වෙනින් කවුරුත් නෙවෙයි

ලෙනින් මොරායස්
නොවැම්බර් 8, 2018

1969 වසරේ කොළඹ කොටහේනේ අංක 117 දරන ස්ථානයේ පිහිටි සිනමාස් සමාගමේ ප්‍රකාශනයක් වන 'කලා' චිත්‍රපට සඟරාවේ සංස්කාරක ආරියරත්න කහවිට විසින් ලෙනින් මොරායස් මට හඳුන්වා දෙනු ලැබීය. ඒ කහවිටගේ කාමරයේදීය.

'මේ සරසවිය පත්තරේ රන්ජිත් කුමාර'

එදා කහවිටයන්ගේ කාමරයේදී මට ලෙනින් මොරායස් මෙන්ම ඔහු සමඟ පැමිණි චිත්‍රපට අධ්‍යක්ෂ නීල් රූපසිංහ හා සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි ද මුල්වරට හඳුනා ගන්නට ලැබුණි. ඒ වන විට ඔහු අධ්‍යක්ෂණය කළ 'සූරයන්ගෙත් සූරයා' බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත වෙමින් තිබුණි. මම ලෙනින් හඳුනා ගැනීමෙන් පසු 'සරසවිය' පත්‍රයට පළ කිරීමට සුදුසු ඡායාරූප කිහිපයක්ම රැගෙන 'තිර තොරතුරු' පිටු දෙක ලියන කුමාරදාස වාගීස්ටට භාර දුනිමි.

ඒ ඇසුර මිතු දමකට පෙරළුණෙන් නීල් රූපසිංහලාට අයිති වත්තල සමුද්‍රා සිනමාහලේ ඇතැම් සති අන්තයේදී ලෙනින්, ධර්මසිරි ගමගේ, ආරියරත්න කහවිට, ඇන්ටන් ග්‍රෙගරි, වාමදේවන් හා අප එක්ව සිනමාහලේ විශේෂ කාමරයකට වී බීර බොමින් චිත්‍රපට ගැන කතා කළෙමු. එවකට නීල් 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටය සැලසුම් කර සිටියේය. ලෙනින් නම් කැමරා ශිල්පියාගේ විවිධ කුසලතා මට අවබෝධ වූයේ මේ සතුටු සාමීචියෙනි. අද සිනමා කැමරාව සහ නවීන තාක්ෂණය කොයිතරම් අවියෝජනීය බද්ධ වී ඇද්ද? ඇතැම් විට කැමරා ශිල්පියා අබිබවා තාක්ෂණය ජය ගන්නා අයුරු දැක ඇත්තෙමි. ඒ අතින් එදා විලී බ්ලේක්ලා, එම්. එස්. ආනන්දන්ලා, ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වලා, ලෙනින්ලා, ගෆූර්ලා, ඇන්ඩෲ ජයමාන්නලා ඇතුළු කැමරා ශිල්පීන් කැමරාවෙන් කළ විස්මිත ක්‍රියා අගය කළෝ කවරහුද?

ලෙනින් සමඟ කතා කිරීම, අසා සිටීම පිටරට චිත්‍රපට පාඨමාලාවක ඉගෙනීම ලබනවා වැනි යයි එදා මම සිතුවෙමි. මා චිත්‍රපට නාමාවලිය නිර්මාණය කරමින් සිටි අවධියයි ඒ. සීතල වතුර, බිනරමලී, වැලිකතර චිත්‍රපටවල නාමාවලිය නිර්මාණය කළ මගේ මාමා වූ ගුණරත්න රත්නායකගේ (ඔහු චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයකු හා චිත්‍රපට සිනමා පුවත්පතේ කලා සංස්කාරක විය) සහාය ශිල්පියා වූ මම එවකට දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. මා තනිවම චිත්‍රපටයක නාමාවලිය ඇන්දේ අපේ පාසලේ (ආනන්දයේ) මිතුරන් තැනූ 'නිම්වළල්ල' චිත්‍රපටය සඳහාය. ඊළඟට 'මොකද වුණේ' චිත්‍රපටයට නාමාවලිය ඇඳීමට රැලෙක්ස් රණසිංහගේ අභියෝගය භාර ගනිමිනි.

