‘කැලෑ හඳේ’ ජයපාල මැතිනිගේ චරිතය රඟපෑවත් ‘සිකුරු තරුව’ට පෙම්බැඳි

මිලී කහඳවල
නොවැම්බර් 29, 2018

ජයපාල මැතිනි හුන් තැනින් නැඟිට සමීපයට ගොස් ඇය වැලඳගෙන 'විශ්න බායි ඇහුණද? කතාවෙන් නිදහස ලබන්නට වෑයම් කිරීම කුලාගනාවන්ගේ සිරිතක් නොවෙයි. ජෝන් යන මේ ගමන ගැන අපට වඩා හොඳට විශ්න බායි දන්නා බව නොදන්නේ කවුරුද? ජෝන් වැන්නකුගෙන් විශ්න බායිට ඇති ඵලයක් නැහැ. ඒකත් අපි කාහටත් පෙනෙන ඇත්තක් - අසරණ ජෝන්, මටත් මගේ යෙහෙළියටත් පමණක් වටිනා වස්තුවක් - ඔහුට කිසි සැකයක් නැතුව, මෙදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසනයක් ලැබෙන්නටත් ඉඩ තියෙනවා. ඉතින් මේ ගමනින් වදින්නේ මේ සියල්ලටම මරු පහරයි. එහෙයින් විශ්න බායි අපට අනුකම්පා කරන්න! අනුකම්පා කරන්න' යි යළිත් දෙපතුළ දණින් වැටීගෙන හඬමින් කීවාය.

'මැතිනි, මෙයින් සතර අවුරුදු සමසකට කලින් දුප්පත් අසරණ තරුණියක ඔබ දෙපතුල මෙසේම, දණින් වැටී ස්වකීය ප්‍රාණ සම වූ ස්වාමියා වෙන් නොකරන හැටියට උදක් ඇයැද සිටියා මතකදැයි' විචාලාය.

'ඒ වග කොහොමද විෂ්න බායි දන්නේ'

'ඒ තරුණිය දෙපතුල තමා දැන් මේ ඔබ වැටුණේ. එදා ඒ තරුණියගේ යාච්ඤාවට ඔබ කිසි අනුකම්පාවක් නොපෙන් වූ කල අද ඔබගේ යාච්ඤාවට ඈ කෙසේ අනුකම්පා පෙන්වන්නී'

'එහෙනම්, ඒ උඹ ද මේ කියමින් ජයපාල මැතිනි සර්ප ධේනුවක වෙතින් ඈත් වන්නා සේ භීතියෙන් ද, සන්ත්‍රාසයෙන් ද හැකිලෙමින් පස්සෙන් පස්සට ගියාය.

'ඒ මා තමා' යයි විෂ්න බායි කැලඹීමක් නැතිව යළිත් කීවාය.

'හා! හා! හා! මට කීප වතාවක්ම නිකම් හිතුණා - නිකම් හිතුණා - මේ - ඒ කැලෑ හඳවත් ද කියා - නමුත් - නමුත් මෙහෙම පුදුමයක්'

කොළඹ මියුසියස් විද්‍යාලයේ සිංහල හා ජ්‍යෙෂ්ඨ විභාගයට නියමිත 'කැලෑ හඳ' නවකථාව කිහිප වරක් කියවා තිබූ පාසල් යුවතියකට එහි එන ඇඩා ජයපාල නම් උඩඟු ධනවත්, කුලවත් කාන්තාව ගැන දැඩි පිළිකුලක් තිබුණාය.

ගත වූයේ වසර තුනක කාලයකි. ඇය දැන් විවාහක කාන්තාවකි. ගෙදර දහවල් ආහාරයෙන් පසු ඇය ටික වේලාවක් නිදා ගැනීම පුරුද්දකි. උදේ පුවත්පත් කියවන්නේ ද නින්දෙන් අවදි වූ ඉක්බිතිවය. ඇගේ නෙත එකවර ඇදී ගියේ එහි එන වෙළඳ දැන්වීමකටය.

