එදා මගේ වීරයකුගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම සතුටක්

- රුවී ලක්මාලි
දෙසැම්බර් 19, 2019

වෙළෙඳ දැන්වීම් අතිශය විශාල සංඛ්‍යාවක ඇය රඟපා තිබේ. එහෙයින් ඔබ ඇගේ රුව දුටු විගස මේ අර ඇඩ් එකේ ඉන්න ළමයා නේද කියා සිතින් කියැවෙනු නිසැකය. මේ සුරූපිණිය නමින් රුවී ලක්මාලිය. ඇගේ නවතම සිනමා රංගනය හේතුවෙන් අපි මෙම ඉඩහසර ඇයට වෙන් කර දුනි.ගෑනු එම සිනමාපටයේ නමය. ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක එය අධ්‍යක්ෂණය කොට තිබේ. රුවීට ගෑනු සඳහා එක්වීමට අවස්ථාව උදා වන්නේද වෙළෙඳ දැන්වීමක ඇය රඟන අන්දම සනත් දුටුව නිසාය. කාන්තා චරිත ත්‍රිත්වයක් ප්‍රධාන කොට දිග හැරෙන ගෑනු සිනමා නිර්මාණයේ එම චරිත තුනෙන් එකක් රුවී රංගනයේ යෙදෙයි.

රුවී අපේ කතාබහට නිමිත්ත ගෑනු සිනමාපටය. එතැනින් කතාව පටන් ගමු?

මේක මට ලැබුණු ඉතා සුවිශේෂි අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මොකද සනත් ගුණතිලක වගේ දැවැන්තයෙකුගේ නිර්මාණයක්නෙ මේක. අපි පොඩි කාලේ දැකපු අපේ වීරයෙක් ඔහු. ඉතින් වෙළෙඳ දැන්වීමකින් මාව දැකලා සිනමාපටයට මට කතා කළා. ඇත්තටම මට ඔහු මේ දුන්නේ ඉතාම අභියෝගාත්මක චරිතයක්. කතාවට අනුුව තරුණ වියේදීම ඇගේ හස්බන්ඩ් නැති වෙනවා. ඊට පස්සේ ඇය ජීවත් වෙන්නේ ආච්චි අම්මත් එක්ක. මං පුළුවන් උපරිමයෙන් චරිතයට සාධාරණයක් ඉටු කළා.

සිනමාවේදී ඔබ අල්ප වශයෙන් නේද රංගන දායකත්වය සැපයුවේ?

ඔව්. හැබැයි ඉඳලා හිටලා කරන නිර්මාණ මතක හිටිනවා කියලා මට විශ්වාසයි. ඒ වගේ නිර්මාණ කතාබහට ලක් වෙනවා. ගෑනුත් ඒ වගේ චිත්‍රපටයක්.

මේ දවස්වල ඔබ ටෙලි නාට්‍යවල දුටුවේ නැහැ?

නාට්‍ය කිහිපයක් මඟ හැරුණා. නොකළෙමත් නැහැ. හැබැයි මං ඉන්න නාට්‍යයක් විකාශය වෙන්නෙ නැහැ මේ දවස්වල.

අන්තිමට ඔබ රඟපෑවේ?

දෙයියන්නෙ රටේ නාට්‍යයේ.

ඔබ සෑහෙන්න තෝරා බේරා ගැනීමක් කරනවා චරිත බාර ගනිද්දි?

ඒක මම ගැනම හිතලා ගත්ත තීරණයක්. ලැබෙන සෑම නිර්මාණයකටම යන්නෙ නැහැ මං. මෙගා නාට්‍යවලට කොහොමත් යන්නෙ නැහැ. ඒක මගේ

ප්‍රතිපත්තියක් හැටියට පවත්වාගෙන යන දෙයක්.

කළු චරිතත් ඔබ ප්‍රතික්ෂේප කරනවද?

ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. එවැනි චරිත මට ගැළපෙනවා නම් රඟපානවා.

ඔය විදිහට තෝරා බේරා ගන්න ගියාම ජනප්‍රියත්වය ගිලිහෙනවා නේද?

ජනප්‍රිය නිළියක් වෙන්න නෙවෙයි මං රඟපාන්නේ. ජනප්‍රිය වෙන්න පුළුවන්නෙ එස් එම් එස් ගහල වුණත්. එහෙම නෙවෙයි හොඳම නිළියක් හැටියට ජනතාව මාව හඳුනාගත්තා නම් ඒක තමයි මං ජය ගන්නා තැන මේ ක්ෂෙත්‍රය තුළ.

ඔබ විවාහ වෙලා ඉන්නේ කලා ක්ෂේත්‍රයේම කෙනෙක් සමඟ. ඔහු සහාය අධ්‍යක්ෂවරයකු හැටියට වඩාත් ප්‍රකටයි. එකම ක්ෂේත්‍රයේ කෙනෙක් විවාහ කර ගැනීම ඔබේ ගමනට මොන වගේ තල්ලුවක්ද ලැබෙන්නේ?

ඒක මට ආශිර්වාදයක්. පුදුමාකාර විදිහට ඔහු මාව තේරුම් අරගෙන ඉන්නේ. ඒ අවබෝධය නිසා මට ලැබෙන නිදහස ගැන කියන්න වචන නැහැ. ඔළුවෙ කිසිදු බරක් නැතුව මට රංගන කටයුතුවල යෙදෙන්න පුළුවන්.

ඔහු කියලා නැද්ද රඟපෑවා ඇති කියලා?

කවදාවත්ම නැහැ. ඒකට තමයි අවබෝධය කියලා කියන්නේ. මං අර කලින් කිව්වේ මෙගා නාට්‍ය කරන්නෙ නැහැ කියලා. ඒක ඔහුයි මමයි ගත්තු තීරණයක්. ඒ දෙයට විතරයි එපා කිව්වෙ.

සැමියා කරන නිර්මාණවලට බිරිඳ දායක කරගෙන නැද්ද?

ඔහු වෙළෙඳ දැන්වීම් සෑහෙන්න කරලා තියෙනවා. මාව අරගෙන තියෙන්නේ දැන්වීම් තුනකට විතරයි. මං කියලා තියෙන්නේ මාව නොගැළපෙනවා නම් කිසිම එකකට මාව ගන්න එපා කියලා.

රුවී නිර්දේශ වුණා නේද සම්මානයකට?

ඔව්. හරස් පාර නාට්‍යය වෙනුවෙන් හොඳම නැඟී එන නිළියට නිර්දේශ වුණා. සම්මානය ලැබුණේ නම් නැහැ. හැබැයි දුක හිතුණෙත් නැහැ. නිර්දේශ වීමම මට සතුටුදායක කාරණයක්.

ගෑනු චිත්‍රපටයෙන්ම මේ කතාව අවසන් කරමු?

බොහොම ලස්සන සිනමාපටයක් කියලා කියන්න පුළුවන්. ගෑනු වැදගත් කාන්තාවන්ට විතරක් නෙවෙයි සමස්ත ප්‍රේක්ෂකයාටමයි. මා හිතන්නේ චිත්‍රපටය තිරගත වෙද්දි සමාජය තුල කතිකාවතක් ගොඩ නැගේවි කියලා ඒක ගැන.

 

නිශ්ශංක විජේරත්න

Add new comment