ලබන ආත්මේ පිරිමියෙක් වෙන්න පෙරුම් පිරූ විජිත මල්ලිකා

ජනවාරි 31, 2019

ඇයට තිබුණේ ගැමි, නාගරික, විකට, කොයි මෝස්තරයකට සැරසුණත් කැපී පෙනෙන ලස්සන රුවකි. සිනාසෙන ලොකු ඇස් සහිත සඳවතියකි ඇය. මුලදී විකට නිළියක් වූ ඇය රඟපාන්නී 'හඳපානේ' ගැමි රූමතිය වුවත් නාගරික චරිත රඟපෑමට වඩා ආසා කළාය.

ඇය නමින් විජිත මල්ලිකාය.

හැටේ දසකයේ වඩාත් ප්‍රේක්ෂක හදවත දිනූ නිළියන් තිදෙනෙක් වූහ. ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි හා විජිත මල්ලිකා මේ තිදෙනාය. එකල සිංහල සිනමාවේ ජනප්‍රියතම නළුවා වූ ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතියවීමේ අවස්ථාව මේ තිදෙනාටම ලැබිණ. 'ගාමිණී හා ජීවරාණි', 'ගාමිණී හා සන්ධ්‍යා', 'ගාමිණී හා විජිතා' යනාදී යුග සිනමාවේ විරාජමාන වූ බව අපි දනිමු.

1943 ජූනි 05 වෙනිදා මීගමුවේදී උපත ලැබූ ගමමැතිගේ විජිත මල්ලිකාගේ පියා ඉඳුරුවේ සිට මීගමුවට පැමිණ ව්‍යාපාර ආරම්භ කළ අතර මීගමුවේ මේරි වික්‍රමසිංහ සමඟ යුග ජීවිතයක් අරඹා ඇත. හය දෙනෙකුගෙන් යුත් දරුවන් අතුරින් වැඩිමහල් දියණිය වන්නී විජිතාය. ඇයට ඔස්ටින්, සුනිල්, චන්ද්‍රා, මහින්ද, ස්වර්ණා යන සොයුරු සොයුරියෝ වූහ.

මීගමුවේ වැල්ල වීදියේ සිංහල පාසල හා නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබූ විජිතා කුඩා කල රුක්මණී දේවිගේ රඟපෑම් දැකීමෙන් චිත්‍රපට නිළියක් වීමට සිහින මැව්වාය. විජිතාගේ පියාගේ බාල නැඟණිය විවාහව සිටියේ චිත්‍රපට නළු බොනිෆස් ප්‍රනාන්දු සමඟය. එපමණක් නොව විජිතාගේ ඥාති කෙනෙකු වූ මිලිසිනා වේදිකා නිළියකි. අම්මාගේ සහෝදරයෙක් වූ බෙන්ජමින් ප්‍රනාන්දු (චිත්‍රපට නිළි ලීනා ප්‍රනාන්දුගේ පියා) එකල මීගමුවේ නාට්‍ය රචකයකු හා වේදිකා නළුවකු විය. බෙන්ජමින් මාස්ටර් නමින් ප්‍රකට ඔහු නාට්‍ය හා දෙබස් රචක හියුගෝ ප්‍රනාන්දුගේ මිත්‍රයකු නිසා මේ දෙදෙනාම විජිතාගේ පියාගේ ද හිතවතෙකු ලෙස සිටියේය. පාසැල් ගොස් ගෙදර පැමිණි විජිතා දුටු හියුගෝට දිනක් මෙසේ කියවිණි.

මේ කෙල්ල බයිස්කෝප්වලට හොඳට ගැළපෙනවා'

'අනේ මාමේ මම නං කැමතියි රඟපාන්න' විජිතා හියුගෝට ඇවිටිලි කළාය.

ඒ අනුව හියුගේ දෙබස් රචනය කරමින් රඟපෑ 'ශූරයා' චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑමට අවස්ථාව උදා විය. 'විජිත මල්ලිකා' නම වෙනස් කොට 1956 වසරේ සිනමාවට හඳුන්වා දුන් හියුගෝට ඈ පියෙකුට මෙන් සැලකුවාය. 'ශූරයා' තිරගත වූයේ 1957 වසරේදීය. ඉන් පසු ඇයට විකට චරිත රඟපෑමට අවස්ථාව ලැබිණ. සොහොයුරෝ (1958), පුරුෂරත්නය (1959) චිත්‍රපටවල කුඩා චරිත රඟපෑ විජිතා 1960 තිරගත වූ 'වීර විජය' චිත්‍රපටයේ කි‍්‍රස්ටි ලෙනාඩ් පෙරේරාගේ පෙම්වතිය වූ අතර චිත්‍රපටයේ ඇය රඟපෑ ගීතමය ජවනිකාව (පසුබිම් ගායනය ජමුනා රාණි) එදා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය විය.

