“අලි වැඩේ” “පණ ගියා” දෙබස්වලින් හිනැස්සු සිනමා පුරාවෘත්තය

හියුගෝ මාස්ටර්
ඔක්තෝබර් 10, 2019

දිනය 1988 මැයි 22 දාය. ස්ථානය ජාඇල තුඩැල්ලේ රෝමානු කතෝලික සුසාන භූමියයි. සුප්‍රකට විකට සිනමා නළු ඇන්තනී සී. පෙරේරා දෙව් මව් තුරුල්ලට යන අවසාන මොහොතයි ඒ. ඇන්තනී සිනමාවට හඳුන්වා දුන් අපේ ජ්‍යේෂ්ඨ නළුවකුව සිටි හියුගෝ ප්‍රනාන්දු අවමංගල්‍ය උත්සවය ඇමතුවේය.

‘ඇන්තනී, මට ආපු ටෙලිග්‍රෑම් එක උඹට ලැබුණේ වැරදීමකින්. ළඟදීම මමත් එහෙ එනවා. එහෙදි හම්බ වෙමු. උඹට නිත්‍ය සැනසීම ලැබේවා’.

‘හියුගෝ මාස්ටර්’ නමින් හඳුනන අපේ සිනමාවේ ජ්‍යේෂ්ටතම නළුවාගේ, ගීත රචකයාගේ, කතා රචකයාගේ, දෙබස් රචකයාගේ හැටිය ඒ. මරණයට ඔච්චම් කළ මේ අපූරු රසවතා එදා කී ඒ වචන පෙළ මට අද මෙන් මතකය. පාසලේ හතරවැනි ප්‍රමාණය තෙක් ඉගෙනුම ලැබුව ද ඔහු බොහෝ ඇසූපිරූ තැන් ඇති, ජීවිත තක්සලාවෙන් වැඩිදුර ඉගෙන ගත්, එක්තරා අන්දමක දාර්ශනිකයෙකි. ඔහුගේ ප්‍රකාශය බලන්න.

‘ඔබට ලැබෙන්න තියෙන දෙයක් කිසිවෙකුට වළක්වන්නත් බැහැ. ඔබට නොලැබෙන දෙයක් කිසිවෙකුට ලබා දෙන්නත් බැහැ.’

වරක් 1975 වසරේ මම ‘සරසවිය’ පත්‍රයට විශේෂාංගයක් ලිවීමට සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ඉල්ලීම මත රත්නපුරයට ගියෙමි. චිත්‍රපටය ‘රජගෙදර පරෙවියෝ’ ය. එදින මට නවාතැන් ගැනීමට ලැබුණු කාමරයේ කොටස්කාරයා වූයේ හියුගෝ මාස්ටර්ය. මෙය මගේ ජීවිතයේ භාග්‍යමත් අවස්ථාවකි. මල් පැණිවලින් සප්පායම් වෙමින් සිනමාවේ රස තොරතුරු මට කී ඔහු උදේ පාන්දර 5 ට පමණ කාමරයෙන් පිටතට ගියේය. ඔහු කුමක් කරන්නේදැයි සොයා බැලීමට මමත් එළියට ගියෙමි. ඔහු ව්‍යායාම කරයි.

‘මම ගෙදර ඉන්දිත් මේ වෙලාවට එළිමනට ඇවිත් හොඳ හුස්මක් අරන් ‘සියල්ලන්ටම යහපතක් වේවා’යි ප්‍රාර්ථනා කරනවා. ගෙදර හිටිය නං මගේ නෝනා දියබත් මට හදල තියෙනවා. කලින්දා රෑ ඉතුරු බත්වලට වතුර දාලා තියලා උදේට පොල්කිරි ටිකකට රතුළුණුයි අමු මිරිස් කපල දාලා ආහාරයට ගන්නවා. ඒක දිව්‍ය ඖෂධයක්. කාල බලන්නකෝ. දීර්ඝායුෂත් ලැබෙනවා’ ඔහු කීය.

චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කළේ පසුදාය. ගාමිණී ෆොන්සේකාට සහ නීටා ප්‍රනාන්දුට පසු හියුගෝ මාස්ටර් ගිවිසුම් අත්සන්කොට ලැබුණු ලියුම් කවරය උඩ සාක්කුවේ දමා සිනාමුසුව මා සිටින තැනට පැමිණියේය. ටික වේලාවකට පසු කිසිවෙකු මාස්ටර් අසලට පැමිණ මෙසේ කීවේය. ඔහු නිෂ්පාදන අංශයේ කෙනෙකුය.

‘බලන්න, මාස්ටර් මම කල්පනා කළේ මාස්ටර් සිංහල සිනමා පියෙක් වගේ වටිනා කෙනෙක්. අනිත් අයට ගෙවූ ගණන මම දන්නවා. ඒ අතින් මාස්ටර්ට ලැබුණේ . . .’

‘හා. . හා . . එහෙම කියන්න එපා. මගේ සාක්කුවට හරියන මුදලක් මට ලැබුණේ. ඒ ඇති. අනිත් අයගේ සාක්කු ලොකු ඇති’ හියුගෝ මාස්ටර් සිනාසෙමින් කිවේය.

ලද දෙයින් සතුටු වන, සැහැල්ලු ජීවන ක්‍රමයකට උරුමකම් කී හියුගේ මාස්ටර් මගේ ‘සරසවිය’ කර්තෘ කාලයේ රණතිසර සම්මානයෙන් පිදුම් ලැබුවේය. සතියකට පසු ඔහු අප කර්තෘ මණ්ඩලය මීගමුවේ පෙරියමුල්ලේ නිවසට කැඳවා ඉහළ දිවා භෝජනයක් පැවැත් වූයේ සුපුරුදු රස කතා කියමිනි. මීගමුවට ආවේණික ඒ සංග්‍රහයට පසුව සරසවිය කර්තෘවරුන් වූ අරුණ ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, අප අතර සිට අභාවප්‍රාප්ත වූ සුසිල් ජිනපි‍්‍රය හා ඡායාරූප ශිල්පී ශ්‍රියන්ත වල්පොල ද සහභාගී වූහ.

1912 ජුලි 14 වෙනිදා මීගමුවේ පෙරියම්මුල්ලේ උපත ලැබූ කණුපුලගේ ඌගෝ ප්‍රනාන්දුගේ පියා වූයේ ගමේ ගෙවල් රෙපයාර් කිරීම නිසා සුපතළ පේදුරු ප්‍රනාන්දු බාස්ය. මව වූයේ ලියනගේ එලිසබත් ප්‍රනාන්දුය. පවුලේ වැඩිමලා වූ ඌගෝට මාර්තා මරිය ප්‍රනාන්දු නම් නැඟණියක් සිටියේය. දළුපත රෝමානු කතෝලික සිංහල පාසලේ ඉගෙනුම ලැබූ ඌගෝ ගේ පියා පලංචියකින් වැටීමෙන් පසු ඔත්පළ විය. මේ නිසා අම්මා ගමේ කොහු මෝලක කොහු අඹරන්නියක් ලෙස වැඩට ගියේ තාත්තා දිනකට ලැබූ ශත 60 අහිමි වීම නිසාය. එහෙත් අම්මාට දිනකට ලැබුණේ ශත 20 ක් නිසා ඌගෝට පාසල් ගමන එපා විය. මුලදී ඔහුට සෙනසුරාදා හා ඉරිදා කොහු ඇඹරීමෙන් ලැබුණේ ශත 15 කි. මේ නිසා පාසලින් අස් වී කොහු මෝලට ගිය කුඩා වියේ සිටි ඔහුට දිනකට ශත 15 ක් උපයා ගත හැකි විය.