'කැලෑ හඳ චිත්‍රපටය සඳහා නිළියන් ඕනෑ. පින්තූරයක් සමඟ ඉල්ලුම් කරන්න' බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මීගමුව'

'කලෑහඳ' නවකතාවේ කුමන හෝ චරිතයක් ලැබේ නම්? අඩු වශයෙන් පුංචිම චරිතයක් ලැබුණෙනාත් ඇයට එය රටක් රාජ්ජයක් ලැබෙනවාටත් වඩා දෙයකි. එවකට ඇය විසි හත් වියට පාතැබූ මවකි. පත්තර දැන්වීමට පිළිතුරක් එවා තිබෙනු දුටු ඇගේ සැමියා ජී. කහඳවල විසින් එය සඟවා තිබුණි. ඇය කෙසේ හෝ එය සොයා ගත්තාය. හැමෝටම හොරෙන් යැවූ ලිපියට ඉක්මනින්ම ඇයට කැඳවීමක් ලැබිණි.

'මට පරීක්ෂණයට යන්න දෙන්න. තේරුණොත් විතරයිනේ රඟපාන්න ලැබෙන්නේ. තව කොපමණ අය ඒවිද?' ඇය සමියාට පින් සෙන්ඩු වූවාය.

මේ මිලී කහඳවල නම් නිළියගේ ආරම්භයයි. ඇය තම ඥාති සොහොයුරියක් වූ එවකට පසළොස් හැවිරිදි වියේ සිටි උදුලා දාබරේ (පසුව ඇය චිත්‍රපට නිළියක් වූවාය) සමඟ මීගමුවට ගියා.

'එදා මම සම්මුඛ පරීක්ෂණයට යන විට ජෝන් ජයපාලට තෝරාගෙන සිටි ස්ටැන්ලි පෙරේරාත්, ඩේසි අත්නායකට තෝරා ගෙන සිටි රීටා රත්නායකත් ඇවිත් සිටියා.

'මෙයා බොහොම තරුණ වැඩියි. හැබැයි වෙස් ගැන්වීමෙන් අපි ටිකක් මැද වියේ තලත්තෑනි පෙනුම කරලා බලමු. කෝකටත් කතාව ලිව්ව ඩබ්ලියු. ඒ. සිල්වා මහත්තයා කැමතිවෙන්න ඕනෑ.'

'බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්තයා එහෙම කිව්වම මම ටිකක් ගැස්සිලා හිටියා. සිල්වා මහත්තයා වචනයක් කිව්වොත් කිව්වමලු කියලා ස්ටැන්ලිත්, රීටාත් මට කිව්වා. ඒ වුණාට මිලීව ඇලෝ අයියා (බී. ඒ. ඩබ්ලිව්.) තෝරා ගනීවී. ඒ ගැන සැක හිතන්න එපා' යි මට ධෛර්ය දෙමින් කිව්වා. මට ආයිත් දවසක් එන්න කිව්වා වැල්ලවත්තේ සිල්වා මහත්තයාගේ ගෙදරට. මම පදිංචි නාරාහේන්පිට ඉඳලා වැල්ලවත්තට ළඟයි. කිව්ව දිනේට බී. ඒ. ඩබ්ලිව්ත්, රුක්මණී, එඩී, ස්ටැන්ලි, රීටා ඇවිත් හිටියා. 'මේ තමයි ඇඩා' කියලා බී. ඒ. ඩබ්ලිව්. හඳුන්වා දුන්නා. මාව දැක්ක ගමන් සිල්වා මහත්තයා ඔළුවේ අත තියා ගත්තා.

'මේ ළාබාල කෙල්ලෙක්නෙ. අපොයි, අපොයි. ඇඩා ජයපාල කියන්නේ මැද වියේ කෙනෙක්' සිල්වා මහතා තවත් වතාවක් ඔළුවට අත තියලා කිව්වා.

'නෑ මිස්ටර් සිල්වා අපි මෙයාව මේක් අප්වලින් වෙනස් කරමු. මෙයා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්.'

