ගී රැජනගේ නෑසනුහරේ

නොවැම්බර් 12, 2020

දිවි මං තලාවේ 87 වැනි සැතපුම් කණුව සනිටුහන් කරන හෙළ ගී රැජිනිය කලාශූරී ලතා වල්පොල ඔබට සුබ උපන් දිනයක් වේවා!

වාසනාව, දෙවියන්ගේ ආශිර්වාදය, පෙර පින් මහිමය මේ සියල්ලෙන් පරිපූර්ණ වූ ගායන ලොවේ ප්‍රතාපවත් ගී හඬ ලතා වල්පොල අද ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නේ අතිශයින් සොම්නස් සහගතවය. ඇය කවදත් ප්‍රිය කළ සතුට, සැහැල්ලුව, ප්‍රීතිය ඈ අද නොඅඩුව අත් විඳින්නේ ඇගේ එකම දියණිය ධම්මිකාගේ ආදරණීය සෙනෙහසත් සමඟිනි.

සුපුරුදු ලෙන්ගතුකම, සිනහව, ආදරණීය බව එක් කරමින් ලතා වල්පොල සිය කට හඬ අවදි කළාය.

‘මම වාගේ වාසනාවන්තියක් තවත් මේ ලෝකෝ නැතුව ඇති. මට මතක් වෙනවා ප්‍රේමකීර්ති ද අල්විස් ලියපු ස්ටැන්ලි පීරිස් සංගීතවත් කළ මම ධම්මි එක්ක ගැයූ යුග ගීතය. ‘රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ අතිනත පටලා යමු අපි දෙන්නා පුංචි දුවේ මාගේ’

මහලු වියේ මා තනි වන දිනසේ වාරු නොමැති පා ඔසවන්නේ

තනි නොතනිය මැද දුවේ නුඹයි මට එදාට මව් වන්නේ’

ධම්මි මට අම්මා කෙනෙක්. පුංචි දරුවෙකුව බලා ගන්නවා වාගේ මාව බලන්නේ මගේ දුව ධම්මියි මගේ බෑණා මහින්දයි. වයසට යද්දී දූ දරුවෝ දෙමව්පියන්ව නෙරපනවා. ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ මහලු මව්පියන්ට ඉරණම විසඳෙන්නේ මහලු මඩමේ. අද මගේ සැඳෑ සමය දරුවන්, මුණුපුරන් මෙන්ම මී මුනුපුරන් වටා එක් රොක් වෙලා හැම වෙලේම ආච්චි අම්මා සනීපයෙන්ද කියලා වගේ මුනුපුරු මිනිබිරියන් නිතරම කතා කරලා මගේ සුව දුක් විමසනවා. මාව බලන්න එනවා.

මගේ පුතා, දුව, බෑණලා, ලේළිලා, මුනුපුරන්, මිනිබිිරියන් සහ ඔවුන් විවාහ වූ අයත් කලාවට දක්ෂයි. විශේෂයෙන් ගායනයට, වාදනයට අතිශයින් දක්ෂ දරුවෝ. ප්‍රසංග වේදිකාවේ, ලතා - ධර්මදාස සංගීත වැඩසටහන්වල රූපවාහිනි නාළිකාවල මගේ දූ දරුවන් වගේම මුනුපුරු මිනිබිරියෝ මගේ දෑස ඉදිරියේ ගී ගයනවා දකින කොට මගේ හිතට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්නට බැහැ. සත්තකින්ම මම භාග්‍යන්තයි.

ලතාගේ ගී හඬ අදත් එදා මෙන් තාරුණය. එදා ගැයූ ස්වරයෙන්ම අදත් ඇය ගී ගයන්නීය.