'රංජිත් මේ පාර 'හතර දෙනාම සූරයෝ' නාමාවලිය අඳින්න' අප කතාබහ කරන අතරේ නීල් රූපසිංහ කීවේ ගහෙන් ගෙඩි එන්නාක් මෙනි.

'අපි අලුත් වැඩක් කරමු' ලෙනින් මට ධෛර්යය දුන්නේය.

එසේ පැවසුවේ ටෙරන්ස් යං අධ්‍යක්ෂණය කළ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල නාමාවලිය සැකසූ සෝල් බාස් නම් නිර්මාණ ශිල්පියාගේ දස්කම් ලෙනින්, වාමදේවන් හා මා කතා කරමින් සිටියදීය. ලෙනින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල මෙන්ම කැමරාව මෙහෙය වූ චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණය කළ ජේ. ඒ. වින්සන්ට් චිත්‍රපට නාමාවලිය නිර්මාණය කර තිබුණි.

'රංජිත් අපි මෙහෙම වැඩක් කරමු. ඔයා මට ඉස්සෙල්ලාම ෆිල්ම් එකේ 'මාස්ටර් ළොගෝ' එක ඇඳලා දෙන්න' ලෙනින් කීය.

'ලෙනින් මම 'බෙන්හර්' වගේ උස අතට 'හතර දෙනාම සූරයේ' අකුරු මාස්ටර් ලෝගෝ එකට අඳින්නම්'

'ඒක හොඳයි. ඔයා ඒ උස අකුරුම මුළු ටයිටල් එකටම (නාමාවලියට) යොදා ගන්න. බිලියඩ් මේසේ කිහිප දෙනෙක් සෙල්ලම් කරනවා. මම හිතුවා සෙල්ලම් කරන බෝලයක් ඇතුළෙන් ඔයාගේ අකුරු එන්නේ. අපි හිතමු ගාමිණී ෆොන්සේකාගේ නම කියලා. ඒ අකුරු ටික එන්නේ' ලෙනින් කඩදාසියක් ගෙන ඒ අකුරු එන හැටි චිත්‍රණය කොට මට පෙන්වයි. මේ කතාබහට වාමදේවන් ද විටින් විට අදහස් එකතු කළේය.

1971. 07. 20 දින තිරගත වූ 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටයේ මගේ නාමාවලිය වඩාත් ඔප වූයේ ලෙනින් නිසාය. 1972 ප්‍රදර්ශනය කළ නීල්ගේ 'ආදරේ හිතෙනවා දැක්කම' චිත්‍රපටයේ ද මගේ නාමාවලිය ලෙනින් නව තාක්ෂණයකින් ඉදිරිපත් කිරීමට සමත් විය.

ලෙනින් මොරායස් ගැන ලියන මේ ලිපියේ මගේ පුරසාරමක් ලිවීම ගැන මට සමාවන්න. මේ කියන දේ සිනමා ඉතිහාසයට එකතු විය යුතුය. එදා ලෙනින් කැමරා ශිල්පියකු ලෙස කළ දස්කම් සියැසින් දැක බලා ගැනීමට ලැබීම මගේ ද භාග්‍යයකි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඔහු විශිෂ්ට කාර්මික ශිල්පියෙකි. දක්ෂ කැමරා ශිල්පියෙකි. දක්ෂ ක්‍රියාදාම අධ්‍යක්ෂවරයෙකි. ඔහු ගැන ග්‍රන්ථයකින් යමක් සවිස්තරව ලියා ඇත්තේ තුසිත ජයසුන්දර පමණි. 'ලෙනින්, නීල්, යසපාලිත' ඒ ග්‍රන්ථයයි. සුනිල් මිහිඳුකුල, ඩී. කීරගලආරච්චි, අර්නස්ට් වඩුගේ, ආනන්ද පද්මසිරි, සුනිල් හොරේෂස්, අරුණ ගුණරත්න ද විටින් විට ඔහු ගැන ලියා තිබුණි.