'මේක චිත්‍රපටයේ ප්‍රබල චරිතයක්. ඇඩා ජයපාල නිතර ඉඳගන්න පුටුවට විතරක් රුපියල් 5,000 ක් වියදම් කරලා හදන්න දීලා තියෙනවා. ඒකෙන්ම පේනව නේ? චරිතයේ වැදගත්කම.' සිල්වා මහතා මහා බරපතළ විදිහට මා දිහා බැලුවා. ඊළඟට තිබුණේ කතා පිටපත කියවීම. දැන් මගේ පපුව ගැහෙනවා. මමයි විෂ්ණබායි කියන අවස්ථා දෙබස් කියන හැටි සිල්වා මහතා කියලා දුන්නා. රුක්මණී මට කරුණාවෙන් සහාය වුණ. ඉහත සඳහන් වෙන්නේ ඒ දෙබස්. සමහර දෙබස් මම කට පාඩමින් කිව්වා.

'කොහොමද? දෙබස් කට පාඩම් වුණේ?' සිල්වා මහත්තයා මගෙන් ඇහැව්වා.

'මහත්තයා අපි විභාගයට පාඩම් කරලාම මතක හිටියා'

'එහෙනං අපි මේ චරිතෙට මෙයාව තෝරා ගම්මු' සිල්වා මහතා කිව්වා.

චිත්‍රපටය තිරගත වූ දවසේ සිල්වා මහත්තයා මා ළඟට ඇවිත් සුබපැතුවා.'

මිලී කහඳවල වසර 44 කට පමණ පෙර 'සරසවිය' විශේෂාංගයකට එක් වෙමින් අපට කීවාය.

'කැලෑහඳ' චිත්‍රපටයේ ගීත රචනය කළ හර්බට් ඇම්. සෙනෙවිරත්න ඇය ගැන මෙසේ (සරසවිය සිනමා සංග්‍රහයට - 1964) මෙසේ ලියා තිබුණි.

'අහංකාර චරිත නිරූපණයට මිලී කහඳවල සහජ දක්ෂකම් ඇත්තියකි. වලව් පැලැන්තියේ කාන්තාවක් මෙන් රඟපෑමට නම් ඈ තරම් දක්ෂ නිළියක් සොයා ගැනීම දුෂ්කරය. කැලෑහඳ චිත්‍රපටයේ ජයපාල මැතිනියගේ අහංකාර චරිතය මිලී පිළිබිඹු කළ අන්දම මම කැමැත්තෙමි. ආඩම්බර, කුහක ගැහැනියක් ලෙස තිරයේ ජීවත්වන මිලී සැබෑ ජීවිතයේදී අහිංසක මෑණි කෙනෙකි. ඇගේ උඩඟුකම, ආඩම්බරකම, කුහකකම සීමා වී ඇත්තේ තිරයට පමණි. ඈ 'සිකුරු තරුවේ' රඟපෑ චරිතය ඇගේ ගති ගුණවලට හා ජීවිතයට වඩාත් කිට්ටු යයි මට සිතේ.'

1927 ජූනි 17 වෙනිදා කොළඹ නාරාහේන්පිට උපත ලැබූ නරසිංහ ආරච්චිගේ මිලී පෙරේරා අධ්‍යාපනය ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේය. 'කැලෑ හඳ' ට පසු ඇය රඟපෑවේ 'රදළ පිළිරුව' චිත්‍රපටයේ හෙලේනාගේ චරිතය මුල අමතක නොකළ දිරිය මාතාවකගේ චරිතයකි.

'රදළ පිළිරුව' මගේ දෙවෙනි චිත්‍රපටයයි. පළමු චිත්‍රපටයේ රුක්මණී දේවි සමඟ රඟපෑ මට තවත් ප්‍රසිද්ධ දක්ෂ නළුවකු වූ ලැඩී රණසිංහ (රපියෙල් බාස් ලෙස රඟපෑ) සමඟ ඔහුගේ බිරිඳ හෙලේනා නමින් රඟපෑමට ඉඩ ලැබුණා. 'බන් ගෝස්' නමින් සැමියාව හැඳින්වුවත් විනෝද අන්දමට සලකන චරිතයක් සමඟ මා ඉතාමත් ආසාවෙන් රඟපෑවා. වරක් ඉන්දියාවේදී චිත්‍රපටයක රඟපාන විට මගේ වෙස් ගැන්වීම ගැන මම එකඟ නොවූයෙමි. සිංහල ගැමි කාන්තාවකගේ චරිතය මා සතු විය. මගේ හිසේ මල් මාලා ගවසා බැන්දා. මම කණ්ණාඩියෙන් මා දෙස බැලුවාම මා දැන් සිංහල එකියක නොවන බැව් මට පෙනී ගියා. ඉන්දියාවේ ස්ත්‍රීන් ස්වභාවයෙන් එසේ මල් පලඳිනවා. සිංහල කාන්තාවන් එතරම් මල් නොපලඳින බව මම අධ්‍යක්ෂවරයාට කීවා. 'ඒකට කමක් නෑ. මා කියන හැටියට රඟපාන්න යැයි' ඔහු මට බල කළේ තරහිනි. මම මුරණ්ඩු ලෙස එයට කැමති වුණේ නැහැ.