ඌගේ ජීවිත ගමන ද ඔහු විසින් පසු කලෙක ලියූ චිත්‍රපට කතාවක් සේ විචිත්‍රය, ත්‍රාසජනකය. 1983 වසරේ සිඩ්නි මාකස් ඩයස් ලියූ ‘හියුගෝ ප්‍රනාන්දු සහ සිංහල සිනමාව’ නම් ඔහු ගැන ලියූ කෘතියේ මේ බව කදිමට විස්තර වෙයි.

කොහු මෝලේ වැඩ නතර වූ පසු ඔහු ක්‍රිකුණාමලයේ කුකුලාව නම් ගමේ ධීවර පිරිසකට එක් වී එතැනින් මුලතිව් සිට සැතපුම් 24 කට එහා තිබූ ආලම්බල නම් ගමේ ධීවර පිරිසකට එකතු විය.(පසු කලෙක ඔහු ‘ධීවරයෝ’ චිත්‍රපටයේ දෙබස් ලිවීමට ලැබිණ) එය ද ඔහුගේ හිතට ඇල්ලූ නැති නිසා මිත්‍රයකු සමඟ හිරියාලේ දුම්කොළ ගාලකට ගොස් ඇත. එහිදී වූයේ උයන පිහින වැඩය. ජීවිතේට කෑම උයා නැති ඔහුගේ නීරස කෑම නිසා ඔහුට හිමි වූයේ ගුටි පූජාවකි. පුත්තලමේ වත්තක කංකානම් වැඩ කළ ඔහු ඊට අමතරව බත් උයා ඇත. ඔහු තම අතීත කතාව වරක් විස්තර කළේ මේ ආකාරයටය.

‘මට ඉංග්‍රීසි උගන්වන බව කියමින් දෙමළ ගුරුවරයෙක් මාව කොටහේනට ගෙන ගියා. ගුරුවරයාගේ ගෙදර තිබුණේ කොටහේනේ මහ පල්ලිය පිටුපස. එහිදී මට උදේ දවල් බත් ඉවීමත් හවසට ඉංග්‍රීසිත් ඉගෙන ගන්න ලැබුණා. ඒ මාස්ටර්ට ‘ඌගෝ’ කියලා උච්චාරණය කරන්න බැරි නිසා ‘හියුගෝ’ කියලා නම වෙනස් කළේ මාස්ටටර්ගේ ප්‍රියතම ප්‍රංශ ජාතික ලේඛකයා වූ වික්ටර් හියුගෝ නිසයි. පසු කලෙක මේ ලේඛකයා ලියූ ‘ද මිසාර්බලේ’ නවකතාව ඇසුරෙන් ඔහු ලියූ ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේ දෙබස් ලියා රඟපෑමත් තවත් විශේෂයක්.

මම වයස 16 දී මේසන් බාස් කෙනෙකු ළඟ සහායක ලෙස වැඩ ඉගෙන ගන්න ගියා. උන්නැහේ මට සාස්තරේ කියා දුන්නේ නෑ. එදා මම හොඳ මේසන් බාස් කෙනෙකු වුණා නම් සිනමාවට හියුගෝ කෙනෙක් නැහැ. අර මේසන් බාස් අසරණව සිටි අවස්ථාවල මම පිහිට වුණා.’

හියුගෝගේ ජීවිත ගමන වෙනස් වෙන්නේ දක්ෂ සර්පිනා වාදකයෙකු වූ මලතියස් මාස්ටර් නිසාය. ඔහුගේ සූර සර්පිනා වාදනය ඇසීමට හැම තැනකටම ගිය හියුගෝගේ උනන්දුව දුටු මාස්ටර් ඔහුට සංගීතය ඉගැන්වීමට සිතුවේය. ඊළඟට හියුගෝ ඕගනය, ජපන් මැන්ඩලීනය ගෙන ගමේ සංගීත සාජ්ජවලට සහාය විය. 1934 ගුවන් විදුලියෙන් ඔහුගේ මුල්ම වාදනය ප්‍රචාරය විය. හියුගෝ 1935 වසරේ මාමා කෙනෙකු සමඟ මනමාලියක් බැලීමට හලාවතට ගියේය. ඇය තමාට වඩා සුදුසු යයි සිතුණේ ඇය ඉස්සරහට මෙන්ම පිටු පසටත් ලස්සන නිසාලු. ඇය අනාගත සහකාරිය ලෙස හියුගෝ තෝරා ගත්තේය. ඇගේ නම එලිසබත් ප්‍රනාන්දුය. තම මවටත් ඒ නම තිබීම ඇය කරකාර බැඳීමට තවත් හේතුවක් විය. විවාහ වූ දවසේ මනාලිය සමඟ යන විට කළ මුල්ම දෙබස ගැන සිඩ්නි මාකස් ඩයස් සිය කෘතියේ මෙසේ දක්වා තිබුණි. සිංහල අක්ෂර මාලාවේ මුල්ම අකුර ‘අ’යන්නෙන් ඇය හා මුල්ම දෙබස පටන් ගැනීමට හියුගෝ සිතුවේය.

