මැතිව් චන්ද්‍රන් රත්නම්ගේ සිනමා භාවිතයේ වර්ධනීය අවස්ථාවක්

දෙසැම්බර් 13, 2018

ප්‍රේමය, රාගය හා විවාහය ආශ්‍රිත ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා නිර්මාණ කාර්යන්හිදී ප්‍රමුඛ මාතෘකාය. නොඑසේ නම් ප්‍රබල අනු මාතෘකාය. ඉන් කියැවෙන්නේ බොහෝ නිර්මාණ කාර්යයන් ජීවිතය නොයෙක් ආකාරයෙන් පිළිබිඹු කරන බවයි. එහෙත් ඒ හරහා ජීවිතය පිළිබඳ ගැඹුරු කියැවීමක් සරි කර ගත නොහැකි වන්නට ද ඉඩ තිබේ. පරිණත හා දූර්දර්ශී නිර්මාණකරුවන්ගේ සපැමිණීමක ඵලදායීතාව අවධාරණය කළ හැක්කේ මෙබඳු විටෙකදීය.

කෙසේ වතුදු උක්ත කාරණය අරබයා සුවිශේෂත්වයක් ප්‍රකට කරනු පිණිස යත්න දැරූ නිර්මාණකුවකුට පළමු පියවරේදීම තරඟ වදින්නට සිදු වන්නේ සුලබ ප්‍රවේශවීම් සමඟිනි. වරෙක මේ තත්ත්වය ගැටුමක් දක්වාම වර්ධනය වන්නට ඉඩ තිබේ. සියල්ල ශුන්‍ය වන අවස්ථා ද පවතී. මෙහිලා සිදු වන්නේ නිර්මාපක අර්බුද තවදුරටත් උත්සන්න වීමය. ප්‍රති විරෝධතා සවිමත් වීමය.

චන්ද්‍රන් රත්නම් සිය නවතම සිනමාපටය වන 'මැතිව්' සඳහා විෂය කොට ගන්නේ ද ප්‍රේමය, රාගය, විවාහය ආශ්‍රිත අතිශය සුලබ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවකි. ඔහු නොවළහා ඊට සුවිශේෂත්වයක් සපයයි. දෙවැනි වටයේදී එය ගමන් කරන්නේ අපූර්වත්වයක් කරාය. ඒ අනුව 'මැතිව්' නිරනුමානවම චන්ද්‍රන් රත්නම්ගේ සිනමා භාවිතයේ යම් වර්ධනීය අවස්ථාවක් බවට පත්වන අන්දම පැහැදිලි කර ගන්නට පුළුවන. කොහොමත් ඔහුගේ සිනමා භාවිතය විෂයෙහි දැකිය හැක්කේ එකම ආකාරයක සිනමාපට නොවේ. ඊට 'මැතිව්' ද උදාහරණයකි.

'මැතිව්' සුවිශේෂත්වයක් හා අපූර්වත්වයක් දනවන සිනමාපටයක් බවට පත් කරනු පිණිස චන්ද්‍රන් රත්නම් විසින් විෂයය කර ගනු ලබන්නේ ආන්දෝලනාත්මක පුවතකි. සිදුවීම් මාලාවකි. චරිත නාම හා ස්ථාන නාම සම්බන්ධයෙන් වෙනස්කම් තිබුණ ද මේ සත්‍ය වශයෙන්ම සිදු වූ දෑය. අද වන විට බොහෝ දෙනෙකු දන්නා මේ පුවතට නව අර්ථයක් එක් කරමින් වෙනත් තැනක් කරා සිනමාපටය රැගෙන යාමේ අධ්‍යාශයක් චන්ද්‍රන් රත්නම් වෙතින් දත හැකි නොවේ. එහෙත් හුදු පුවතක් වාර්තා කරන පිළිවෙතකට ඔහු පැමිණෙන්නේ නැත. සිනමාපටයේ වෘත්තාන්තමය ලක්ෂණ හැම මොහොතකදීම තහවුරු කරලීම ඔහුගේ කාර්යයක් වී තිබේ. මේ පුවත දන්නා කිසිවකුටත් සිනමාපටය දුරවබෝධ හෝ නීරස නොවන වග නිසැකය.

'මැතිව්' හි මේ ගුණාංග ඔප් නැංවීම පිණිස සිනමාකරු චන්ද්‍රන් රත්නම් භාවිත කරන උපක්‍රම ද්විත්වයකි. පළමු කොටම සිනමාපටයේ රිද්මයයි. දෙවනුව ඇසුරු කොට ගන්නා සත්‍ය සිදුවීම් පෙළ හඳුනා ගැනෙන 1970 දශකයේ අග භාගය කරා සිනමාපටයේ රූප රචනය ගෙන යාමයි.

