සැබෑ සිනමාකරුවකු සොයා වලපනේ ගියෙමු

පෙබරවාරි 28, 2019

කවදාක හෝ දවසක සිනමාව තරුණ තරුණියන් අත පෑන් පැන්සල් ගාණට පත් විය යුතු යැයි වරක් සිනමා වෘතාන්ත කලාවේ පුරෝගාමියකු වූ ඩී. ඩබ්ලිව්. ග්‍රිෆික් පැවසුවේය. ශත වර්ෂයක ඇවෑමෙන් ඒ සිහිනය සැබෑවෙමින් පවතියි. ඒ ලෝකයේම සිනමාව පිරික්සා බලද්දිය.

වලපනේ යනු සිනමාහලක් නැති ප්‍රදේශයකි. එහි ඇත්තේ අභිමානවත් ප්‍රෞඪ ඉතිහාසයක් සහ නිල්ල ගැසුණු සුන්දර කඳු යායකි. එහි බිහිවන වලපනේ සටන හරි අපූරු චිත්‍රපටයකි.

අප්‍රිකානු රටවල මෙන්ම ලෝකයේ බොහෝ රටවල ජනතාව එක්වී කළ චිත්‍රපට ඇත . ඉන්දියාවේද එවැනි චිත්‍රපට නිර්මාණය වී ඇත. නමුදු ගමක්ම රඟපාමින් සිනමාව ගැන නොදන්නා පිරිසක් විසින් චිත්‍රපටයක් රඟපෑ මෙරට පළමු අවස්ථාව මෙය වේ.

ගොවිතැන් බතක් කරගෙන එහෙමත් නැත්නම් රජයේ හෝ පුද්ගලික අංශයේ ,එසේත් නැත්නම් තමන්ගේ කියා සුළු ව්‍යාපාරයක් කරගෙන යමින් ජීවත් වන ඔවුහු එකපාරටම චිත්‍රපටයක නළු නිළියෝ වුහ. ටවුමේ චිත්‍රපට ශාලාවෙන් ඉදහිට චිත්‍රපටයක නැරඹුවා හැරෙන්නට මේ කිසිවෙක් සිනමාව ගැන දන්නා දෙයක් නැත. නමුත් ඔවුහු නළු නිළියන් වුයේ, වලපනේ වතුමුල්ල ගමේ පදිංචි මුනිදාස පුංචිහේවා නම් වු අපූරු මිනිසා කළ චිත්‍රපටයේ රඟපාමිනි. අපට මුනිදාස ගැන දැන ගන්නට ලැබෙන්නේ පත්තර සඟයකු වූ තිස්ස නිහාල් වික්‍රසිංහගෙනි.

“ වලපනේ පැත්තේ කෙනෙක් වලපනේ සටන කියලා චිත්‍රපටයක් හදලා.ඒ චිත්‍රපටයේ මුළු ගමේම අය රඟපාලා. කැළණිය විශ්ව විද්‍යාලයෙන් අහලා බලන්න .”

ඒ අනුව අප කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ කථිකාචාරිනී ඉලේකා රුවන්පතිරණ අමතා තොරතුරු ලබා ගත්තෙමු. ඒ අනුව පසුගිය දිනෙක අපි වලපනේ වතුමුල්ල ගමට ගියෙමු.

ඔහු කලක් ලංගමයේ රියැදුරෙකු ලෙස සේවය කළේය. විවිධ හේතුන් මත ලංගමය හැර ගිය ඔහු යළිත් රියැදුරෙකු ලෙස රජයේ සේවය කළේය. ඉස්කොලේ පහේ පන්තියට පමණක් ඉගෙනුම ලැබූ ඔහු චිත්‍රපටකාරයකු වන්නේ අහම්බෙනි. ලංගමයේ සේවය කරන කාලේ 1978 අවුරුද්දේදී ඔහු අංගුලිමාල දමනය යනුවෙන් තොරණක පෙන්වන්නේය. ඒ වලපනේ ජනතාව තොරණක් දුටු පළමු අවස්ථාව ය. දින හතක් පුරා පෙන් වූ තොරණ අවසන් දිනයේ මුනිදාසට දඩුවම් මාරුවක් ලැබෙන්නේය. එයට හේතු වුයේ තොරණේ නිල්පාට වැඩි වීමය. මුනිදාසට රස්සාව එපා විය. ඔහු රස්සාව දමා ගසා යන්නේය. ඒ යන්නේ තම ඥාති සහෝදරයකු හා මැණික් ගැරීමටය. නමුදු එය ද සාර්ථක නොවන්නේය. මේ අතර මුනිදාසගේ ඥාති සහෝදරයා මැණික්වලින් දියුණුවට පත්වනේය. ඔහුට අවශ්‍ය වූයේ චිත්‍රපටයක් කිරීමටය. ගමේ සිටි මුනිදාසට අලුත් රියැදුරු රැකියාවක් ලැබෙන්නේය. ඒ ඥාති සහෝදරයා නිෂ්පාදනය කරන චිත්‍රපටයේ නළු නිළියන් එහා මෙහා ගෙනියන වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කිරීමටය.

