රිදී තිරයේ දෙවැනි වරටත් පියල් වූ හෙන්රි ජයසේන

මාර්තු 28, 2019

'රුක්මණීල ගම්පහට එනවා!' රවුම්කඩේ හන්දිය පසු කරත්ම එරික් මට කිව්වා.

'කවුද රුක්මණී කියන්නේ' මම එරික්ගෙන් නොසතුටෙන් මෙන් ඇසුවා.

'අයිසේ චංසෝම, තමුසෙ පුදුම මිනිහෙක්නේ, රුක්මණී දේවි ගැන අහල නැද්ද තමුසෙ . . . අර බෝඩ් එකේ ලස්සනට ඇඳල තිබුණේ.'

මට ගෙදරට කිව්වේ චන්ද්‍රසෝමය. ඒ නම එරික් කොට කර 'චංසෝම' යයි මට කතා කරන්නේය.

'අර කොණ්ඩේ කඩාගෙන හිටපු ගෑණි?'

'ගෑණි . . .! අයිසේ රුක්මණී දේවි කියන්නේ දිව්‍යාංගනාවක්.'

ගම්පහ ටවුමේ ඉදිවෙමින් තිබූ එක්තරා තාවකාලික නාට්‍ය මණ්ඩපයක් ළඟ ලොකු බෝඩ් එකක කිතුල් මල් රෑනක් සේ ඝනව වැඩුණු අක් බමරු දිග කෙස්වැටිය කඩා ගත් ඉස්තිරියාවක් දැඩි ශෝකී මුහුණකින් අප දෙස බලා සිටියා. නාට්‍යයේ නම 'සැඟවුණ පිළිතුර'ය. මේ 1940 වසරේ මුලය. මගේ වයස අවුරුදු 12 පමණ වන්නට ඇති. එරික් මට ටිකක් වැඩිමහල් ඥාතියකු මෙන්ම මිත්‍රයෙක්.

එරික් හා මම නාට්‍යය වේදිකා ගත වූ දිනයේ උඩම පේලියේ ලෑලි බංකුවක් මත 'සැඟවුණ පිළිතුර' නාට්‍ය නැරඹුවා. මුළු මිනිස් තලයම නිහඬය. හුස්ම වැටෙන හඬක් පවා නෑසේ. රුක්මණී දේවිගේ දිව්‍යමය හඬ ශාලාව පුරා රැව් දේ.

'සයුරේ - මහ සයුරේ

සැලෙනා

යාත්‍රාවක් සේ ජීවිත මගේ

සයුරේ . . .'

මෝහනය වූ මුළු මිනිස් තලයම ඇසිපිය නොහෙලා ඇය දෙස බලා සිටී. පුදුමය නම් වසර 20 කට පමණ පසු සැබෑ ජීවිතයේදී මට මුණ ගැසී කතාබහ කිරීමට පමණක් නොව ඇය සමඟ එකට රඟපෑමට ලැබේ යයි මම සිහිනයකින්වත් සිතුවේ නෑ. චිත්‍රපටයේ නම 'හෙට ප්‍රමාද වැඩියි'. රුක්මණී, ෆ්ලොරිඩා ජයලත් හා ප්‍රේම් ජයන්ත් සමඟ මම ප්‍රධාන චරිත රඟපෑවා.'

හෙන්රි ජයසේන නම් ප්‍රවිණ රංගධරයා තම අතීත කතාව අපට විස්තර කළේ එසේය. මා හෙන්රි දැන හැඳින ගත්තේ 'සරසවිය' පුවත්පතට සම්බන්ධ වූ පසුවය. මුල්ම ලිපිය ලිවීමට ගිය දවසේ ඔහු මට 'හුණුවටයේ කතාව' නාට්‍ය බැලීමට ආරාධනා පත් දෙකක් දුන්නේය. හෙන්රි වැඩ කළ රජයේ වැඩ දෙපාර්තමේන්තුව පිහිටියේ කොටුවේ ට්‍රාන්ස්වර්ක් ගොඩනැගිල්ලේය. එහි 'රෙකෝඩ් රූම්' එක භාර නිලධාරියා ඔහු විය. ඔහුට සහායට සිටියේ එකම එක සේවකයෙක් පමණි. විශාල මේසයක අරා වැජඹී සිටියේ හෙන්රිය. අර සේවකයා දුක් ගන්නා රාළ කෙනෙකි. රජයේ චක‍්‍ර ලේඛන ලිපි ලේඛන පොත් වශයෙන් බැඳ රාක්කවල අසුරන්නේ ඔහුය. කඩදාසි, පොත් කපන කටර් යන්ත්‍රයක් ද එහි තිබුණි. මම දවල් කෑමට තනිව හොස්පිටිල් පාරේ ජැෆ්නා හෝටලයට යන ඇතැම් දිනක හෙන්රි සිටීදැයි එබිකම් කර බලමි.