'මේව තමයි ජිල් ජිල් ජිල්

ගුණයි රසයි අපෙ ගමෙ

දෝසි ජාති'

'වීරවිජය' චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑමට පැමිණි මීගමුවේ ඇන්ටනි ප්‍රනාන්දුගේ සිත තමා උපන් මීගමුවේ කෙල්ලක වූ විජිතාට යොමු විය. විජිතා ද එයට ප්‍රතිචාර දැක්වූවාය. මීගමුවේ එකල පවත්වාගෙන ගිය සංගීත කණ්ඩායමක හාමෝනියම් වාදකයා වූයේ ඇන්ටන්ය. ප්‍රධාන ගායකයා වූයේ විජිතාගේ ඥාතියකු වූ පසුව තම්පෝගේ චිත්‍රපටවල ප්‍රධාන නළුවකු වූ බොනිෆස් ප්‍රනාන්දුය. ඇන්ටන් හා විජිතගේ ප්‍රේම සම්බන්ධයට දෙපාර්ශවයෙන් බාධක පැමිණියේය. විජිතා බෞද්ධාගමිකය. ඇන්ටන් කතෝලිකය. විජිතා කතෝලික ආගම වැලඳගෙන ඇන්ටන් විවාහ කර ගත් අතර ඇගේ පඤ්ඤා වූයේ බොනිෆස්ය. මඤ්ඤා වූයේ මිලිසිනා නැන්දාය. මෙහි විශේෂය නම් තම පඤ්ඤා වූ බොනිෆස් සමඟ 'සුවිනීත ලාලනී' (1961) චිත්‍රපටයේ විජිතා පෙම්වතිය ලෙස එකට රඟපෑමය.

1962 වසරේම හැඳල විජය චිත්‍රාගාරය ආරම්භ කොට වැඩ ඇරඹූ 'අදට වැඩිය හෙට හොඳයි' චිත්‍රපටයේ දෙබස් ලියූ හියුගෝ මාස්ටර් විජිතාට ප්‍රධාන නිළියන් (ජීවරාණි, සන්ධ්‍යා හා විජිතා) තිදෙනාගෙන් එක් චරිතයක් ලබා දුන්නේය. මේ චිත්‍රපටයේ ආනන්ද ජයරත්නගේ පෙම්වතිය වූයේ විජිතාය. ඒ චිත්‍රපටයේ එන මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට ගැයූ මේ යුග ගීතය එදා අතිශයින්ම ජනප්‍රිය වූයේ ආනන්ද ගීතයට මුව හසුරුවන අසාමාන්‍ය විලාසයත්, විජිතාගේ හැඟීම්බර ප්‍රතිචාරයත් නිසාය.

'සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ

සැලී ලෙලී දෙගොඩ තලා

ගඟක් ගලයි සයුර බලා

මූදට හා වී

ගඟ හාදු පුදා වී'

සුගතපාල ද සිල්වා සහ ඩී. බී. නිහාල්සිංහ සම අධ්‍යක්ෂණය කළ 'සමනළයෝ' චිත්‍රපටයේ විජිතා හා ටෝනි රණසිංහ රඟපෑ අතර එහි දර්ශන රූගත කළත් එය අතරමඟ ඇණ හිටියේය.

සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රධාන නිළියක් තේරීමට කාසියක් චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් උඩ වීසි කළ විරල අවස්ථාවක් අපට අසන්නට ලැබී ඇත. චිත්‍රපට අධ්‍යක්ෂවරයා එම්. මස්තාන්ය. චිත්‍රපටය 'ධීවරයෝ'ය. වසර 1963 ය. මීගමුවේ මසුන් මරණ මිනිසුන් ගැන නිපද වූ 'ධීවරයෝ' චිත්‍රපටයේ දෙබස් රචකයා හියුගෝ ප්‍රනාන්දුය. එහි එන කටකාර, හැඩකාර, දඟකාර රොසලින්ගේ ප්‍රධාන චරිතයට හියුගෝ යෝජානා කළේ මීගමුවේ ඉපිද හැදී වැඩුණ විජිතාවය. අධ්‍යක්ෂකගේ මතය වූයේ ඒ චරිතයට සන්ධ්‍යා කුමාරි හොඳ බවය.

