සිකුරු හතේ මඟුල් කපුවා වූ බරණැස් කුමාරයා

විජය නන්දසිරි
ජූලි 25, 2019

මහරගම විද්‍යාකර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හතරවැනි පන්තියේ ශිෂ්‍යයෙක් වාර අවසානයේ පැවැත් වූ විවිධ ප්‍රසංගයේ ‘වෙස්සන්තර’ නාට්‍යයේ රාජ මාළිගයේ හේවායකු ලෙස රඟපෑමට තෝරා ගෙන තිබුණි. හේවායන් ලෙස තෝරා ගත් ළමුන්ට ගෙදරින් පරණ සාරියක් ගෙනෙන ලෙස පන්ති භාර ගුරුතුමිය උපදෙස් දුන්නාය. ගෙදර ගිය මේ ළමයා අම්මාට මෙසේ කීවේය.

‘අම්මේ මියුලින් ටීචර් කිව්වා මාව වෙස්සන්තර නාට්‍යයේ හේවායෙකුට තෝරා ගත්තා කියලා. මගේ ඇඳුම හදාගන්න ගෙදරින් පරණ සාරියක් අරන් එන්න කියලා.’

තම පුතා වේදිකාවක රඟපානු දැකීමට ආසාවෙන් සිටි අම්මා ගෙදර මහා අල්මාරිය ඇද වටිනා සාරියක් තෝරා දුන්නාය.

‘පුතා ඉතින් ගෙදරත් වෙසක් නාට්‍යවල කෑලි රඟපානවා නොවැ. ඉතින් ප්‍රසිද්ධ වේදිකාවේ ඉන්න කොට ඔය පරණ සාරි ඇන්දම කැතට පෙනේවි. මේ සාරිය මම කසාද බැඳලා දෙවැනි ගමනට ඇන්ද සාරිය. ඒක ඊට පස්සේ මම ඇන්දේ නෑ. පුතාගේ නාට්‍යයට මේක නොදී බැහැ’ අම්මා දරුවාගේ හිස අතගාමින් කීවාය.

පසුදා මේ දරුවා අම්මාගේ ඉස්තරම් සාරිය අරගෙන පාසලට ගියේ උද්දාමයෙනි.

‘ළමයෝ, ඔයාට අම්මා දීලා තියෙන්නේ පරණ සාරියක් නෙවෙයිනේ, හොඳ වර්ගයේ ජෝජට් සාරියක් නේ’ මියුලින් ගුරු මහත්මිය කීවාය.

‘ඔව් ටීචර්, මේ අම්මා දෙවැනි ගමනට ඇඳපු සාරියක්ලු’

‘ඒක තමයි, මේක හොඳ සාරියක්’ එතැනට ආ වයි. එම්. පෙරේරා ගුරු මහත්මිය සාරිය අල්ලා බැලුවාය.

‘පුතේ, අපි මේක ඉරෙන්නෙ නැතුව හේවායගේ චරිතය රඟපාලා අම්මට බාර දෙමු .’

නාට්‍ය රඟ දැක්වෙන විට තම පුතා රඟපාන හැටි අම්මාත්, තාත්තාත් උජාරුවෙන් බලා සිටියහ. විදුලි ආලෝකයෙන් වේදිකාවේ රඟපෑ පුතා ඇඳ සිටි රතු පැහැති සාරිය දිදුලන ආකාරය දුටු අම්මාගේ දෙනෙත් ද කාන්තිමත් විය.

පසුකලෙක රංගනයෙන් නාට්‍යයත්, චිත්‍රපටත්, ටෙලි නාට්‍යයත් ඔප කළ නව හැවිරිදි මේ ශිෂ්‍යයා අද ජීවතුන් අතර නැතත් අදත් ඔහු ප්‍රධාන චරිතය රඟපෑ ‘සිකුරු යෝගය’ චිත්‍රපටය දහසක් ප්‍රේක්ෂකයන් සිනා රසයේ ගිල්වමින් ඔවුන්ට හාස්‍ය රසය ලබා දෙයි.

