බාහිර පෙනුමෙන් සංස්කෘතියක් නැහැ කියලා හිතාවි

චිත්‍රාල් සෝමපාල
පෙබරවාරි 21, 2019

 'මම සෝමපාල පරපුරේ . . .'

ඔහු හෙමිහිට කිව්වා.

ඇත්ත තමයි . . . ඔහු සෝමපාල පරපුරේ තමයි. ඒත් ඔහුගේ ගමන් මඟ . . .?

මට ප්‍රශ්නාර්ථයක්.

කතා කරගෙන යත්දි තමයි ගමන් මඟත් ඊට අනුගතයි කියල තේරුණේ.

ඔහු චිත්‍රාල් සෝමපාල. බොහෝ දෙනෙක් චිටී (ඛ්ඩඪබර) කියලත් හඳුන්වනවා. සෝමපාල පරපුරට අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ තියෙන්නේ අති ගෞරවනීය නාමයක්.

පී. එල්. ඒ. සෝමපාල - චිත්‍රා සෝමපාල නාමයන් දෙක ක්ෂේත්‍රය පුරා ඉහළින්ම බැබළෙනවා.

දඹුළු ගලේ - දඹුළු ගලේ

රන් ගිරි දඹුළු ගලේ

 

ඉසුරුමුණියෙහි පැතලි ගලක ඒ

ආලය ලීලය පෑ . . .

උඩරට කඳුකර - සිරියා පරදන වැනි ගීත මට මතක් වෙනවා. දශක ගණනාවක් ගත වෙලත් අදටත් අපි ආදරය කරන නිර්මාණ ටිකක් ඔවුන් ඉතුරු කරලා ගිහින්.

ගාලු පුරේ සිරි, ලලිත කලා ඔප කරනා වැනි ගීත ඒ අතරින් ආයෙත් මට මතක් වෙනවා. පී. එල්. ඒ. සෝමපාලයන් එදා චිත්‍රපට සංගීතයට දක්වපු දායකත්වය කොයි තරම්ද? ඔහු නිම වූ අසිරිමත් ගී තනු අදටත් ශ්‍රාවකයින් පිනවන අයුරු මතක් වෙනවා.

මේ මතකය අතරින් ආයෙත් මට චිත්‍රාල් ගේ හඬ ඇහෙනවා. අපේ නිමිත්ත අති විශේෂයි. එළඹෙන 23 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මෙහෙය වන 'ඊපචඪත ඕතචලඥප' සැණකෙළියේ චිත්‍රාලුත් ගී ගයනවා.

චිත්‍රාල්ගේ ගීත සම්ප්‍රාප්තිය අපට විශේෂයි. ඒක අහවලාගේ වගේ, අරයගේ හඬට ළඟින් යනවා කියන්න හෝ ඔහුගේ අම්ම තාත්ත වගේ කියන්න හෝ අපට බෑ. එහෙම කියන්න කාගෙවත් ගුණ ඒකෙ ගෑවිලා නෑ. ඒක අලුත් අමුතු දෙයක්.

'මගේ ජීවිතේ මම හුඟාක් අවස්ථාවල ආධාර සංදර්ශනවලට සහභාගි වෙලා තිබෙනවා. ඒ හැම මොහොතක්ම මට සුවිශේෂීයි. හැම තැනකටම මම සහභාගි වෙන්නේ මේ යහ ප්‍රාර්ථනාව සාර්ථකව ඉටු වෙන්න කියන ප්‍රාර්ථනයෙන්. ඒ ප්‍රාර්ථනය වගේම නිසි ආකාරයෙන් නිසි තැනට ඒ ආධාර මුදල් ලැබෙනව නම් තමයි හොඳ.'

ඔහු කියන්නේ යහපත් චේතනාවකින්.