'ලංකවේ ගැහැනු මල්වලට කැමති නැති ජාතියක්. ඔන්න ඔය මල් ගලවා දාපන්' අධ්‍යක්ෂක වේශ නිරූපණ ශිල්පියාට කෑගහලා කිව්වා. චිත්‍රපටය නරඹන විට මගේ මුරණ්ඩුකම ගැන මම සතුටු වුණා' මිලී එදා අප සමඟ තම චිත්‍රපට රඟපෑම්වලින් ලැබූ අත්දැකීම් විස්තර කර තිබුණාය.

'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ ඇය රඟපෑවේ සේතන් අයියාගේ (හියුගෝ ප්‍රනාන්දු) බිරිඳ කරුණාවතීය. එක්තරා අන්දමක දුෂ්ට චරිතයකි. පසුබිමින් මේ ගීතය ගයන්නේ ලතා සහ ඩොමී ජයවර්ධනය. ගීත රචනය හියුගෝ ප්‍රනාන්දුගෙනි.

'සේතන් අයියගෙ හෝටලෙ මේ

කෑම ද බීම ද ගුණයි රසයි

එක දවසක් කෑවොතින් දැනෙයි

කට දිව පිනවා ඇඟ කිලි පොළවා

සැම දා එන්නට ආස කිලිපොළවා

සිත ආස හිතෙයි'

'ජීවිත සටන' චිත්‍රපටයෙන් පසු 'සිරියලතා' චිත්‍රපටයේද ඇයට රඟපෑමට ලැබුණේ කොරනිස් ලෙස රඟපාන එඩී ජයමාන්නගේ බිරිඳ වූ සිමෝනා ලෙසය. එය යටි කූට්ටු වැඩවලට තම සැමියාට උල් පන්දම් දෙන ගැහැනියකගේ චරිතයකි. සොහොයුරෝ, දස්කම, පුරුෂරත්නය චිත්‍රපටවල රඟපෑ ඇයට තෘප්තිමත්ව රඟපෑමට ලැබුණේ 'කුරුලු බැද්ද' චිත්‍රපටයේය. පි. කේ. ඩි. සෙනෙවිරත්නගේ කතාව ගැමි ජීවිත පෙවෙත 

පිළිබිඹු කරන චිත්‍රපටයකි. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂක රාමචන්ද්‍රන් ඇයට සිත් සේ රඟපෑමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම ගැන ඇය ඔහුට ස්තූතිය පුද කරන්නීය. දේව සුන්දරී, සුහද සොහොයුරෝ, කළ කළ දේ පල පල දේ චිත්‍රපටවල රඟපෑ මිලී කහඳවල තමා රඟපෑ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සළකන්නේ 'සිකුරු තරුව' චිත්‍රපටයයි. පුණ්‍යාගේ මව චරිතයට අසීමිත ලෙස ඇය ආදරය කළාය.