ඔහු ඉළුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරිය. 1947 මැයි 06 වෙනිදා මහරගම උපන් ඔහු පිරිමි ළමුන් පස් දෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නාය. විජයගේ පියාගේ නම ඉළුක්පිටිය මුදියන්සේලාගේ සයිමන් සිංඤෝය. ඔහු ආහාර දෙපාර්තමේන්තුවේ සේවය කළේය. මව වූයේ දෝන කැරලයින් මේබල් සේනාධීර කලක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේත් පසුව කොළඹ මහ රෝහලේත් සේවය කළාය.

එදා මුල්වරට විජයට පාසල් වේදිකාවේ දොරටුව විවර කර දුන් මියුලින් පෙරේරා මහත්මිය පසු කලෙක සරසවිය, නවයුගය හා සිළුමිණ පත්‍රවල ප්‍රධාන කර්තෘවරයාව සිටි විමලසිරි පෙරේරා මහතාගේ බිරියයි. ඒ වගේම එම්. වයි. පෙරේරා මහත්මිය ද එදා විජය හාපුරා කියා වේදිකාවට පැමිණ සෙනඟ දැක කකුල් වෙවුලා නැවත හැරී එනවිට හරවා යවා ‘පුතා බයවෙන්න එපා ඔයා හොඳට රඟපාන්න’ යි ධෛර්ය දුන් දෙවැනියා වූවාය.

විජය ඉන්පසුව රඟපෑවේ පාසල් සංවර්ධන අරමුදල සඳහා ප්‍රේමසිරි නාවලගේ රචනා කළ 1965 වේදිකා ගත වූ ‘පරවුණු මල්’ නාට්‍යයේය.

‘මේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළ දයාසිරි ලියනගේ විසින් නාට්‍ය නිෂ්පාදක අමරදාස ජයතුංගට මාව හඳුන්වා දුන්නා. ඔහුගේ ‘වීදුරු දිව’ නාට්‍යයේ උප සෙනෙවියකු ලෙස රඟපෑවා. මේ නාට්‍යය 1966 රාජ්‍ය නාට්‍ය උලෙළේ වේදිකාවේ රඟදැක්වීමෙන් මගේ කලා ජීවිතය ආරම්භ වුණා. මේ වසරේ (2016) මගේ කලා ජීවිතයට 50 වසර පිරිනෙවා’ විජය මට ගල්කිස්සේ කලාපුරයේ නිවසේදී කීවේ ඔහු මිය යාමට මාස හයකට පමණ පෙරය. එදා ඔහුත් තම බිරිය දේවිකාත් හා පුතුත් මා සමඟ සතුටු සාමිචියට එක් වූහ.

විජය අසීමිතව චිත්‍රපට නැරැඹූ රසිකයකු විය. ඒ කාලයේ මහරගම අනූෂා සිනමා ශාලාවේ තිරගත වූ චිත්‍රපට හැම එකක් නෑරම නැරැඹූ ඔහුගේ ප්‍රියතම නළු නිළියන් වූයේ ලැඩී රණසිංහ, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, සන්ධ්‍යා කුමාරි මෙන්ම දිලිප් කුමාර්, චාල්ස් බ්‍රොන්සන් ආදීන්ය. ගායකයකු ලෙස ද විජය පාසලේ කැපී පෙනුණේය. පන්ති වේලාවේ ජෝතිපාලගේ ගීත ගයා මිතුරන් සමඟ ඔහු දඬුවම් ලැබූ අවස්ථා ද තිබුණි.

එදා විජය පාසල් කාලයේ අත්දැකීම් විස්තර කළේ මෙසේය.

