මෙවන් සොයුරෙක් ලබන්න අපි පින්කර ඇත්තෙමු

ජනවාරි 17, 2019

මෙවන් සොයුරෙක් ලබන්න අපි පින්කර ඇත්තෙමු

 

රෝහණ වීරසිංහ මා දැන හඳුනා ගත්තේ 1971 වසරේදීය. අද රටම පිළිගත් සංගීතඥයෙකු වන ආචාර්ය රෝහණ වීරසිංහයන් පිළිබඳව විද්වතුන් හා රසිකයන් ලියන කියන දේ මා නිතර කියවා අසා ඇත. ඒ බොහෝ විට මගේ සිතට නැඟෙන එක් අදහසක් වේ. එනම් අවුරුදු 47 ක් පමණ දුරාතීතයේදී හඳුනාගෙන, අප පවුලේ සහෝදරයකු ලෙසින් දුකේදිත් සැපතේදිත් එක්ව අප සමඟ අත්වැල් බැඳගත් රෝහණ වීරසිංහයන් ගැන ඥාතිවරියකගේ හැඟීම් පළ කිරීමටය. මේ අදහස් මුදුන් පමුණුවා ගැනීමේ අවස්ථාව මා වෙත උදා වූයේ, රෝහණගේ නිර්මාණ ජීවිතයේ විශේෂ දිනයක් උදාවීමත් සමඟය. ඒ ඔහු සැත්තෑ වන වියට පිය නැගීම නිමිත්තෙන් පැවැත්වෙන ‘සුදු මුතු රළ පෙළ ගීතාවලෝකනය’ ප්‍රසංගය වෙනුවෙන්ය

 

ඒ වන විට අප පදිංචිව සිටියේ මහරගම පිහිටි අප මවුපියන්ගේ මහ ගෙදරය. සය දෙනකුගෙන් යුතු මගේ පවුලේ එකම සොහොයුරිය වූයේ නැඟණියයි. ඇය කොළඹ සෞන්දර්ය කලායතනයේ නැටුම් ශිෂ්‍යාවකව සිටියදී රෝහණ එහිම සංගීතය හැදෑරූ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි. එවකට හේවුඩ් නමින් හැඳින් වූ රජයේ කලායතනයේදී ඔවුන් සමීපව දැන හඳුනාගෙන තිබුණි. අප පියාගේ අභාවය සිදු වූයේ ද මේ කාලයේදීය. පියාගෙන් පසු පවුලේ වගකීම පැවරුණේ චිත්‍රපට ක්ෂේත්‍රයේ නිෂ්පාදන කළමනාකරුවකු ලෙස ෆිල්ම් ලොකේෂන් ආයතනයේ කටයුතු කළ විල්ෆ්‍රඩ් සිල්වා නම් වූ අපේ ලොකු අයියාටය. මේ රෝහණ අපේ ගෙදරට එන යන වකවානුවයි. රෝහණ තුළ තිබුණු යහපත් ගතිගුණ සහ වැදගත්කම නිසා ඔවුන්ගේ සම්බන්ධයට අපේ පවුලේ ආශිර්වාදය හිමිවුණි. හඳුනා ගත් දින සිට අපේ දුකේදීත් සැපේදීත් එක්ව හිඳිමින් රෝහණ අපට අපේම සොහොයුරෙකු වූයේය.

රෝහණගේ ආදරණීය මෑණියන් මිය ගියේ 1974 දීය. මේ වන විට රෝහණ විවාහ වී නොතිබුණ නමුත්, මවගේ අවසන් කටයුතුවලට සහභාගි වීම සඳහා නැගණිය ද නුවරඑළියට ගිය බව මට මතකය. මවගේ අභාවයෙන් පසු එක් සැන්දෑවක රෝහණ අප නිවසට පැමිණ සිටියේය. ඒ ගුවන් විදුලියෙන් මුවන් පැලැස්ස නාට්‍යය ප්‍රචාරය වන සමයයි. නාට්‍යයේ ආරම්භක වාදනය ඇසෙනවාත් සමඟ සිටි තැනින් එළියට ගිය රෝහණ ටික වෙලාවක් යනතුරු ගෙට නොපැමිණි හෙයින් එළියට එබිකම් කර බැලූ මා දුටුවේ ලේන්සුවෙන් තම නෙත් පිස දමමින් සිටි රෝහණය. ඔහු කඳුළු සලන හේතුව වටහා ගැනීමට මට අපහසු නොවීය. රෝහණගේ අම්මා නොවැරදීම මුවන් පැලැස්සට සවන් දෙන බව අප දැන සිටියෙමු. එම වාදනයත් සමඟ මෑණියන් සිහිවීමෙන් සිතට නැගුණු සංවේගය එලෙස රෝහණ වෙතින් කඳුළුවලට නැගී තිබිණි. ඔහුගේ මවු සෙනෙහස සහ සංවේදිභාවය අපට පැහැදිලි විය.

