Feedback

Week of නොවැම්බර් 15, 2018

උපේක්ෂා හරි අපූරුයි
නොවැම්බර් 15, 2018 ~ මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල ~ කෑගල්ලේ තටාකය පාර

හිරු රූපවාහිනී නාළිකාවෙන් දිනපතා රාත්‍රී 8.30 ට විකාශය කරන 'අහස් මාළිගා' ටෙලි නාට්‍යයේ උපේක්ෂා ස්වර්ණමාලි රඟන රයිනිගේ චරිතය ගැන කියනවා නම් ඇය හීන් නූලෙන් ඉඳ කපටිකමින් හා ක්‍රෝධ සිතක් ඇතිව, ඇස් කර කවමින් තමන්ගේ වැඩ කටයුත්ත කර ගැනීමට ක්‍රියා කරන අයුරු හරිම අපූරුයි.


 උදුම්බරා

උදුම්බරා සාර්ථක නිර්මාණයකි. විශේෂයෙන්ම සියලුම පාසල් දරුවන් හා ක්‍රීඩාවට ලැදි ලොකු කුඩා සැම නැරඹිය යුතු ඉතා හොඳ නිර්මාණයකි. උදුම්බරා ඔබ සැමට කදිම ආදර්ශයකි. ආදරණීය දරුවනි, දේශයේ අභිමානය ඔබයි. දේශයේ අභිමානය නැවතත් ජාත්‍යන්තරයට ගෙන යන්න උදුම්බරා ඔබ සැමට අත්වැලක් වේවා. උදුම්බරාට ජය ශ්‍රී!

අනුර දේවරාජ
ගලිගමුව


මල් මිටක්

මෑතකදි අසන්නට ලැබුණු බොල් සංගීතයට නව පණක් ලබා දෙමින් මියුරු දේශීය තනුවලට කන්කළු සංගීතය සපයා පොදු අසන්නන් පින වූ සංගීත අධ්‍යක්ෂ කපිල පූගලආරච්චිට මගෙන් මල් මිටක්.

කෙනත් පෙරේරා
ජාඇල


ග්‍රැමෆෝන් යුගය සිහිපත් කරමු

ග්‍රැමෆෝන් යුගයේ ඉතා ජනප්‍රිය ගායිකාවන් වන වී. පී. ලීලාවතී, විනෝදිනී සහ ප්‍රිසිලා ඕපාත ඒ යුගයේ ගැයූ මිහිරි ගීත ඇසෙන විට අප හදවත් ලබන සතුට වචනයෙන් කියා නිම කළ නොහැක. එම ගීත සංරක්ෂණය කිරීම අප කාගේත් පරම යුතුකමකි.

රත්නසිරි අමරසේකර
ගඟුලේ


වඩිනු මැන අහසින්

අමරදේව සංගීත සංකල්පනා
යටි පෙළ මතු කළ
මහ ගැඹුරින්
මහැදුරු දෙපොලට
පිට ඉන්න අපි
සර්, වෙනුවෙන්

එදා මැසැසින් දුටුවා අපි
ඔබ
හෙට මනසින් දකින්න
ඔබ
මතු පරපුර හට

අමරදේව සංගීත සංකල්පනා
සාගරය සංගායනය
කළ යුතු බව
පසක් කලා අද
අමරසර විනිස

ළඟදීම ආයෙත්
වඩිනු වඩිනු මැන
අහසින්
සර්
අහස බලාගෙන
අපි

ඊ. ඩී. ශ්‍රීයාපාල

ගුවන් විදුලියට ආලෝකයක් වූ රම්‍යා ශ්‍රියානි පතිරණ
නොවැම්බර් 15, 2018 ~ ප්‍රියන්ත හෙට්ටිආරච්චි ~ යක්කල

ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ වෙළඳ සේවයට පහළ වූ තවත් නිවේදිකාවක් නම් රම්‍යා ශ්‍රියානි පතිරණ. රසික හදවත් ගෞරවණීය කථිකත්වයෙන් මනා ලෙස ඇද බැඳ ගනිමින් දක්ෂතා පෙන්වා ඇත. ඇය විසින් ඉදිරිපත් කරන විවිධ වැඩ සටහන් ප්‍රියජනක ලෙස මෙහෙයවීම අගනේය. මාලිති ලතා, ඔබේ නමින් ගී, මධු රසාංග, සලරු සේයා. ඇය සංගීත ආචාර්යවරියක්, හඬ කැවීම් ශිල්පිනියක්, ගීත රචිකාවක්, බී ශ්‍රේණියේ සරල ගී ගායිකාවකි. තවද සංදර්ශන වේදිකාව ඒක පුද්ගල ප්‍රසංග විචිත්‍ර කථනයෙන් වර්ණවත් කර ඇති අතර අපට සිටින දක්ෂ, ප්‍රවීණ නිවේදිකාවක් ලෙස හැඳින් විය හැක. ගුවන් විදුලියට මහඟු වස්තුවකි. ඇයගේ සියලු කටයුතු සාර්ථක වේවායි සුභ ප්‍රාර්ථනා කරමි.

