පණිවිඩ Post Office එකට චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට බාර දුන් බර්නාඩෝ බර්ටොලුච්චි

1940-2018
දෙසැම්බර් 6, 2018

පරම්පරා 3 ක් සිනමා නිර්මාණ කාලාත්‍රයකට, මහද්වීප 4 ට සහ විවිධ චිත්‍රපට කර්මාන්ත කිහිපයකට මැදිවුණු සිනමා දිවියක් ගෙවූ ඉතාලියානු සිනමාවේදී බර්නාඩෝ බර්ටොලුච්චි තරමටම දශක 4 කට අධික කාලයක් තුළ නොකඩවා විචාරක සම්භාවනාවට පාත්‍ර වූ තවත් ජාත්‍යන්තර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු නොමැති තරම්. ලිංගිකත්වය සහ දෘෂ්ටිවාදය අරභයා ප්‍රේක්ෂකාගාරය කුප්පන සිනමාත්මක ගවේෂණ හැරුණු විට, විචිත්‍රවත් කැමරා චලනයන්ගෙන් සවිස්තරාත්මකව විදහා දැක්වුණු, ඔහුගේ ඉතාමත් තීව්ර ගතික /චාලක දෘශ්‍ය ශෛල්‍යය, සූක්ෂමාවධායි ආලෝකරණය, සංකේතාත්මක වර්ණ භාවිතය, ස්වීය නිර්මාණශීලී සංස්කරණය, 70 දශකයේ ඇමරිකානු සිනමා දඟයන් (සිනමාවේදීන් වන මාටින් ස්කෝසිස්, ෆ්‍රැන්සස් ෆෝඩ් කොපාලා, ජෝර්ජ් ලූකස්, ස්ටීවන් ස්පිල්බර්ග්, රොබට් ඕල්ට්මන්, පීටර් බොග්ද්‍රනවිච්, ස්ටැන්ලි කුබ්රික්, පෝල් ශ්‍රඩාර්) පමණක් නොව 80, සහ 90 දශකවල මියුසික් වීඩියෝ කර්තෘවරුන් හට ද ඉමහත් බලපෑමක් ඇති කිරීමට සමත් වුණා.

බර්ටොලුච්චිගේ මෙම චිරස්ථායි අදාළතාවයට හේතු වු වැදගත්ම කරුණ විය හැක්කේ ඔහුගේ චිත්‍රපටවල අන්තර්ගත වුණු තදබල, තීව්ර පුද්ගලීය ස්වභාවයයි. ඔහු අඛ්‍යාන වෘත්තාන්ත නැතහොත් කතා වස්තූන් මත ගොඩනැගුණු වෘතාන්ත චිත්‍රපට නිර්මාණය කළේ ඒවා බොහෝ විට බාහිර සාහිත්‍ය මූලාශ්‍ර මතින් පදනම් කරගෙන හෝ ඇසුරෙන් වුවත්, දශක ගණනාවක් පුරා විහිදුණු බර්ටොලුච්චි සිනමා නිර්මාණ ගොන්න සැලකූ විට ඒවා නිර්මාණකරුවාගේ පෞද්ගලික උභතෝකෝටිකයන් මෙන්ම ඔහුගේ නිර්මාණාත්මක සහ ප්‍රාඥ ජීවිතයේ චිත්ත විකාර සහ විගඩම් හා පැහැදිලි සම්බන්ධතාවයක් අනාවරණය කළා. වෙනත් වචනවලින් කියනවා නම් ඔහුගේ අභ්‍යන්තර ජීවිතය, ස්වකීය නිර්මාණ හරහා එළිදරව් කරන්නට එනම් චිත්‍රපට තුළ ජීවත් වන්නට හා සිනමාරූපානුකූලව සිතන්නට ඔහු තුළ වූ සිහිනය සැබෑ කරගන්නට සමත් වුණා.

