සිරවුණු දවසක එළිදුටු අදහස් Goodnight Colombo

ජූලි 15, 2021

 

මිනිසා සුවපත් කිරීමට කලාවට හැකි වුවද කොවිඩ් වසංගතය නිසා මුළු මහත් පෘථිවි තලයේම සකල කලාවන්ටම දොරගුළු වැටුණි. සිනමා ශාලා, නෘත්‍යාගාර, සංගීත සාජ්ජ පමණක් නොව වෙනත් නිර්මාණකරණ පවා ඇනහිටියේ රටවල් වැසීයාම මෙන්ම සංචරණ සීමා, සමාජ දුරස්ථභාවය වැනි පෙර නුහුරු මාර්ගෝපදේශවලට අනුගතව කලාකරුවන්ගේ ප්‍රකාශනයන් කළ යුතු වූ බැවිනි. අවසානයක් පිළිබඳ හැඟීමක් ඇති කරගත නොහැකි මේ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ කලකිරීම, අවිනිශ්චිතතාව, සාංකාව, සිරගත වූ ස්වභාවය කාටත් උරුම වූවකි. එය යම් තරමකින් හෝ සමනය වූයේ ජංගම දුරකථනය සහ සමාජ මාධ්‍යවලින් ඇති කරගත් අලුත් ක්‍රමයේ මානව සබඳතා නිසා යැයි කීවොත් වැරැද්දක් නැත. මේ නව සාමාන්‍යය තුළ කලාකරුවා කලකිරීමට පත්වනවාට වඩා සිය ප්‍රකාශනයට අවකාශ සලසා ගනිමින් අභියෝග ජයගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ පර්යේෂණාත්මක කටයුත්තක් කිරීමට දේශීය හා විදේශීය සිනමා ජූරි සභිකාවක් මෙන්ම සම්මානනීය කෙටි චිත්‍රපට නිර්මාණකාරිනියක වන අනෝමා රාජකරුණාට සිතිවිල්ලක් පහළ වූයේ පළමුවැනි කොවිඩ් රැල්ල සමඟ රට වැසී ගිය මොහොතේ සිටය. ඒ සිතිවිල්ල මල්ඵල දරමින් නිර්මාණකරුවන් එකොළොස්දෙනකුගේ සහභාගීත්වයෙන් 'ගුඩ් නයිට් කලම්බො' සිනමා කෘතිය බිහිවිය. මේ ඒ පිළිබඳ ඇය සරසවියට දැක් වූ අදහස් ගොන්නක එකතුවකි.

"මේ 'ගුඩ් නයිට් කලම්බු' මානව විද්‍යාත්මක චිත්‍රපටයක්. ලංකාවේ පළමුවැනි කොවිඩ් රැල්ල ඉවර වෙලා ජන ජීවිතයට හුරු වෙද්දි දෙවැනි රැල්ල ආරම්භ වුණා. එහිදී එදිනෙදා ජන ජීවිතයට මොකද වුණේ කියන දේ තමයි තරුණයන්ගේ කෝණයෙන් නිර්මාණය කරලා තිබෙන්නේ."

 

එසේ කතාව ඇරඹූ ඇය මෙවැන්නක් පිළිබඳ අදහස ඇති වූ ආකාරයද විස්තර කළාය.

"මම 2011 සිට පසුගිය වසර 10 පුරාම කෙටි චිත්‍රපටකරුවන් හඳුනාගැනීම ඔවුන් සමඟ කෙටි චිත්‍රපට තැනීම ඇජෙන්ඩා 14 ඔස්සේ කෙටි චිත්‍රපට උලෙළක් නිර්මාණය කරලා එය ක්‍රමයෙන් වර්ධනය කිරීම හා ඒ ඔස්සේ ලංකාවේ කෙටි චිත්‍රපට තාක්ෂණයෙන් හා ගුණාත්මකබවින් වර්ධනය විය හැකි තැන් හඳුනා ගැනීම, කෙටි චිත්‍රපටකරුවන්ට පුහුණුව ලබා දීම වගේම කටයුතුවල නිරත වුණා. තරුණ පරපුරේ කෙනකුට චිත්‍රපටයක් කරන්න පුළුවන් කියලා ඉදිරියට ඇවිත් නිෂ්පාදන පිරිවැය තරගකාරීව ලබා ගැනීමේ හැකියාව වැනි දේ සඳහා ලංකාවේ පළමුවෙනි තණතිල්ල නිමවීමත් ඒ දශකය පුරාම කොළඹ ප්‍රමුඛ බස්නාහිර ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත්වල පවා කෙටි චිත්‍රපටකරුවන් බහුතරයක් සමඟ ගනුදෙනු කරමින් කෙටි චිත්‍රපට 100ක් පමණ නිර්මාණය කිරීමටත් එයින් හැකි වුණා.