මෙහිලා චන්ද්‍රන් රත්නම් වඩා සාර්ථක වන්නේ රිද්මය විෂයෙහිය. මේ මන්දගාමී රිද්මයකි. නමුත් සිදුවීම් ප්‍රවේගවත්ය. ඇංග්ලිකානු පූජකවරයකු වන මැතිව් පීරිස් අහම්බෙන් හමු වූ ඩැෆ්නි නමැති සුරූපී විවාහක කාන්තාවක හා ගොඩනඟා ගන්නා සමීප ඇසුර තවදුරටත් පවත්වාගෙන යනු රිසියෙන් ඇගේ තරුණ ජවසම්පන්න ස්වාමි පුරුෂයාත්, මැදිවියට එළැඹුණු තමන්ගේ භාර්යාවත් රෝගීව මිය යාමට සලස්වයි. මොහොතින් මොහොත කුතුහලය හා භීිතිය දනවන මේ පුවත නිරූපිත මන්දගාමී රිද්මය සත්‍ය වශයෙන්ම ප්‍රේක්ෂකයා වසඟ කරන සුලුය. ප්‍රේක්ෂකයා වහාම මේ රිද්මය හා එකඟතාවකට පැමිණෙයි.

ඊට සානුබල සපයන්නේ රංගන ශිල්ප ශිල්පිනියන්ය. ඒ ඒ චරිත නිරූපණයට වඩාත්ම උචිත අයවලුන් තෝරා ගෙන ඇති අන්දම පෙනේ. විශේෂයෙන්ම ඒ බාහිර පෙනුම යන කාරණයටද අදාළවයි. මැතිව්ගේ චරිතය නිරූපණය කරන ඇල්ස්ටන් කොච් සිනමා රංගනය සම්බන්ධයෙන් වන ස්වකීය ආධුනිකත්වය පළවා හරින්නේ ඊට ප්‍රතිපක්ෂව නව්‍යතාවයක් ද ගෙන එමිනි. කිසිදු විටෙක ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් නොවේ. වරක් ඔහු ඩැෆ්නිගේ නිරුවත දොර කවුළුවක් තුළින් දකියි. තවත් විටෙක ඔහු වෙත එල්ල වන ඥාතීන්ගේ චෝදනාය. අවසන ඔහු මිනීමැරුම් චෝදනාවකට ලක් වෙයි. මේ හැම තැනකදීම ඔහු පෙනී සිටින්නේ කිසිවකට නොසැලෙන ශක්තිමක් පුරුෂයකු සේය. එනිසාම මැතිව් පීරිස්ගේ චරිතය දෙස නොගැඹුරු ද්වේශයකින් බලන්නට ප්‍රේක්ෂකයා වෙත අවසරයක් නොලැබේ. එහෙත් ඔහු දෙස විකල්ප ඇසකින් බලනු සඳහා උචිත ඉඩක් නම් සිනමාකරු චන්ද්‍රන් රත්නම්ගේ පාර්ශ්වයෙන් විවර කර නොදෙන බව ද කිව යුතුය. ඩැෆ්නිගේ චරිතය නිරූපණය කරන ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් එක මොහොතක කාම ධේනුවක යැයි හැඟෙන ඉරියව්වක් පෙන්නුම් කරයි. ඒ හැරුණු කොට ඈ ද තම චරිතය ප්‍රකාශයට පත් කරනු පිණිස අවශ්‍ය චර්යා ප්‍රමාණවත්ව හඳුනාගෙන සිටින අයුරු පෙනේ.

චන්ද්‍රන් රත්නම්ගේ මන්දගාමී රිද්මය යථාර්ථයක් බවට පත් කරන සංස්කාරක ජේම්ස් රත්නම් සිනමාපටය වෙත ලබා දෙන වටිනාකම ලඝු නොකිරීමට පියවර ගත යුතුය. ජේම්ස් රත්නම් සිනමාපටයේ ප්‍රමුඛ චරිතයකි. ඔහු තිර නාටකයේ හා රූප රචනයේ ප්‍රවිෂ්ටය ද, විලාසය ද අතික්‍රමණයට සමත් වන ප්‍රමාණය ගළපා ගත යුත්තේ සිනමාකරු චන්ද්‍රන් රත්නම්ගේ අභිලාෂය සමඟිනි. චන්ද්‍රන් රත්නම් සිනමාපටයට වැඩිම බරක් එක් කරන්නේ ඇත්ත වශයෙන්ම ජේම්ස් රත්නම්, ජැකලින් හා ඇල්ස්ටන් කොච් සහභාගි කරගෙනයි.