1940 මාර්තු 16 වැනි දින බර්ටොලුච්චි ඉතාලියේ පාර්මා නුවර උපත ලැබූයේ, සුඛෝපභෝගී වාගේම බුද්ධිමත් පසුබිමක් තිබුණු පවුලක. ඔහුගේ මව වූ නිනෙට්ටා ගුරුවරියක් වූවා. ඔහුගේ පියා ඇටීලියෝ බර්ටොලුච්චි කවියෙක්, සංහිතාකරුවෙකු, චිත්‍රපට විචාරකයකු මෙන්ම කලා ඉතිහාසය සම්බන්ධ මහාචාර්යවරයකු ද වූවා. චිත්‍රපට පිළිබඳ කුඩා කල සිටම බර්නාඩෝට තිබු උනන්දුව දිරිමත් කරන්නට පියා ඔහුව නිතර නිතර චිත්‍රපට නරඹන්නට රැගෙන ගියා. වයස අවුරුදු 15 වන විට බර්ටොලුච්චි ළමුන් ගැන කෙටි චිත්‍රපට 2 ක් නිර්මාණය කර තිබුණු අතර, ඊටත් වඩා රචකයෙකු හැටියට ඉතාලිය පුරාම යම් පිළිගැනීමකට ලක්වෙමින් සිටියා. ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වූ ඉන් සර්ච් ඔෆ් මිස්ටරි ඉතාලියේ ප්‍රමුඛතම සාහිත්‍ය සම්මානයක් වූ ප්‍රමියෝ වියාරෙජියෝ සම්මානය දිනාගන්නට සමත් වුණා. රෝම විශ්ව විද්‍යාලයේ දී (1958 - 1961) බර්ටොලුච්චි සිය සිනමා දිවිය ආරම්භ කළේ පියේර් පාවෝලේ පැසෝලිනීට සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස සහයට එක් වෙමින්. පැසෝලනීගේ ඇසටෝන් චිත්‍රපටයේ වැඩත් සමඟම රෝම විශ්ව විද්‍යාලයට ආයුබෝවන් කියූ බර්ටොලුච්චි උපාධිය හැර යමින් එයින් සමු ගත්තේ සිනමාව පිළිබඳව ස්වාධින අධ්‍යයනයක යෙදෙන්නට ගමනක් අරඹමින්.

බර්ටොලුච්චි මුලින්ම පැතුවේ ඔහුගේ පියා වාගේම කවියෙකු වෙන්නටයි. එය සිතෙහි තබාගෙනයි ඔහු 1958 සිට 1961 දක්වා රෝම විශ්ව විද්‍යාලයේ නූතන සාහිත්‍යය පීඨයට ඇතුළන් වුණේ. උපාධිය සම්පූර්ණ නොකර විශ්වවිද්‍යාලය හැරගිය බර්ටොලුච්චි, 1962 දී එනම් ඔහුට වයස අවුරුදු 22 දී ඔහුගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ ලා කොමාරේ සේකා (1962) අධ්‍යක්ෂණය කළා. එය ගණිකාවකගේ මරණයක් පසුපස හඹා යන අබිරහස් මිනිමැරුමක් ගැන මිස්ටරි චිත්‍රපටයක් වුණා. එහිදී බර්ටෝලුච්චි අතීතාවලෝකන නැතහොත් ෆ්ලෑෂ්බැක්ස් භාවිත කරමින් අපරාධයත් එය සිදු කළ අපරාධකරුවන් අතර සම්බන්ධ ගොඩ නැඟුවා.