පසුගිය වසරේ මාර්තු මාසයේ ලංකාව ලොක් ඩවුන් එකකට යන මොහොතේ සිට මාස තුනක් පමණ අපි සියලු දෙනා නිවෙසට සිර වී සිටි කාලය තුළ මෙතෙක් මා සමඟ ගනුදෙනු කළ තරුණ පිරිසත් එක්ක සුහදශීලීව වෙනත් විදිහක ගනුදෙනුවකට යන්න මට සිදු වුණා. මොකද දුක්ගැනවිලි, අවිනිශ්චිතබව, සිනමාව අහිමි වීම, ප්‍රකාශනයට ඉඩක් නැතිකම, පෞද්ගලික ජීවිතේ බිඳවැටීම් සමඟ ඒ දවස් ටිකේ මට තිබුණේ කතා කරන අයට උපදේශන සේවාවක් දීම වගේ වැඩක්. (සිනාසී) හම්බන්තොට, තිස්සමහාරාම, යාපනය, කොළඹ මේ හැමතැනින්ම දුරකථන ඇමතුම් ආවේ එහෙම. ඒ වෙලාවේ මට හිතුණා අප මේ මාධ්‍ය වටහා ගැනීම කළ යුතු බව. මගේ පරම්පරාව ඇනලොග්වලින් වැඩ කළ පටල පට ලබා ගන්න අමාරු නිෂ්පාදන පිරිවැය අධික කැමරා උපකරණ එක්ක ඉඳලා දැන් මේ ඩිජිටල් යුගයට ආවට පස්සේ අපට නොතිබුණු නිදහසක් සහ ප්‍රකාශනයේ හැකියාවක් තරුණයන්ට ලැබුණා. අපේ පරපුරට නැත්නම් කෙටි චිත්‍රපටකරුවකු ලෙස මට තිබුණු අපහසුකම් එක්ක බලනකොට ඇත්තටම ඒ හැකියාව සමඟ ඉන්න අය මේ තරම් පශ්චාත්තාපයට පත්වීම, මම ඒ අයට වඩා ජ්‍යෙෂ්ඨ පරපුරේ කෙනකු විදිහට කල්පනා කළාම, ජයගන්න බැරි අභියෝගයක් නෙවෙයි.

අපි බොහොම ස්වාභාවික විපත් සහ මිනිසා විසින් නිර්මාණය කළ විපත්, යුද්ධ ආදි අභියෝග රැසකට මුහුණ දුන් අයනේ. ඒ නිසා මම හිතුවා මේ පශ්චාත්තාපයට ඇත්තටම ඵලදායී යමක බලාපොරොත්තුවක් දල්වන්න පුළුවන්ද කියලා.

ඒ බලාපොරොත්තුව ගැන කියද්දි අපි දැන් ජීවත් වෙන්නේ අපේම පෞද්ගලික අවකාශය තුළ හිර වෙලා. අපට ගමනාගමන අපහසුතා තිබෙනවා. අපි එක තැන ඉන්නේ. ලෝකයේ ඒ අතර සමහරු පර්යේෂණ කළා. ලංකාවේත් පොඩි පොඩි දේවල් වුණා. අපි ඔන්ලයින් සහ මොබයිල් දුරකථනවල හිටියේ. ඒ නිසා මට හිතුණා එක්කෙනකු එක්ක වැඩ කරනවාට වඩා අපට පුළුවන්ද හැමදාම පොඩි පොඩි සංවාදවල හිටපු පිරිසක් එක්කවෙනස් විදිහක දෙයකට යන්න කියලා. ඒ කියන්නේ තිබෙන අවම පහසුකම් යටතේ පවතින සීමාවන් තුළ සිට උපරිම දෙයක් වෙනුවෙන් පියවරක් තැබිය හැකිද යන්න.

අවමය කියන්නේ අපේ සීමාව තුළ අපිමයි අපේ චිත්‍රපටය කරගන්නේ. අපේ අතේ තිබෙන මොබයිල් එකකින්. ඒත් මේ 'මොබ් ෆිල්ම්වලට' ලංකාවේ තරුණ පරම්පරාවට එතරම් උනන්දුවක් නෑ. අපිත් එක්ක වැඩ කරලා, චිත්‍රපට හදලා, සම්මාන ලබා තිබෙන සිනමාකරුවන් පවා නිතර හිතන්නේ ලෝකේ තිබෙන උසස්ම තාක්ෂණය භාවිත කරන්නේ කොහොමද කියන එක ගැනයි.