'ආ . . . ඉලන්දාරියා මමත් කෑමට යන්න නැගිට්ටේ යමු. මාත් එක්ක කතා කර කර බත් ටිකක් කමු.'

මා සමඟ ඔහු කොටුවේ ඔර්ලෝසු කණුව පැත්තට ගමන් ගනී. මුලින්ම යන්නේ 'හිටපු හමුදා නිලධාරින්ගේ ක්‍රීඩා සමාජයට'ය. ඔහුට එහි නිත්‍ය අසුනක් තිබිණි. 'ත්‍රී රෝසස්' සිගරට් පැකැට්ටුව හා ලයිටරය සීරුවට මේසය මත තබන ඔහු බියර් බෝතල් දෙකක් හා කජු පැකැට්ටුව ඇණවුම් කරයි. පෙණ නගින බියර් වීදුරුවක මුල් උගුර පානය කොට සිගරට්ටුවක් පත්තු කර ගන්නේ උපරිම ආස්වාදය ලබමිනි.

හෙන්රි මුල් චිත්‍රපටවල රඟපැම ගැන කතා කරන්නේ ලැජ්ජාවෙනි. ශ්‍රී 296, සීගිරි කාශ්‍යප, හෙට ප්‍රමාද වැඩියි චිත්‍රපටය ඒ. ඔහු චිත්‍රපට රඟපෑමට වඩා කැමැත්ත දැක් වූයේ වේදිකා නාට්‍යවලටය. ඒ 1953 වසරේදීය. 'ජානකී', 'මනමාලයෝ', 'වැදගත්කම', 'ඇත්ත කුමක්ද', 'පව්කාරයෝ', 'ජනේලය' මේ අතර කැපී පෙනෙයි. ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස පදියපැලැල්ලේ දෙනියේ සිංහල ප්‍රාථමික විද්‍යාලයට මුලින්ම සේවයට බැඳෙන හෙන්රි පසුව දියතලාවේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකි. පසුව ඔහු කොළඹට මාරු වී ඇත.

හෙන්රිට සී. ටී. ප්‍රනාන්දු හමු වන්නේ එකල රෙජිස්ටාර් ජනරාල් කාර්යාලයට බැඳුණු පසුය. හෙන්රි එහි සේවය කළේ අඥජධපඤඵ ර්‍ණටටඪජඥ නොහොත් ලේඛන කාර්යාලයේ සෙවුම් නිලධාරියකු ලෙසය. දිනක් ප්‍රධාන ලිපිකරු විසින් සී. ටී. ප්‍රනාන්දු හෙන්රිට හඳුන්වා දුන්නේ මෙසේය.

'ඔහොම හිටියට හොඳ ගායකයෙක්. ගුවන් විදුලියේ එහෙමත් සින්දු කියනවා.'

හෙන්රි කියන්නේ 'ඔහොම හිටියට' යනුවෙන් ප්‍රධාන ලිපිකරු සඳහන් කළේ සී. ටී. කුඩා ප්‍රමාණයේ මිනිසෙකු නිසා විය යුතුය. පසු කලෙක තමා පියල් ලෙස ද, සී. ටී. මඟුල් කපුවා ලෙසද 'ගම්පෙරළිය' චිත්‍රපටයේ රඟපෑමට ඉරණම්ව සිටි බවට හාන්කාවිසියක්වත් නොදැන සිටි බව හෙන්රි මට කියා ඇත.

දිනක් හෙන්රිට විදුලි පුවතක් ලැබිණ. එය එවා තිබුණේ ආචාර්ය සරච්චන්ද්‍රයන් විසිනි. 'මනමේ බැලීමට ගොස් හෙන්රි සරච්චන්ද්‍රයන් හඳුනාගෙන තිබුණි.

'ඒ කාලයේ මට මනමේ ගී සින්දු හා එහි ශෛලිගත දෙබස් ද මතක තිබුණා.'