1937 අගෝස්තු 18 වැනිදා කොළඹ කෙටහේනේ උපත ලබා කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ලෙනින් මොරායස් මුලින්ම නාට්‍ය කලාවට යොමු වී ඇත. ඒ 1958 හා 1959 කාල වකවානුවලදීය. 'තී ඉන්රේල් (ඔබ නැති නම්) හා 'මාන්දාරම් මානික්කම් (ශ්‍රියා කාන්තාව) මේ දෙමළ නාටක දෙකය. ඔහුගේ නිෂ්පාදන වේ. වයස අවුරුදු 20 ක පමණ වූ මේ අංකුර නාට්‍යය නිෂ්පාදකයා කැමරාවක් කරේ එල්ලා ගෙන යාමට අමතක නොකළේය. තම හිතවතුන්, මිතුරන්, නෑයන්ගේ ඡායාරූප ගනිමින් සිටි ලෙනින් 'හොඳ පින්තූර කාරයෙක්' ලෙස ප්‍රසිද්ධියක් ලැබීමට වැඩි කලක් නොගියේය. ඔහු අනාගතයේ නාට්‍යකාරයකු වීමට තිබූ ආසාව ටිකෙන් ටික ඈතට ගොස් කැමරාවටම පෙම් බැඳ ගත්තේය. දැන් ඔහුගේ ඊළඟ ආසාව ඉන්දියාවට ගොස් චිත්‍රපට චිත්‍රාගාරයක පුහුණුව ලැබීමටය. පියා එක හෙළාම කීවේ එය නිෂ්ඵල ක්‍රියාවක් බවය. ඔහුට මෙතැනදී පිහිටට හිටියේ මවය. දකුණු ඉන්දියාවේ රේවතී චිත්‍රාගාරයට යාමට ඔහු පෙරුම් පිරුවේය. වන්දනාකරුවකු ලෙස මදුරාසිය සේලම් නුවරට ගොස් ඉතා පුංචි තැනින් සිනමාව ගැන ඉගෙනීමට අත් පොත් තැබුවේය. රේවතී චිත්‍රාගාරය පසු කලෙක වාහිනී චිත්‍රාගාරය බවට පත් වූ බව ලෙනින් කීරගලආරච්චිට කියා තිබුණි. මේ චිත්‍රාගාරයේදී සුන්දරම් නම් කැමරා ශිල්පියෙකු යටතේ කාර්මික අංශයේ ඉතා පොඩි තැනේ සිට ඉගෙනීම ලබා 1957 දී ලංකාවට පැමිණියේ කැමරා සහායකයකු හා වේශ නිරූපණ ශිල්පියකු ලෙස පුහුණුවක් ලබාගෙනය.

කිරුලපනේ ලංකා චිත්‍රාගාරයේ වේශ නිරූපණය ශිල්පියකු ලෙස කටයුතු කළ ද ඔහුගෙ කැමරා ශිල්පීය දැනුම මුලින්ම තේරුම් ගත්තේ තමා බව ඇම්. ඇස්. ආනන්ද මට කියා ඇත. ලංකා චිත්‍රාගාරයේ ප්‍රධාන කැමරා ශිල්පියා වූ ආනන්ද පසුව ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළේය. 'සරසවිය' සමඟ කළ සංවාදයකදී ලෙනින් එලෙස පවසා ඇත. 'මේක්අප් රූම්' එකෙන් එළියට ගත් ලෙනින් එතැන් සිට කැමරා ශිල්පියකු ලෙස ආනන්දට සහය වී ඇත. එකල ඔහුට මාසික වැටුප රු: 190 ක් වීලු. ඔහු මුලින්ම සහාය වී ඇති චිත්‍රපටය 'ශ්‍රී 296' ය. වනලිය, දරුවා කාගේද, අවිශ්වාසය චිත්‍රපටවලට සහාය කැමරා ශිල්පියා ලෙස සහාය වූ ඔහු එම්. එස්. ආනන්ද තම සහාය කැමරා ශිල්පියා ලෙස ගැහැනු ගැට හා හෙට ප්‍රමාද වැඩියි චිත්‍රපටවලට සම්බන්ධ කර ගත්තේය.