'එහෙනම් කාසියක් උඩ දමා තීරණයට එමු' අධ්‍යක්ෂවරයා හියුගෝට කීය.

කාසිය උඩ දැම්මේය. අධ්‍යක්ෂකගේ කැමැත්ත ජය ගත් අතර ප්‍රධාන චරිතය සන්ධ්‍යාට හිමි විය. 'ධීවරයෝ' සහාය නිළි චරිතය විජිතාට ලැබිණ. මේ චිත්‍රපටයේ විජිතා හා සන්ධ්‍යා දෙදෙනාම ප්‍රැන්සිස් (ගාමිණී ෆොන්සේකා) බෙදා ගැනීමට නිතර ගැටුණි. වරෙක දෙදෙනා කෙස්වලු පටලවා කරන සටන තාත්ත්විකව රූගත කරගත් බව මස්තාන් තළු මර මරා 'කලා' සඟරාවට විස්තර කර තිබුණි.

ඉක්මනින්ම විජිතාට චිත්‍රපටවල ප්‍රධාන චරිත ලැබෙන්නට වාසනාව උදා විය. 'හිතට හිත' 'ස්වීප් ටිකට්' 'හඳපාන' චිත්‍රපට ඇය ප්‍රධාන චරිත රඟපෑ ගීතමය ජවනිකා අදත් රසිකයන්ට කට පාඩම්ය.

'හඳපාන' චිත්‍රපටයේ ඇය රඟපෑ කුසුමාගේ ගැමි චරිතයට අතිශයින්ම ආදරය කළ ආකාරය වරක් අපට විස්තර කළාය.

'හර්බට් එම්. සෙනෙවිරත්න සමඟ මා රඟපෑ චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. එළිමහනේ සීතල මුසු ගැමි පරිසරයක රඟපෑ ඒ චරිතය වඩාත් ඔපවත් වුණේ සිසිර සේනාරත්නගේ මිහිරි තනුත්, ඉන්ද්‍රානි විජේබණ්ඩාර සමඟ ගැයු ගීත නිසා. මේ අවස්ථා මගේ මතකයෙන් මෙන්ම ඔබේ මතකයෙන් ද ඈත් නොවෙනු ඇති.

'ඈත අහසේ නැඟේ දිනිඳු පායා

සීත සුළඟින් ගෙනාවේ ආදරේ

ආදරේ සිහින ඡායා'

 

'ඔබ නැති මේ බිම පාළුයි අඳුරුයි

මගෙ හද ඇයි ගියේ හංගා

අසරණ මේ මගෙ ආලය ඔබටයි

ගලන තුරා මහවැලි ගංගා'

හර්බට් අයියා අපේ ජ්‍යෙෂ්ඨ නළුවෙක්. චාලිගේ චරිතයට ඔහු අපූරුවට ගැළපුණා. උස මහත, මනා පෞරුෂය චාලිගේ චරිතය මූර්තිමත් කළා. කුසුමාගේ චරිතය වඩාත් ඔප වැටුණේ ඔහු නිසා' විජිතා කීවාය.

'ස්වීප් ටිකට්' චිත්‍රපටයේ විජිතගේ පෙම්වතා වූයේ සුදේෂ් ගුණරත්නය. ජෝතිපාල හා සුජාතා ගැයූ මේ යුග ගීතය මතක් වනවිට අද ජීවතුන් අතර නැති විජිතා සහ සුදේෂ් අපට මැවී පෙනෙයි.

'ආවා පෙම්වතා යන්නේ

ඇයි ඔයා දෙන්කෝ

පෙම් සිනා ආදරෙයි කියා'

විජිතා රඟපෑ චිත්‍රපට අතර 'සුහද සොහොයුරෝ' (1963) චිත්‍රපටයේ ඇය ඇල්. ඇම්. පෙරේරා සමඟ මුහුදු වෙරළේ රඟපෑමේ ගීතය අපට සිහියට නැඟේ. පසුබිම් ගායනය ෆ්‍රෙඩි සිල්වා සහ පුෂ්පරාණි ආරියරත්නගෙනි.