ඔහුගේ දෙවන චිත්‍රපටය වූ බිෆෝ ද රෙවලුෂන් වාණිජමය වශයෙන් ද ග්‍රිම් රිපර් තරම්වත් සාර්ථක වුණේ නැති නමුදු එය 1964 කෑන්ස් සිනමා උලෙළේ ඔහුව පිළිගැනීමට ලක් කිරීමට සමත් වුණා. අවසානයේදී බිෆෝ ද රෙවලුෂන් තුළින් මතු වන්නේ සමහර විට ඉතාම දීප්තිමත් වාගේම ඉතාම ආකූල වූ තරුණයෙකු විසින් නිර්මාණය කරන්නට යෙදුණු, ඉතාමත් ව්‍යාකූල වූ තරුණයෙකු ගැන ඉතාමත් චාලක ආලේඛයක් මිස පැහැදිලි දෘෂ්ඨිවාදයක් හෝ නිරවුල් දැක්මක් නම් නොවෙයි. බර්ටොලුච්චිගේ මුල්කාලීන චිත්‍රපට බොහෝමයක් දිස් වූයේ සමගාමී පූජා සත්කාර සහ යාතුකර්ම ලෙසයි. පැසොලිනී සහ ජෝන් ලුක් ගොඩාඩ් 1960 දශකයේ බර්නාඩෝගේ නිවුන් අධ්‍යාත්මික පියවරුන් වූ අතර ගොඩාඩ්ගේ බලපෑම් ඉතාමත් පැහැදිලි ලෙස බර්ටොලුච්චිගේ තුන්වන වෘත්තාන්ත චිත්‍රපටය වූ පාර්ට්නර් (1968) චිත්‍රපටයේ දැකිය හැකි වුණා. පාර්ට්නර්, ගොඩාඩ්ගේ පශ්චාත් ප්‍රංශ නව රැල්ලේ මෙන් අණ්ඩාකාර, සෙල්ලක්කාර, ඉහළ සංකේතාත්මක සහ දේශපාලණිකව සක්‍රීය ශෛල්‍යක අනුකරණය කිරීමේ ප්‍රයත්නයක් වූවා දොස්තොයෙව්ස්කි ගේ ද ඩබල් යන කෘතිය ඇසුරෙන් අනුවර්තනය වුණු පාර්ට්නර්, දේශපාලන විප්ලවවාදියෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු සහ සමහර විට තමාගේම මනෝවි්‍යාධික ද්විත්වකාය හෝ අවතාරය සමඟ මුහුණට මුහුණ ගැටෙන්නට වුණු තරුණ පරමාදර්ශවාදියෙකුගේ (පියෙර් ක්ලෙමෙන්ටි) කතාවක්. වර්තමානයේ මෙම චිත්‍රපටය යම් වශිකරණයකට ලක් වී තිබෙන්නේ බර්ටොලුච්චිගේ ලියලන කාව්‍යමය ප්‍රකාශ රංජනයේ සහ සිනමාත්මක ප්‍රතිභානයේ ප්‍රබලත්වය, ගොඩාඩ්ගේ වඩාත් දේශපාලණිකරණය වූ චිත්‍රපට තුළ ගම්‍ය වුණු චිඛණ්ඩනය වූ උච්ච ප්‍රකාශක ශෛල්‍යය සමඟ ඝට්ටනය වෙන හැසිරීම් හේතුවෙනුයි.

1970 දශකයේ මුල් භාගය බර්ටොලුච්චිගේ සිනමාවේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වුණා. 1970 ද ස්පයිඩර්ස් ස්ට්‍රැටජම් චිත්‍රපටය, හෝර්ගේ ලුවීස් බෝර්ජේස්ගේ කෙටි කතාවක් වූ ද තීම් ඔෆ් ද ට්‍රේටර් ඇන්ඩ් ද හීරෝ හී සම්ප්‍රසාරණයක් වූවා. බර්ටුලෝච්චි මනෝ විශ්ලේෂණයට පිවිසුණු අවදියේම නිෂ්පාදනය වුණු ස්ට්‍රැටජෙම් තරුණයෙකු පිළිබඳ නූතන කතාවක් ලෙස ආරම්භ වුණේ එම තරුණයා නැතහොත් අතෝස් මන්යානී ජූනියර් තම පක්ෂවාදී පියා වූ අතෝස් මන්යානිගේ මරණය පිළිබඳ විමර්ශනයක් කිරීමට ටාරා නැමැති කුඩා ටවුමට පැමිණීමත් සමඟයි. ඉතාමත් සංකේතාත්ම නිර්මාණයක් වූ මෙහි බර්ටොලුච්චිගේ ප්‍රකාශක කැමරා චලනයන්ගෙන් පණ පදම් කෙරුණු සහ විචිත්‍රවත් පිපිරුම් යම් විටෙක විකාර රෑපී ස්වභාවයක් දිස් කෙරුවා.