‘අයිය ආවද?’

‘ඉස්සර කාර් එකේ ඉන්නේ’

‘මා ගාව ඇපල් මුද්දරප්පලම් බෑග් එකක් තියෙනවා ආ’

‘එපා’

‘නෑ කන්නම ඕනෑ’

ඇය එකම එක මිදි ගෙඩියක් කඩා ගත්තාය. ඉතුරු මිදි ටික ඔහුටම කන්නට සිදු විය.

පසු කලෙක ප්‍රේම තරඟය, අහංකාර ස්ත්‍රී, මාතලන්, දොස්තර, දුප්පතගේ දුක, සූරයා, වනමෝහිණී, ධීවරයෝ, අල්ලපු ගෙදර, රුහුණු කුමාරි, අටවැනි පුදුමය, සුළිසුළං, සුරේඛා, හරියට හරි, අලි බබා සහ හොරු හතළිහ වැනි ජනප්‍රිය චිත්‍රපටවල දෙබස් ලිවීමට පෙර පුහුණුව ලැබුවේ තම මනාලිය හා පැවැත් වූ මුල්ම දෙබස පූර්වාදර්ශයට ගෙනද? එදා ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයට ඔහු ලියූ ‘අලි වැඩේ’ ‘පණ ගියා’ යන දෙබස් මා කුඩා කාලයේ වැඩිහිටියන් අතර අතිශයින් ජනප්‍රිය වී තිබුණි. මගේ ලොකු අම්මාගේ කටේ තිබුණේ මේ දෙබස් ඛණ්ඩ දෙක බව මට හොඳටම මතකය.

පෙරියමුල්ලේ පල්ලියක මංගල්‍යයක රඟදැක් වූ ළමා කතෝලික නාට්‍යයක සර්පිනා වාදනයෙහි හියුගෝ ගේ දස්කම් දුටු මීගමුවේ මිනර්වා නාට්‍ය රචක නිෂ්පාදක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න පැහැදී තමා විසින් වේදිකා ගත කළ ‘අවතාරය’ නාට්‍යයේ සංගීතය මෙහෙයවීමට තෝරා ගත් අතර නාට්‍යයේ දර්ශන මාරු වන විට රුක්මණී දේවි ගැයූ ‘සිරි බුද්ධ ගයා’ ගීතයේ මුල්ම සංගීතඥයා වූ රූපසිංහ මාස්ටර්ට නොදෙවෙනි ලෙස සංගීතය මෙහෙය වීම කාගේත් ප්‍රසාදයට හේතු විය. නළුවකු වීමට ඔහු සිතුවේ ටවර් නළුවන් වූ රොමානිස් පෙරේරලා, ටී. පී. අල්මේදලා කෙනෙකු වීමටය.