'දිය රැල්ල වෙරළෙ හැපි හැපි

මේ මොකද හාදු දෙන්නේ

ඔය කාලේ නැති ආලේ

මට ඕනෑම නෑනේ'

සැනසිල්ල ළඟම පෙනි පෙනි

ඇයි තවම සෝක දෙන්නේ

එළිවෙනවා හරි යනවා

රෑ දුටු මාගේ සීනේ'

'මං චිත්‍රපටවල රඟපෑමේදී විවිධ ත්‍රාසජනක ඇත්දැකීම්වලට මුහුණ දුන්නා. 'හතර මහා නිධානය' චිත්‍රපටයේදී මහා වර්ෂාවක තෙමෙන දර්ශනයක් තිබුණා අංශක 102 ක උණ රෝගයෙන් සිටියදී. මම හිතුවා උණසන්නිපාතය හැදෙයි කියලා. 'සැඟවෙන සෙවනැල්ල' චිත්‍රපටයේ තරම් ත්‍රාසජනක අවස්ථා වෙන කිසිම චිත්‍රපටයක තිබුණේ නැහැ. වරෙක මම ලොකු පිඹුරෙකු සමඟ සිටින දර්ශනයක් තිබුණා. පුංචි කාලේ ඉඳලම මම භයානක සත්තු අල්ලන්න බය නැහැ. එක දර්ශනයක මාව මේසයකට ගැට ගසා තිබීම නිසා ඉන් මිදීමට ලොකු සටනක් කරනවා. ඒ අතර පිඹුරෙක් මගේ ඇඟ වෙලා ගන්නවා.

'රෑනගිරව්' චිත්‍රපටයේ මම රඟපෑවේ ගාමිණී ෆොන්සේකා සමඟ. වීරා ලෙස රඟපෑ ගාමිණී සුමනා ලෙස රඟපෑ මම ප්‍රේමවන්තයෝ. අපේ සම්බන්ධයට අම්මයි තාත්තයි විරුද්ධයි. වීර කැලේ වීරයා. ඔහු බලහත්කාරයෙන් මාව ඔසවාගෙන කැලේට ගෙනි යනවා. මේ දර්ශන තිස්සමහරාමයේ හා වීරවිල රූපගත වුණේ. ගාමිණී මා ඔසවාගෙන කැලේට යනවා. ඒ චිත්‍රපටයේ ඒ දර්ශනය සහිත දුර රූප තිබුණා. කැමරා ශිල්පියා ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා. ගාමිණී මාව කරේ තියාගෙන යන්නේ. ඒ කාලේ මම මහතයි. බරයි. ගාමිණී මාව ඔසවාගෙන යන අතරේ මට මෙහෙම කිව්වා.

'ආ . . . බන් විජිතෝ, උඹේ බර. මොනවද උඹ කන්නේ'

මේ විජිතා තම චිත්‍රපට ජීවිතය ගැන මට වරක් කියූ කතාය.

'රෑන ගිරව් කරන කාලේ විජිතා කැපවීමකින් කටයුතු කළේය. චිත්‍රපටයේ රූපගත කිරීම් කරන කාලේ ඇය මානසික වේදනාවන් නිසා වධ වින්ද කාලයක්. ඒත් දර්ශනය කරන විට ඇය ඒ සියල්ල අමතක කරලා රඟපෑවා. එක දර්ශනයක ඇයට තිබුණා තුවක්කුවක එල්ලී 'මටත් වෙඩි තියපන්' කියන දෙබසක් කියන්න. ඒක හරිම නිර්භීත බවකින් රඟපෑ අයුරු මට කිසිදා අමතක වන්නේ නැහැ' අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කල්දේරා වරක් මට කියා ඇත.

විජිතා රඟපෑ චිත්‍රපට අතර මංගලිකා (1963), කළ කළ දේ පළ පළ දේ' (1964), සැමියා බිරිඳගේ දෙවියාය, සුජාගේ රහස (1965), ළාදලු (1965), ළඳක මහිම (1965), කපටිකම, සඳ නැඟ එද්දී, සැනසිලි සුවය, ළයට ළය (1966), සැඟවුණු මැණික, අමතක වුණා ද?, සරණ, රන් රස, ඔක්කෝම හරි (1967), සිඟිති සුරතල්, ලන්ඩන් හාමු, අබුද්දස්ස කාලේ, දෙහදක දුක (1968), ඔබ නැතිනම්, හරිමඟ, පැංචා (1969), සුළි සුළං (1970), හාරත හතර, ආශා (1976) හොඳින් ඉන්න (1980) කැපී පෙනෙයි.