‘මේ කියන කාලයේ ඩ්.ඉ.ඛ් පන්තියේ ඉගෙන ගනිද්දී මම මුලින්ම පාසලට දිග කලිසමක් ඇඳ ගිය දවස. එක් විවේක කාලයක මම මොරිස් හා සෝමරත්න ඇතුළු යාළුවොත් එක්ක සින්දු කිය කියා හිටියා. මා වටේ ගැහැනු ළමයි හත් දෙනෙත් විතර හිටියා. අපි කිය කියා හිටියේ සුනිල් සාන්තගේ ‘කෝකිලයන්ගේ’ ගීතය. අපේ පන්තියේ හිටියා මල්ලිකා කියලා ගැහැනු ළමයෙක්. අපිට ඕනෑ වුණා එයාව කේන්ති ගස්සන්න. අපි කිය කිය හිටිය ගීතයේ අන්තිම කොටස ‘මගේ මල්ලිකා’ කියලා වෙනස් කරලා කිව්වා. මෙහෙම ‘මගේ අසෝකා - මගේ විසාකා - මගේ මල්ලිකා’.

මල්ලිකා අපිට ගස්සලා කේන්ති ගිහින් ප්‍රින්සිපල්ට රිපෝට් කළා. මටත් මොරිස්ටත්, සෝමරත්නට ප්‍රින්සිපල්ගේ කාමරයට එන්න කියලා පණිවුඩයක් ලැබුණා. ප්‍රින්සිපල් යක්ෂාවේශව හිටියේ.

‘දණ ගහනවා තුන් දෙනාම’ අපි වටේ ගිය ප්‍රින්සිපල් මට කම්මුල් පහරක් දුන්නා.

‘සර් අපි සුනිල් සාන්තගේ සින්දුවක් කිව්වේ’ මම අසරණ හඬින් කිව්වා.

‘එන්න කියනවා සුනිල් සාන්තටත් . . .’ ප්‍රින්සිපල් තම සේවකයාට කිව්වා.

සේවකයා කට වහගෙන හිනා වෙනවා.

‘සර් එයා ගායකයෙක්’ සේවකයා දැන හිටියත් ප්‍රින්සිපල් සුනිල් සාන්තව දැන හිටියේ නෑ.

‘එහෙනං උඹත් දණගහපන්’

සේවකයයි, මමයි, මොරිසුයි, සෝමරත්නයි දණ ගහගෙන හිටියා පැය භාගයක් විතර.

මම විද්‍යාකරයේ ඉගෙන ගන්න කාලේ කෙඩට් කණ්ඩායමේ ජූනියර් සාජන් කෙනෙක්. එදා මම හිතුවේ කවදා හරි හමුදාවට බැඳෙන්න. මොකද පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමේ උප ලුතිනන් කෙනෙක්. පාසල් කාලය හරිම රසවත්. වරක් ඉස්කෝලේ සිටිය ලස්සනම කෙල්ලකට මම පෙම් බැන්දා. මම ඇයට පොතක් ඇතුළේ දාලා පෙම් හසුනක් දුන්නා. ඇය මට උපන් දිනේට ලේන්සු තුනක් තෑගි දුන්නා. ඒ ප්‍රේමය වැඩිදුර ගියේ නෑ. තරුණ කාලේ අසිරිමත් ආදරයේ එක් සිහිවටනයක් මේ. අපේ වයසේ කොල්ලෝ කෙල්ලෝ ඔය වැඩ කරනවනේ?’.