මේ වසරේ සැප්තැම්බර් මාසයේ රසික ලියනගේ අධ්‍යක්ෂණය කළ මොරණවිලක් චිත්‍රපටයට ඇය ගීත දෙකක් ගායනා කළාය. සෝමපාල ලීලානන්ද පද රචනා කළ ගීය සංගීවත් කළේ සරත් වික්‍රම. ඇය එම ගීතය ගැයුවේ උමයංගනා වික්‍රමසිංහටය. ලතා වල්පොල සිය ලේළිය චමින්දගේ බිරිඳ ප්‍රීතිකා සමඟ එක් වී යුග ගීතයක් ද මෙම චිත්‍රපටයට ගායනා කළාය. ප්‍රවීණ ගීත රචක සෝමපාල ලීලානන්ද මා සමඟ පැවසුවේ ‘පේ‍්‍රම තරඟයේ හොඳ හොඳම වේය ලොව’ ගැයූ ස්වරයෙන්ම ඈ මේ ගීත දෙක ගායනා කළ බවයි.

වියපත් නොවූ ලතාගේ හඬ පෞරුෂය 1953 එදා රෑ චිත්‍රපටයේ සිට 2020 මොනරවිල (තවමත් තිරගත නොවූ) චිත්‍රපටය දක්වා හැත්තෑ වසරකට ආසන්න කාලයක් එක සේ නොනැසී පැවතීම ආශ්චර්යයක් නොවෙන්නේද? ලතා විශ්වාස කරන අන්දමට මේ භාග්‍යය ඇයට දෙවියන් වහන්සේගෙන් උරුම වූ තලෙන්තුවකි.

ලතා යනු උතුම් වූ මිනිස් ගුණාංගවලින් සපිරි තැනැත්තියකි. යුතුකම් ඉටු කිරීම, කළගුණ සැලකීම, අසරණ වූවන්, රෝගී වූවන් බැහැ දැකීමට යාම ඇගේ ජීවිතයේ තිබෙන යහපත් ගුණාංගයි. ලතාගේ සංගීත දිවියේ ගුරු දේවායාණන් වූ සුසිල් ප්‍රේමරත්නයන්, සිරිල් ඒ. සීලවිමලයන්, ආර්. ඒ. චන්ද්‍රසේනයන්, මුත්තුසාමි මාස්ටර් යනාදී සංගීත ලොව ජය කිරුළ නැංවූ ජ්‍යෙෂ්ඨයන්ගේ අවසාන කාලයේදී ඔවුන් බැහැ දැකීමට ගොස් ඇප උපස්ථාන පවා ඉටු කර ඇති බව මට පැවසුවේ ලතාගේ ලේළිය ගංගාය. නමුත් ලතා ඒ කිසිවක් මා සමඟ නොපැවසුවේ අන් අයට උදවු උපකාර කර ඒවා පැවසීම සදාචාරාත්මක නොවන බව පවසමිනි.

ලතා සහ ඇන්ජලින් පසු කලෙක හොඳ මිතුරියන් වූ බව සියල්ලන් දන්නා කරුණකි. ඇන්ජලීන් අසනීප වී නිවසේ සිටින කාලය තුළ ලතා නිතරම එහි ගියේ ඇගේ සුව දුක් විමසීමටය. යම් යම් අවස්ථාවලදී ඇන්ජලීන්ට ඇප උපස්ථාන පවා ලතා විසින් සිදු කොට ඇත.

ලතාගේ ජීවන ගීතය තුළ ඈ කළ යහපත් දේ පෙරළා නැවත ඇයට යහපතක්ම උදා කර දී ඇති බවට මේ සියල්ලක්ම සාක්ෂි දරයි.

වල්පොල නමැති වෘක්ෂයේ මුදුන් මුල ලතා සහ ධර්මදාසය. ධර්මදාසගේ ඇවෑමෙන් වල්පොල නැමැති වෘක්ෂයේ මුදුන් මුල බවට පත් වූයේ ලතාය. මේ වෘත්ෂය සරුසාරව වැඩී අතු පතර විහිදී සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළේ අතු රිකිලි දමන අවධියේ පටන්ය.