ලෙනින් මොරායස් මුල්වරට තනිවම කැමරා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ඇම්. ඇස්. ආනන්ද අධ්‍යයක්ෂණය කළ චිත්‍රපටය 'සිතක මහිම' බව පැවසේ. ඔහු මේ චිත්‍රපටයේ කතාව, තිර නාටකය රචනා කළ බව කීරගලආරච්චි (1973) 'විසිතුරට' ලියා තිබුණි. රාජබාලි නිෂ්පාදනය කළ 'හෙට ප්‍රමාද වැඩියි' (1964) චිත්‍රපටයේ කැමරා ශිල්පියා ද ආනන්දය. එහි අධ්‍යක්ෂවරයා ශාන්ති කුමාර් සෙනෙවිරත්නය. එහි නිශ්චල ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන ලෙස රාජබාලි ලෙනින්ට ආරාධනා කළේය. එය පිළිගත් ලෙනින් ඉතා අනර්ඝ නිශ්චල ඡායාරූප පෙළක්ම ලබා දී ඇත. එයින් පැහැදුණු රාජබාලි තවත් දුර්ලභ ගණයේ අවස්ථාවක් ඔහුට ලබා දුන්නේය. එය එසේ මෙසේ එකක් නොව හාපුරා කියා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමටය. ඒ චිත්‍රපටය 'සුදු දුව' (1966) ය. සම අධ්‍යක්ෂවරයා රාජ ජොසුවාය. 1963 දෙමළ භාෂාවෙන් නිපද වූ 'කර්පගම්' චිත්‍රපටය ඇසුරෙන් මෙහි දෙබස් රචනය කළේ බණ්ඩාර කේ. විජේතුංගය. 'සුදු දුව' චිත්‍රපටයේ එන 'ආවා සොයා ආදරේ' (ජෝතිපාල හා ඇන්ජලින්) 'ආනන්ද මේ රෑ හරි හැඩයිනේ' (ලන්ත්‍රා හා සුජාතා) ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත.

ලෙනින්ගේ දෙවන චිත්‍රපටය වූ 'සූරයන්ගෙත් සූරයා' (1969) 'සූර' චිත්‍රපට ඉතිහාසයේ පළමුවැන්නය. මෙහි කැමරාව මෙහෙය වූයේ වාමදේවන්ය. 'ඉරුවල්ල වර්කල්' දෙමළ චිත්‍රපටයේ අනුකරණයක් වූ මෙහි ගාමිණී ෆොන්සේකා හා සන්ධ්‍යා කුමාරි ප්‍රධාන චරිත රඟපෑහ. 'සූරයන්ගෙත් සූරයා ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයකට නෑකම් කියන චිත්‍රපටයක් බව කියවෙයි. ලෙනින්ගේ ඊළඟ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය අභිරහස (1971) විය. එය 1976 දී දෙමළ දෙබස් කවා 'යාර් අවල්' නමින් තිරගත විය. ආදායම් වාර්තා තැබූ චිත්‍රපට 'එදත් සූරයා අදත් සූරයා' (1972), හොඳම වෙලාව (1973), හොඳයි නරකයි (1973), ඔන්න බබෝ බිල්ලෝ එනවා (1974), හොඳයි නරකයි (1973), ආවා සොයා ආදරේ (1975), සූරයා සූරයාමයි (1975), උන්නත් දාහයි මළත් දාහයි (1976), ඔන්න මාමේ කෙල්ල පැනපි (1976), ආදරෙයි මං ආදරෙයි (1976), හිතුවොත් හිතුවාමයි (1977), හිත මිතුරා (1978), යුගයෙන් යුගයට (1981) චිත්‍රපට 15 ක් ඔහු අධ්‍යක්ෂණය කර ඇත.