ඔහුගේ ඊළඟ ව්‍යාපෘතිය වූයේ ඇල්බේටෝ මොරේවියාගේ ද කන්ෆර්මිස්්ට් නම් නවකතාව ඇසුරන් නිමවුණු ද කර්ෆර්මසිටි චිත්‍රපටයයි. ද කන්ෆර්මිස්ට් තුළින් කියවුණේ මුසොලිනීගේ පාලන සමය තුළ, තම අතීතය ප්‍රතික්ෂේප කරමින්, ප්‍රකෘතිභාවය නම් මායාව උපද්දවා ගැනීම සඳහා දුෂ්කර සටනක යෙදෙන ඉතාලියේ ජීවත් වූ තරුණයෙක් වූ මාර්සෙල්ලෝ ක්ලෙරිචී ගැනයි. මොරේවියාගේ නවකතාව මුළුමනින්ම රේඛීය කතා කීමේ රීතියක් මත විශ්වාසය තැබූ කතාවක් වූ අතර එහි ක්ලෙරේචීගේ ළමා කාලයෙන් ආරම්භ කරමින් ඉන් පසු ඉදිරියටම ගොස් මුසොලිනීගේ ඇද වැටිමත් සමඟම වූ ඔහුගේ මරණය දක්වා දිග හැරුණත්, බර්ටොලුච්චි තම චිත්‍රපටය ආරම්භ කළේ කතාවේ අවසානයට බොහෝ ළඟින්. එය තුළ අතීතාවලෝකන තුළ අතීතාවලෝකන ඇතුළත් වූවා. ඒ කිව්වේ ෆ්ලෑෂ්බෑක්ස් ඇතුළේ ෆ්ලෑෂ්බැක්ස්. ද කන්ෆර්මිස්ට් ලොව පුරා බලවත් සංවේදනාවක් ඇති කරමින් ප්‍රචලිත වූ අතර සිනමාවේදියෙකු හැටියට බර්ටොලුච්චි හට මහත් ගෞරවාදරයක් ද ගෙන ඒමට සමත් වුණා.

ද කර්ෆර්මිස්ට්, වර්තමානයේ වාත්ම විචාරක අගැයීමට ලක් වූ බර්ටොලුච්චි චිත්‍රපටය නම්, ඔහුගේ ඊළඟ චිත්‍රපට 2 ඔහුගේ වඩාත්ම අපකීර්තිමත්ම චිත්‍රපට 2 බවට පත් වුණේ එක හේතුවක් හෝ 2 ක් නිසා නොවෙයි. 1972 ලාස්ට් ටැන්ගො ඉන් පැරිස්, කිසිම බඩු මුට්ටුවක් නැති හිස් පැරිස් මහල් නිවාසයක් තුළ, ඇමරිකානු වැන්දඹු පුරුෂයෙකු වූ මාර්ලන් බ්‍රැන්ඩෝ සහ තරුණ ප්‍රංශ යුවතියක වූ මරියා ෂ්නයිඩර්, අඥාත, අමු රති කෙළිවල නියැළෙන අයුරු පිළිබඳ කතාවක් වූවා. මැදි වියේ පසු වූ බ්‍රැන්ඩෝගේ තීව්‍ර රඟපෑමත්, ලිංගික දර්ශනවල ඉතාමත් විවෘත වූ දෘශ්‍යමය අන්තර්ගතයන් හේතුවෙන්, ලාස්ට් ටැන්ගෝ ඉන් පැරිස් කරළිය මත පුපුරා ගියා. වර්තමානයේ ලාස්ට් ටැන්ගෝ හි විවෘත දෘශ්‍යමයභාවය කල් පැන ගොස් ඇති නමුදු එහි චරිත තම ලිංගික ක්‍රියාවන් හරහා තම චණ්ඩභාවය රඟ දැක් වූ කාම ශක්තියේ ප්‍රබල්‍යය හෙළිදරවු කළේ මෙම චිත්‍රපටය එකිනෙකට වෙනස් වූ පසුකාලීන චිත්‍රපට වූ සෙඩ්රික් කාන්ස් (1999) ලුවී මාලේස් (1992) පෝල් වහෝවන් (1992) යන සිනමා නිර්මාණවලට ප්‍රමුඛ බලපෑම වූ බවයි.

ලාස්ට් ටැන්ගෝ හි අතිමහත් වූ ජනප්‍රිය සාර්ථකත්වය, බර්ටොලුච්චිට ඔහුගේ ඊළඟ නිර්මාණය සඳහා අති විශාල බජට් එකක් සහ ඉතාමත් ජනප්‍රිය නළු නිළි කැලක් එකතු කර ගැනීමට මඟ පෑදුවා. අසෝභන ලෙස මහාඅපේක්ෂා සහිත වූ 1900 (නුවෙසෙන්ටෝ) (වර්ෂ 1976) දේශපාලනිකව කැපවුණු පැය 5 කට වඩා අධික ධාවන කාලයකින් යුත් විසිවෙනි ශත වර්ෂය පිළිබඳ මහා කාව්‍යයක් වූ අතර රොබට් ඩි නීරෝ, ජෙරාඩ් දෙපාඩියු, බර්ටි ලැන්කැස්ටර් සහ ඩොනල්ඩ් සදර්ලන්ඩ් එහි රඟපෑවා. කෙසේ වුවත් චිත්‍රපටයේ අපරිමාණ ධාවන කාලයත්, එහි ඉපැහැදිලි මාක්ස්වාදී චින්තනයත්, බර්ටුලොච්චි සහ ඔහගේ නිෂ්පාදකවරු / චිත්‍රාගාරය අතර බලවත් භේදයක් ඇති කරන්නට හේතු වුණා.