1966 සරසවිය චිත්‍රපට සම්මාන උලෙළේ දී ප්‍රියතම නිළි චරිතය ලෙස විජිතා 'හඳපාන' චිත්‍රපටය සඳහා සරසවිය සම්මානයකින් පිදුම් ලැබුවාය.

1970 වසරේ ඇය මුල්වරට නිෂ්පාදනය කළ තම සැමියා වූ ඇන්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ 'සුළි සුළං' චිත්‍රපටයේ රඟපෑවාය. සුළි සුළං ඇන්ටන් හා විජිතාගේ විවාහ ජීවිතය සුළි සුළඟ වේ යයි ඔවුන් සිතන්නට නැත. 1970 වසරේ විජිතා ඇන්ටන්ගෙන් දික්කසාද විය. ඉන් වසර කිහිපයකට පසු ඇය මීගමුවේ ප්‍රබල ව්‍යාපාරික ගාමිණී මුණසිංහ සමඟ විවාහ විය. ගාමිණීගේ සොහොයුරෙකු වූ ආනන්ද මුණසිංහ විවාහ වී සිටියේ සිංහල සිනමාවේ පුරෝගාමිකයා වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ වැඩිමහල් දියණිය සමඟය. ආනන්ද මීගමුවේ නගර සභාවේ පුරපතිවරයා හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව ද සිටියේය. අනික් සහෝදරයා ප්‍රියා මුණසිංහ මෝටර් කාර් ධාවන ශූරයකුව ප්‍රකටව සිටියේය.

විජිතාට මුල් විවාහයෙන් දියණියන් දෙදෙනෙකි. වැඩිමල් දියණිය ශිරන්ති ප්‍රනාන්දු ප්‍රකට ගෘහ භාණ්ඩ ව්‍යාපරිකයකු වූ උපාලි ද සිල්වා සමඟ විවාහ වූවාය. ඇය දැනට පදිංචි මොරටුවේය. දෙවැනි දුව ප්‍රියන්ති විවාහ වූයේ ටෙලි නාට්‍ය නළු කුමාර් අත්තනායක සමඟය. ඔහු දැනට තිරගත වන 'මැතිව්' චිත්‍රපටයේ දොස්තරවරයකු ලෙස රඟපායි. ප්‍රියන්ති දැනට පානදුරේ පදිංචිව සිටින්නිය. කුමාර් වසරකට පමණ පෙර හදිසියේ අභාවප්‍රාප්ත විය.

විජිතාගේ දෙවන විවාහයෙන් පුතෙක් හා දියණියක් වෙති. රංග මුණසිංහ මීගමුවේ පදිංචිව සිටින අතර දියණිය එරන්දි මුණසිංහ පදිංචි ඕස්ට්‍රේලියාවේය.

ගාමිණී මුණසිංහ හා විවාහ වීමෙන් පසු විජිතා නැවත බුද්ධාගම වැලඳ ගත්තාය.

'මගේ අම්මා අපිට හරිම ආදරෙයි. ඒ ආදරය ගමේ අයටත් නෑයන්ටත් දැක් වූවා. ඇය දැහැමි ජීවිතයක් ගත කළේ. ගෙදර බුදු කුටියක් හදාගෙන නිතර බුදුන් වැන්දා. දාන දුන්නා. අපේ ගෙදර තිබුණේ මීගමුවේ අඟුරුකාරමුල්ල පන්සල ගාව. ඊට එහා තිබුණේ රුක්මණී හා එඩී එදා පදිංචිව සිටි 'ජයරුක්' නිවස. අම්මා නිතර ගේ ළඟ පන්සලට ගියා. අම්මාට පිළිකාවක් තිබෙන බව දැනගත්තාම වැඩි වැඩියෙන් පින් දහම් කළා. වසර දෙකක් පිළිකාවෙන් දුක් විඳලා වයස අවුරුදු 59 ක් ජීවිතය ගෙවලා 1992 ඔක්තෝබර් 16 වෙනිදා මිය ගියා. අම්මගේ ප්‍රාර්ථනය වුණේ ලබන ආත්මේ පිරිමියෙක් වෙන්න. ඒ නිසා මටයි නංගිටයි ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද අම්මට අපේම අම්මා වෙන්න කියලා.'

ශිරන්ති තම මව ගැන තොරතුරු හෙළි කරමින් කීවාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.