චිත්‍රාල්ට සංගීතය පිළිබඳ තියෙන්නේ පරපුරක උරුමයක්. ඒත් ඔහු මෙරට සංගීත ලෝලීන් හඳුනාගන්නේ වෙනම අනන්‍යතාවයකින් යුතු පුද්ගලයෙක් ලෙස. ඔහුට තියෙන්නේ ඔහුටම ආවේණික හඬක්. ඔහු අනුගමනය කරන සංගීත සිද්ධාන්ත ද නිතර අපට ඇහෙන දෙයින් වෙනස්. මෑත භාගය වන විට ඔහු අපේ රටේ චිත්‍රපට සංගීතය පැත්තට ද යොමු වී තිබෙනවා. ඒකට හොඳම උදාහරණය පසුගිය කාලයේ තිරගත වූ අශෝක හඳගමගේ 'ඇගේ ඇස අග' චිත්‍රපටය. පසුගිය සරසවිය සම්මාන උලෙළේදී ඔහු ඒ සඳහා වූ නිර්දේශිත නාමයන් අතරට ද එක් වූවා.

'මගේ සංගීත ගමන් මඟේදී ඇගයුම්, සම්මාන පිළිබඳ බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි මම නිර්මාණකරණයේ යෙදෙන්නේ. එහෙම නොවුණ කෙනෙකුට ඇගයුමක් ලැබෙනවා කියන්නෙත් ඒක ලොකු ගෞරවයක්. මම දායක වුණු 'ඇගේ ඇස අග' චිත්‍රපටය වෙනුවෙන් මම නිර්දේශිත නාමයන් අතරට ආවා. ඒක මම සලකන්නේ මට ලැබුණු විශාල ගෞරවයක් විදියට. සම්මාන ලැබුණා හෝ නොලැබුණා කියලා මම ලොකු ප්‍රශ්නයක් කර ගන්නේ නෑ. මට ආරාධනාවක් ලැබුණොත් මම එතැනට එනවා. නොලැබුණා කියලා ජජ් බෝඩ් එක විවේචනය කරන්නෙවත්, බැන බැන යන්නෙවත් නෑ. විනිශ්චයට ගරු කරමින් සම්මාන ලැබුණු කෙනාට හදවතින්ම සුබ පතමින් අත්පුඩියක් ගහන එකයි මට වැදගත්.'

චිත්‍රාල් ගායකයෙකුටත් වඩා සංගීත සංයෝජකයෙකු ලෙසින් හැඳින්වීම වඩා යුක්ති යුක්තයි. ඉදිරියේදී තිරගත වීමට නියමිත 'බහුචිතවාදියා' සහ 'සුළඟ රැගෙන යයි' චිත්‍රපට ද්විත්වයේ සංගීත නිර්මාණ ශිල්පියා වන්නේත් ඔහුයි. මීට අමතරව ඔහු වාර්තා චිත්‍රපට රැසකට සංගීත නිර්මාණයෙන් දායක වී තිබෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට අදහස්, සිතුවිලි, හැඟීම්, දැනීම්, තාක්ෂණය ඇතුළු සියල්ල වෙනස් වෙමින් යන ලෝකයක නව දැක්මකින් මෙරට චිත්‍රපට සංගීතය තුළ ද වෙනසක් ඇති කරන්නට ඔහු උත්සාහ ගනීවි යන්න අපේ පැතුමයි.

'අද ලංකාවේ චිත්‍රපට සංගීතයත් සෑහෙන්න වෙනස්. එක පැත්තකින් ඒක චොකා බයිලා එකක් කරගෙන තියෙන්නේ. තව පැත්තකින් මම දකිනවා ඒක එක්තරා කණ්ඩායමකට සීමා වෙලා ද කියලා. ඒකාධිකාරයක් ගොඩ නඟාගෙන තියෙනවද කියලත් හිතෙනවා. කොහොම වුණත් මට ඕන මේ හැම දෙයකින්ම මිදිලා නිදහස්ව හිතන්න. දැනට මම චිත්‍රපට 5 ට සංගීතය නිර්මාණය කරලා තියෙනවා.'

නිදහස් චින්තනය නිර්මාණශීලීත්වයට අතවනනවා. චිත්‍රාල් අත් විඳින්නෙත් ඒකම තමයි. ඔහුට අවශ්‍ය කලාත්මක නිර්මාණයකින් මිනිස්සු සතුටට පත් කරන්න. තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය චිත්‍රාල් කැප කරන්නේ ඒ වෙනුවෙන්.