චිත්‍රපට අධ්‍යක්ෂණය කරද්දිම ලෙනින් නීල් රූපසිංහගේ චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂණය හා තිර රචනයට ද එක් වී ඇත. දැන් මතකද (1970), හතර දෙනාම සූරයෝ (1971), ආදරේ හිතෙනව දැක්කම (1972), ලස්සන කෙල්ල (1975) සරදියෙල්ගෙ පුතා (1976) මේ චිත්‍රපට අතර ප්‍රධානය.

ලෙනින් හැම විටම කැමැත්ත දැක් වූයේ තමා විසින්ම තිර නාටකය ලියා චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමටය. ඔහු පවසා ඇත්තේ තමා කිසිදා ප්‍රේක්ෂකයාට බොරු කර නැති බවය. එදා 1985 දී ඔහු අර්නස්ට් වඩුගේට (සරසි පුවත්පතට) පවසා තිබූ එදා සිනමාවේ තත්ත්වය ගැන කරන මේ ප්‍රකාශය වැදගත් එකකි.

'හුඟක් හොඳ චිත්‍රපටයක් 'සුද්දිලාගේ කතාව'. ඒ වගේ කලාත්මක චිත්‍රපටයක් හැදෙන්න ඕනෑ. ඒවා බලන්න පේ‍්‍රක්ෂක පිරිසක් සිටිනවා. ඒ වගේම 'සසර චේතනා', 'ජය සිකුරුයි' වැනි චිත්‍රපට 'හොඳට දුවනවා'. ඔය දෙවර්ගයම අද සාර්ථකයි. හැබැයි බොරු කරන්න නම් අද බෑ.'

ලෙනින් අන්තර් ජාතික චිත්‍රපටයක් කිරීම සඳහා ඉතා ආසාවෙන් බලා සිටින බව වරක් පවසා තිබුණි. ඔහුගේ 'ඔන්න බබෝ බිල්ලෝ එනවා' චිත්‍රපටයේ ප්‍රථම වරට සිංහල සිනමාවේ හෙලිකොප්ටර් සටන් ඇතුළත්වීමත් විශේෂත්වයකි. 'ලස්සන කෙල්ල' චිත්‍රපටයේ රූපගත කිරීම් කිරීමට ගොස් තවත් වාර්තා පිහිටුවා ඇත. ඒ පැයකුත් විනාඩි දහයක් තුළ නළු නිළියන් සිව් දෙනෙක් ලවා ගීතයක් රූපගත කිරීමය. එහි තවත් විශේෂයක් වන්නේ රඟපෑ ශිල්පීන් තිදෙනාම සිනමාවට නවකයන් වීමය.

