ජෝන් ජයපාලට පෙම් බැඳි තංගම්මා

කම්මුල් පාරක් නිසා දවස් තුනක් රෝහලේ
පෙබරවාරි 27, 2020

තංගම්මා රූමතියකි. ඇය මහ මඟ යන ධනවතුන් දැලේ දමා රවටා ගෙන සූදු පොළකට කැඳවාගෙන යාමට මැරවර මුදලාලි කෙනෙකු විසින් යොදාවනු ලැබූ තරුණියකි. උතුවන් කන්දේ සරදියෙල් අතරමඟ තංගාට අසු වුණේය. ඇගේ මාර්ගයෙන් සූදු ගුහාවට ගිය සරදියෙල්ට ඇය දැක් වූයේ අසීමිත ආදරයකි. තංගා සූදුවේ සියලුම රහස් කියා දුන් නිසා එදා සූදු ගුහාවේ සේරම සල්ලි ඔහුට දිනා ගත හැකි විය. මුදලාලි කළේ වැඩියෙන් මුදල් දිනා ගන්නා මිනිසුන් මරා මුදල් ගැනීමය.

එදා සරදියෙල්ට ද හිමි වන්නට තිබුණේ ඒ ඉරණමය. නමුත් තංගා කළ කපටි වැඩකින් ඔහු එදා බේරුණි.

සරදියෙල් ද හොර නායකයා ද අතර වූ මාරක සටනකින් පසු සරදියෙල්ගේ වෙඩි පහරකින් ඔහු මැරී වැටුණේය. තංගා සමඟ ඔහු පළා ගියේ එදා සූදු පොළේ තිබූ සියලු මුදල් ද රැගෙනය. තංගාට සරදියෙල්ට ඇත්තේ අවංක ආදරයකි. එහෙත් සරදියෙල්ට සිරිමලී නම් තරුණියකට ආදරය කර ඇය ඔහු පතා සිටියාය. කලකින් සරදියෙල් නොපැමිණි බව දැන සිරිමලී ඔහු  සොයා උතුවම්කන්දට ගියාය.  එවිට ඇය දුටුවේ තංගා  සමඟ පෙම් බස් දොඩන තම පෙම්වතාය. මෙහිදී තංගා හා සිරිමලී අතර වේගවත් වාග් ප්‍රහාරයක් ඇති වුණා. සිරිමලීගේ පියා අසල ගසකට සැඟව සිට සරදියෙල්ට හීයක් විද්දේය. ඊ පාර වැදුණේ තම දියණිය වූ සිරිමලීටය. සිරිමලී අවසන් හුස්ම හෙළුවේ සරදියෙල්ගේ උකුල මතය.

1954 අගෝස්තු 05 වෙනිදා තිරගත වූ සිරිසේන විමලවීරගේ ‘සරදියෙල්’  චිත්‍රපටයේ තංගම්මාගේ චරිතයෙන් සිනමාවට අලුත් පෙම්වතියක් එකතු වූවාය. ඈ ගර්ලි ගුණවර්ධනය. සරදියෙල් ලෙස මතායස් ප්‍රනාන්දු  සිරිමලී ලෙස තෙරේස් වීරසිංහ ද රඟපෑහ.

ගර්ලි ගුණවර්ධන ‘සරදියෙල්’ චිත්‍රපටයට ප්‍රථම චිත්‍රපට දෙකක  සුළු චරිත රඟපා තිබුණාය. 

කවුද මේ ගර්ලි ගුණවර්ධන.