යට කී දෙවන උපක්‍රමය රූප රචනය අභියස බිඳ වැටෙන අවස්ථා නැතුවාම නොවේ. සිනමාපටය ආරම්භ වන්නේ වර්ෂ 1962 එක්තරා දිනයක බන්ධනාගාරයක් තුළදී රැඳවියකු මරණ දණ්ඩනයට ලක් කරන අවස්ථාවෙනි. මෙතැනදී චන්ද්‍රන් රත්නම් දීප්තිමත් වර්ණ භාවිතයකට නොඑයි. ඉන් එම කාල වකවානුව අතීතයට අයත් වන්නේය යන හැඟීම ප්‍රේක්ෂකයාට සැපයේ. ඉනික්බිතිව සිනමාපටයේ ප්‍රමුඛ පුවත දිග හැරෙන්නේ වර්ෂ 1978 ආශ්‍රිතවය. සාපේක්ෂව වඩා දීප්තිමත් වර්ණ භාවිතයක් මෙතනදී උපයෝගී කොට ගැනේ. එහෙත් පුවතේ හැඩරුව යටපත් නොවන පරිද්දෙනි. යම් අඳුරක් හා තිගැස්සෙන බවක් මේ නව වර්ණ සංයෝජනයේද අඩංගුය.

ඇතැම් තැනක වර්තමානය සනිටුහන් වන රූප රාමු ද, අවස්ථා ද ප්‍රේක්ෂකයනට හමුවේ. තරුණ පිරිසක් එළිමහන් අවන්හලක සතුටු සාමීචියේය. පසුබිමේ දැක්වෙන්නේ වර්තමානයයි. එසේම නොපමාව විදේශීය දුරකතන ඇමතුම් ලබා ගතහැකි සමයක් සේ 1970 දශකයේ අග භාගය හඳුනා ගැනීම තරමක් දුරට ප්‍රශ්නකාරීය.

මේ හැරුණු කොට නිවාස, දේවස්ථාන, ගෘහ භාණ්ඩ, රථවාහන, ආරෝග්‍ය ශාලා, ප්‍රිය සාද හා ඇඟලුම් ඔස්සේ 1970 දශකයේ අග භාගයේ නාගරික ජීවන විලාසය නිරූපණයට චන්ද්‍රන් රත්නම් නොපැකිලෙන බව පෙනේ.

සිනමාපටය නිමා වන්නේ දක්ෂ පොලිස් නිලධරයකු සූක්ෂම අන්දමින් මැතිව් පීරිස් හා ඩැෆ්නි මිනිස් ඝාතන ද්විත්වයකට වරදකරුවන් සේ නීතිය හමුවට රැගෙන ඒමෙනි. අධිකරණය හමුවේ ඔවුනට දඬුවම් පමුණුවාලමිනි. මේ සුලබ රහස් පරීක්ෂක පුවතක් නොවනු සඳහා චන්ද්‍රන් රත්නම්ගේ පෙනී සිටීම වැදගත්ය. යම් හෙයකින් ඉන් සුලබ ත්‍රාසයක් හෝ කුතුහලයක් ගම්‍ය වූයේ නම් ප්‍රේමය, රාගය, විවාහය ආශ්‍රිත ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා කෙරෙහි වන චන්ද්‍රන් රත්නම්ගේ එළැඹුම මුළුමනින්ම යටපත් වන්නට ද ඉඩ තිබිණ.

ඇසුරු කොට ගන්නා සත්‍ය පුවතට අවශේෂ කාරණා බහුලව එක් නොකිරීම නිසා නව අර්ථයක් උද්දීපනය කිරීමේ හැකියාව සීමා වී ඇති බව පෙනේ. ඊට සිනමාකරු චන්ද්‍රන් රත්නම්ගේ පිළිවෙත හේතු වී ඇත. මෙසේ නව අර්ථයක් උද්දීපනය කළ යුතුම නොවේ. සමහර විට චන්ද්‍රන් රත්නම් එතැනට ගියේ නම් 'මැතිව්' ආකර්ෂණීය සිනමාපටයක් නොවන්නට ද ඉඩ තිබිණ. නමුත් විචක්ෂණශීලී ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන්නේ 'මැතිව්' අසා පුරුදු පුවත එලෙසින්ම ප්‍රතිනිර්මාණය වූ අවස්ථාවක් සේ දැක ගැනීම නොවේ. මැතිව් පීරිස් දේවගැතිවරයාගේ මනුෂ්‍ය ඝාතන ද්විත්වය තර්කානුකූලය. ඒ තුළ ඔහුගේ සංකීර්ණ චරිත ලක්ෂණ හසු කර ගත්තේ නම් මැනවිය යන්න විචක්ෂණශීලී ප්‍රේක්ෂකයන් කල්පනා කිරීමේ වරදක් නැත. යට කී නව අර්ථය පිළිබඳ කතිකාවට ද ඉන් මඟ පෙන්වීමක් ලැබේ. මැතිව්ගේ භාර්යාව, ඩැෆ්නි හා ඇගේ ස්වාමි පුරුෂයා වඩා ගැඹුරින් ගෙන හැර පෑම අසීරු චරිතය. මැතිව්ගේ චරිතය නව අර්ථයක් හෝ අර්ථ උත්පාදනය පිණිස භාවිත කරලීමට මේ අගනා පසුබිමකි.