මම මේ අයත් එක්ක සාකච්ඡාවක් කළා ඉතාම අඩුම පිරිවැයක් යටතේ, ලෝකේ සිනමා ශාලාවක මුදාහරින චිත්‍රපටයකට හිතන්නවත් බැරි තරම් අඩු මුදලක් වන මිලියන 1.5 කින් කොහොමද චිත්‍රපටය කරන්නේ කියලා."

ඉන්පසු ඇය විස්තර කළේ එය සංවිධානය කළ ආකාරයයි.

"මෙහි සිනමාකරුවන් 11දෙනකු සිටින නිසා එක්කෙනකුට ලැබෙන්නේ ලක්ෂයකට මඳක් වැඩි මුදලක් විතරයි. මේ වසංගත වේලාවේ, තිබෙන සීමාවන් තුළ වගේම සීමාසහිත මුදලකින් අපි මේ අභියෝගය ජය ගන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කළා. අපට තිබෙන්නෙ එක එක විදිහේ ජංගම දුරකථන. එනිසා අපි 4ම් තාක්ෂණය සහිත ජංගම දුරකථනයක් යොදා ගන්න තීරණය කළා. ජංගම දුරකථනයේ කැමරාව යම් තරමකට දියුණු වුණත් එය විසින්ම ගෙනෙන සීමාවන් අපට ජයගන්න තිබුණා. එය පර්යේෂණාත්මක කටයුත්තක්. එසේම මෙහි අනිවාර්ය සාධකය තමන් අඩුම පිරිසක් සමඟ වැඩ කළ යුතුයි. කැමරාවට කෙනෙක් සහ ශබ්ද සඳහා කෙනකු යොදාගෙන ඇන්තලොජියක් (මානව විද්‍යාත්ම චිත්‍රපටයක්) කරන්න පුළුවන්ද සිනමා ශාලාවක ප්‍රදර්ශනය කළ හැකි මට්ටමේ? ඒ යෝජනාවට සමහරු එකවර කැමැති වුණා. සමහරු මේක තවත් ජංගම දුරකථන වැඩක් විදිහට හිතුවා. අවසානයේ මම මේ සඳහා මාර්ගෝපදේශ ටිකක් හදා ගත්තා. අවම කණ්ඩායමක්, 5.1 ශබ්ද තාක්ෂණයක්, සැමදෙනාගෙන්ම යම් මුදලක් දුරකථනය ලබා ගැනීම සඳහා දායක කරලා, නිර්මාණශීලී නිෂ්පාදක ලෙස එහි බරපැනවලින් 50%ක වගකීම මම දරලා, අපි හැමෝටම එකම උපකරණ ලැබෙන ආකාරයට අපි ජංගම දුරකථනය භාවිත කළා. ඒ මොහොතේ හැමෝටම එදිනෙදා ජීවිතේ කියන්න ඇති කතාව කීමට.

ඒවා එක එක්කෙනා එක එක විදිහට බාරගෙන ඒ අයගේ කතන්දර ඔන්ලයින් මඟින් බාර දුන්නා. ඒ අතර නිෂ්පාදන පිරිවැය කොහොමද දරන්නේ කියලා කල්පනා කරද්දි ලෝකයේ කලාකරුවන් වෙනුවෙන් උදවු කරන ජර්මන් ජනරජයේ සහන අරමුදලක් තිබුණා ඉතාම කෙටි කාලීනව කලාත්මක ව්‍යාපෘතියකට සහයෝගය ලබාදෙන. පෞද්ගලික නිර්මාණයක් කරනවා වෙනුවට මට හිතුණා එයින් අපේ ලංකාවේ කෙටි චිත්‍රපටකරුවන් කීපදෙනකු සමඟ යම් නිර්මාණයක් කරනවා කියලා. මුලින් හිටියේ දහ දෙනයි. පසුව තව කෙනෙකු එකතු වුණා."

 

ඊළඟට ඇය පවසන්නේ චිත්‍රපටයේ ආකෘතිය ගොඩනඟාගත් ආකාරය හා එය රූගත කළ අයුරුය.