“මම රියැදුරු ලෙස කටයුතු කරන ගමන් චිත්‍රපටයේ ඩිරෙක්ටට උදව් කළා. මේ චිත්‍රපටය තමයි බිනරි සහ සුදු බණ්ඩේ. කලා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ ලයනල් පෙරේරා මහතා . ටික දවසක් යන විට ඔහු මට කතා කරලා කිව්වා මුනි මේ ටික බලා ගන්න. දඩයම කියලා අලුත් චිත්‍රපටයකට මට කතා කරනවා. මම ඒකට යනවා. සම්මානයකුත් ගන්න පුළුවන් වෙයි කියලා හැමදේම මට බාරදීලා එතුමා යන්න ගියා. මමත් වැඩටික කරගෙන ගියා. චිත්‍රපටය හොල්වල පෙන්නනකොට තමයි මම දැක්කේ කලා අධ්‍යක්ෂක කියලා මගේ නම දාලා තියෙනවා. මේ චිත්‍රපටයේ වැඩ කරන කාලේ විජයකුමාරතුංග ,ශ්‍රියානි අමරසේන , ඩී.ආර් නානායක්කාර වගේ නළු නිළියෝ හඳුනා ගන්න ලැබුණා. ඒ චිත්‍රපටයෙන් පස්සේ මම ආයේ ගමට ආවා. මට කාලයක් කුමාර් අබේසිංහ මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළා. ”

මුනිදාස සිය අතීතය සිහිපත් කරන්නේ එලෙසිනි. බිනරි සහ සුදු බණ්ඩේ චිත්‍රපටයට එලෙසින් සම්බන්ධ වුවා හැරෙන්නට ඔහු සිනමාව ගැන වෙන දන්නා දෙයක් නැත. නමුදු ඔහු වලපනේ ගමේ නාට්‍ය කිහිපයක්ම පෙන්නූවේය .දුප්පත්කම නිසා, දණ්ඩනීතිය, මද්දුමබණ්ඩාර, වලපනේ රණ හඬ ආදි වශයෙන් වේදිකා නාට්‍ය කිහිපයක් කර තිබු මුනිදාස වලපනේ අභිමානය ගැන චිත්‍රපටයක් ගැන කරන්නට සිතුවේය.

මුනිදාස ගේ දැන් වයස අවුරුදු හැත්තැ දෙකකි. ඔහු චිත්‍රපටය හදන්නට පටන් ගත්තේ වයස අවුරදු හැත්තෑ එකේදීය. චිත්‍රපටයක් නිර්මාණය කරන්නට හැදුවද ඔහු ඒ පිළිබඳ තාක්ෂණික දැනුමක් නැත. සිය බාල පුතුට වීඩියෝ කැමරාවක් අරන් දුන් මුනිදාස චිත්‍රපටය රූගත කරන්නට පටන් ගත්තේය. තිර පිටපතක් නැත. ශබ්දාගාරවල පටිගත කිරිම් නැත. සිංදු ඇත. ඒවා ශබ්දාගාරවල පටිගත කළ ජනප්‍රිය ගායකයන් ගයන ඒවා නොවේ. ඇඳුම් නිර්මාණ ශිල්පීන්, මේකප් ආර්ටිස්ලා, නැත. සටන් ඇත . නමුදු සටන් අධ්‍යක්ෂ කෙනෙක් නැත.මේ ආදි වශයෙන් බලන විට මෙය අසාර්ථක චිත්‍රපටයක් යැයි සිනමා විචාරකයන් විසින් කියනු ඇත. විචාරකයන් කුමක් කීවත් මුනිදාසට කමක් නැත . ඔහුට අවශ්‍ය වුයේ වලපනේ ගම්වැසියන්ට ඔවුන්ගේ අභිමානය වඩවන්නය. එනයින් බලන විට මුනිදාස සාර්ථකය. මන්ද යත් සියලු සිනමා රිතීන් බැහැර කර චිත්‍රපටය දෙස බලා සිටින විට අප සිත උපන්නේද සිංහලයා ගැන අභිමානයකි.

“මේ ගම්වලවල ඉන්න මිනිස්සු ඌව වෙල්ලස්ස හටන් වලට ගිය ඒවා ජයග්‍රහණය කළ විරුවන්ගේ පරම්පරාවලින් පැවත එන අය. නමුත් ඔවුන්ට ඒ බවට අනන්‍යතාවක් නැහැ. ඒ සටන්වලට සම්බන්ධ ගම්වල තමයි චිත්‍රපටය රූගත කළේ. මගේ පුතා සමහර දර්ශන ගස් උඩ නැගලා තමයි රූගත කළේ. ඔහු චිත්‍රපටය සංස්කරණය කළේ අන්තර්ජාලයෙන් බලාගෙන. මේ චිත්‍රපටයේ ගම්වල විවිධ තරාතිරමේ ඉන්න අය රඟපා තිබෙනවා. මගේ පවුලේ අය වගේම ගුරුවරු , ආරක්ෂක සේවයේ අය, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් වගේම ගමේ රාපොලේ ඉන්න අයත් රඟපෑවා. දැන් දර්ශනවාර කිහිපයක්ම කර තිබෙනවා. කැළණි විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරු විශේෂයෙන්ම ඉලේකා මිස් නැත්නම් අපි ගැන දන්නේ වලපනේ අයම පමණයි. ඒ වගේම වලපනේ ප්‍රාදේශිය ලේකම් තුමා ඇතුව බොහෝ අය අපට උදව් කරලා. උව වෙල්ලස්ස අරගලයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදි අපට ජනාධිපති සම්මානය ලැබුණා. කැළණිය විශ්වවිද්‍යාලයෙන් අප ඇගයීමට ලක් කළා. මේ චිත්‍රපටය අරගෙන ලංකාවේ ඕනැම තැනකට යන්න අප සුදානම්. මෙය නැරඹු අය අපට බොහෝ යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඔවුන්ගේ අගයකිරීම නිසාම මම මේ චිත්‍රපටයේ දෙවන කොටසත් කරන්න හිතාගෙන ඉන්නේ. මම වයසක මනුස්සයා. නමුත් මගේ හිත තාම තරුණයි. මේ චිත්‍රපටය නිසා ගමේ මිනිස්සු හරි සතුටෙන් ඉන්නේ. ”

මුනිදාස පවසන්නේ සතුටෙනි.