'කුරුලු බැද්ද' චිත්‍රපටයේ මම රඟපෑවේ කොස්පලගෙදර වලව්වේ අයිති බණ්ඩාර නම් අහංකාර වලව්වේ ළමාතැනී කෙනෙකුගේ චරිතයක්. මගේ පුතාට රඟපෑවේ දයානන්ද ගුණවර්ධනය. (බණ්ඩාර). කුරුලු බැද්දට පසු 'කුරුලු බැද්ද නිෂ්පාදක ජෝන් අමරතුංග මහතා මහා කවි ජී. එච්. පෙරේරාගේ කෙටි කතාවක් වූ 'බේබද්දා' චිත්‍රපටයේ මිසීගේ චරිතයට තෝරා ගත්තා. දර්ශන කිහිපයක් රූගත කළාට පස්සේ ඒ චිත්‍රපටය නතර කරලා 'සිකුරු තරුව' චිත්‍රපටය පටන් ගත්තා. සිකුරු තරුවේ මගේ දියණිය පුණ්‍යා හීන්දෙනිය. කුඩා පුතා සරත් ප්‍රේමතිලක (හිටපු 'ක්‍රීඩා' පත්‍රයේ කර්තෘ) සැමියා එස්. ඒ. ජේමිස්. අපිට වෛර කරන සැමියාගේ මස්සිනා එච්. ඩි. කුලතුංග හා නෑනා ජෙසිකා වික්‍රමසිංහ. ගැමි ජීවන සුවඳ විදහා පෑ මේ චිත්‍රපටයේ අපි කළ හැම ගැමි චරිතයක් අව්‍යාජත්වයෙන් පරිපූර්ණ වුණේ කතා රචක පී. කේ. ඩි, නිෂ්පාදක අමරතුංග, චිත්‍රපට නළු ඩී. ආර්. නානායක්කාර නිසා. ඔවුන්ගේ මැදිහත්වීම නිසා 'සිකුරු තරුව' විශිෂ්ට චිත්‍රපටයක් වුණා. ගජසිංහ නම් ගම්මුලාදෑනියා ලෙස රඟපෑ ඩී. ආර්. බයිසිකලයක නැඟී මම නාන තොටුපළේ තනිවම නාමින් සිටින විට මනමාලකමේ එනවා. ඔහු මට මෙහෙම කියනවා.

'මොනවද මේ ගාන සබන්. සබන් සුවඳ ඈතට එනවා'

මේ දර්ශනය ප්‍රේක්ෂකයෝ අතර කොපමණ ජනප්‍රිය වුණා ද කිව්වොත් මම ප්‍රසිද්ධ තැන්වලට යන විට 'සබන් සුවඳ තාම දැනෙනවා' කිව්වා. මගේ චිත්‍රපට ජීවිතයේ අමතක නොවන සිදුවීම මදුරාසියේ අඩයාර්වලදී මහ ගත්කරු ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා 'කැලෑ හඳේ' අපි ලවා රඟපෑමට උපදෙස් දුන් ආකාරය හා බී. ඒ. ඩබ්ලිව්. පියෙකු මෙන් අපව මෙහෙය වූ අයුරු, පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතා 'කුරුලු බැද්ද' හා 'සිකුරු තරුව' චිත්‍රපටයේ නිෂ්පාදක අමරතුංග මහතාගේ මීරිගම වලව්වේදී දෙබස් හා චරිත නිරූපණය කරන හැටි කියා දුන් අවස්ථාවයි' මිලී අපට එදා කීවාය.

ධර්ම ශ්‍රී කල්දේරාගේ 'මී මැස්සෝ' හා කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ 'ලොකුම හිනාව' ඇය රඟපෑ අවසන් චිත්‍රපට දෙක විය. ඉන්පසු සමාජ සේවා හා සුබසාධන වැඩවලට කැප වූවාය. ආගමික කටයුතුවලට මුළු කාලය ගත කළ ඇය 'කැලෑ හඳ' රඟපාද්දී මදුරාසියේ මහා බෝධියට ගොස් සිල් සමාදන් වූ දිනය කිසිදා අමතක නොවේ යයි පැවසුවාය. ඇය පදිංචිව සිටියේ කොළඹ 05 පොල්හේන්ගොඩ ඇවරිහේන පාරේ අංක 3/30 නිවසේය. 2009 වසරේ මැයි 06 වෙනිදා ඇය ජීවිතයෙන් සමුගත්තාය. ඇගේ මහ ගෙදර පදිංචිව සිටින්නේ පුතාය. යුද්ධ හමුදාවේ නිලධාරියකු හා විවාහ වී සිටින දියණිය එංගලන්තයේ පදිංචිව සිටින්නීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.