මෙය චිත්‍රපටයක් වුණත් පරිච්ඡේද 11කින් සමන්විතයි. යම් කුඩා අවකාශයක් විවෘත වන වෙලාවක එතැන රූගත කරන්න පුළුවන්ද කියන දේ අපි සොයා දැනගත්තා. දර්ශන තල කීවේ ඔන්ලයින් මඟින්. සමහරු කීවා මගේ ගෙදර වහලා තියෙන්නේ යතුර දෙන්නම් ගිහින් රූපගත කිරීම් කරගන්න කියලා. රට වහලා තිබියදී සංවිධාන කටයුතු කරලා රට ඇරියාට පසු රූපගත කිරීම් කළා. ඒ සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරීගේ අවසර අරගෙන දෙතුන්දෙනක් ගිහින් සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුකූලව තමයි චිත්‍රපට කළේ. එක් අයකුට එක දිනයයි ලබා දුන්නේ. එකම ජංගම දුරකථනය හුවමාරු කරගෙන රූපගත කිරීම් කළේ.

අපි සමඟ මුලදි එකතු වුණ දෙදෙනකුට හුදෙකලා කිරීම් ප්‍රශ්න නිසා සහභාගී වන්න බැරි වෙලා ඒ වෙනුවට තව දෙන්නෙකු සම්බන්ධ වුණා. ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත කොවිඩ් පොකුරු ඇති වීම නිසා වැඩි පිරිසක් වැඩකරන තැන්වල කාන්තාවන්ට ඒ වනතුරු නොතිබුණු අභියෝගයක් ආවා. ඒ වගේම මමම හදාගත් ප්‍රතිපත්තියක් තිබෙනවා මගේ වැඩවලදි අවම වශයෙන් කාන්තා සහභාගීත්වය 30%ක්වත් තිබිය යුතුයි කියන දේ. ඒ නිසා 11දෙනාගෙන් 4ක් කාන්තාවන්. ඒ වගේම තාක්ෂණික පැත්තට කාන්තාවන් යොමු කළ යුතු නිසා කැමරාකරණයට කාන්තාවන් දෙදෙනකු යොමු කළා. ඔවුන් දෙදෙනා චිත්‍රපට තුනක් රූගත කළා. තව කාන්තාවක් චිත්‍රපටයක් සංස්කරණය කළා.

දෙමළ මාධ්‍ය පරිච්ඡේද දෙකක් සහ සිංහල පරිච්ඡේද නවයක් ඇතුළත් වන ආකාරයෙන් තමයි පරිච්ඡේද එකොළහකින් යුතුව විනාඩි 92ක චිත්‍රපටය සම්පූර්ණ ඉංග්‍රීසි උපසැරසි සහිතයි."

මෙවැනි මොහොතක මෙවන් අභියෝගයක් ගැනීමේ අරමුණ ද ඇය සඳහන් කළාය.

"අපට අවශ්‍ය වුණේ රතු පලසකින් ගිහින් චිත්‍රපට උලෙළක් පැවැත්වීම හෝ සම්මාන උලෙළවලට සහභාගී කරවන්න නිර්මාණයක් කිරීම නෙවෙයි. අපි හැමෝටම කොටු වීම තුළ නිර්මාණශීලීත්වය පිළිබඳ ප්‍රශ්න නඟමින් සිටියේ. අපේ නිර්මාණකරණයට මොකද වෙන්නේ? කියලා.

මම මෙය අධ්‍යක්ෂණය කළ පරම්පරාවට කලින් පරපුරේ කෙනෙක්. මට ඇත්තටම ඕනෙ වුණේ මගේ පරපුරේ අය එදා අමාරුවෙන් කළ අත්හදාබැලීමක් දැන් තිබෙන නව සාමාන්‍යය තුළ ඇති අලුත් අභියෝග සමඟ අපට අපේ කතන්දර කියන්න පුළුවන් කියන දේ පිළිබඳ යම් කතිකාවක් ඇතිකරගන්න. මේ ව්‍යාපෘතිය ඇතුළත අපි එකිනෙකාගේ අදහස් හුවමාරු කරගත්තා. එකිනෙකා අනෙකාගේ වැඩවලට උදවු කළා එවැනි හුවමාරු මාර්ගගත ක්‍රමයට වුණත් යම් සාමූහිකත්වයක් සමඟ කළේ. මේ තුළ අපට ඕනෙ වුණේ අප සිටි ඒ මානසික පීඩනය අතර වුවත් 'අපට නිර්මාණශීලී යමක් කරන්න පුළුවන්' කියන දේ සමූහයක් විදිහට ජයගන්න.