‘ඒ කාලේ පාසලේ හිටිය දක්ෂ කවිකාරයා මම. මට ඒ තරම් හොඳ කටහඬක් තිබුණා. මට වේදිකාවේත් රඟපාන්න ලැබුණා. මීගමුවේ දුකේනු ප්‍රනාන්දු ගුරුතුමා නිෂ්පාදනය කළ ශ්‍රීමතී, ලියනෝරා, ස්වර්ණතිලකා නාට්‍යවල රඟපෑවා. කියන්න ලැජ්ජයි මා ඒවයේ රඟපෑවේ ගැහැනු චරිත. මිනර්වා නාටක වූ ‘කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, උමතු විශ්වාසය, සැඟවුණු පිළිතුර’ වල මා ගීත පැබඳුවා. නළු නිළි පුහුණුවත් ගීත පුහුණුවත් මා අතින් සිදු වුණා.’

1946 මුල්ම කථානාද චිත්‍රපටය තැනීමට මදුරාසියට ගිය හියුගෝ චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධ කරමින් බී. ඒ. ඩබ්ලිව්. වෙනුවෙන් ද රුක්මණී දේවි සමඟ ගීත ගැයුවේය. ඉන්දියාවේ නාරයන අයියර් සංගීතවත් කළ මේ චිත්‍රපටයේ වෙළඳ තැටි සඳහා ඔහු වෙනුවට ස්ටැන්ලි මල්ලවාරච්චි ගී ගයා ඇත. හියුගෝ නළුවකු වන්නේ අහම්බෙනි. ගීත ප්‍රබන්ධය සඳහා මදුරාසියට ගිය හියුගෝට සෙට්ටියාර්ගේ චරිතය රඟපෑමට ලැබෙන්නේ ඒ සඳහා තෝරා ගෙන සිටි එඩී යාපාට මදුරාසියට ඒමට රැකියාවෙන් ඉඩක් නොලැබුණු නිසාය. මුල්ම සිංහල කථා නාද චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධයටත් රඟපෑමටත් එකවර ලැබුණු මුල්ම නළුවා හියුගෝය.

1947 පී. එස්. කුලරත්න මහතාගේ සිරිලක් ලිමිටඩ් නාට්‍ය කණ්ඩායමට බැඳුණු හියුගෝ 1950 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නාට්‍යයේ සර්පිනා වාදනය කරනු බලා සිටි ලැඩී රණසිංහ තමාගේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂක ලෙස තෝරා ගෙන ඇත. ශාන්ති කුමාර සෙනෙවිරත්නගේ නැටුම් කණ්ඩායමේ සර්පිනා වාදකයා ලෙස හියුගෝ රට පුරා ප්‍රසංගවලට සහභාගි වූ අතර ඔහුට තබ්ලා වාදනයෙන් සහාය වී ඇත්තේ ජනප්‍රිය ගායක මිල්ටන් පෙරේරාගේ පියා වූ පොඩි අප්පුහාමිය. නායගම් කඩවුණු පොරොන්දුව නිපදවීමට පෙර සිලෝන් තියටර්ස් සමාගම වෙනුවෙන් කිරීමට නියමිතව තිබූ ‘මයි ඩෝටර්’ (මගේ දුව) චිත්‍රපටයට ඔහුව තෝරා රු. 500 ක මාසික වැටුපකට තෝරා සිටියත් එය අතරමඟ නතර විය. ඉන් පසු ඔහු ගමේ මලතියස් මාස්ටර් ලියූ ‘ගැහැනු හිත’ නාට්‍යය ඔහු නිෂ්පාදනය කළේය.

‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ ලියූ ගීත අතර ‘සන්ධ්‍යාවේ ශ්‍රීය’, ‘ළපටි රූපෙ ඈගේ’, ‘මගේ සක බඹරේ’ ගීත ජනප්‍රිය විය.

නායගම් නිෂ්පාදනය කළ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපට කතා පිටපත භාරව කටයුතු කළ හියුගෝ චිත්‍රපට අධ්‍යක්ෂක ඒ. බී. රාජ්ට සිංහල භාෂාව ද ඉගැන්වීය. ඔහු මුල්වරට දෙබස් ලියමින් ප්‍රධාන චරිතයක් රඟපෑවේ ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයේය. එපමණක් නොව එහි ගීත රචකයා ද ඔහු විය. ඒ ගී අතරින් වඩාත් ජනප්‍රිය වූයේ ආර්. මුත්තුසාමි සංගීත අධ්‍යක්ෂණය කළ ලතා හා ධර්මදාස වල්පොල ගැයූ මේ ගීතයයි.