විජය නන්දසිරි හාපුරා කියා චිත්‍රපටයකට තෝරා ගත්තේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ. ඒ ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය සහිත ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ විජය රඟපෑවේ සුළු චරිතයකි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා විසින් ‘නෑදෑයෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ මහින්ද නැමති අහිංසක ගැමි තරුණයකු ලෙස රඟපෑමට තෝරා ගත්තා. සිරිපතුල චිත්‍රපටයේ අතුල නම් චරිතයත්, ‘සසර’ චිත්‍රපටයේ උපාලිගේ චරිතය ද රඟපෑ විජය ඉන්පසු ‘මගෙ අම්මා’, රත්මලීගේ වාසනාව’, ‘ඇය වැරදි ද?’, ‘ඔබ කියන්න’, ‘සුදු මාමා’, ‘දූ දරුවෝ’ චිත්‍රපටවල රඟපෑ විජය කේ. ඒ. ඩබ්ලිව්. ගේ ‘හිඟන කොල්ලා’ චිත්‍රපටයේ රොනල්ඩ් නම් දුෂ්ඨ චරිතය ඩොමී ජයවර්ධන සමඟ දක්ෂ ලෙස රඟපෑවේය. ‘බංගලි වළලු’ චිත්‍රපටයේ කපිල නම් දුෂ්ඨ වෙළෙන්දා ලෙස ද ‘යස ඉසුරු’, ‘සඳකඩ පහන’, ‘මංගලා’, ‘ටොම් පචයා’, ‘සමන්මලී’, ’ගැහැනියක්’, ‘සබීතා’, ‘කිඳුරු කුමාරි’, ‘එක් දවසක් රෑ’, ‘අම්මේ මට සමාවෙන්න’, ‘රේල් පාර’, ‘රන් මිණි මුතු’, ‘සිස්ටර් මේරි’, ‘මොනරතැන්න – 2’, ‘හදවතක වේදනා’, ‘විජය ගීතා’, ‘බහුබූතයා’, ‘පිස්සු ට්‍රිබල්’ ඔහු රඟපෑ චිත්‍රපට අතර කැපී පෙනෙයි.

හාස්‍යජනක රංගනයෙන් විිජය නන්දසිරි මුළු රටම හිනැස්සුවේය. ඔහුගේ රඟපෑමේ හැරවුම් ලක්ෂය වූයේ ‘නෝනාවරුනි මහත්වරු’ ටෙලි නාට්‍ය මාලාවය. සිනමාවත්, තමාවත් හරියට තේරුම් ගනිමින් ඔහුට ගැළපෙන චරිතයක් ටෙලි නාට්‍යයක දුන්නේ සිවගුරුනාදන් බවත් සිනමාවෙන් මතු කළේ ගිරිරාජ් කෞශල්‍ය බවත් විජය අපට පවසා තිබුණි. තමා ගිරිරාජ්ට අනේක වාරයක් කෘතඥ වන බව කී විජය ජනප්‍රිය නළුවා ලෙස සරසවිය සම්මාන ද ලැබීය. ඒ ‘සිකුරු හතේ’ චිත්‍රපටයෙනි. ‘සුහද කොකා’ නම් ගිරිරාජ්ගේ චිත්‍රපටයෙන් යළිත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තේය.

විජය රඟපෑ වේදිකා නාට්‍ය අතර ‘බක්මහ අකුණු, ජසයා හා ලෙන්චිනා, නරිබෑනා, රන්කඳ, කෝන්තරය, සයිලාසනය, බකතපස්, තහංචි’ ඒ අතර විශේෂය. ඔහු නිෂ්පාදනය කළ ‘කුස පබාවතී’ නාට්‍යය අතිශයින්ම ජනප්‍රිය විය. විජය, ඩග්ලස් රණසිංහ හා දේවිකා මිහිරානි මේ නාට්‍යයේ රඟපෑහ. පසුව ශ්‍රියාණි අමරසේන ද මේ නාට්‍යයට එක් වූවාය.

විජයගේ වේදිකා නාට්‍ය ජීවිතයේ සුවිශේෂි රංගනය සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාට්‍යයේ බව අමුතුවෙන් කිව යුතුද?