'මනමේ පුහුණුවීම් සඳහා එන්න. මම පේරාදෙණිය දුම්රියපොලේදී ඔබව මුණ ගැසෙන්නෙමි.'

මේ විදුලි පුවතේ මා කොළඹින් පැමිණිය යුතු වේලාව ද සඳහන් කර තිබුණා. ආචාර්ය සරච්චන්ද්‍රයන් පමණක් නොව ආචාර්ය සිරි ගුණසිංහ සහ එඩ්මන් විජේසිංහ ද (වැදි රජු) මා කැඳවාගෙන යාමට පේරාදෙණියේ දුම්රියපලට විත් සිටියා. මට ගීත ගැයීමට හොඳ හැකියාවක් තිබුණේ නැහැ. මම අදිමදි කළා.'

'අපෝ හෙන්රිට ඕකත් කජ්ජක්ද?' එඩ්මන් මා දිරිගැන්වූවා. මගේ හදවත ගැහෙයි. මා දන්නා කුමාරයාගේ සින්දු ගායනය කළා. ඒවා මා ගායනා කළේ අවශ්‍ය ලයට වැඩි වේගයකිනි. එවැනි අවස්ථාවලදී සර්පිනාව අසල සිට නළල රැලි කරගෙන 'ටයිම්' 'ටයිම්' කියමින් වැරදි හරි ගැස්සූ දැරිය මට අමුත්තෙකු වුණේ නැහැ. අප කුඩා කාලයේ ගුවන් විදුලියේ 'සිරි අයියා'ගේ (යූ. ඒ. ඇස්. පෙරේරා) 'ළමා තීරයේ' සමඟ ගී ගැයූ කුඩා දැරියයි. එදා (1956) ඇය පේරාදෙණිය සරසවියේ උපාධි අපේක්ෂිකා ට්‍රිලීෂියා අබේකෝන් (පසුව ගුණවර්ධන)ය. මාව එදා කැඳවා තිබුණේ මුල්ම මනමේ කුමාරයා ලෙස රඟපෑ බෙන් සිරිමාන්නගේ අඩුව පිරිමැසීමටය. එදා සිට මම මනමේ කුමරු වුණා.'

1931 ජූලි 06 වෙනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලැබූ බස්තියන් කෝරාළගේ හෙන්රි රුද්‍රිගු ජයසේනගේ කලා කුසලතා දුටුවේ ලොකු අයියා වූ නිව්ටන් ජයසේනය. ඔහු දක්ෂ පරිවර්තකයෙකි. විශිෂ්ට ලේඛක ජිනදාස විජයතුංගගේ ට්පචඵඵ ර්ර ජ්ඥඥබ 'මා පයට තණනිල්ල' නමින් සිංහලයට නැඟුවේ ඔහුය. මේ අයියාගේ මාර්ගයෙන් කුඩා හෙන්රිව සිරි අයියාට හඳුන්වා දෙන ලදී. 'ළමා තීරයේ' සිරි අයියා හා සොමි අක්කාගේ මඟ පෙන්වීමෙන් කුඩා හෙන්රි ගුවන් විදුලියේ ගායනය, කියවීම රඟපෑම හා ලිපි කියවීම ඉගෙන ගත්තේය. ළමා තීරයේදී ට්‍රිලීෂියා හා චන්ද්‍රපාල ගැයූ 'සුරතල් නංගිියේ' හා රාධා ක්‍රිෂ්ණා ගීතය ප්‍රසිද්ධ වේදිකාවේ ඒ ගීත ගයමින් ට්‍රිලීෂියා සමඟ රඟපෑමේ අවස්ථාව හෙන්රිට හිමි විය. එදා 'ළමා තීරයේ' සිටි ට්‍රිලීෂියා හා මනමේ නාට්‍යයේ රඟපෑම අරුමයක් විය.

'ගම්පහ ලෝරන්ස් විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටි මට කොළඹ නාලන්දා විද්‍යාලයට යාමට පාර කැපුවේ සිරි අයියා. මගේ පන්ති යහළුවෝ වුණේ ගුණදාස අමරසේකර, කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, සුගතමුණි ඤාණසිරි, හරිශ්චන්ද්‍ර විජේතුංග, මිනිවන් පී. තිලකරත්න, සුමන අක්මීමන ආදීන්.'