ඒ ඔහු සරල ගී ගායකයෙකු ලෙස ගුවන් විදුලි ගී ගැයූ කාලයයි. තම මෑණියන් වෙනුවෙන් රෝහණ ගැයූ අරාජිකයි මා ගීතය අදටත් මා සිත හඬවයි. මගේ මෑණියන් ද මියගිය පසු මට එය තවත් හැඟුම්බර ගීතයක් විය. 1975 දී මා ඉතාලියට පදිංචියට යන විට රෝහණ ඔහුගේ ගීත කීපයක් ඇතුළත් කැසට්පටයක් මට ලබා දුණි. අවුරුදු 43 ක් ගතවීත් එම කැසට්පටය මා ළඟ තිබෙන බව රෝහණවත් නංගීවත් කිසි විටෙක නොසිතනවා ඇත. එමෙන්ම ඔවුන් මා වෙත මෙතෙක් එවන ලද වීඩියෝ කැසට් සහ රෝහණ ගැන ලිපි පළ වූ පුවත්පත් සෑම දෙයක්ම මා ඉතා සුරක්ෂිතව තබාගෙන ඇත්තේ කවදා හෝ ඒවායේ අගය දැනෙන්නේ පසු කාලයක යන හැඟීම මා සිත තුළ දැඩිව පවතින බැවිනි. තවත් කාලාන්තරයකට පසු වියපත්ව හාන්සි පුටුවක දිගා වී රෝහණ තම නිර්මාණයන් ගැන ආපසු හැරී බලනවා නිසැකයි. ඒ වන විට මා ජීවතුන් අතර සිටියහොත් මා සතු ඒ සියලු මතකයන් ඔහු වෙත ඉදිරිපත් කිරීම මගේ එකම ප්‍රාර්ථනයයි.

1975 දී විවාහ වී ඉතාලියට පැමිණි මට 1977 සිදු වූ නංගිගේ විවාහ මංගල්‍යයට යෑමේ වාසනාව අහිමි විය. නැවත 1982 දී මා ලංකාවට එන විට රෝහණ සහ නංගී මව්පියන් වී දරු සුරතල් දකින කාලයයි. ඔවුන්ගේ ප්‍රීතිමත් යුග ජීවිතය මා සිතට ද ඉතා සතුටක් විය. මේ වකාවනුවෙන් පසු මා නිතර ශ්‍රී ලංකාවට යෑමට පටන් ගතිමි. පසු කලෙක රෝහණ අපේ මහ ගෙදරින් වෙන් වී ඔවුන්ගේම නිවසක් තනා පදිංචියට ගියේය. මගේ මව ද රෝහණ සහ නැගණියගේ බලවත් ඉල්ලීම සමඟ එහි පදිංචියට ගියාය. ඉන් පසු මා ලංකාවට පැමිණි සෑම විටම නිවාඩු කාලය ගත කළේ ඔවුන් සමඟය. රෝහණගේ ගතිගුණවලට මුලදී පැහැදී සිටි මා නිවරැදි බව නැවත නැවතත් හැඟී ගිය වාර අනන්තය. ඔහු අප පවුලට බැඳී සිටි අයුරු දුටු මට සිතුණේ රෝහණ මගේම සහෝදරයකු සේය. ඔහු අපට කළ යුතු නොකළ යුතු දේ පහදා දුන්නේ පියෙකු මෙනි. ඔහු මට සැමවිටම සොහොයුරකු සේ ගෞරවයෙන් සැලකුවා සේම මම ද උපරිම සෙනෙහසින් යුතුව ඔවුන් ඇසුරු කරන්නට පෙලඹුණෙමි.

මේ වනවිට මගේ මව ද වයස්ගතව සිටියාය. මහලු වනවිට පොදු ඇගේ දුර්වලකම්වලදී රෝහණ ඉසිලිවන්තව, ඉතාම කාරුණිකව තමන්ගේම මව ලෙස ඇයට සැලකූ ආකාරය මට සිහිපත් වේ. කිසිදු මොහොතක ඔහුගෙන් මවගේ හිත රිදෙන වදනක් හෝ පිට නොවූ බව මම දනිමි. නැගණිය සහ රෝහණ අතර වුව ඇතිවන සුළු වාදවලදි මා ගත්තේ රෝහණගේ පැත්තයි. ඒ ඔහුගේ අදහස් බුද්ධිමත් නිසයි. ඔහු සාමාන්‍යයෙන් කේන්ති නොගන්නා ඉවසිලිවන්ත චරිතයකි. නමුත් අසාධාරණයකදී හෝ වරදක් දුටු විටදී ඔහුගේ මේ ඉවසිලිවන්තභාවය බිඳී යයි. නංගී ඔහු හොඳින් වටහා ගෙන ඇති නිසාත් දෙදෙනාගේ දැඩි බැඳීම නිසාත් ඔවුන්ගේ යුග දිවිය ඉතාම සාර්ථකව පවතියි. එය අපට ඉතාමත්ම සතුටක් වගේම එහි ගෞරවය මගේ ඥාති සොහොයුරු රෝහණට හිමිවන බව මා සඳහන් කළ යුතුයි.