1900 චිත්‍රපටයේ අපරිමාන ධාවන කාලය හුදෙක් රැවටිල්ලක් හෝ නූල් සූත්තරයයක් වූවා නොවේ. බර්ටොලුච්චි 1901 වසරේ එකම දවසේ ඉපදුණු පිරිමි දරුවන් දෙදෙනකුගේ කතාවක් තුළින් ඉතිහාසය හරහා ඉතා පුළුල් විවරයක් මතු කර තිබුණා. මෙම අපරිමාණ ඓතිහාසික උද්වේග නාට්‍යය බර්ටොලුච්චිගේ වඩාත්ම කැපවුණු වාගේම ඉතාම නිර්භිත නිර්මාණවලින් එකක් වූවා. ඒ වාගේම යුද්ධය, අරගලය, ආදරය, ලිංගිකත්වයෙන් පිරුණු 1900 අධ්‍යක්ෂවරයාගේ වඩාත්ම ගතානුගතික චිත්‍රපටය ද විය හැකියි. අදටත් පිළිගත් සිනමාවේදියෙකු විසින් මෙතෙක් ලොව නිමැවුණු වඩාත්ම මහාඅපේක්ෂා සහිත චිත්‍රපටයක් ලෙස සැලකිය හැකි වූ 1900 හී ජනප්‍රිය අසාර්ථකත්වය, බර්ටොලුච්චි තුළ ඇති කළේ කැළලක්. චිත්‍රපටය සඳහා වූ පිළිගැනීම ඊට පසු ගෙවී ගිය වසර ගණනාවක් පුරාවට වැඩි වී තිබෙනවා. 1900 නිසා මුහුණ දෙන්නට වූ ප්‍රශ්න හේතුවෙන් බර්ටොලුච්චිගේ ඊළඟ චිත්‍රපට 2 සූදානම් සහිත පසුබැසීම් ලෙස දැකිය හැකියි. 1979 ලූනා ඉතාලි සංචාරයක යෙදෙන ඇමරිකානු ඔපෙරා ගායිකාවක් සහ මතට ඇබ්බැහි වුණු ඇයගේ ගැටවර පුත්‍රයා පිළිබඳ කතාවක් වටා ගෙතුණු කුඩා පරිමාණයේ, එනමුත් සුන්දරත්වයෙන් අඩුවක් නොවූ චිත්‍රපටයක් වුණා.

ලුනා හිට් එකක් වුණේ නැහැ. එයට පසුව නිමැවුණේ බර්ටොලුච්චිගේ අවසාන සත්‍ය වශයෙන්ම ඉතාලියානු චිත්‍රපටයයි. ද ට්‍රජඩි ඔෆ් අ රිඩ්කියුලස් මෑන් චමත්කාරජනක දේශපාලනික ත්‍රාසකයක් වූ එහි ඌගෝ ටොන්යාසී කර්මාන්තකාරයෙකු ලෙස රඟපෑවා. ඔහුගේ පුතාව කොමියුනිස්ට්වාදී ක්‍රියාකාරිකයන් විසින් පැහැර ගන්නවා. 1981 නිමැවුනු මෙම චිත්‍රපටය ඔහුගේ මුල්කාලීන සහ පසුකාලීන චිත්‍රපට අතර හරියටම අනුමාන කළ නොහැකි තැනක ස්ථාපිත වී තිබෙනවා.