ලෙනින් මොරායස් 1994 පමණ වන විට දැඩි ලෙස රෝගාතුරව රෝහලක දුක්ඛිත ජීවිතයක් ගත කළේය. ඔහු ජීවිතයේ අන්තිම කාලය ගත කොට ඇත්තේ කොටහේනේ දීපදුත්තාරාමයේය. එහි විහාරාධිපති හිමියෝ ලෙනින්ගේ දුක සැප බලා ගත්හ. මෙතරම් බොක්ස් ඔෆීස් චිත්‍රපට 16 ක් අධ්‍යක්ෂණය කළ ලෙනින් ධනවත් මෙන්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ද ජිවිතයේ අවසානය ගත කළේ කෙසේ ද යන්න මවිතයට කරුණකි. ලෙනින්ගේ නමට නිෂ්පාදකවරු මුදල් දැමීමට සැදී පැහැදී සිටි බව මම දනිමි. දාස් මොහොමඩ්, සරත් රූපසිංහ, සුගතදාස මාරසිංහ, එච්. එම්. ආර්. ජයසුන්දර, යූ. ඩබ්ලිව්. සුමතිපාල, එස්. පී. සාමි, ඇල්බට් පේජ් ආදීන් මේ අතර වෙති. සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්න්ම් හා ඔහුගේ පුතෙකු වන ජී. ත්‍යාගරාජා ලෙනින්ට දී තිබූ නිදහස, අනුග්‍රහය වෙන කිසිදු නිෂ්පාදකයකුගෙන් ලැබී නැත. මේ නිසා සිනමාස් සමාගමේ හැඳල විජය චිත්‍රාගාරයේ ඔහු කිසියම් ආධිපත්‍යක් ගොඩනඟාගෙන තිබුණි. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, රොක්සාමි ඔහු සමීපව ඇසුරු කළ කිහිප දෙනා අතර සිටියෝය. මහා පරිමාණයේ නිෂ්පාදකයන්ට මෙන්ම නිමල් වීරක්කොඩි, පද්මසිරි කොඩිකාර වැනි නැඟී එන නිෂ්පාදකයින්ට ද ඔහු අත හිත දුන්නේය.

'වෙනින් කවුරුත් නෙවෙයි ලෙනින් මොරායස්' යයි ඔහු රටටම හඳුන්වා දුන්නේ කරුණාරත්න අබේසේකරයන්ය. කරූ ලෙනින්ට ජනප්‍රිය චිත්‍රපට ගීත රැසක්ම නිර්මාණය කර දුන්නේය. ඒ ගීත සදාකල් පවතින්නේ ලෙනින්ගේ නමත් සමඟය. 'උන්නත් දාහයි මලත් දාහයි' ගීත ටිකම මෙයට නිදසුන්ය.

'ඇස් තුනක් ඇති කලාකරුවා' ලෙස ද ලෙනින් වරක් හඳුන්වා තිබුණි. ඒ ඔහු දක්ෂ කැමරාකරුවකු නිසාය. 'සාගරයක් මැද' චිත්‍රපටයේ ධර්ම ශ්‍රී මුණසිංහ ලියූ එක් දෙබසක් තිබේ.

'රුසියාවේ ලෙනින් ගැන කියන කොට විප්ලවවාදීන් අහන්නේ කවුද ලෙනින් මොරායස් ද කියලා.'

ලෙනින් කලක් ජෝතිපාලයන් හා පද්මසිරි කොඩිකාර සමඟ මාලිගාවත්තේ මහල් නිවාසයේ ජීවත් වී ඇත. පසුව කොටහේනේ දීපදුත්තාරාමයේ නායක හිමියෝ ලෙනින් වෙනුවෙන් කාමරයක් වෙන් කර දී ඇත.

ලෙනින් 1970 දශකයේ මුල අධ්‍යක්ෂණය කිරීමට සිටි 'දම්මි තවමත් ආදරෙයි' චිත්‍රපටය ඇනහිටිණ. තම පුතු භාරත්ගේ නමින් 'භාරත් චිත්‍රපට සමාගම' පිහිටුවා එය ආරම්භ කළත් එය උපන් ගෙයි මියගිය චිත්‍රපටයකි. ලෙනින් අවසන් වරට අධ්‍යක්ෂණය කළේ පද්මසිරි කොඩිකාර නිෂ්පාදනය කළ 'යුගයෙන් යුගය' (1987) චිත්‍රපටයයි.

සිනමාවේ රජෙකුව සිටි ලෙනින් ලෙඩෙකු වී 1994 මැයි 28 වැනිදා මෙලොවින් සමු ගත්තේය. ඔහුගේ බිරිඳ පුතා හා දියණිය ඉන්දියාවේ චෙන්නායි හි පදිංචිව සිටිති. පුතා භාරත් චෙන්නායි නුවර වෛද්‍යවරයකු ලෙස කටයුතු කරයි.

    

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.