'චිත්‍රාල් කියන්නේ කවුද? කියලා ඇහුවොත් මට ඒකට කියන්න වෙනම උත්තරයක් තියෙනවා.

'මම සිංදු කියන කෙනෙක්. එහෙම නැතිනම් ගායකයෙක් නෙවෙයි. වෙන අය නිර්මාණය කරන ගීත මම ගායනා කරන කෙනෙක් නොවෙයි. මම මගේම දේවල් හදාගෙන සිංදු කියන කෙනෙක්. මම කැමතියි එහෙම ඉන්න.'

චිත්‍රාල් ලාංකික සංගීත ලෝකය තුළ දැනෙන්න ගත්තු මොහොත මට මතක් වෙනවා. ඒ 1998 දී විතර.

'නදී ගංගා තරණයේ

සැරිසරා සැඩ මාරුතේ

ඉන්ද්‍රඛීලයක් සේ

නොසැලී මා යන මාවතේ

සිංහ ලෝකයේ . . .'

මෙය එක්තරා වෙළෙඳ ප්‍රචාරණයක් වෙනුවෙන් සමාජ ගත වුණත් මේ ගීතයට එදා සුවහසක් ජනතාව වසඟයට ගත හැකි වුණා. විශේෂයෙන් එහි දක්නට ලැබුණු දර්ශන පෙළට යටින් දිවුණු ගැඹුරු ආකර්ෂණීය හඬ පෞරුෂය කෙරෙහි කාගේත් අවධානය යොමු වුණා. චිත්‍රාල්ට තියෙන්නේ බටහිර ආරට යොමු වුණ සංගීත ශෛලියක්. කුඩා කාලයේ පටන්ම ඔහුගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ඒ පැත්තටයි. මේ විවිධ සංගීත ශෛලීන් අනුගමනය කරන්නා වූ ශිල්පීන්ගේ අවශ්‍යතාවය නිර්මාණකරණය වෙනුවෙන් වැඩි වැඩියෙන් අවශ්‍ය වන යුගයකයි අද අපි සිටින්නේ. විශේෂයෙන් අපගේ චිත්‍රපට පසුබිම් සංගීතයට. යුග ගණනක් පුරා මෙරට සිනමා සංගීතය තුළ බිහිවුණ යුග පුරුෂයන් ඇත්තේ අතළොස්සකි. නව තාක්ෂණයත් සමඟ නැඟී එන නව ලොව වෙත තරගකාරීව පිවිසෙන්නට නම් ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන්ට අනුගතව ඉදිරියට යන්න නම් අලුතින් සිතන, අලුත් දෑ තිළිණ කරන අය සමඟ අප පෑහිය යුතුය.

'සිනමා කර්මාන්තය පැත්තෙන් බැලුවොත් අද වන විට අපි අපේ සිනමාව ජාත්‍යන්තර තලය දක්වා රැගෙන ගොස් තිබෙනවා. 'ඇගේ ඇස අග' චිත්‍රපටයත් එක්ක විවිධ උත්සව අවස්ථාවන්ට සහ ජාත්‍යන්තර උත්සවවලට සම්බන්ධ වෙලා ඒ පිළිබඳ යම් යම් අත්දැකීම් මටත් ටිකක් තිබෙනවා. අද සමහරු චෝදනා කරනවා ජාත්‍යන්තර උත්සවවලට ඉදිරිපත් කරන මේ ඇතැම් සිනමා නිර්මාණ ලංකාවේ සංස්කෘතිය පහතට දාලා නිර්මාණය වන ඒවා කියලා. නමුත් මට නම් එහෙම අත්දැකීමක් නෑ. නමුත් මම මෙහෙම දෙයක් නම් දන්නවා. අද බොහොමයක් නිර්මාණ කෙරෙන්නේ කලාව මූලික පදනම කරගෙන නොවෙයි. ආර්ථිකමය ප්‍රතිලාභය පමණක් බලාගෙන කියන එක.'