1935 නොවැම්බර් 15 වෙනිදා ගල්කිස්සේ ටෙම්පලර් පෙදෙසේ ගාලු පාරට හූවක දුරින් තිබූ නිවෙසක උපත ලැබූ දෝන ගර්ටි ග්‍රේස් ගුණවර්ධන. ආගම බෞද්ධාගමය. ඇය දරුවන් හය දෙනෙකුගේ පවුලක පස්වැන්නාය. ටයිටස්, ලයනල්, අර්වින් අයියලාය. අක්කා  ඊළඟටය. බාල නංගි රෝස්ය. ගර්ලි අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ උසස් බාලිකා විද්‍යාලයේය. 1952 ඇරඹි රොබට් ජයවර්ධනගේ ‘සිනමා’ පුවත්පතේ මිතුරු හවුල තීරයේ අලුත් සාමාජිකයන් අතර පසු කලෙක සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් දෙදෙනකු වූ ප්‍රේම් ජයන්ත්ගේ හා ගර්ලි ගුණවර්ධනගේ ලිපිනය හා විනෝදාංශ පළ වී තිබුණි.

ඇස්. ඩී. ගර්ලි ගුණවර්ධන

ටෙම්පල්ස් පෙදෙස

ගල්කිස්ස

වයස - අවුරුදු 18

ඉගෙනුම - සිංහල ඉංග්‍රීසි 7

විනෝදාංශ - චිත්‍රපට තාරාකාවක් වීම, සිංහල හින්දි  චිත්‍රපට බැලීම, මිතුරු මිතුරියන් ආශ්‍රය, චිත්‍රපට තරාකාවන්ගේ ඡායාරූප එකතු කිරීම

ගර්ලි සිනමාවට එක් වූ අයුරු වරක් අපට මෙසේ විස්තර කළාය.

‘1952 වසරේ ශ්‍රී මුරුගන් නව කලා චිත්‍රපට සමාගම මඟින් දැන්වීමක් පළ කර තිබුණා. ඒ චිත්‍රපටයේ නම ප්‍රේම තරඟය. මම කඳානේ සුන්දර චිත්‍රාගාරයට මගේ මිතුරියෝ දෙදෙනකු සමඟ ගියා. එදා ෂූටිං දවසක්. චිත්‍රාගාරයේ ලොක්කා නායගම් මහත්තයා හිටියා. එදා තිබුණේ ලැඩි රණසිංහ හා හියුගෝ ප්‍රනාන්දු රඟපාන දර්ශනයක්. විවේක අවස්ථාවක් බලලා මම ලැඩී අයියා ළඟට ගියා.

 ‘ලැඩී අයියා මම පත්තරේ තිබුණ දැන්වීමට ඉල්ලලා ලියුමකුත් එව්වා. මම කැමතියි රඟපාන්න.’

 ‘මේ  ළමයා තාම ඉස්කෝලේ යන වයසේ ඉන්නේ? දෙමාපියන් කැමති වෙයිද?’

 ‘මට කැමැත්ත ගන්න පුළුවන් වේවි’

ලැඩි   අයියා  මාව  අධ්‍යක්ෂක  ඒ.  බී.   රාජ්  ගාවට   එක්ක  ගියා. හියුගෝ    මාස්ටර්  මගෙන්  ප්‍රශ්න කිහිපයක්  ඇහැව්වා.

 ‘මට ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාන්න ලැබුණා. ප්‍රධාන නිළිය වූ අයේෂා වීරකෝන්ගේ මිතුරියක් ලෙස ගීයක කොටසකුත් ලැබුණා. ගීතයේ පසුබිම් ගායනය ලතා. ලතාත් අපිත් එක්ක රඟපෑම තවත් විශේෂයක්. අපිට රුපියල් 300 බැගින් ගෙවීමක් කළා.