'ගම්පෙරළිය' චිත්‍රපටයේ පියල්ගේ චරිතය හෙන්රිට රඟපෑමට ලැබිම තම ජීවිතයේ අමරණීය අවස්ථාවක් ලෙස ඔහු සැලකූ බව අපට කියා ඇත.

'විවාහවීමට පෙර මා නැවතී සිටියේ දෙහිවල වෛද්‍ය පාරේ කාමරයක. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මහ ගෙදර තිබුණේ ඒ පාර ඉදිරිපිටම වාගේ. දිනක් තමාව හමුවන ලෙස එතුමාගෙන් පණිවිඩයක් ලැබුණා. මම එදිනම සවස එතුමා හමුවීමට ගියා.

'අපි ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයකට නඟන්නට යනවා, බොහොම අමාරු වැඩක්. ඒ මොකද මේ චිත්‍රපටයේ සින්දු, නැටුම්, සටන් ජවනිකා ආදිය නැහැ. අපි ඔබව තෝරා ගත්තා පියල්ගේ චරිතය රඟපෑමට.'

මට මෙය අදහා ගන්න බැරිව ගියා.

'මට ගෙවන මුදල කුමක් වුවත් කමක් නැහැ. මෙය මම සිහිනයෙන් පවා බලාපොරොත්තු නොවූ වාසනාවක්. ඔබතුමා යටතේ චිත්‍රපටයක විශේෂයෙන්ම ගම්පෙරළිය වගේ චිත්‍රපටයක රඟපාන්නට ලැබීම ඊටත් වඩා ලොකු වාසනාවක්' මම ලෙස්ටර්ට කිව්වා. හෙන්රි කිවේය.

ගම්පෙරළිය නවකතාවේ එන තම ප්‍රියතම ගැහැනු චරිතය අනුලාගේ චරිතය බවයි හෙන්රි අපට පවසා ඇත්තේ. පියල් නමැති ශූර තරුණයා වරක් තමා ප්‍රතික්ෂේප කළ උඩඟු නන්දා පසුපසම නොඇදී නන්දාට වඩා අවංක, ගුණ යහපත් අනුලා නොපැතුවේ මන්දැයි හෙන්රිට සිතුනු වාර බොහෝ යයි කියා ඇත.

'මට ගම්පෙරළිය චිත්‍රපටයේදී මනමේ බිසව ලෙස මා සමඟ රඟපෑ ට්‍රිලීෂියා සමඟ රඟපෑමට ලැබීමත් සතුටක්. අප දෙදෙනා එකට රඟපෑ මුල්ම චිත්‍රපටය මේ.'

1972 වසරේදී පමණ මා 'සරසවිය' පුවත්පතට 'සතුටු සාමීචිය' නමින් විශේෂාංගයක් අරඹා වරෙක හෙන්රි හමුවීමට ගියෙමි.

'ඔබව ගම්පෙරළියට තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාදැයි' මම ඔහුගෙන් විමසීමි. එවිට ඔහු සිනාවකින් මුව සරසා මෙසේ කීවේය.

'මම මුලදී සිතුවේ මගේ රඟපෑම්වල දක්ෂකම් නිසා මේ චරිතයට මාව තෝරා ගනු ලබන්නට ඇති කියා. සමහර විට එවැනි සිතිවිල්ලක් ද ඔවුන්ගේ සිත් තුළ තිබෙන්නට ඇති. එහෙත් 'පියල්'ගේ චරිතය සඳහා මා තෝරා ගැනීමට හේතු වූ ප්‍රධානතම කරුණ මා දැන ගත්තේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළාට පස්සේ. ඒ වසර ගණනක ඇසුරෙන් ලෙස්ටර් මා හා වඩාත් කුළුපඟ වූ පසුය. එනම් ගම්පෙරළිය පොතෙහි එක් තැනක සඳහන් පරිදි 'කජු පුහුලමක්' වැනි නැහැයක් මට තිබූ නිසාලු! එම සත්‍යය ඇසීමෙන් මගේ සිත කීරිගැසුණ ද එය පිටතට නොපෙන්වීමට මම උත්සාහ කළා.'