ද ලාස්ට් එම්පරර් යනු චීනයේ අවසන් අධිරාජයා වූ යී ගැන ගෙතුණු අති විශාල ඉංග්‍රීසි භාෂාවෙන් නිමැවුණු මහා සිනමා කාව්‍යයක් වූවා. 20 වන ශත වර්ෂය ආරම්භයේ අත දරුවෙකු ලෙස අධිරාජ්‍යයා බවට පත්වන පූ යී ඔහුගේ අධිරාජ්‍යය අහිමි කරගන්නවා පමණක් නොව, දෙවන ලෝක යුද්ධ සමයේ ජපානය සමඟ සහයෝගිතාවක් ඇති කර ගන්නවා. ඉන් පසුව චීන කොමියුනිස්ට්වාදීන් අතින් පුනරුත්ථාපනය වන ඔහු ජීවිතයේ අවසන් කලය ගෙවා දමන්නේ මාවෝගේ චීනයේ යටහත් පුරවැසියෙකු ලෙසයි.

එය ලොව පුරා ඉමහත් සාර්ථකත්වයක් සහ ජනප්‍රියත්වයක් දැරූ බොක්ස් ඔෆිස් හිට් එකක් වෙමින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය ඇතුළුව ඔස්කාර් සම්මාන 9 ක් දිනා ගත්තා.

පෙර ලොව කිසිම කෙනකුට නොදුන් අවසරයක් ඔහුට ලබා දෙමින් චීන රජය ඔහුට බීජිං නුවර තහනම් නගරය තුළ රූගත කිරීමට සම්පූර්ණ ඉඩ ලබා දුන්නා. ලාස්ට් එම්පරර් චීනයේ නිෂ්පාදනය වුණු ප්‍රථම බටහිර චිත්‍රපටය ලෙස වාර්තාගත වුණු අතරම චීන රජයේ අනුග්‍රහයෙන් 1949 පසු චීනයේ නිමැවුණු ප්‍රථම චිත්‍රපටය බවටත් පත්වුණා.

ලාස්ට් එම්පරර් චිත්‍රපටයත් සමඟම බර්ටොලුච්චි මුළු හදවතින්ම ප්‍රධාන දහරාව වැලඳ ගත් බවට විද්‍යාමාන වෙන්න පටන් ගත්තා.

ද ලාස්ට එම්පරර් 1990 දී නිමැවුණු ද ෂෙල්ටරින් ස්කයි සහ 1993 ලිට්ල් බුද්ධා, ඒවායේ ඉතාමත් ඉහළ නිෂ්පාදන අගයන් සහ විදේශික දර්ශන තලයන් හේතුවෙන් ඊස්ටර්න් ත්‍රිලොජි නැතහොත් පෙරදිග ත්‍රිත්වය ලෙසට සැලකුණා. මෙම තුනම ඉලක්ක කළේ වඩාත් පුළුල් වූ ජාත්‍යන්තර වෙළඳපොළයි. ද ෂෙල්ටරින් ස්කයි, පොල් බොව්ල්ස්ගේ නවකතාවක අනුවර්තනයක් වුණා. ප්‍රශ්නකාරී විවාහ දිවියක් ගෙන යන යුවලක් සහ ඔවුන්ගේ මිත්‍ර සෙල්ලක්කාර තරුණයා පශ්චාත් දෙවන ලෝක යුද්ධ උතුරු අප්‍රිකාවේ ඔහේ සංචාරයක යෙදෙන කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණා. ද ෂේල්ටරින් ස්කයි හී අන්තර්ගතයේ දේශපාලනය නොමැති බව අධ්‍යක්ෂවරයාගේ අනෙක් සියලුම චිත්‍රපට සමඟ සැසඳීමේදී එහි සැලකිය යුතු ප්‍රධානතම වෙනස ලෙස කැපී පෙනුණා.

1993 දී ඔහු ලිට්ල් බුද්ධා නිමැවූවා. එය මාර්කට් කළේ පවුලේ සැමට සුදුසු බුද්ධාගම පිළිබඳ ඉතාමත් මිහිරි සිනමා කාව්‍යයක් ලෙසයි. ඔහුගේ පෙර චිත්‍රපට බොහෝමයක මෙන්ම මෙහිද කතා දෙකක් කියවෙනවා.

එකක් වර්තමානයේ සිදුවන නූතන කතාවයි. එහි ඇමරිකාවේ සියෑටල් නුවර ජීවත් වන කුඩා පිරිමි දරුවෙක් දලායි ලාමා ගේ පුනර්භවයක් යැයි සැක කෙරෙනවා. අනෙක් කතාව සිද්ධාර්ථ කුමාරයා ගැන කියවෙන බොහොම විචිත්‍රවත් අතීත කතාවයි.