‘මනමේ නාට්‍යයේ රඟපෑමෙන් මට අලුත් අත්දකීම් රැසක් ලැබුණා. මීට වසර ගණනකට ඉස්සර කොබෙයිගනේ පාසලකදී රඟපෑමට ගොස් සිදු වූ ඇබැද්දියක් මතක් වෙන කොට තවමත් හිනා යනවා. ඒ පාසලේ උත්සව ශාලාවේ අලුතින් ඉදි කළ වේදිකාවක් තිබුණේ. මම මනමේ කුමාරයා. කුමරිය යසෝධරා සරච්චන්ද්‍ර. වැදි රජුට හිටියේ පීරිස් සමරවික්‍රම. නාට්‍යයේ උච්ච අවස්ථාවක කුමරු හා වැදි රජු අතර සටන රඟපාන අවස්ථාවකයි අපි රඟපාමින් හිටියේ.

‘මගේ තෙද බලනොම දැන

ආව ද මා සමඟ සටනටා . . .’

මම උඩ පනිමින් ගී ඛණ්ඩය කිව්ව විතරයි වේදිකාවේ ලෑලි කඩාගෙන මාව ඇතුළට වැටුණා. දැන් මගේ බෙල්ල විතරයි වේදිකාව උඩ ඉතුරු වුණේ. මම අඩි 4 ක් යටට ගිහින්. හරියට සිරිසඟබෝ රජතුමාගේ බෙල්ල වගේ ප්‍රේක්ෂකයින්ට දැනෙන්න ඇති. නාට්‍යය බලපු ප්‍රේක්ෂකයා ‘ෂූං’ කියලා ශබ්දය රැව් දුන්නා. මේ වෙලාවේ කවුරුවත් තිරය වැහැව්වේ නෑ. වැදි රජු මාත් එක්ක කරපු සටන නවත්තලා කුමාරිත් එක්ක එකතු වෙලා මාව උඩට ගන්න බලවත් උත්සාහයක් ගත්තා. වාසනාවකට මට කිසිම හීරීමක්වත් වෙලා තිබුණේ නෑ. ගොඩට ආව මනමේ කුමාරයා යළිත් වේදිකාවේ කිසි දෙයක් වුණේ නැති විදිහට වැදි රජුත් එක්ක සටන් කළා’ විජය එදා සිනාසෙමින් කීවේය.

විජය නන්දසිරි ගැන ලියන විට ඔහුගේ ජීවිතයේ සෙවණැල්ල ලෙස සිටි බිරිය දේවිකා මිහිරානි ගැනත් නොකියා බැරිය. ඇය වේදිකාවේත් ටෙලි නාට්‍යවල කැපී පෙනෙන නිළියකි. ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍යය වූ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ ඇය අමරසිරි කලන්සූරිය සමඟ රඟපෑ අයුරු කෙසේ අමතක කරන්නද?

කලක් විජය සුදර්ශි ශාලවේ ශේෂා පලිහක්කාරගෙන් නැටුම් හදාරන කාලයේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ පුතෙකු වූ සෝමදාස නිත්තවෙලගේ නැටුම් පන්තියට උඩරට නැටුම් ඉගෙන ගත් යුවතියක් තම මිතුරියක් සමඟ කැන්ටිමේ තේ බොමින් සිටිනු විජය දැක්කේය. ඔහු එදා ඇය සමඟ යාන්තමට සිනාසුණේය. එදා පොද වැසි ඇති දිනකි. සුදර්ශියේ ජෑම් ගහ යට නතරව සිටි ඇයට ඔහු සමඟ කතා කිරීමට හොඳම අවස්ථාව ලැබුණාය.

‘ඔයා මනමේ කුමාරයනේ . . .’ ඇය කතාව පටන් ගත්තාය. ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූවේ සිනාවක් පමණි.

ඉන් පසු දිනක් විජය සොයා සුදර්ශියේ නැටුම් පන්තියට පැමිණියේ සයිමන් නවගත්තේගමය. ඒ සයිමන්ගේ ‘සුබ සහ යස’ නාට්‍යයේ මහ ඇමති ලෙස රඟපෑමට විජයට ආරාධනය කිරීමටය.