චිත්‍රාල්ගේ පුංචි කාලේ ගෙදර පරිසරය සංගීතය හා මුසු වූ එකක්. ඒ වුණාට පුංචි කාලේ කවදාවත්ම ඔහු ඒ පැත්තට ආස කරපු කෙනෙක් නොවෙයි.

'මට උනන්දුවක් තිබුණේ ක්‍රීඩා කරන්න. මම ඉස්කෝලෙදි රගර් ගැහුවා. ක්‍රිකට් ගැහුවා. සංගීතය ගැන ඒ හැටි හැඟීමක් තිබුණේ නෑ. ඉසිපතන විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ක්‍රිකට් ටීම් එකේත් හිටියා. නමුත් මට අවුරුදු 13 දී ජීවිතේ ඛ්ඩචදඨඥ වෙනවා. එතැනදි තමයි මම බටහිර සංගීතය පැත්තට යොමු වෙන්නේ.'

'අම්මයි තාත්තයි දෙන්නම දේශිය සංගීතය පැත්තට යොමු වෙලා තියෙද්දි කොහොමද එහෙම වුණේ කියලා කාටත් හිතෙයි.

ඒත් අපේ අම්මයි තාත්තයි දෙන්නම ඉගෙන ගෙන තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒගොල්ල බොහොම සරල නිදහස් ජීවිතයක් ගෙන ගිය අය. අපේ ජීවිත ගොඩ නඟන්නත් මහා ලොකු බලපෑමක් ඔවුන් අපට කළේ නෑ.

අම්ම - තාත්තගේ දේවල්වත් මම අනුකරණය කරන්න හෝ ආදර්ශයට ගන්නේ නෑ. මම මටම ආවේණික නිදහස් ගමනක ආවේ. අපේ තාත්තලාගේ පරම්පරාව දිහා බලන කොට තාත්තා ඇතුළු සුනිල් ශාන්ත, මොහොමඩ් සාලි, රොක්සාමි, ආනන්ද සමරකෝන් ආදීනුත් ඉංග්‍රීසි අධ්‍යාපනයත් එක්ක බටහිර ඇසුරේ හැදුණු වැඩුණු අය. අපේ චිත්‍රපට සංගීතයේ ඉහළින්ම ඉන්න හැම දෙනාම කතා කරන කේමදාස මාස්ටර්ගේ සංගීතය වුණත් ඉහළින් තියාගෙන ඉන්නේ නෑ මම. ඒ සංගීතය මට ඒකාකාරියි. ඔවුන්ගේ නිර්මාණකරණය ගැන මගේ අදහස් එහෙම වුණාට ඒ ප්‍රවීණ ශිල්පීන්ට ශිල්පිනියන්ට මගේ අති විශාල ගෞරවයක් තියෙනවා.'

චිත්‍රාල් සින්දු කියන්න වගේම සිංදු ලියන්නත් දක්ෂයෙක්. මේ දවස්වල ඇහෙන 'විල්පත්තුව' ගීය ඒකට හොඳ උදාහරණයක්.

'විල්පත්තුව ගැන ඇයි කැක්කුමක්

හුස්මක් නොගෙන දුවනා රැලක්

ජීවිතේ මහ හිස් බවක්

ඉඩමක් ගෙයක් ඇයි ගහ කොළක්

විල්පත්තුවෙන්

ගිනි පත්තු වේ . . .

විල්පත්තුවෙන්

ගිනි පත්තු වේ . . .

අම්මගේ තාත්තගේ සදා නොමියෙන නාමයට සංදර්ශනවලට සහභාගිවුණාම බොහෝ විට ඔහුට ඔවුන්ගේ ගීත ගායනා කරන්න ආරාධනා ලැබෙනවා. ඒත් ඔහුගේ වැඩි කැමැත්ත ඔහුගේම ගීත ගායනයටයි. ඒකට ඕන තරම් ගීතත් ඔහුට තියෙනවා. ඒත් ඔහු පසුගිය දිනවල 'ලලිත කලා' නමින් කළ ප්‍රසංගයේ ඔවුන්ගේ ගීත කිසිදු වෙනසකින් තොරව ගායනා කළා.