 ‘සැම මලින් රොන් සොයන්

යති මසුන් ගුම් නදින් 

කුසුමන් සැලෙමින්  හිස වනා සිනාසෙමින්

 ‘ප්‍රේම තරගය’ කරලා ඉවර වෙලා ඉන්න අතරේ ගල්කිස්සේ උසස් බාලිකාවේ අපේ  නාට්‍ය කලාවට උනන්දුවක් දැක් වූ ගුරුතුමියක් වූ අයිලින් සරච්චන්ද්‍ර  මහත්මිය මගේ රංගන  කුසලතා දැක තිබූ නිසා මට ධෛර්ය දුන්නා.  ඒ ගුරු මහත්මිය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයාගේ බිරිය. අපිට නැටුම් ඉගැන් වූ  නෙරංජනා දේවි මහත්මියගේ යටතේ නර්තනයත් අයිලින් මහත්මියගෙන් රඟපෑමටත් මට අවස්ථාව ලැබුණා. මේ නිසා නායගම් මහතා ඊළඟට නිෂ්පාදනය කළ ‘පුදුම ලේළි‘ (1953) චරිතයයක් රඟපාන්න ලැබුණා ප්‍රේම් ජයන්ත් හා නන්දා ලීලානායක සමඟ. මට නැටුම් දර්ශනයකුත් තිබුණා. ඉන්දීය නැටුම් ගුරුවරයෙක් අපිව පුහුණු කළේ. මට රු 500 ක ගෙවීමක් කළා. ඒ කාලේ ලොකු මුදලක්. අම්මටයි,  අක්කටයි, නංගිටයි මටයි ජෝර්ජට් සාරි හතරකුත් ඒ මුදලින් අරං තවත් ඉතුරුත් වුණා’ ගර්ලි එදා අතීත කතාවක් හෙළි කළාය.

 ‘සරදියෙල්’ චිත්‍රපටයේ ගර්ලි රඟපෑම සඳහා දස වධ විඳ ඇත. කෙසේ වෙතත් සිරිසේන විමලවීර මාස්ටර්ගෙන් ඇය රඟපෑම ගැන බොහෝ දේ ඉනෙ ගත්තාය. නවජීවන චිත්‍රාගාරයේ කෘත්‍රිම කැලෑවක් මවා තිබුණා. එහි කලා අධ්‍යක්ෂ දයා කරුණාරත්න. ඔහු දැවැන්ත පේර ගසක් ඉන්දලා තිබුණි. එය රාත්‍රී දර්ශනයකි.  සඳ පායා තිබූ දිනයකි. තංගම්මා සිටියේ පෙර ගස උඩය. මේ අවස්ථාව වරක් ගර්ලි සිළුමිණ මාධ්‍යවේදිනී ඉනෝකා පෙරේරා  බණ්ඩාරට මෙසේ කියා තිබුණාය.

 ‘තංගම්මා පේර ගෙඩියක් හපමින් සිටියාය. සරදියෙල්ගේ පයට පෑගෙන කොළවල සර සර හඬ ඇහුණ ද තංගම්මාට එය ගනිච්චියක් නැත.

ගහ මුල නැවතුණු සරදියෙල් උඩ බලයි.

 ‘ආ . . . තී ද  මේ උතුවන්කන්ද වීරවරිය’

තුවක්කුව මානමින් හේ කෑ ගසයි. එහෙත් ඒ කිසිවක් මායිම් නොකළ තංගම්මා  හඬ නඟා හිනැහෙයි. එයිනුදු නොනැවතී, හපමින් සිටි පේර ගෙඩියෙන් ඔහුට දමා ගසයි. නළලත අල්ලා ගන්නා සරදියෙල් කේන්තිය පිට කරනු වස් පේර ගස සොලවන්නට සැරසෙයි. එහෙත් සිදු වන්නේ නොසිතූ  දෙයකි. කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයේ සවි කර තිබූ පේර ගස ඉදිරියට වැටෙයි. ඉනි මඟකට ගොඩ වී මෙතෙක් තංගම්මාට පණ දුන් ගර්ලි ද දැන් ගහ පල්ලේ වැටී සිටියි. එහෙත් අවශ්‍ය රූප රාමු සියල්ලම ඒ වන විටත් රූගත වී  අවසානය.’