‘හොඳ හොඳම වේය ලොව 
කිසිම තැනක නැහැ 
නොහොඳ නරක දිනුවේ 
සිත ඊර්ෂ්‍ය මාන ගති නැති නිසාම අපි 
පේ‍්‍රම තරඟෙ දිනුවේ’

ඊට අමතරව එම චිත්‍රපටයේ එන ‘උගත්තු වියත්තු ලොවේම පැසසුම් ලබයි’ (ගායනය ලතා), ‘සැපත ස්වර්ගේ හා නිරේ දුක් (ගායනය – ධර්මදාස හා ලතා) ‘හෝ හඬ දී බැස යන ගංගා’ (ගායනය – ලතා)’ ‘අලි වැඩේනෙ වෙන්න ගියේ’ (ගායනය – හියුගෝ සහ රුද්‍රානි) ගීත ජනප්‍රිය විය. ‘පිටිසර කෙල්ල’ (1953) හා සරදියෙල් (1954) චිත්‍රපටයේද ගීත ප්‍රබන්ධය කළේය.

‘අහංකාර ස්ත්‍රී’ (1954) චිත්‍රපටයේ ඔහු රචනා කළ ගීත අතරින් පහක් ජනප්‍රිය වී ඇත. සංගීත අධ්‍යක්ෂණය ආර්. මුත්තුසාමිය. ගායනය ධර්මදාස හා ලතාය.

අලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ 
බඹරෙක් ඒ පිළිකුල් කරන්නේ 
සෝබා ධර්මේට නිගා දෙවන්නේ’

ර්මදාස වල්පොල ගැයූ ‘ජීවිතේ විකාරේකි – දුක් පිරී මහ හෙළකි’ ලතා ගයන ප්‍රේමයෙ චන්ද්‍රයා යයි බැස මා හදා’, ඒ. එම්. රාජා ගැයූ ‘ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි’ ලතා සහ කේ. රාණි ගැයූ ‘හඳ ගලවාලා දෙනවා කියලා අප රවටා’ සෙසු ගීතයි. ආර්. සුදර්ශනම් සංගීත අධ්‍යක්ෂණය කළ දොස්තර (1956) චිත්‍රපටයට ලියූ ලතා ගයන ‘දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ’ පී. සුසිලා ගැයූ ‘තායම් මායම් හොර හිත හින්දා’, ඒ. එම්. රාජා ගැයූ ‘ගෙයක් ගානේ වැඩ පල කර ඉඳලා කාටද පලක් වුණේ’ ගීත ද, ‘දුප්පතාගේ දුක’ (1956) චිත්‍රපටයට ඩොමී ජයවර්ධන හා ලතා ගැයූ ‘සේතන් අයියගේ හෝටලෙ මේ කෑම ද බීම ද ගුණයි රසයි’ මොහිදීන් බෙග් හා ජී. එස්. බී. රාණි ගැයූ ‘ලොවේ දෙයියෝ සල්ලි තමා’ ලතා ගයන ‘පුර හඳ ලෙස බබළනවා - නොබලන නෙත් දෙක මැවෙනවා’ ලතා හා දක්ෂිණ මූර්ති ගැයූ ‘ඉඟි බිඟි පාලා කුල්මත් වීලා’ මා පසු එන්නේ ඇයි’. මේ අතරින් ගුවන් විදුලියට අපහාස කළේයැයි චෝදනාව මත ගෙයක් ගානේ ගීතය ගුවන් විදුලියේ තහනම් විය.