ඇත්තටම මට අවශ්‍ය මම කාගෙන්වත් යැපෙන්නේ නැති නිදහස් ගායකයෙක් විදියට ඉදිරියට යන්න. නමුත් ඉතින් මට තනි අතින් අප්පුඩි ගහන්න බැහැනේ. ඉල්ලිීම්වලටත් කන්දෙන්න ඕනනේ. මගේම නිර්මාණ වැඩිපුර ප්‍රමාණයක් මම කරලා තියෙන්නේ ජාත්‍යන්තරයට. මම හිතන්නේ ඇල්බම් 35 ට වැඩිය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරලා තිබෙනවා. ඒවා ලංකාවේ අය දන්නේ නෑ. ඔවුන් ඒවා රස විඳින්නෙත් නෑ. ලංකාව ඇතුළේ 'සිංහ නාදය' තමයි වැඩිපුරම ජනප්‍රිය වුණේ. ඒත් එක්කම පසුගිය අවුරුද්දේ 'ඇහැරෙන්න' ඇල්බම් එකෙන් ගීත 12 ක් කළා. අම්මගේ, තාත්තගේ ගීත අඥ ර්චඬඥ එකක් කළා 'දඹුළු ගලේ' නමින්. කිසිම දෙයක් වෙනස් කරන්නේ නැතුව පරණ විදියටම.'

චිත්‍රාල් අනාගත බලාපොරොත්තු සොයා යන්නෙක්. ඔහුගේ බලාපොරොත්තුව රටක් වශයෙන් එක්ව නැඟී සිටීමයි.

බුදු දහමට අනුව ජීවත් වුණොත් එය කළ හැකියි. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ යහපත් කර්මාන්තයෙන් ජීවිතය රැක ගන්න කියලයි. මගේ වෘත්තීය, රැකියාව ගීතය තමයි. ඒක මම කරන්නේ ධාර්මිකව. එකෙන් තව කෙනෙකුට කරදරයක් නොවන්න. රටක් සංවර්ධනය වෙනවා කියන්නේ රටේ හරි පිරිසුදු සංස්කෘතියක් තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.

මගේ බාහිර ස්වරූපය දකින කෙනෙක් හිතාවි මේ වගේ සභ්‍යත්වය, සදාචාරය, සංස්කෘතිය ගැන අවධානයකින් කතාකරන කෙනෙක් නෙවි මම කියලා. නමුත් මම ඒ ගැන හරියට හිතනවා. විශේෂයෙන් මම හිතනවා මේ රටේ සංස්කෘතිය පහළට ඇදලා දමන්න මේ රටේ පෞද්ගලික විද්යුත් නාළිකා බොහෝ දුරට වගකියන්න ඕන. මම මේ දවස්වල කධභබඩ එඪබඩ ඊචතඥදබ වැඩ සටහනට සම්බන්ධ වී ඉන්නවා. ඒකට මම සම්බන්ධ වුණේ ඒක රාජ්‍ය නාළිකාවකින් කරන දෙයක් නිසා. මේ වැඩ සටහනේදීත් සෘජුව මට කියන්න තියෙන දේ මම කියනවා. ඒත් එක්කම මේකට ඉදිරිපත් වෙන බොහෝ දෙනෙක් සමඟ කතාබහ කරලා, ඇසුරු කරලා මනුෂ්‍යත්වය, අවංකත්වය පිළිබඳ ගොඩක් අත්දැකීම් ලබනවා.

'ඇහැරෙන්න ඇහැරෙන්න ඉතින් දැන්වත්

ඉඩ දෙන්න සොඳුරු සිහිනෙන්

ඇහැරෙන්න මහා වැස්සක්

ගිනිගත්ත ඒ ප්‍රේමවන්ත සිහිනෙන්

ඇහැරෙන්න . . .'

ඔබටත් ආරාධනා කරන්නේ ඔබත් ඇහැරෙන්න, චිත්‍රාල්ගේ නිර්මාණ සමඟ එක් වී රස විඳින්න . . .

 

Comments

Asoka Liyanage (තහවුරු වී නොමැත)
සංස්කෘතියක් නැහැ
සිකු, 02/22/2019 - 10:15

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.