එදා ගර්ලිට සුළු සීරීම් කිහිපයකින් බේරීම වාසනාවකි.

1953 තිරගත වූ ‘කැලෑ හඳ’ චිත්‍රපටයේ ජෝන් ජයපාල ලෙස රඟපෑ නළුවා වූ ස්ටැන්ලි පෙරේරාට තරුණියන් කී දෙනෙක් ආලය කළාද? ඒ අතර ගර්ලි ද නොසිටියා නම් එය ලෝක පුදුමයකි.

 ‘මම ස්ටැන්ලි හඳුනා ගත්තේ භද්‍ර මාරපන සහ ඒ. ජේ.  ද සොයිසා යන  මිතුරන් මඟින්.

 ‘එන්න ගර්ලි ඔයාට ජෝන් ජයපාලව අඳුන්නලා දෙන්න.  මාව ඇදගෙන භද්‍රා ස්ටැන්ලි ගාවට එක්ක ගියා.

 ‘මේ ගර්ලි, මතකද ‘සරදියෙල්’?

 “මොකද නැත්තේ මේ තංගම්මානේ. හරි සැර කෙල්ලෙක්. සරදියෙල්වත්  දැපනෙ දාගත්තනේ’ ස්ටැන්ලි සිනාසෙමින් කිව්වා.

ඒ හිනාවේ අමුත්තක් මම දැක්කා.  දවසක් භද්‍ර හා සොයිසා සමඟ ස්ටැන්ලි ගල්කිස්සේ අපේ ගෙදර ආවා. ඒ වන කොට අපි දෙදෙනාම රඟපානවා. හමු වී තිබුණේ අර කලින් කිව්ව දවසේ.

 ‘මට චිත්‍රපටයක ප්‍රධාන අමුත්තා  හැටියට ආරාධනා කරලා. ගර්ලිත් චිත්‍රපට නිළියක්නේ. ගෙදර කට්ටියත් එක්ක එන්න ඒ චිත්‍රපටය බලන්න’. අපේ ගෙදර කට්ටිය ගියා. මම ඉඳ ගත්තේ ස්ටැන්ලි ගාව. මට චිත්‍රපටයේ නමවත් මතක නෑ. අපි ගොඩක් දේවල් කතා කළා. 

 ‘මම කැමතියි ගර්ලිව බඳින්න’ ස්ටැන්ලි කිව්වාම මට දෙලොව සිහි වුණා.

 ‘ඇයි ඔය තරම් ඉක්මන් . . . .තව හිතන්න. අපිට වයස තියෙනවා.’

 ‘එදා ඔයාව දැක්ක දාම මම තීරණය කළා ඔයා තමයි මගේ අනාගත සහකාරිය කියලා.’

ස්ටැන්ලි ගර්ලි රහසේම විවාහ ගිවිස ගත්තා. දෙදෙනාම රඟපෑමේ යෙදුණත්  එය රහසක් විය. 

1956 පෙබරවාරි 01 වෙනිදා ‘චලන චිත්‍ර’ සඟරාවේ කර්තෘ සෝමපාල රණවීර ගර්ලි ගැන ලියූ දීර්ඝ ලිපියේ මෙසේ අසා තිබුණි.

 ‘ඔබ ගැන කට කතා තියෙනවා. ඔබ තවම විවාහ වීමට අදහස් කර නැද්ද?’

 ‘තවම ඒ ගැන කල්පනා කරනවා’

 ‘ඔබේ මනමාලයා කවරෙක් විය හැකිද?’

 ‘මගේ මනමාලයා නළුවෙක් මිස වෙන කවරෙක්ද? ඈ කීවාය. මම හුනස්නෙන් නැගිට ඇයට සුභ පැතුවෙමි.