'ගම්පෙරළිය' නිෂ්පාදන කාලයේ හෙන්රිලා නැවතී සිටි බලපිටියේ මහකප්පින වලව්වේ ගත කළ විසිතුරු කාලය තමාට කිසිසේත් අමතක කළ නොහැකි බව හෙන්රි අපට කියා ඇත. රෑ කෑමෙන් පසු ලෙස්ටර්, සුමිත්‍රා, විලී බ්ලේක්, තිස්ස අබේසේකර සමඟ සාලය මැද විශාල රවුම් මේසය වටා වාඩි වී නොයෙකුත් වල්පල් දෙඩීමෙන් කල් ගත කර තිබුණි. සිංහල සිනමා කර්මාන්තයේ මුල්ම යුගයේ ඉතා රසවත් සිද්ධි සමුදායක් ලෙස්ටර් සහ විලී දැන සිටි බව හෙන්රි කීය. ඒවායේ කෙළවරක් තිබී නැත. දිනපතාම වාගේ ඔවුහු අලුත් අලුත් රසවත් කතා ඇද බෑ බවත් ඔහු කීවේය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බේගල් මාමා කියූ කථා මෙන් නොව මේවා නම් සත්‍ය කථාම වූවාට කිසිදු සැකයක් නොවූ බව හෙන්රි එදා අපට පැවසීය.

ගම්පෙරළිය මොස්කව් හි ඇකාපුල්කෝ ජ්ඥඵබඪමචත ධට ජ්ඥඵබඪමචතඵ උලෙළ නියෝජනය කරමින් සුමිත්‍රා පුණ්‍යා හා හෙන්රි 1965 සහභාගි වී ඇත.

'මේ උලෙළේදී මට හමු වූ දැවැන්ත ප්‍රතිමාවක් සේ දැවැන්ත ජීවමාන චිත්තය හා මමෝකායක් සේ මගේ මතකයෙහි රැඳී ඇති පුද්ගලයකු දැක පිළිසඳරේ යෙදීමට ලැබුණු අවස්ථාව කිසිදා අමතක නොවේ. ඔහු නම් මනසින් හා කයින් දැවැන්තයකු වූ පොඩි දරුවකු සේ සිනාසෙන සත්‍යජිත් රායි නම් ආකර්ශනීය මිනිසාය. අප නැවතී සිටි හෝටලයේ එළිමහනේ වාඩි වී අප සමඟ (සුමිත්‍රා හා පුණ්‍යා හා මම) වාඩි වී තේ බොමින් බොහෝ වේලා ගත කළා. ඔහු ලෙස්ටර්ගේ සිනමා කෘති ගැන මහ ඉහළින් කතා කළා. මෙසේ අප තේ බොමින් සිටි ඡායාරූපයක් මගේ ඡායාරූප එකතුවේ ඇති. එය මා අගය කරන ඡායාරූපයක්.'

හෙන්රි 'ගම්පෙරළිය' චිත්‍රපටයේ රඟපෑ පියල්ගේ චරිතය සඳහා කිසිදු සම්මානයක් හිමිව නැත. ඒ චරිතය තුළින් ඔහු ඉතා අසීරු මුහුණින් සියුම් ලෙස හැඟීම් පිළිබිඹු කළ බව විචාරක ප්‍රශංසාව හිමි විය. මුල්ම සරසවිය උලෙළ වෙනුවෙන් 1964 වසරේ පළ කළ 'සරසවි සිනමා' සංග්‍රහයේ තනි පිටුවක පළ වූ එකල ඡායාරූප ශිල්පී නිමල් පෙරේරා අභයවර්ධන විසින් ගන්නා ලද ඡායාරූපය හෙන්රි සැම විටම අගය කළේය. එම ඡායාරූපය නැවත මෙහි පළ වනු ඇත.

නාට්‍ය රචකයකු, නාට්‍ය නිෂ්පාදකයකු, නවකතා කතුවරයකු, කවියකු, ගේය පද රචකයකු වූ හෙන්රි තම කෘති, නිර්මාණ සඳහා සම්මාන රැසක් ලබා ඇත. මිනිසුන් වූ දරුවෝ, ලාසරස්, නිළියකගේ කතාව ඔහු ලියූ නවකථාය. කරළියක කතාව, නිම් නැති කතාවක් ජීවන චරිතය. හිතට හිතෙන කවි සින්දු, කතන්දරේ හැංගිලා ළමා පොත්ය. නාට්‍යය අතර හුණුවටයේ කතාව, ජනේලය, කුවේණි, තවත් උදෑසනක්, අපට පුතේ මඟක් නැතේ, දිරිය මව, මකරා විශේෂ තැනක් ගනී. රඟපෑ චිත්‍රපට අතර දහසක් සිතිවිලි, හඳයා, මරුවා සමග වාසේ, බැද්දේගම, සොල්දාදු උන්නැහේ, හංස විලක්, ගඟ අද්දර, හිමකතර, සූරිය කාන්ත වඩාත් කැපී පෙනුණි. ටෙලි නාට්‍ය අතර 'දූ දරුවෝ' හි සුදු සීයා නම් කිසිසේත් අමතක නොවේ.