ලතාගේ දරුවෝ සතර දෙනා ශ්‍රී ලාංකික ගායන ක්ෂේත්‍රයේ දැවැන්තයෝය. ජන්ම උරුමයෙන් ලද පියාගේ දායාදය ඊළඟ පරපුරට තිළිණ කරන්නට සුනෙත් වල්පොල සහ අමිත් වල්පොල ලබා දුන්නේ නොමඳ දායකත්වයකි. ධර්මදාසගේ වියෝවෙන් පසු ඔහුගේ මුද්‍රාව සංගීත ක්ෂේත්‍රය තුළ සනිටුහන් කරමින් සංගීත ක්ෂේත්‍රයට සාධාරණත්වයක් ඉටු කරීමට සුනෙත්ට සහ අමිත්ට හැකි විය.

‘ධර්මදාස මැරුණට පස්සේ මාත් එක්ක ධර්මදාසගේ යුග ගීත ගැයුවේ සුනෙත් සහ අමිත්. ප්‍රසංග වේදිකවේ රූපවාහිනී වැඩ සටහන්වල පමණක් නොවෙයි චිත්‍රපට පසුබිම් ගීතත් ඔවුන් දෙදෙනා මාත් එක්ක ගායනා කළා. ධර්මදාසගේ අඩුව පිරිමසමින් මාගේ ගායන දිවියට සුනෙත් පුතයි, අමිත් පුතයි ලොකු ශක්තියක් වුණා’ ලතා පැවසුවේ සොම්නස් සහගතවය.

ලතාගේ එකම දියණිය ධම්මිකා සහ ලතා අතර තිබුණේ කුඩා කල පටන් නොබිඳි සෙනෙහසකි. ධම්මිකා ගී ගැයීම ආරම්භ කළේ ගුවන් විදුලියේ ළමා පිටියෙනි. ගායනයට දක්ෂතා දැක් වූ ඇය සප්ත කන්‍යා චිත්‍රපයට ‘දූවිල්ලෙන් වත්සුණු තවරා’ ගීතය ඉතා අලංකෘතව ගායනා කළාය. කීර්ති පැස්කුවෙල් සමඟ කවිකාරියේ, එඩ්වඩ් ජයකොඩි සමඟ ‘අඬන්න ළංව‘ යනාදී ගීත ගණනාවක් ඇය ගැයූ අතර ඒවා අතිශයින් ජනප්‍රිය විය. ලතා ධම්මිකා සමඟ ගැයූ රතු ගුරු පාරේ ගීතය අදටත් යාවත්කාලීනය.

ලතාගේ බඩපිස්සා චමින්ද වල්පොලය. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින ඔහු සංගීත උපාධිය හැදෑරූ දක්ෂ සංගීතඥයෙකි. විවිධ සංගීත පද්ධතීන් ඇසුරින් යුගයේ අවශ්‍යතාවයට සරිලන අයුරින් නවතම නිර්මාණ බිහි කරන ඔහු දක්ෂ ගිටාර් වාදකයකු මෙන්ම Sound  ඉංජිනේරුවරයෙකි. ඔහුගේ බිරිඳ හින්දු ජාතික කාන්තාවක් වන ප්‍රීතිෂාය. ඇය ද දක්ෂ ගායිකාවකි. චමින්ද ප්‍රීතිෂා සමඟ එක් වී සංගීත ප්‍රසංග පවත්වන අතර ලංකාවට පැමිණ කොළඹ ආනන්ද විදුහල් ශ්‍රවණාගාරයේ ද සංගීත ප්‍රසංගයක් පවත්වා ඇත.