ස්ටැන්ලි පෙරේරා හා ගර්ලි ගුණවර්ධන පෙම්වතුන් ලෙස රඟපාන්නේ 1956 රූ ගැන් වූ දුප්පතාගේ දුක චිත්‍රපටයේය. ඒ චිත්‍රපටයේ ස්ටැන්ලි රඟපාන්නේ කැරලිකාර විශ්ව විද්‍යාල තරුණයකු වූ තිලක ලෙසය. ගර්ලි රඟපාන්නේ නාලිනී ලෙසය. තිලක්ගේ පියා පොලීසියේ උසස්  නිලධාරියෙකි. නාලිනී නගරාධිපති ධර්ම ශ්‍රීගේ මිනිබිරියයි. ධර්ම ශ්‍රී අතීතයේ සොරෙකි. එහෙත් ධර්ම ශ්‍රී පසුව ධනවතෙක් මෙන්ම නගරාධිපති ද වෙයි. තම මිනිබිරිය හා තිලක් අතර සම්බන්ධයට කැමති නැත.

වරෙක ධර්ම ශ්‍රී තම මිනිබිරියට කම්මුල් පහරක් දෙයි. ධර්ම ශ්‍රී ලෙස රඟපාන්නේ ලැඩී රණසිංහය. දුප්පතාගේ දුක චිත්‍රපටයේ ඉන්ස්පැක්ටර් ලෙස රඟපෑ මාක් සමරනායකට ලැඩී පුටුවකින් ගසන දර්ශනය ගර්ලි දැක තිබුණි

 ‘මචං  ලැඩී මට තුවාල  නොවෙන්න පුටුවෙන් ගහපන්’ යයි කීව ද ලැඩී ඇත්තටම මාක්ට ගසා තුවාල වී තිබුණි.

 ‘මචං ඒ් සීන් එක හරියට ආවේ මම උඹට ඇත්තටම ගහපු නිසා. ‘සොරි මචං’ කී ආකාරයත් ගර්ලිට මතකය.

මේ නිසා ගර්ලි ලැඩීගේ කම්මුල් පහර ගහන දර්ශනයට හොඳටම බය වී තිබුණි. කිව්ව දේම සිදු විය.

 ‘උඹ අදම තිලක් එක්ක තියෙන  සම්බන්ධය අත හරින්න ඕනෑ. ඌ විප්ලවකාරයෙක්’

 ‘මට ඒක කරන්න බෑ සීයේ’

ලැඩීගේ වේගවත් අතින් ගර්ලිගේ මුහුණ හරහා පතිත වූ කම්මුල් පහරින් දින තුනක් ගර්ලිට කතා කිරීමට නොහැකිව රෝහල් ගත වී ඇත. රෝහලට ගිය ලැඩී ඇගේ හිස අත ගාමින් කියා ඇත්තේ ‘ගර්ලි චිත්‍රපටය ආපුහාම බලන්න ඒක නැචුරල්ම සීන් එක කියලා කියාවි’ ගර්ලිට කට උත්තර නැති විය.

 ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේ ස්ටැන්ලි හා ගර්ලි ගැයූ මේ ගීතයේ පසුබිම් ගායනය ලතා සහ දක්ෂිණ මූර්තිය. මෙහි සංගීතය ද දක්ෂිණ මූර්තිගෙනි. ගීත රචනය හියුගෝගෙනි.

 ‘ඉඟි බිඟි පාලා කුල්මත් වීලා

මා පසු එන්නේ ඇයි

පොකුරු පොකුරු බොරු දාලා

යහළු වෙන්ට ලොබ වීලා

කොල්ලන්ගෙ මායම් මේ දන්නේ නැද්ද මන්

හැඩ වැඩ ගන්වා රුව ඔප පෙන්වා මා පසු එන්නේ ඇයි?’