ඒ තුළ අපි භාවත කළ උපාංගය ජංගම දුරකථනයක් වීම සිල්ලර විදිහට ගන්න උත්සාහ කරනවා වෙනුවට අපේ සීමා තුළ වෛරසයක් සමඟ හැංගිමුත්තං කරන මොහොතක මේ ජංගම දුරකථනය කොයි තරම් හොඳ උපාංගයක් වුණාද කියන දෙයත් අපි තේරුම් ගත්තා. මට වුවමනා වුණේ පවතින ආලෝකයෙන් සියලුම පරිච්ඡේද නිම කරන්න. ඒත් එකක දෙකක අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය වුණා විදුලි ආලෝක දෙකක් විතර භාවිත කරන්න. කලා අධ්‍යක්ෂණය ආදිය සඳහා නිදහසේ හැසරෙන්න, හොයන්න බලන්න අවකාශයක් නැති මොහොතක අපි මෙය කළේ. අද එය කරනවා නම් අපට මීට වඩාහොඳට කරන්න පුළුවන් තමයි. ඒත් මෙය එක ආකාරයක සුවපත් කිරීමේ ක්‍රියාවලියක්. ඒ උපදේශනය අවශ්‍ය මොහොතක්. කලකිරීමට පත්ව සිටි වෙලාවක්. එවන් යම් මොහොතක ලංකාවේ ජීවිතය තමයි ගුඩ් නයිට් කලම්බො මඟින් කියන්නේ. සිනමා ශාලාවක ප්‍රදර්ශනය කළ හැකි අයුරින් පළමු සහ දෙවැනි රැල්ල වෙත ආපසු ගොස් බැලීමක් කරනවා මෙයින්."

 

මෙහි පරිච්ඡේද පිළිබඳ කෙටි අදහසක් ඇගෙන් විමසුවෙමි.

"කාන්තාවකට සනීපාරක්ෂක තුවායක් ලබාගන්න බැරි වීමත් එදා ප්‍රශ්නයක්. මාස තුනක් ගෙදරටම කොටු වෙද්දි දින 28ට වරක් ඇතිවන අවශ්‍යතාවට එය ගෙන්වාගන්න බැරි වීම සැබැවින්ම ගැටලුවක් වුණා. සමහර දේවල් වෙළෙඳපොළේ නෑ, සල්ලි තිබුණත් ගන්න විදිහක් නෑ. එතැන් සිට අනවශ්‍ය ගැබ් ගැනීමක් ඇති වුවහොත් එයට පිළිතුරක් සොයාගන්න හිටියත් එයට අවස්ථාව නැති වෙනවා ගේ ඇතුළෙම සිර වීම නිසා. අපි හැමදාම කාර්යාලයට යද්දි විවාහක යුවළක සැමියාට සහ බිරියට වුවත් වෙනත් සබඳතා ඇති වන්න පුළුවන්. ඒත් ගේ තුළ හිර වීමේදී පිටස්තර සබඳතා පවත්වා ගැනීමට ඇතිවන ගැටලු. නව සාමාන්‍යය තුළ මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධය කෙසේ සිදුවන්නේද? සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව අනිවාර්යයෙන් ලබාගත යුතු හෝමෝන අවශ්‍යතා ඉටු කරගන්නට මේ කාලය තුළ නොහැකි වීම. ඔවුන්ගේ ආර්ථික අපහසුතා, මානසික බිඳවැටීම් තුළ කෙසේ ඔවුන් මේ දේවලට සොයාගත් විකල්ප මොනවාද? ළමයින්ගේ ජීවිතවල සිදු වූ වෙනස්කම්. විවිධ ජනවාර්ගික කොටස් අනුව පවා මාර්ගගත අධ්‍යාපනයේදී ඇති වුණ ගැටලු. දෙමළ ප්‍රජාව සැලකූ විට ඩයස්පෝරාවෙන් ආ යෝජිත විවාහයක මනමාලයාට එන්නට බැරි වීම මත ඒ විවාහය බිඳ වැටුණේ කොහොමද? ඇඟලුම් කර්මාන්තයේ නියැළි අයට සිදු වූ දේ. එකවර රට වැසීම සමඟ ඔවුන්ගේ ප්‍රේම සබඳතා, ගම්වල ගෙවල් සමඟ තිබුණ සබඳතාවලට වුණ දේ. ඒ වගේම සමහර විට සමාජයේ පිළිගැනීම සමඟ ස්පාවල සේවය කළ තරුණියන් රැකියාව කරන්නේ කොහේද යන්න පවුලේ සාමාජිකයන් නොදැන ඉන්න පුළුවන්. ඒ නිසා ගෙදරට කොටු වූ පසු මෙතෙක් කළ රඟපෑම තවදුරටත් කරගෙන යන්න බැරි වෙනවා. එදිනෙදා තරුණ ප්‍රජාවට විවිධ අවස්ථාවල මුහුණ දෙන්න වුණු සිදුවීම් පිළිබඳ පුවත්පත් වාර්තා ආදිය මේ සඳහා අපි පාදක කරගත්තා. කොවිඩ් ආදාහනයක් සඳහා වැරැදි ගෙදරක කෙනෙක් සහභාගී වීම වැනි ප්‍රවෘත්ති අනුව දේහය මාරු වුණාම ඇතිවන හැඟීම කොයි වගේද යන දේවල් පවා අපි මෙහි කතා කළා. කලාකරුවන්ගේ ජීවිතවලට මොකද වුණේ වැනි විවිධ දේ මෙහි අඩංගුයි. කොහොමත් මෙය අත්හදා බැලීමක්.