හියුගෝ ප්‍රනාන්දු ගීත රචකයකු ලෙස කැපී පෙනුණ තවත් චිත්‍රපටයකි ‘ශූරයා’ (1957). දක්ෂිණමූර්ති සංගීත අධ්‍යක්ෂණය කළ ධර්මදාස හා ලතා ගැයූ ‘පිවිතුරු මනහර ප්‍රේ්මෙ ශාන්ත වේ’ හා ජමුනා රාණි ගැයූ ‘ඇති වෙනවා සැප මිනිසාට ලෝකයේ’ ‘වීර විජය’ (1960) චිත්‍රපටයට ලතා හා ධර්මදාස ගැයූ ‘ඉරණමට සැවොම ගැති වේවි’ ජමුනා රාණි ගයන ‘මේවා තමයි ජිල් ජිල්’ ලතා ගැයූ ‘ආසිරිදායක මෑණි’ හා ‘සේපාලි’, ‘ඇමතිකම’, ‘රුහුණු කුමාරි’ චිත්‍රපටවල ගීත ද වෙයි.

තමා දෙබස් රචනා කරමින් රඟපෑම සඳහා මසකට රු. 750 ක වැටුපක් ද රු. 2000 ක අත්තිකාරම් මුදලක් ද ලැබු බව හියුගෝ මාස්ටර් මට (1985. 1. 24 සරසවිය) කියා ඇත. තමා ක්ලැරිස් ද සිල්වා නිළියක ලෙස පුහුණු කළ බවත්, රෝහිණී ජයකොඩි, රවීන්ද්‍ර රූපසේන ‘අහංකාර ස්ත්‍රී’ තුළින් හඳුන්වා දී ඇන්තනි සී. පෙරේරා ‘දුප්පතාගේ දුක’ තුළින් ද විජිත මල්ලිකා ‘සූරයා’ තුළින් ද දොරට වැඩූ බව කීවේය. තිලකසිරි ප්‍රනාන්දු හා ජීවරාණි කුරුකුලසූරිය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට සන්දේශයෙන් හඳුන්වා දුන් බවත් එදා මා සමඟ පැවසීය. ඔහු ඇන්ටන් ග්‍රෙගරි, බර්නාඩ් රෙජිනෝල්ඩ්, ඇන්ඩෲ ජයමාන්න සිනමාවට හඳුන්වා දුන්නේ තමාගේ පුතුන් මෙන් මුදිතා ගුණයෙනි.

හියුගෝ ප්‍රනාන්දු චිත්‍රපට නළුවකු ලෙස ද ප්‍රතිභාව පෙන් වූ කලාකරුවෙකි. ඒ ගමනේ මඟසලකුණු වූයේ ප්‍රේම තරඟය, අහංකාර ස්ත්‍රී, මාතලන්, දුප්පතාගෙ දුක, සිරියලතා, වනමෝහිනී, සන්දේශය, අදට වැඩිය හෙට හොඳයි, ධීවරයෝ, චණ්ඩියා, අල්ලපු ගෙදර චිත්‍රපටවල ඔහු රඟ පෑ චරිත කෙසේ අමතක කරම්ද? සහාය අධ්‍යක්ෂවරයකු ලෙස හියුගෝ කටයුතු කොට ඇත. වනමෝහිනී චිත්‍රපටය නිමාවට පත් කොට එහි රඟපෑ නළු නිළියන් අධ්‍යක්ෂ ටී. ආර්. සුන්දරම්ගෙන් සහතික ලබාගෙන ඇත්තේ අනාගතයේ එය ප්‍රයෝජනවත් බව දැනය. හියුගෝ ද සුන්දරම් අසලට ගිය නමුත් ඔහුට සහතිකයක් ලැබී නැත.

‘හියුගෝ මාස්ටර්ට සහතිකයක් දෙන්න මම සූදානම් නෑ. ඒ සහතිකය තමා වනමෝහිනි චිත්‍රපටය.’ කියා සුන්දරම් හියුගෝට සුබපතා ඇත්තේ ‘උඹ සිංහල සිනමාවේ පුරාවෘත්තයක් වෙනවා’ කියමිනි.