1956 වසරේ විවාහ වන ස්ටැන්ලි හා ගර්ලිට දියණියන් සිව් දෙනෙකි.  සන්ධ්‍යා, සද්නා, සබීතා චන්දිමා මේ සිව් දෙනාය. ගර්ලි දුප්පතාගේ දුකට පසු චිත්‍රපට කිහිපයක රඟපෑවාය. ගංතෙර, සුබ සරණ සැප සිතේ, සසරක හැටි, ලාදළු, හතර මහ නිධානය, සොඳුරු යුවළ හතර කේන්දරේ, ඉවසන දනා, දැවෙන පිපාසය, හතර වටේ, ටොම් පචයා, සඳා, සමනළ සිහින, ආදර ගීතය, දෙවෙනි ගමන, පොඩි රාළහාමි, කවුළුව, රස රහසක්, ඔක්කොම කණපිට, අහස් මාලිගා මේ චිත්‍රපට අතර වෙයි. 

තම දියණියක් සිනමාවට දායාදය කිරීමට ගර්ලි ආසවෙන් සිටි බව ස්ටැන්ලි හා ගර්ලිගේ දියණි සම්මානනීය චිත්‍රපට නිළි සබීතා පෙරේරා අපට කීවාය.

 ‘අම්මා මට වඩාත් සමීපව හිටියා. රූගත කිරීම්වලට මා සමඟ ගියා. තාත්තා වැඩිපුරම හිටියේ මාතර අක්කාගේ ගෙදර. අම්මා මගේම අම්මා ලෙස ‘දෙවෙනි ගමන’ චිත්‍රපටයේ රඟපෑම මට විශේෂයක්. මට පාකිස්තානු චිත්‍රපට උලෙළකදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණු දා හරිම සතුටින් හිටියේ.

‘මම ජීවතුන් අතර ඉන්න කාලේ ඔයා ජාත්‍යන්තර සම්මානයක්  ලැබීම ගැන මම සතුටු වෙනවා’ අම්මා කිව්වා.   

මාව නිළියක් කරන්න ලොකු ආසාවක් අම්මට තිබුණා. ‘සබීතා ‘ටොම් පචයා’ චිත්‍රපටයේ කුඩා චරිතයක් රඟපාන කොට නැටුම් අධ්‍යක්ෂ රොනල්ඩ් ප්‍රනාන්දු  හා කොණ්ඩා සැරසිලි කරන සෑම් පෙරේරා විසින් සෙල්වරත්නම්ට යෝජනා කළා මාව ප්‍රධාන චරිතයට ගන්න කියලා. චිත්‍රපටයේ නම් ‘බබීතා’. මාව දැකලා ඒ චිත්‍රපටය ගත්තේ චිත්‍රපටයේ නම සබීතා’ කියලා වෙනස් කරලා. අම්මා හරි සතුටින් හිටිය දේ මේ නිසා ඉටු වුණා.

අම්මා නිතරම තමුන්ගේ පාඩුවේ හිටියේ. අපිව ලැබුණට පස්සේ අම්මා සිනමාවෙන් අයින් වුණා.

ගර්ලිගේ ප්‍රථම දියණිය සන්ධ්‍යාට මාස කිහිපයක්ව තිබියදී ‘කලා’ සිනමා සඟරාවේ (1959) අපුරු ඡායාරූප විශේෂාංගයක් තිබී මට හමු විය. එය ලියා  තිබුණේ චන්ද්‍රා වයමන් විසිනි. එහි ඡායාරූප කිහිපයක් ද මේ ලිපියට ඇතුළත් කළේ මීට වසර හැටක පමණ ඈතදී වෙන්නප්පුවේ නිවසේ ස්වභාවය රසික රසිකාවන්ට මතක සටහනක් ලෙසය.

ගර්ලි ගුණවර්ධන නම් මේ රංගවේදිනිය 2012 මාර්තු 11 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තාය.

Comments

Pooji (තහවුරු වී නොමැත)
Girlie dubbed for Meena Kumari's voice in Ahinsaka Prayogaya. Stanley did for Gemini Ganesan
සිකු, 02/28/2020 - 08:16

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.