ජීවිතයේ සැඳෑ සමය ගෙවන විල්සන් කරු
නොවැම්බර් 15, 2018 ~ ඊ. දයානන්ද ද සිල්වා ~ සීනිගම

60 - 70 යුගයේ සිට තවමත් සිනමාව තුළ ගැබ්ව රසික හදවත් මුසපත් කොට සිටින ඔබට දීර්ගායුෂ පතමි. ගාමිණී ෆොන්සේකාගේ සිට නවක රංගන ශිල්පීන් සමඟ කරට කර රංගනයේ යෙදුණේය. 'දෙමෝදර පාලම' 'යකඩයා' 'එකදා වැහි', 'සත්‍ය' 'සේයාවක පසු පස' 'සූර වීර චණ්ඩියා' කදිම නිදසුනකි. ගාමිණී ෆොන්සේකා පදනමින් උපහාර ලැබූ එකම සටන් නළුවා ඔබයි.

නිරංජලා දේශයට අභිමානයක්
නොවැම්බර් 15, 2018 ~ එච්. ඉන්ද්‍රපාල ~ මුංහේන

ගායන ක්ෂේත්‍රය තුළ පති දම් සුරකින කුල කාන්තාවක් බඳු ගායිකාවක් සිටී නම් ඒ අන් කිසිවෙකු නොව නිරංජලා සරෝජිනි පමණි. තම ජීවන සහකරු වූ අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියාගේ වියෝවත් සමඟ එතුමිය ගීත ගැයීම මුලුමනින්ම නතර කළහ. ඇය වටා ඒකරාශි වී සිටින ශ්‍රාවක රසික රසිකාවන්ට මෙය ඉතා ශෝචනීය කරුණක් වුවත් ඇය අබේවර්ධන බාලසූරියට දක්වන ලද පිවිතුරු බවින් පිරි ආත්මීය සති පූජාවකි. නිරංජලා ඔබ දේශයට අභිමානයකි. මුලු මහත් කාන්තා පරපුරට ආදර්ශයකි.

තිස්ස නාගොඩවිතාන මහතාට
නොවැම්බර් 15, 2018 ~ පාලක සමන් පෙරේරා ~ හැඳල අල්විස් ටවුම පාරේ

සිංහල සිනමාවේ බිහි වූ ඉතා පැරණි චිත්‍රපට සංරක්ෂණය කර රැක ගැනීමට ගත් අමිල මෙහෙවර අප කවදත් අගය කොට සලකමි. ඒ අතරෙන් අප මෙතෙක් නොදුටු චිත්‍රපට රාශියක් ඇත. කඩවුණු පොරොන්දුව, කොටි වලිගය, බිනරමලී, ඔන්න මාමේ කෙල්ල පැනපි, ඔන්න මාමේ බිල්ලෝ එනවා, අප්සරා, සංඛපාලි, බිනරමලී, ආත්ම පූජා යන චිත්‍රපට ද වේ. තවද නම් කිරීමට නොහැකි චිත්‍රපට රාශියක් ද වේ. අපට රස විදීමට ඒවා ඩී. වී. ඩී. තැටි මඟින් අවස්ථාව උදා කර දෙන මෙන් තිස්ස නාගොඩවිතාන මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සෝමතිලක ජයමහ නම් නිහඬ ගායකයාණෙනි
නොවැම්බර් 15, 2018 ~ එස්. පී. සොලමන්ස් ~ තලාතුඔය

'සැන්දෑ අඳුර ලොව ගලන වෙලේ', 'සුනිල් වන් නුවන් යුග ඇර', 'පළිඟු තලාවක හිඳ', 'පොඩි පුතුගේ සිනා වැල දකිමින්' 'ආදරයේ උණුසුම ළඟ' 'හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාඩුවේ'

ඔබ ගැයූ සෑම ගීතයක්ම අපගේ මන දොල පින වූ ගීතයි. වැඩි සද්ද නැති ගායකයාණෙනි, ඔබේ මධුර හඬින් චිරාත් කාලයක් ගීතයෙන් අප සනසනු මැනවි.

ඔබට ජය

ඩබ්ලිව්. ඩී. අමරදේව සමරමු
නොවැම්බර් 15, 2018 ~ ඩඩ්ලි ගෝමස් ~ මොරටුව කටුබැද්දේ

එදා සුනිල් ශාන්තයන් ගොඩ නැං වූ දේශීය සංගීතය ඔප මට්ටම් කළේ අමරදේවයන්ය. ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා, ඩබ්ලිව්. ඩී. අමරදේව ලෙසින් කලා ලොවට හඳුන්වා දුන්නේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ය. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ ගොස් සංගීතය හැදෑරීමට මුල්‍යමය උදව් දුන්නේ ඩී. බී. ධනපාලයන්ය. හොඳම සංගීත අධ්‍යක්ෂ ලෙසින් 2 වරක් ද, හොඳම ගායකයා ලෙසින් 08 වරක් ද සරසවිය සම්මාන ලබා අවසන 1994 දී සරසවිය රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලැබීය. අනතුරුව 2001 දී අන්තර් ජාතික රැමොන් මැන්සේසි සම්මානයෙන් පිදුම් ලැබූ මෙම මහා අනර්ඝ කලාකරුවා 2016 නොවැම්බර් 03 අපෙන් වෙන් විය. එතුමාට නිවන් සුව අත්වේවා!

Week of නොවැම්බර් 15, 2018