රෝහණ ඇසුරේදී ඉතාම සුන්දර චරිතයකි. ඔහු සිටින තැන පාළුවක් නැත. නිර්මාණ කටයුතවලදී තැන්පත්ව නිහඬව ඒ වෙනුවෙන් කැපවීම මෙන්ම විවේකයදී හා ගමන් බිමන්වලදී ඔහුගේ හැසිරීම ඉතාම විනෝදජනකයි. තැනට ඔබින හාස්‍යජනක කතා කියමින් සියල්ලන් සතුටු කිරීමට ඔහු ඉතා දක්ෂයි. රෝහණ බොහෝ වරක් ප්‍රසංග සඳහා ඉතාලියට පැමිණ තිබේ. 1995 දී සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහණ සමඟ පැමිණි ගමන අමතක නොවන අවස්ථාවකි. රෝහණ සමඟ මගේ නංගිත්, සුනිල් සහ බිරියත් නැවතී සිටියේ මගේ නිවසේයි. සති දෙකක් පුරා ඔවුන් ඉතාලියේ සිටි කාලය ඉතාම සතුටින් සහ විනෝදයෙන් ගෙවුණි. 1999 දී ආචාර්ය නන්දා මාලිනී සමඟ රෝහණ ඉතාලියට පැමිණියේය. එවරත් ඔවුන් සිටියේ අප සමඟය. ඒ ගමනේදී මේ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනිය සමඟ සමීපව ඇසුරු කිරීමේ වාසනාව මට ලැබුණි. ඇයත් මා සමඟම නිතරම අගය කළේ රෝහණගේ ගතිගුණයි. ඔහු අපේ පවුලට සම්බන්ධ වීම අපේ කෙතරම් භාග්‍යයක් ද කියා පෙන්වා දුන් ඇය කලා ලෝකයේ කිසි කෙනකුගේ විවේචනයට ලක් නොවන ආදර්ෂමත් පවුලක් ලෙස ඔවුන් හැඳින්වූවාය. ඉතාලියේ පැවති ප්‍රසංග ඉතාම සාර්ථකව පැමිණ සිටි රසික පිරිසගේ ගෞරවාදරය රෝහණට ලැබෙද්දී ශාලාවේ සිටි එකම ඥාතිවරිය ලෙස මට දැනුණ සතුට වචනයට නඟා ගත නොහැකිය. අප රටේ ඉහළ පෙළේ කලාකරුවන් ළඟින්ම ඇසුරු කිරීමේ දුර්ලභ වාසනාව අපට උදා වූයේ රෝහණ අපේ ඥාතිවරයකු වීම නිසාය. එය අප ලැබූ මහඟු වරප්‍රසාදයක් විය.

රෝහණ ඉතාම නිහතමානී පුද්ගලයෙකි. ඕනෑවට වඩා තමන් ගැන වර්ණනා කිරීම නුරුස්සන කෙනෙකි. එවැනි අවස්ථාවල ඔහු අපහසුතාවයට පත්වන අයුරු මා දැක ඇත. අප රටේ නිර්මාණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වුව ද රෝහණට තමන් පිළිබඳ සාඩම්බර හැඟීමක් නැත. ඔහු හැසිරෙන්නේ සාමාන්‍ය කෙනකු හැටියටයි. මුදල පසුපස හඹා යාමක් නැත. මුදලට බලයට වඩා මනුස්කමට ළෙංගතුකමට සැලකීම ඔහුගේ උතුම් ගුණයකි. ඔහුගේ සිත සංවේදිය. අනුන්ගේ විපතේදී කම්පාවට පත්වෙන කෙනෙකි. මට හැඟෙන විදියට රෝහණ වගේ අය හමු වන්නේ කලාතුරකිනි. අද කෙතරම් ප්‍රසිද්ධ චරිතයක් වුණත් ගතිගුණ බිඳකින්වත් වෙනස් වී නැත. එදා වාගේමය. ඔහු බිරිඳ සහ දරුවන් වෙනුවෙන් කරන කැපවීම අනන්තය. අප්‍රමාණය. ඒ වගේම ශ්‍රී ලංකාවේ රසිකයන්ට ද ඔහුගේ නිර්මාණ දායකත්වයේ අවශ්‍යතාවය දිනෙන් දින වැඩිවෙමින් දැනෙන බව සත්‍යයකි.

ආදරණීය රෝහණ ඔබට දීර්ඝායුෂ ලැබී තව තවත් නිර්මාණ රටට පිරිනමන්නට ශක්තිය ධෛර්යය සහ නිරෝගී සුවය ලැබේවා කියා මම හද පත්ලෙන්ම පතමි. චිරං ජයතු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.