළා. මට හිතුණා මම ඒ නාට්‍ය තුළින් දක්වපු ශිල්ප ඔවුනගේ සිත් ගත්තා කියල. ඒ නිසා මට දිගින් දිගටම දෙරණ නිර්මාණවලට සටන් අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න ලැබුණා. ගිනි අවි සහ කෙළි ගිනිකෙළි සිට ධරණි දක්වා මම දෙරණ නාලිකාවත් එක්ක ඉන්නවා.

ඔබ මෙතෙක් කළ නිර්මාණ අතරින් සටන් අධ්‍යක්ෂවරයා විදිහට වඩාත්ම තෘප්තියක් ලැබුවේ මොන නිර්මාණය තුළින් ද?

එහෙම එකක් කියලා කියන්න බැහැ. මම බාර ගන්නේ මොන නිර්මාණයද, මම ඒ සඳහා උපරිම සාධාරණයක් ඉටු කරනවා. හැබැයි මේ ඊයේ පෙරේදා වෙච්ච සිද්ධියක් නිසා මට එක සටන් ජවනිකාවක් හොඳටම මතකයේ තියෙනවා. කිව්වට විශ්වාස කරන්න ඒ සටන් ජවනිකාව මිලියන දෙකක් ප්‍රේක්ෂකයෝ යූ ටියුබ් හරහා නරඹල තියෙනවා. ඒක මම දෙවෙනි ඉනිම වෙනුවෙන් නිර්මාණය කළ සටන් ජවනිකාවක්. ඒකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක සටන් අධ්‍යක්ෂක වරයෙක් විදිහට මම ලොකු සතුටක් ලැබුවා.

ඔබ සටන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට සිනමාපට කිහිපයකටත් දායකත්වය සැපයුවා නේද?

අයිස්ක්‍රීම්, දේදුනු ආකාසේ, රෂ්, යූ ටර්න්,

ගිරිවැසිපුර, නයිට් රයිඩර් වැනි චිත්‍රපට කිහිපයකටම සටන් අධ්‍යක්ෂණයෙන් දායක වන්න වාසනාව මට උදවු වුණා.

සිනමාවෙද, ටෙලි නාට්‍යය කලාවේද සටන් අධ්‍යක්ෂණය කරද්දී වඩා වෙහෙස වන්න ඕන?

කතා දෙකක් නෑ සිනමාවේ. මොකද මම එහෙම කියන්නේ ටෙලි නාට්‍යයක් දකින තිරය වගේ නෙමේ චිත්‍රපටයක් දකින තිරය. සිනමාවේ නළු නිළියන් අති දැවැන්ත තිරයකයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා අති සූක්ෂම අන්දමින් සටන් අධ්‍යක්ෂණය කරන්න ඕනේ. ඩීටේල්ස් හොඳට පේනවානේ. ප්‍රේක්ෂකයන්ට සටනක අත්දැකීම හොඳාකාරවම දෙන්න නිසා සිනමාවේදී වෙනමම වෙහෙසක් ගන්න ඕනි. ටෙලි නාට්‍යවලදි මහන්සි නොවනවා කියනවා නෙමේ මම ඒකෙන් අදහස් කරන්නේ. මේ දෙකට ම මහන්සි විය යුතුයි. නමුත් දෙආකාරයකට.

සටන් අධ්‍යක්ෂණයට වගේම රංගනයටත් ඔබ කැමැත්තක් දක්වනවා නේද?

සටන් අධ්‍යක්ෂණය අංක එක රංගනය අංක දෙක. මොකද මම එහෙම කියන්නේ ලැබෙන සෑම චරිතයක්ම හෝ රඟපාන්න මං යන්නේ නැති නිසා. මම සටන් අධ්‍යක්ෂණයෙන් දායක වූ නිර්මාණවලට රංගනයෙන් ද දායක වන්නට හොඳටම මට අවස්ථාව තිබුණා. වෘත්තියෙන් මම සටන් කලාව පිළිබඳ ගුරුවරයෙක්. මම රඟපාන චරිත මගේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ටත් බලපානවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම ටෙලි නිර්මාණයක හෝ සිනමාපටයක හෝ ගුටි කන චරිතයක් කළොත් "අන්න ඔයාලගේ සර් ගුටි කෑවා නේද" කියලා ඒ නිර්මාණ නරඹන අය මගේ ගෝල බාලයින් ට කියයි. කිසිම ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් කැමති නෑනේ තමන්ගේ සර් නිර්මාණයකදීවත් ගුටි කනවා දකින්න. ඔවුන් ගැන හිතලයි මට ලැබෙන සෑම චරිතයක් මම ම කරන්නැත්තේ. ධරණි නාට්‍යයේ මම කරන චරිතය තරුමිණිගේ අප්පච්චි. ඒකත් සටන් හා සබැඳී චරිතයක්. ඒ වගේම ආදර්ශවත් එකක්. ඒකයි මම ඒ චරිතය රඟපාන්න එකඟ වුණේ.