ද ෂෙල්ටරින් ස්කයි හෝ ලිට්ල් බුද්ධා කිසි විටෙකවත් ද ලාස්ට් එම්පරර් හි ජනප්‍රියත්වය හෝ විචාරක ප්‍රසාදය දිනා ගත්තේ නැහැ. එම හේතුවෙන් බර්ටොලුච්චි නැවතත් වඩාත් තමාට සමීප තේමාවලට නැවත හැරුණා.

ඉන් පසු චිත්‍රපට බර්ටොලුච්චිගේ මුල්කාලීන නිර්මාණවල කතාවන්, නූතන දෘෂ්ටිකෝණයකින් නැවත දැකීමක් ලෙස පෙනුණා. ස්ටීලින් බියුටි චිත්‍රපටයේ ඇමරිකානු යුවතියක් ඇයගේ මවත් සමඟ කාලයකට ඉහත ඇයගේ නිවසේ නවාතැන් ගෙන සිටි කලාකරුවන් කණ්ඩායමක් අතරින් ඇයගේ පියා කවුදැයි සොයා ගැනීමට දරන උත්සාහයක් ගැන කියවුණු කතාවක් වුණා.

අවසන් වරට යම් සැලකීමකට ලක්වුණු බර්ටොලුච්චිගේ චිත්‍රපටය වූ ද ඩ්‍රීමර්ස් ඔහුගේ පරම්පරාවේ එක් වැදගත් සංධිස්ථානයක්. එනම් 1968 මැයි මාසයේ ප්‍රංශ කැරලි කෝලාහලය ගැන කළ පුනරීක්ෂණයක් වැනි වූවා. ඔහුගේ අවසාන චිත්‍රපටය වූයේ මී ඇන්ඩ් අයි 2012 වසරේ නිර්මාණය වුණා.

බොහෝ විචාරකයන් බර්ටොලුච්චිගේ නිර්මාණ වචන දෙකකට එනම් ලිංගිකත්වය සහ දේශපාලනයට ලඝු කරන්නට උත්සාහ කරනවා. තවද සමහර විචාරකයන් ඇති කරගත් අවසන් නිගමනය වන්නේ ඔහුගේ උත්සාහය වන්නේ හුදෙක් කම්පනයක් ඇති කිරීම බවත් ඔහුගේ චිත්‍රපටවල ස්වාභාවිකව ලිංගිකත්වය සහ දේශපාලනයට එහා ගිය දෙයක් නොමැති බවයි. තවත් සමහරුන් තර්ක කරන්නේ බර්ටොලුච්චිගේ හරියට සිග්මන් ෆ්‍රොයිඩ් කාල් මාක්ස් හමු වූවාක් වැනි ප්‍රවේශය ගෙවුණු අඩ සියවසේ බිහිවුණු විශිෂ්ටතම සිනමා නිර්මාණ කිහිපයක් බිහිකර ඇති බවයි. ලිංගිකත්වය සහ දේශපාලනය යන තේමා දෙක ඔහුගේ සිනමා දිවිය පුරාවටම දිවෙන බව සත්‍යයක් නමුදු ඉහත විචාරක මතය, දශක පහක අධික කාලයක් පුරා දුසිම් ගණනක් වූ චිත්‍රපට ගණනකට, අධ්‍යක්ෂණයෙන්, රචනයෙන් හෝ වෙන යම් ආකාරයකින් දායක වුණු නිර්මාණකරුවෙක් ගැන සාධාරණ ප්‍රකාශයක් ලෙසට පිළිගත නොහැකියි. තම චිත්‍රපට හරහා බර්ටොලුච්චිගේ අරමුණ වූයේත් එයම ද නැතහොත් වචාරකයන් එලෙස පටු ලෙසට ඔහුව ලඝු කිරිම සාධාරණ ද යන කරුණු දෙකටම අවධානය යොමු කිරීමේදී අතහැරෙන වැදගත්ම කරුණ වන්නේ ඔහු නිර්මාණකරුවෙකු ලෙස නිරන්තරයෙන්ම කිරීමට උත්සාහ කරන දෙයයි. එය නම් තමන් ජීවත් වන සමාජය සහ තමා දෙසම බැලීමට ජනයාට බලපෑම් කරන්නට, සීමා මායිම් බිඳ හෙලමින්, චිත්‍රපට හරහා අවධි කරවන මතභේද භාවිත කරන අයුරුයි.

 

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.