ඉස්සර ධර්මදාස ඉන්න කාලේ අපේ ගෙදර සංගීත පන්ති පැවැත්වුණා. ධර්මදාස හොඳ බටනලා වාදකයෙක්. සුනෙත් අවුරුදු 15 දී සමස්ත ලංකා තබ්ලා තරගාවලියේ ප්‍රථම ස්ථානයට තේරුණා. සුනෙත් විවාහ වුණේ අපේ සංගීත පන්තියට ආපු ශිෂ්‍යාවක් වූ සුභද්‍රා සමඟ. සුභද්‍රා සුනෙත් එක්ක යුග ගීත ගායනා කරනවා. ඒ දෙන්නා ඉන්නේ මගේ මහ ගෙදර ‘ලතාවාස’ කැලණියේ. තාත්තා පටන් ගත්තු සංගීත පන්තිය සුනෙත් සුබද්‍රා එක්ක එකතු වෙලා දිගටම පවත්වාගෙන යනවා. සුනෙත්ගේ පුතා හෙලංග විවාහ වෙලා ඉන්නේ. හෙලංගටත් හොඳ ගායන හැකියාවක් තියෙනවා. හෙලංග, අමිත්ගේ දුව ගංගුලි එක්ක සංගීත වැඩ සටහන්වල මගෙයි ධර්මදාසගෙයි යුග ගීත ගායනා කරනවා. මගේ මුනුබුරු මිනිබිරියන් අපේ ගීත ගායනා කරනවා මගේ සියැසින්ම සජීවි සංගීත ප්‍රසංගවල මම දකිනවා. එය මගේ ජීවිතයට සම්පතක්. මගේ පැරැණි මතකය සුන්දර ලෙස ආවර්ජනය වෙනවා. ඒ සතුටම ඇති මට ජීවත් වෙන්න.

පරපුරෙන් පරපුරට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගිය දැවැන්තයෝ සිටියහ. එහෙත් ඇතැම් මුනුපුරු මිණිබිරියන්ගේ හැකියාවන් සියැසින් දකින්නට ඔවුන් අද ජීවතුන් අතර නොමැත.

 

කොහොමද අමිත්ගේ පවුලේ තොරතුරු?

අමිත් විවාහ වුණේ ධර්මදාස පවුලේ රසිකාවියක් වූ ගංගානි සමඟයි. අමිත්ට ඉන්නේ පුතයි දුවයි. පුතා චමිත් අබුඩාබිවල ඉන්නේ. දක්ෂ ගිටාර් වාදකයෙක්. ලන්ඩන් O/L  සිසුන්ට සංගීත පන්ති පවත්වනවා. චමිත් විවාහ වෙලා ඉන්නේ හසාරා සමඟ. එයා ගනකාධිකාරිණියක්.

අමිත්ගේ දුව ගංගුලි නීතිඥවරියක්. ගායිකාවක්. ගීත බොහොමයක් රූපවාහිනිී වැඩසටහන්වල සංගීත ප්‍රසංගවල ගායනා කරනවා. අමිත් මේ දවස්වල රැකියාව කරන්නේ කැනඩාවේ ඇල්බ්‍රෙටා ප්‍රාන්තයේ. මගේ ලේළි ගංගාට ලස්සනට ඇඳුම් මහන්න පුළුවන්.

ධම්මිකා වල්පොල හෙවත් ධම්මිකා බණ්ඩාර විවාහ වී සිටින්නේ ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ලීඩ් ගිටාර් වාදකයකු වූ මහින්ද බණ්ඩාර සමඟය. ස්ටැන්ලි පීරිස්ගේ ෆෝචූන්ස් ගායක කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයකු ලෙස කටයුතු කළ ඔහු රුක්මණී දේවියගේ සිට නව පරපුරේ සියලුම ගායන ශිල්පීන්ගේ ගීත සඳහා සිය ලීඩ් ගිටාරයෙන් මිහිරි සංගීත තනු තිළිණ කර දී ඇත. මහින්ද බණ්ඩාර වාද්‍ය වෘන්ද ගණනාවකම ලීඩ් ගිටාර් වාදකයකු ලෙස කටයුතු කර ඇති අතර දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකු ද වේ.

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ධම්මිකාගේ වැඩිමහල් පුතු ගීතාන් විවාහ වී සිටින්නේ නුවනි සමඟය. ලතා වල්පොලට මී මුනුපුරන් දැකීමේ වාසනාව හිමි කර දී ඇත්තේ ගීතාන්ය. දැන් ලතා මී මුනුපුරන් තිදෙනෙකුගේ මිත්තනි කෙනෙකි. ලතාගේ මුනුපුරා ගීතාන් ද සහජ ගායන හැකියාවක් ඇති පුද්ගලයෙකි. ලතා වල්පොල ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගවලට සහභාගිවීමේදී ඇයත් සමඟ යුග ගී ගායනා කරන්නේ ගීතාන් මුනුපුරාය.

ධම්මිකාගේ දෙවැනි පුතා තිසර ඕස්ට්‍රේලියාවේ සංගීත උපාධියක් කරලා තියෙන්නේ. මුනුබුරා දක්ෂ වයලීන් වාදකයෙක්. පියාගේ දක්ෂතාවය නිසාම සංගීත වැඩසටහන්වලට වයලීන් වාදනය කිරීමට ඔහුට ආරාධනා ලැබෙනවා. ඒ නිසා හරිම කාර්යබහුලයි. තිසරටත් හොඳට සින්දු කියන්නත් පුළුවන්. එයාගේ බිරිඳ ක්‍රිස්ටිනාටත් ලස්සනට සින්දු කියන්න පුළුවන්. මාත් එක්ක කීප වතාවක්ම තිසර සින්දු කියලා තියෙනවා.

ධම්මිගේ බාල පුතා මයුරත් දැන් විවාහ වෙලා ඉන්නේ. තුෂාරි තමයි දුවගේ නම. පුදුම වැඩේ කියන්නේ තුෂාරිටත් සින්දු කියන්න පුළුවන් වුණ එක. මයුර මාත් එක්ක සින්දු කියලා තියෙනවා. පුතාලා, දුල, බෑණලා, ලේළිලා, මුනුපුරෝ, මිනිබිරියන් මුනුපුරන් විවාහ වුණු අය මේ සියල්ලන්ටම ගීත ගැයීමේ හැකියාව තියෙනවා පමණක් නෙවෙයි, මගේ පරම්පරා දෙකම මාත් එක්ක සින්දු කියලා තියෙනවා. මී මුනුපුරන් විතරක් මාත් එක්ක සින්දු කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒකත් ඉෂ්ට වේවි.

ලතා බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වූ කාන්තාවක් නොවේ. ඇය සමඟ බොහෝ කලක් ඇසුරු කළ මා එය හොඳින් දන්නා කරුණකි. ලද දෙයින් තෘප්තිමත් වී, ගෙවන සෑම තත්පරයක්ම සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීම ලතා වල්පොලගේ න්‍යාය පත්‍රයයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝ්ධය, පළිගැනීම සංගිත ක්ෂේත්‍රයේ බහුලව තිබෙන බෙලි කැපිලි ලතාට නුහුරු නුපුරුදු දේවල්ය. ඕනැම දෙයක් ඉවසීමෙන් උපේක්ෂාවෙන් දරා ගැනීම ඇගේ ජීවන රටාවයි. සතුරාට සමාව දීම, මෛත්‍රිය, කරුණාව දැක්වීම යනාදී යහපත් ගුණ ධර්මයන්ගෙන් ඇය පොහොසත්ම කාන්තාවකි. කලා ශිල්පිනියකි. එයට ඕනෑ තරම් උදාහරණ ඇගේ ජීවිතයේ සටහන් වී ඇත.

ලතා වල්පොල නැමැති දැවැන්ත වෘක්ෂයේ සෑම අතු රිකිල්ලක්ම ඵලින් බර වූයේ දෙවියන්ගෙන් ඇය ලද ආශිර්වාදයත් ඇගේ යහපත් මානුෂික ජීවිතාදර්ශයත් නිසා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

චිරං ජයතු කලුශූරී ලතා වල්පොල !

 

 

දයාන් විතාරණ