‘විජය මට නාට්‍යයේ දාසිගේ චරිතයට ගැහැනු ළමයෙක් ඕනෑ කරලා තියෙනවා’

‘ඉන්න ටිකක් හොඳ කෙල්ලෙක් හිටියා නැටුම් පන්තියකට එන . . .’ විජය ඈත මෑත බැලුවේය.

අර තරුණිය ජෑම් ගස යට සිටිනු දුටු විජය ඇයට කතා කළේය.

‘ඔයාට ටිකක් කතා කරන්න පුළුවන්ද? එදා හිනා වුණාට නමවත් අහගන්න බැරි වුණානේ’

‘මම දේවිකා මිහිරානි පෙරේරා’

‘සයිමන්ගේ ‘සුබ සහ යස’ කියලා නාට්‍යයක් තියෙනවා. එකේ රඟපාන්න ඔයා කැමතිද?’

‘මම අම්මගෙන් අහල කියන්නම්’

එතැන් සිට දහසය හැවිරිදි වියේ සිටි දේවිකාගේ ආරක්ෂකයා වූයේ විජයයි. දෙදෙනාම ‘සුබ සහ යස’ නාට්‍යයේ රඟපෑහ. එවිට ඈ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියාය. ඔහු ඇය සමඟ කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයට බැඳී වජිරාගෙන් නර්තනය ඉගෙන ගත්හ.

1986 වසරේ විජය හා දේවිකා අතර සම්බන්ධය විවාහයකින් කෙළවර විය. එතැන් සිට දේවිකා ඔහුගේ අයෝම ශක්තිය වූවාය. කලක් අසනීපව සිටි අවස්ථාවේ ද ඇය විජය ආදරයෙන් රැක බලා ගත්තාය.

විජය මනමේ නාට්‍යයට පණ මෙන් ආදරය කළේය. මුලින්ම මනමේ නාට්‍යයේ අලුත් නළු නිළියන් තෝරන මුල් පරීක්ෂණයට පෙනී සිටියේ තැති ගැන්මකින්. මනමේ කුමරුගේ භූමිකාව සඳහා සම්මානනීය ගායක නාරද දිසාසේකර ද පැමිණ සිටීම දුටු විජය තම සිහිනය බොඳ වන බව දැන පසුතැවිලි විය.

‘විජය නන්දසිරි ගීයක් ගයන්නැයි’ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ කීහ.

නර්තනය හදාරා තිබූ විජය ශිල්ප දක්වමින් ‘ප්‍රේමයෙන් මන රංජිත වේ’ ගීතය ගයමින් රඟපෑවේය. තේරුණේ ඔහුය.

තම කලා ජීවිතයට අත හිත දුන් කිහිප දෙනෙකුගේ නම් විජය කෘතඥපූර්වකව එදා මතක් කළේය. ඒ අය ඒ වන විටත් මිය ගොස් සිටියේය.

‘මාව සිනමාවට හඳුන්වා දුන්නේ ටී. බී. ඉලංගරත්න මහත්තයා. එතුමාගේ ‘සයිලාසනය’ නාට්‍යයේ මම රඟපාන අයුරු නිරීක්ෂණය කොට තමාගේ නවකතාවක් ඇසුරෙන් නිපද වූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට නිර්දේශ කළා චිත්‍රපට අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතාට’ විජය කියා ඇත.

එතැන් සිට පෙරේරා මහතාගේ වැඩි චිත්‍රපට ගණනක රඟපෑමේ අවස්ථාව විජයට ලැබිණ.

විජය නොසිතූ මොහොතක 2016 අගෝස්තු 08 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේ ඔහුගේ චිත්‍රපට ජීවිතය උච්ච අවස්ථාවක තිබියදීය.

විජයගේ හා දේවිකාගේ දියණිය නවාංජලී මිහිරාණි නන්දසිරි ව්‍යාපාරිකයකු වූ චමින්ද ගුණරත්න සමඟ විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී. පුතා රසංජන සුමිත්‍ර නන්දසිරි උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමට නියමිතව සිටියේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.