කෙසේ වෙතත් මැතිව්ගේ ඇතුළාන්තයට පිවිසිය හැකි කවුළු දෙක තුනක් යාන්තමට විවෘත කරනු පිණිස සිනමාකරු චන්ද්‍රන් රත්නම් පියවරක් දෙකක් ගත් වග සඳහන් කිරීම වැදගත්ය. ඉන් සුදුසුම කවුළුව වන්නේ මැතිව් අතීතයේදී ස්ත්‍රී දූෂකයකු බව යුවතියක විසින් කරනු ලබන සඳහනයි. එසේම මැතිව්, ඩැෆ්නි මත සිය ආධිපත්‍ය තහවුරු කරන්නේ ධනය හා බලපුළුවන්කාරකම උපයෝගී කොට ගෙනය. නමුත් රූප රචනයේදී මේ අදහස නිරවුල්ව ධ්වනිත නොවේ. එනිසා මේ අඩුවෙන්ම විවෘත කළ කවුළුවයි. මැතිව් දිළින්දන්ට උපකාර කරන දේශපාලන ලෝකයේ හා පොදු සමාජයේ ගෞරවය දිනාගත් සම්භාවනීය දේවගැතිවරයකුය යන සඳහන ද ඔහුගේ ජීවිතයේ ඇතුළාන්තය ඥානනය කර ගත නොහැකි ප්‍රමාණයෙනුයි සිනමාපටය එක් කොට ඇත්තේ.

'මැතිව්' නරඹා අවසන ප්‍රේක්ෂකයනට හැඟෙන්නේ කුමක්ද යන කාරණය සම්බන්ධයෙන් සිනමාකරු චන්ද්‍රන් රත්නම් දක්වන අවධානයේ ප්‍රමාණයන් අරබයා අවශ්‍ය නම් ප්‍රශ්න කළ හැකි වේ. ප්‍රේක්ෂකයාට තමන් කැමති තීන්දුවක් ගැනීම සඳහා අවකාශ සලසාදීම අවදානම් සහගතය. කෙසේ නමුදු ප්‍රේමය, රාගය හා විවාහය ආශ්‍රිත ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා පිළිබඳ නව ඥානයක් නොලබා වෙනස් මාදිලියක ආකර්ෂණීය සිනමාපටයක් නරඹන්නට ලැබුණු වග නම් ප්‍රේක්ෂකයනට හොඳාකාරවම දැනේ. චන්ද්‍රන් රත්නම් මෙතැනදී ඉදිරිපත් කරන නිර්වචනය ඊට ආනන්දයක් ද එක් කරයි. එනම් මැතිව්ගේ ඉරණම දෛවයේ සරදමක්ය යන්නය. වර්ෂ 1962 දී ඔහු මරණ දණ්ඩනය නියම වූ බන්ධනාගාර රැඳවියකු වෙනුවෙන් ආගමික කටයුතු ඉටු කරයි. දහසය වසරකට පසු ඔහු මරණ දණ්ඩනයට නියම වෙයි. ආගමික කටයුතු සඳහා ඔහු අබියසට කිසිවකු හෝ පැමිණෙන්නේදැයි යන්න සැක සහිතය. අකාලයේ මරු වැලඳ ගත් මැතිව්ගේ භාර්යාවට හා ඩැෆ්නිගේ ස්වාමි පුරුෂයාට යුක්තිය ඉටු වූ බව දෛවයේ සරදමක් වන මැතිව්ගේ ඉරණම හා ගළපාලමින් සිනමා ශාලාව හැර යාමේ අවසරය ප්‍රේක්ෂකයන්ට උදාවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.