 

ඒ අනුව පරිච්ඡේද නම් කෙරුණේත්, ඒවා අධ්‍යක්ෂණය කළේත් කවුද යන්න පෙළ ගස්වන්නටද ඇය අමතක නොකළාය.

''An emergency'නිපුණිකා ප්‍රනාන්දු

'The Washroom' ක්‍රිෂන් කොඩිතුවක්කු

'The delivery'ලංකා බණ්ඩාරනායක

'An Overdose' මුවිඳු බිනෝයි

'A Wounded Artist' සුමුදු අතුකෝරල

'Another Lesson' ඩිමොන් ජෝන්

'The Pet' ' ෆාතිමා ෂානාස්

'A Marriage Proposal'  මාදවන් මහේෂ්වරන්

'The Telephone Call'  ධනුෂ්කා විජේසූරිය

'An Avoidable Contact' යොශිතා පෙරේරා

'A Working Girl'  රාහුල් රත්නායක ආදි වශයෙන් අධ්‍යක්ෂණය කළා.

ප්‍රසිද්ධ ශිල්පීන් හැටියට කෞශල්‍යා ප්‍රනාන්දු සහ යශෝධා රසඳුනී අපට සම්බන්ධ වුණා. අනෙක් සියලු දෙනා රංගනය හා සිනමාව පිළිබඳ දැනීමක් ඇති නවක පිරිස්. මම කළේ මෙහි නිර්මාණාත්මක නිෂ්පාදනයයි.

 

මේ නිර්මාණය ජනතාවට අතරට ගෙන යන ආකාරය පිළිබඳවද ඇයට සැලැස්මක් ඇත.

"මෙහි ලෝක මංගල දර්ශනය වැනි දෙයක් අපි කළා මාර්ගගතව අපි නැවත හිර වුණු වෙලාවේ. දැන් අපි සිනමා ශාලාවක පෙන්වන්නත් මාර්ගගත වේදිකාවන්වල ප්‍රදර්ශනයටත් සූදානමින් ඉන්නවා. ලංකාවේ සිනමා ශාලා සඳහා වන පෝලිම් අනුව වාණිජ මට්ටමින් මෙය කෙසේ සිදු කළ හැකිද යන්න ඉදිරියේදී තීරණය වෙයි. ඊට වඩා අපට අවශ්‍ය වුණේ මේ 11 දෙනකුගේ අත්හදාබැලීම මඟින් තවදුරටත් මේ වසංගතය අපට දෙන අභියෝග මැද අපේ ජංගම දුරකථනය හුදෙක් සිල්ලර උපාංගයක් විදිහට නොසලකා එමඟින් අපට ලබාදෙන අභියෝගත් ජයගෙන ලෝකය පුරා අද දවසේ සිනමාව කියන අභියෝගයට ලක්වූ කර්මාන්තයක නිෂ්පාදන හා බෙදාහැරීම් ක්‍රියාවලියේ අත්හදාබැලීමක් ලෙස මෙය අත්දකින්නයි. වසංගතයේ එක මොහොතකට අපේ මාධ්‍යය තුළින් නිර්මාණශීලීව මුහුණ දී එය ප්‍රතිනිර්මාණ කර අභියෝගයක් ලෙස ඊළඟ පරපුර ලෙස දෙපයින් නැඟී සිටීමත් මෙහි අරමුණක් වුණා."