හියුගෝට දරුවන් හය දෙනෙකි. වැඩිමහල් දුව බ්‍රිජට් මාලනීය. දෙවෙනියා නිමල් ඇන්තනි පුතාය. තුන්වැනි දුව ලලිතාය. හතරවැනි පුතා ගාමිණී මැල්කස්ය. පස්වැනි පුතා සරත් වන අතර බාල පුතා බ්‍රිටෝය. බ්‍රිටෝ ප්‍රනාන්දු කලක් මීගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුව සිටි අතර දැන් අතුරුදන් වුවන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මානව හිමිකම් මණ්ඩලයේ කටයුතු කරයි. ඔහු තම පියා මෙන්ම වාමාංශිකයෙකි. මානව හිතවාදියෙකි.

හියුගෝ මාස්ටර් තම අවසාන කෘත්‍යයට උපදෙස් දී තිබුණේ මියයාමට කලකට පෙරය. ඒ 1987. 12. 08 දිනය. එය මෙසේය. ඔහු මිය ගියේ ඉන් වසර දහයකට පමණ පසු 1999 අපේ‍්‍රල් 12 වැනිදාය.

මගේ අවසාන කෘත්‍යයට මා උපදෙස්:

හිතවත,

මෙහි වරදක් ඇතොත් එය පිරිසුදු කර ගැනීමට වහාම මට දන්වා එවන්න.

1. මළකඳ ගෙදර විවෘත ස්ථානයක තැබීම.

2. භූමදානය එක රාත්‍රියකට වඩා පමා නොකළ යුතුය. බාධක ඇති වූවොත් රාත්‍රී දෙකකට අවසරයි.

3. මධ්‍යම රාත්‍රිය (අපහසු නම්) හැර අවමංගල කටයුතු අවසන් වනතුරු පෙරදිග සංගීතය පැවැත් විය යුතුය.

4. භුමදානයට ගෙන යන විට අඩු මුදලින් තැනූ බාල පෙට්ටියක කළු කඩදාසිවලින් ඔතා (කළු පාටට) මැස්සක තබා ගෙන යා යුතුය.

5. මඟ දෙපස සරසනවා නම් එකම පොල් කොළයක්වත් නොයොදා ප්‍රයෝජනයක් නැති (එරඬු, දමින්න, බෝධි, ගින්සිරියා) වැනි කොළ අතුවලින් සැරසිය හැකිය.

6. ගමන් මඟදීත් සංගීතය පැවැත්විය යුතුයි. (සංගීත භාණ්ඩ විශේෂයෙන් නොමැතියි)

7. මිහිදන් කළ සැනින් ඒ අවට භූමියේදීම (දරුවන්ගේ සහ හිතවතුන්ගේ) උපරිම ශක්ති පමණින් මහා දානයක් (අමුවෙන්) දිය යුතුයි.

8. ඉන් පසු ශක්ති පමණින් සතියකට, මසකට වරක් හෝ අවුරුද්දට වරක් හෝ කුසගින්නෙන් පෙළෙන කීප දෙනෙකුගේ කුසගින්න දවසකටවත් නිවීම.

9. මගේ හිතවතුනට හැකි පමණින් මළගමට සහභාගී වන මෙන් කාරුණිකව ඉල්ලන අතර ඒ සැමටත්, පහසුතාවයක් නැතිකමින් සහභාගි වීමට නොලැබුණ සෑම දෙනාටමත් මගේ ආදරය ගෞරවය මැරුණත් හිතේ තියෙනවා.

අවසාන පැතුම:

මා හෘදය සාක්ෂියට එකඟව මේ ගෞරව පෙරදැරි ඉල්ලීම ඉටු කිරීමෙන් ලෝකාපවදයක් හෝ මා පවුලේ සාමාජිකයන්ට හෘද වේදනාවක් හෝ ඇති නොවේවා.

තේමාව ඉපදීම දුකකි. මරණය සැපතකි. ඔබ සැමට පින්.

මේ කලා ළැදි හියුගෝ ප්‍රනාන්දු 
08/12/87

ඒ.ඩී.රන්ජිත් කුමාර 
ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.