සිනමාවේ සටන් අධ්‍යක්ෂවරයාට තැනක් තිබුණාට, ටෙලි නාට්‍ය කලාව තුළ සටන් අධ්‍යක්ෂණය කියන විෂය එවැනි වූ තැනක තියෙනවා ද?

ඔබ ඔය ප්‍රශ්නය අහපු එක එක ගැන මම බොහෝ සෙයින් සතුටු වෙනවා. මම වසර ගණනාවක් තිස්සේ ටෙලි නාට්‍ය වල සටන් අධ්‍යක්ෂණය කරනවානේ. එක එක අවස්ථාවන්වල දී මට හමු වන පුද්ගලයින් මගෙන් අහනවා, ඔය ටෙලි නාට්‍යයවල සටන් කළාට මොනවද ඔයාට ලැබෙන්නේ කියලා. ඇයි ඔච්චර ටෙලි වෙනුවෙන් මහන්සි වෙන්නේ කියලත් මගෙන් අහලා තියෙනවා. මං කියන්නේ මේකයි මට පිට්ටනියකට දාලා බැට් කරන්න කියලා කිව්වොත් මට ඒ පිට්ටනිය, කොහේ තියන එකක්ද, ඒකේ සයිස් එක කොච්චරද, තණකොල තියනවාද නැද්ද, වගේ කාරණා කිසිසේත්ම වැදගත් නෑ. කෙටියෙන්ම කිව්වොත් මට ඕනේ බැට් කරන එක හරියට කරන්න. පිට්ටනිය ටෙලි නාට්‍යයක් වෙන්න පුළුවන්, එක චිත්‍රපටයක් වෙන්නත් පුළුවන්. මාව තියන්නේ කොතනද මං එතන ඉඳන් හොඳට බැට් කරනවා. ඒක තමයි මගේ රාජකාරිය. තව එකක්, සමහරු අහනවා ටෙලි නාට්‍යවල සටන් අධ්‍යක්ෂණයට බජට් තියනවද, තමන්ට ඕන විදියට සටන් අධ්‍යක්ෂණය කරන්නත් බෑ නේද, කියලා. ඕව හුදෙක් කතන්දර විතරයි. තව අය කියනවා නිළියන්ට ගහගන්න බෑ කියලා. මොකද ධරණි නාට්‍යයේ මට වඩාත්ම සටන් අධ්‍යක්ෂණය කරන්න තිබුණේ නිළියන්ට. ඔය කියන කතා වැඩක් ඇතුවාට කියන දේවල් නෙමේ. ඔය වගේ සාම්ප්‍රදායික කතන්දර සියල්ලම බොරු කියල ධරණි නාට්‍යය හරහා මම සනාථ කළා. කේබල් හෝ ඒ වගේ තාක්ෂණික උපාංග නෙමේ, අඩුම තරමේ නළුවා හෝ නිළිය පොල්පිත්තක් එක්ක මට දුන්නත් සටනක් නිර්මාණය කරලා දෙන්න මට හැකියාව තියෙනවා.

නිළියන්ට සටන් කරන්න උගන්වන එකත් ලේසි නෑ නේද?

ගෑනු ළමයි කොහොමත් සිවුමැලිනේ. මුලදි මුලදි ටිකක් අමාරු වුණා සටන් උගන්නන්න. නමුත් ඔවුන් ඉතා ඉක්මනින් ශිල්ප ක්‍රම අල්ල ගත්තා. ඒ කැපකිරීම විශේෂයෙන්ම මං මතක් කරන්න ඕනේ. ගුටිකන ගුටිකන සැරයක් ගානේ අයිස් තියනවා. සමහර පාරවල් ඇත්තටම රිදෙන්නම වදිනවා. කොහොම වුණත් මේ සෑම දෙයක්ම කරන්නේ නිර්මාණය සාර්ථකත්වය වෙනුවෙන්.

ඔබ දෙරණ නාලිකාවේ ටෙලි නාට්‍යවල පමණද සටන් අධ්‍යක්ෂවරයා විදිහට සහභාගි වුණේ?

නැහැ. මම වෙනත් නාළිකාවල නිර්මාණ වලටත් දායක වෙලා තියෙනවා. අහස් මාලිගා, හදවතේ කතාව, හේලි වගේ නාට්‍යවලත් සටන් අධ්‍යක්ෂණය කළේ මම. දෙරණ නාළිකාව තමයි මට වැඩි තැනක් දුන්නේ. ඒ නිසා මම බෙහෙවින් ඔවුනට ස්තූතිවන්ත වෙනවා. ඉදිරියේ දී පටන් ගන්න නියමිත පොදු කියන මාලානාටකයෙත් සටන් අධ්‍යක්ෂණය කළේ මම. ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා.