හරිනම් ප්‍රේමසිරි වන්නට තිබුණු රම්‍යලතා

ජූලි 15, 2021

රම්‍යලතා ගැන කියන්නට පෙරාතුව දේව්දාස් චිත්‍රපට මොනවාදැයි විමසා බැලිය යුතුය. එයින් මේ සරර්වකාලීන ආදර කථාව කෙතරම් ජනප්‍රියදැ'යි ඔබට වැටහෙනු ඇත. මුල්ම කථානාද දේව්දාස් චිත්‍රපටය 1935 වසරේදී බෙංගාලි හා හින්දි යන දෙබසින්ම නිර්මාණය කිරිමට පී.සී. බරුවා සමත් විය. 1937 වසරේදී එය ඇසෑම් බසින් නිර්මාණය කරන ලද්දේ ද බරුවා විසින්ය. හින්දි හා බෙංගාලි චිත්‍රපට යුග‌ළෙහි දේව්දාස් ලෙස චරිත නිරූපණය කළේ ද බරුවා විසින්ය. එහි ජමුනා බරුවා චන්ද්‍රභාති දේවි පිළිවෙළින් පාර්වතී හා චන්ද්‍ර මුඛී විය. ඇසෑම් චිත්‍රපටයේ දේව්දාස් වූයේ පානි ශර්මා වන අතර සුබෙයිදා සහ මෝහිනි සෙසු චරිත දෙකට දායක වූහ. 1953 වසරේ තෙළිඟු බසින් තිරයට ආ දේව්දාස් චිත්‍රපටය වේදාතම් රාඝවයියා අධ්‍යක්ෂණය කළ අතර එහි දේව්දාස් ලෙස අක්කින් නාගේෂ්වර් රාඕ ද සාවිත්‍රි පාරෝ ලෙස ද ලලිතා චන්ද්‍රමුඛී ලෙස ද චරිත නිරුපණය කළහ. මේ තෙළිඟු චිත්‍රපටය කෙතරම් සාර්ථක වූවාද යත් එය දෙමළ බසින් ද දෙබස් කැවිණි. දේව්දාස් චිත්‍රපට අතර විචාරකයන්ගේ දැඩි අවධානයට පාත්‍ර වූ චිත්‍රපටය වන්නේ 1955 වසරේ බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයයි. දිලිප් කුමාර් එහි දේව්දාස් වු අතර සුචිත්‍රා සෙන් පාරෝ ලෙස ද වෛජන්ති මාලා චන්ද්‍රමුඛී ලෙස ද එහි චරිත නිරුපණයට දායක වූහ. දේව්දාස් රංගනයෙහි ලා අත්පොත ලෙස සලකනුයේ බිමල් රෝයිගේ දේව්දාස් චිත්‍රපටය හා එහි දිලිප් කුමාර්ගේ රංගනයයි. 1965 වසරේ ‌දේව්දාස් පාකිස්තානයේදී උර්දු බසින් සිනමාවට නැඟෙද්දී එහි පිළිවෙළින් දේව්දාස්, පාරෝ හා චන්ද්‍රමුඛි වූයේ හබීබ් තලාෂි, ශමීම් අරා, හා නය්යාර් සුල්තානාය. චිත්‍රපටය ක්වාජා සර්ෆාර්සා ගේ අධ්‍යක්ෂණයක් විය. 1974 වසරේ දී සුප්‍රකට නිළි විජය නිර්මලා තෙළිඟු බසින් දේව්දාස් ප්‍රතිනිර්මාණය කළාය. එහි ජී. ක්‍රිෂ්ණා දේව්දාස් ද විජය නිර්මලා පාරෝ ද ජයන්ති චන්ද්‍රමුඛී ද වූහ. 1979 වසරේ දේව්දාස් යළි බෙංගාලි බසින් නිර්මාණය විණ. ඒ දිලිප් රෝයිගේ අධ්‍යක්ෂණයක් හැටියටය. එහි සම්මානනීය රංගවේදි සෞමිත්‍ර චැටර්ජි, සුමිත්‍රා මුඛර්ජි සහ සුපියා චෞදරී ප්‍රධාන චරිත රඟපෑහ. 1982 වසරේ දී ද බෙංගාලි බසින් යළි දේව්දාස් සිනමාවට නැගුණ අතර එය සුප්‍රකට සිනමාකරු ශක්ති සමන්තා විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් විය. ප්‍රසේන්ජිත් චැටර්ජි, අර්පිතා පාල් සහ ඉන්ද්‍රාණි හල්දර් එහි චරිත නිරූපණයට දායක වූහ. දේව්දාස් චිත්‍රපට අතරින් වැඩිම වියදමක් දරා තැනුණු චිත්‍රපටය වූයේ 2002 වසරේ හින්දි බසින් සංජේ ලීලා බන්සාලි විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයයි. ෂා රුක් ඛාන්, අයිශ්වර්යා රායි සහ මධුරි ඩික්ෂිත් එහි චරිත නිරූපණය කළහ. 2009 වසරේ දේව් ඩී නමින් අනුරාග් කාශ්‍යප් විසින් අබේ ඩෙියෝල්, මාහි ගිල් හා කල්කි කොයෙචින් එක් කොට පුවත යාවත්කාලින කොට චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී. 2010 වසරේ දී දේවදාස් යළිත් පාකිස්තානයේ දී උර්දු බසින් සිනමාවට නැඟුණු අතර ඉක්බාල් කාශ්මීර් විසින් එය අධ්‍යක්ෂණය කරන ලදී. නදීම් ෂා, ෂාරා ෂේක්, හා මීරා එහි චරිත නරූපණය කළහ. 2013 වසරේදී බංග්ලාදේශයේ දී දේව්දාස් සිනමාවට නැගිණ. එවර ද එහි භාෂාව වූයේ බෙංගාලි බසයි. චාෂි නෂ්රූල් ඉස්ලාම් විසින් අධ්‍යක්ෂණය කරන ලද එයට ශාකිබ් ඛාන්, අපූ බිස්වාසා, හා මෞෂමී රංගනයෙන් සම්මාදම් වූහ. 2017 වසරේ දේව්දාස් බෙංගාල බසින්ම සිනමාවට නැගුණේ දේව් නමින්ය. රික් බාසු අධ්‍යක්ෂණය කළ එහි සුබ් මුඛර්ජි, පාඒලි දාම්, ශතා‌ේ ෆිගර් චරිත නිරූපණය කළහ. සිංහලෙන් තැනුණු රම්‍යලතාට පාදක වූයේ මේ අතරින් 1953 වසරේ තිරයට ආ තෙළිඟු බසින් තැනුණු දේව්දාස් නම් චිත්‍රපටයයි. සිංහලෙන් පිළිවෙළින් අරුණ ශාන්ති, රීටා රත්නායක සහ ක්ලැරිස් ද සිල්වා පෙනී සිටියේ එම දේව්දාස් , පාරා, හා චන්ද්‍රමුඛී යන චරිතවලටය. එහෙත් මෙහිදී දේව්දාස් ප්‍රේමසිරි නමින් ද පාර්වතී ප්‍රභාවතී නමින්ද චන්ද්‍රමුඛී රම්‍යලතා නමින් ද වෙනස් විය. චිත්‍රපටය නම් වූයේ ද ප්‍රේමසිරිගේ හෙවත් දේව්දාස්ගේ චරිතයට දෙවැනිව සම්බන්ධ වන ගැහැනියගේ නමින්ය. දේව්දාස් චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව වනුයේ ප්‍රභාවතී ද නැතහොත් චන්ද්‍රමුඛී ද යන්න ආරම්භයේ සිටම විසඳීය නොහැකි ගැටලුවක් බඳුය. 1955 වසරේ දී ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම සහාය නිළිය ලෙස වෛජන්තිමාලා ලද සම්මානය ඇය ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇය එහි ප්‍රධාන චරිතය බවට තර්ක කරමින්ය. 2002 සම්මාන උලෙළේ දී හොඳම නිළිය ලෙස අයිශ්වර්යා පාරෝ චරිතයට සම්මාන දිනා ගනිද්දී මධුරි ඩික්ෂිත්ට හිමිවනුයේ හොඳම සහාය නිළිය සම්මානයයි. මධුරී ද එවර මැසිවිලි නැඟුවේ චන්ද්‍රමුඛී යනු සහාය චරිතයක් නොවන බවට තර්ක කරමින්ය. කෙසේ වෙතත් ලංකාවේදී 'චන්ද්‍රමුඛීට' නිසි තැන ලැබුණේ 'රම්‍යලතා' ලෙස නම වෙනස් කරමින් පමණක් නොව එනමින් චිත්‍රපටය ද සෑදීමෙනි. නැතිනම් චිත්‍රපටය 'ප්‍රේමසිරි' විය යුතුය.

මෙරට මුල්ම කථානාද චිත්‍රපටය නිපදවීමේ හා මෙරට මුල්ම චිත්‍රාගාරය ගොඩ නැංවීමේ කීර්තිය අත්පත් කරගත් එස්. එම්. නායගම් සිය ශ්‍රී මුරුගන් නවකලා සමාගමේ නිෂ්පාදනයක් හැටියට දේව්දාස් නිර්මාණය කරන්නට සැලසුම් කරන ලද්දේ මාතලන් චිත්‍රපටය නිපදවන අතරතුරය. මාතලන් මදුරාසියේ චිත්‍රාගාරයකම නිපදවීමට කටයුතු කළ ඔහු රම්‍යලතා හෙවත් දේව්දාස් සඳහා මෙරට සිය සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයම යොදා ගත්තේය. මාතලන් චිත්‍රපටයේ ශිල්පීන් අතරින් එහි ප්‍රධාන නළු ශේෂා පලිහක්කාර රම්‍යලතා චිත්‍රපටයට දායක වූයේ ඔහුට හුරුපුරුදු නර්තන නිර්මාණය සඳහාය. චිත්‍රපටය මුලින් අධ්‍යක්ෂණය සඳහා තෝරාගෙන තිබුණේ ක්‍රිෂ්ණමූර්ති නමැත්තෙකි. චිත්‍රපටයේ ගීත පටිගත කරන අවස්ථාවේ එහි කටයුතු කරන ලද්දේ ඔහු විසින්ය. එයින් පසු කිසිකලෙක ක්‍රිෂ්ණමූර්ති නමැත්තෙකු විසින් සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ ද නැත. එහෙත් චිත්‍රපටය ඒ.( ඇන්තනී ) බී.(භාස්කර් ) රාජ්ට පැවරිණ. රාජ් මෙරටදී කථානාද චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරිමට පැමිණි දෙවැනි ඉන්දියානුවාය. ඔහු මලයාලම් සම්භවයක් ඇත්තෙකි. නායගම් මෙරට මුල් වරට චිත්‍රාගාරයක් ගොඩ නැඟූ පසු එහි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට ඉන්දියාවෙන් ගෙන්වූ මුල්ම සිනමාකරුවා වූයේ රාජා වහාබ් කාශ්මිර්ය. එහෙත් කාශ්මීර් වහරන බස මෙරට කිසිවකුට හෝ නොතේරුණ බව පැවසේ. ඔහු දෙමළ බස දැන සිටියේ ද නැත. ඒ අනුව ඔහු විසින් ආරම්භ කරන ලද 'බණ්ඩා නගරයට පැමිණීම' චිත්‍රපටය සඳහා සේලම්හි මොඩර්න් චිත්‍රාගාරයේ සහාය අධ්‍යක්ෂවරයකුව සිටි ඒ.බී. රාජ් මෙරටට පැමිණියේය. ඔහුට මුලින්ම සිදුවූයේ බණ්ඩා නගරයට පැමැණීම චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කිරිමය. එයට පසු ඔහු ප්‍රේම තරගය සහ අහංකාර ස්ත්‍රි නායගම් වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේය. රම්‍යලතා ඔහුගේ වඩාත්ම ආදායම් ඉපැයූ චිත්‍රපටය ද වෙයි. නායගම් වෙනුවෙන් රාජ් විසින් අවසන් වරට අධ්‍යක්ෂණය කරන ලද්දේ සොහොයුරෝ චිත්‍රපටයි. එය එල්.එස්. රාමචන්ද්‍රන් සමඟ සම අධ්‍යක්ෂණයකි. පෙරකදෝරු බෑනා මෙන්ම රාජ් අවසන් වරට තැනූ සිංහල චිත්‍රපටය වන ගංතෙර චිත්‍රපටයේ ද වැඩ කටයුතු සුන්දර සවුන්ඩ් චිත්‍රගාරයේ සිදු වුවද එහි නිෂ්පාදනය සිදු කරන ලද්දේ වෙනත් අය විසින්ය. මේ අතරින් පෙරකදෝරු බෑනා විලි ජයමාන්න ගේ නිෂ්පාදනයක් වූ අතර ගංතෙර නිෂ්පාදක වූයේ එස්. ද එස්. සෝමරත්නයි.

රාජ් ඉන්දියානු ජාතිකයකු වුවද ඔහු සිංහල චිත්‍රපට තතන්නට පෙර මෙරට දී සිංහල භාෂාව මැනැවින් උගත්තේය. ඔහුගේ සිංහල ගුරුවරයා වූයේ කේ. හියුගෝ ප්‍රනාන්දු ය. හියුගෝ මාස්ටර්, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් පසු බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා නාට්‍ය කණ්ඩායමෙන් වෙන් විය. ඔහු පසුව නායගම් හා එක් විය. මේ අවදියේම ඔහු සිනමාස් සමාගමේ චිත්‍රපටවලට ද දායක විය. එබැවින් නායගම් ඒ වෙනුවට එයට සමාන වූ පිටිපන සිල්වා සිනමාවට හඳුන්වා දුන්නේය. 1999 වසරේ රාජ් යළි ශ්‍රී ලංකාවට පැමිණියේ ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පැවැත් වූ දකුණු ඉන්දියානු පැරැණි චිත්‍රපට උලෙළක් වූ 'චෝල මණ්ඩල' සිනමා උලෙළට සහභාගී වීමටය. රාජ් එවර මේ ලියුම්කරු සමඟ ඉතා ව්‍යක්ත සිංහල බසින් කථා කළ අතර ගුවන්විදුලි හා ස්වර්ණවාහිනියේ වැඩ සටහනකට ද එක්විය. එහි දී පැරැණි සුන්දර සවුන්ඩ් (ඒ වන විට එස්.පී.එම්) චිත්‍රගාරයට ගොස් එකල චිත්‍රපට නිෂ්පාදනය කළ අන්දම හා එහි පැවැත් වූ සිරිත් ආදිය ගැන ද බොහෝ කරුණු කීවේය. රම්‍යලතා චිත්‍රපටය නිර්මාණය වන්නට පෙර රාජ් ඉන්දියාවේදී 'නල්ලනාල්' නමින් දෙමළ චිත්‍රපටයක් නිර්මාණය කළේය.

රම්‍යලතා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන ලද්දේ ආර්. මුත්තුස්වාමි ය. ඔහු මුලින් සංගීත නිර්මාණය කරන ලද්දේ නායගම්ගේ ප්‍රේම තරගය චිත්‍රපටය උදෙසාය. මුත්තුස්වාමි මාස්ටර්ට මෙරට පුරවැසිබව ලැබුණේ රම්‍යලතා චිත්‍රපටයේ සංගීතය සපයන සමයේය. මුත්තසාමි මාස්ටර් ඇතැම් අවස්ථාවල දකුණු ඉන්දියානු ගී තනු අනුකරණය කළ ද හැකි හැම විටම වඩාත් මියුරු ස්වතන්ත්‍ර ගී රැසක් ද නිර්මාණය කළේය. රම්‍යලතා චිත්‍රපටයේ එන ගී දොළස අතරද එබඳු ගී කිහිපයක් වෙයි. එහෙත් සෙසු චිත්‍රපට හා සාපේක්ෂව ඔහු රම්‍යලතා චිත්‍රපටයට තැනූ ගී වැඩි නැඹුරුවක් දක්වනුයේ දකුනු ඉන්දියානු ගීතනුවලටය. රම්‍යලතා චිත්‍රපටයේ එන් 'ඕ... පේමසිරි ගීතය දේව්දාස් තෙළිඟු චිත්‍රපටයේ ආ ඕ දේව්දා ගීතයේ ම තනුව අනුව ගැයුණකි. රම්‍යලතා චිත්‍රපටය නිර්මාණය වන විට මෙරටදී චිත්‍රපට නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා විදෙස්ගත වීම අවශ්‍ය නොවන බව නායගම්‌ගේ චලන චිත්‍ර පුවත්පතේ නිතර පළ වූ කරුණකි. රම්‍යලතා සම්පූර්ණයෙන් රූපගත කරන ලද්දේ සුන්දර සවුන්ඩ් චිත්‍රගාරයේ වුව එහි ගීත පටිගත කරන ලද‌දේ මදුරාසියේ වාහිනි චිත්‍රගාරයේ වීම වැදගත් කරුණකි. ඒ, ඒ වන විට මෙරට ශබ්දාගාර තිබුණද ඒ කිසිවක් හොඳ තත්වයේ නොතිබුණ නිසාය. එමෙන්ම චිත්‍රපටයේ ගීත සඳහා තිස්තුන්දෙනෙකුගෙන් යුත් වාදක මණ්ඩලයක් ද සහභාගි විය. සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ ශබ්දාගාරයට නවීන ශබ්ද යන්ත්‍රයක් සවි කරන ලද්දේ 1957 වසෙර්ය. එනම් රම්‍යලතා චිත්‍රපටය තිරගත වූ පසුවය. රම්‍යලතා චිත්‍රපටය සමඟ නිෂ්පාදක නායගම් තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැලසුම් කළේය. ඒ විදුර ජාතකයයි. බෞද්ධ කතාවක් ඔහු සිනමාවට නඟන්නට තෝරා ගත්තේ 1956 වසර බුද්ධ ජයන්ති වසර වූ බැවින්ය. මේ චිත්‍රපටය සම්පූර්ණයෙන් වර්ණයෙන් නිර්මාණය කරන්නට ඔහු සැලසුම් කළේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ එය නිර්මාණය වූයේ නැත. එසේ වූවා නම් මෙරට මුල්ම වර්ණ චිත්‍රපටය වනුයේ 'රන්මුතුදූව' නොව 'විදුර ජාතකය'යි.

 

 

රම්‍යලතා ගැන තවත් කතා ලබන සතියේ