38 වසරකට පෙර සරච්චන්ද්‍ර දැක්ම

මාර්තු 14, 2019

රූපවාහිනිය පිළිබඳ අදහස් දැක්වූ විද්වතුන් අතුරින් මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රයන් තමන් විසින් ලියන ලද ධර්මිෂ්ඨ සමාජය නැමැති කෘතියේ 139 වන පිටුවේ මෙවැනි විවේචනයක් ඉදිරිපත් කරයි.

වත්මන් ආණ්ඩු (77 ආණ්ඩුව) විසින් ලංකාවට රූපවාහිනී යන්ත්‍ර ආනයනය කරන්න යෙදුණේත්, ජපනුන්ගේ ආධාරයෙන් ආයතනයක් මෙහි පිහිටුවන්න තීරණය කළේත් පරිභෝජනය වර්ධනය කිරීමට මිස ඥානවර්ධනය කිරීම පිණිස නොවන බව පැහැදිලිය.

රූපවාහිනිය පේ‍්‍රක්ෂකයින් මවිත කරවන විසිතුරු ලොවක් ඔවුන් ඉදිරියේ හකුළා දක්වනු ලැබේ. පොහොසත් කාර්මික රටවල මධ්‍යම පන්තිකයක් කන බොන ආහාර වර්ග, ගෙවල් දොරවල්, පරිහරණය කරන යන්ත්‍ර සුත්‍ර, ගමන් බිමන්වලට පාවිච්චි කරන යාන වාහන ආදිය මේ රටේ විකුණා ගැනීමට ව්‍යාපාරිකයන් විසින් රූපවාහිනිය යොදා ගනු ලැබේ. ඒ ජීවන රටාව හඳුන්වා දීමෙන් එය අනුගමනය කිරීමට ආසාවක් අපේ රටේ වැසියන් තුළ අරෝපණය කරනු ගැබේ.

උඹලා කොයි ආකාරයකින් හෝ සල්ලි හම්බ කරගෙන මේවා ගනිල්ලා. මේ විදිහේ සැප සම්පත් විඳපියවු කියා ගන්නා සේය. එහෙත් අපේ රටේ බහුතර ජනතාවට එවැනි ලෝකයක් සිහින ලෝකයකට සමානය. එබඳු ලෝකයක් තමන්ට ළඟා කර ගැනීම කෙසේ වෙතත් එය මිරිඟුවක් සේ ටිකින් ටික ඈත්වනු ඔවුනට පෙනෙනු ඇත. කෙළවර දී ඔවුන් භග්නාශාවට පත්ව කලකිරෙනු වැළැක්විය නොහැකිය.

1981 දී ප්‍රකාශයට පත් කරන ලද ධර්මිෂ්ඨ සමාජය පොතෙන් සරච්චන්ද්‍රයන් වැඩිදුරටත් තමන්ගේ මතවාදී ආස්ථානය විදහාලමින් පවසා සිටින්නේ රූපවාහිනි මාධ්‍යය ප්‍රවේශයත් සමඟ ලාංකික සමාජයට හඳුන්වා දෙනු ලබන නව පරිභෝජන රටාව හේතුවෙන්, චිරාත් කාලයක් මුළුල්ලේ ප්‍රායෝගිකත්වයට නංවා තිබෙන අප සංස්කෘතියේ හර පද්ධතීන්ට දිගට හරහට පහර වදින බවය. දශක හතරකට පසුව ද, සරච්චන්ද්‍රයන්ගේ යථෝක්ත ප්‍රකාශනය දිනෙන් දින සක්‍රීය වන අයුරු අප හට දෘශ්‍යමාන නොවන්නේද?

Comments

නිලාන් (තහවුරු වී නොමැත)
එදිරිවිර සරච්චන්ද්‍රයන් 1977 දි බලයට පැමිණි ජේ.ආර්.ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජයට එරෙහි විම පුදුමයට කරුණක් නොවේ. 1970-77 සමයේ පැවැති දුර්භික්ෂ සමයේ රටේ ජනතාව අනේක දුක් විදිද්දි සරච්චන්ද්‍ර මහතා එවකට පැවැති රජයෙන් වරප්‍රසාද ගෙන තානාපතිවරයෙකු ලෙස සියලු සැප සම්පත් විදිමින් එතෙර ගත කලේය. 1977 දි ඒ වරප්‍රසාද අහිමි ව මෙරටට පැමිණිමට සිදුවු පසුව ඒවකට පැවැති රජයට පහර ගැසිම පුදුම විය යුතු නැත. ඔහු එදා විවෘත ආර්ථිකයට විරුද්ධව වුවත් පසු කලේක වයෝවෘද්ධව කිසිදු කටයුත්තක් කර ගැනිමට බැරි ව කුමාරතුංග ජනපතියව සිටි සමයේ ලෙක්හවුස් ආයතනයේ විධායක ධුරයක් ලබමින් විවෘත ආර්ථිකයට විරුද්ධව එකම වචනයක් කතා නොකරමින් කිසිදු සේවයක් නොසපයමින් වැටුප් ලබා ගත් බවට රටේ ජනතාව අතර මතයක් විය.
බ්‍රහස්‌, 03/14/2019 - 13:12

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.