'අතීතයෙන් කතාවක්' චිත්‍රපටයේ තිර නාටකය ලියූ හෙන්රි 'සැඩොල් කඳුළු' චිත්‍රපටයේ පද රචනා කළේය.

හෙන්රි දැඩි ලෙස නිරන්තරයෙන් සිගරට් බීමේ රුසියෙකි. වරක ඔහු හිතුවක්කාරයෙකි. ඔහු ප්‍රතිපත්ති ගරුකය. විනය ශික්ෂණය අකුරටම රැක්කේය. 'කලියුගය' චිත්‍රපටයේදී යළිත් හෙන්රි හා පුණ්‍යා හමු වූහ. ඒ වියපත් පියල් හා නන්දාගේ චරිත රඟපෑමටය. ඒ 1982 වසෙර්ය. හෙන්රි ඒ වන විට දැඩි ලෙස දුම් පානය කරනු දුටු පුණ්‍යා හෙන්රිගෙන් ඉල්ලිමක් කළාය. එය එක කුස උපන් සොහොයුරියක් තම සොහොයුරෙකුගෙන් කරන ඉල්ලිමකි ඒ.

'හෙන්රි අයියා ඔයා ඔය දුම්බීම නවත්වන්න'

එබසට හෙන්රි දුන් පිළිතුර රළු එකක් බව පුණ්‍යා මට කීවේ දැඩි වේදනාවකිනි.

'ඒපඥ කධභ ර්ර ර්ධබඩඥප ඊධ ඊඥතත ථඥ දධබ බධ ඉථධඬඥ?

හෙන්රි පුණ්‍යාට සැර කොට ඇත.

'යකෝ, උඹ මගේ අම්මද මට සිගරට් බොන්න එපා කියන්න' ඒ වචනය හෙන්රිගෙන් පිට වන විට ගම්පෙරළියේ අවසාන දෙබස මට සිහිපත් විය.

'තරහ වෙන්න එපා නන්දා (පුණ්‍යා). ඒ වචන මම අදහස් කරලා කිව්වේ නැහැ. තරහ ගිය නිසා මට කියවුණා.'

පුණ්‍යා සිත් වේදනාවෙන් සිටි බව දුටු හෙන්රි මුදු මොලොක් හඬින් 'මම දුම් බීම නවත්වන්න උත්සාහ කරන්නම්' කියාය. එහෙත් හෙන්රි තදබල ලෙස අසනීප වන තෙක්ම දුම්බීම අත් හැරියේ නැත.

1999 වසරේ හෙන්රි විසින් ලියූ 'බාල්ග ගිලානේ නොහොත් රෝගියෙකුගේ කතාවක්' කෘතියේ ඔහුගේ අසනීපය ගැන මෙසේ සඳහන් වෙයි.

'අද එදාට වඩා මගේ තත්ත්වය වෙනස්ය. අඩු වූ රාත්තල් විසි පහෙන් තුනක් හතරක් මම ආපසු ලබා ගතිමි. ඒ මගේ බිරිඳගේ ඉමහත් උත්සාහය නිසාය. ලෙඩ දුක් කිහිපයකටම මැදි වූ මගේ ඉදිරි කාලය කෙසේ වේදැයි මම නොදනිමි. එහෙත් මා දන්නා කරුණු දෙක තුනක් ඇත.

ඉන් පළමුවැන්න නම් පිළිකා රෝග බියෙන් ඉතා ඉක්මනින් මා මිදෙන බවය. බලවර්ධන වෛද්‍යතුමා ඒ ගැන වග බලා ගන්නා බැව් මට සහතිකය.

හෙට මම මගේ දකුණු ඇසෙහි සුද ඉවත් කිරීම සඳහා ජයවර්ධන රෝහලට ඇතුළු වන්නෙමි. එනම් 5 වෙනිදා. දෘෂ්ටි වෛද්‍ය වාරියපොල මහතා විසින් අදාළ ශල්‍යකර්මය සිදු කරනු ඇත. වසර තිස් හතක් මුළුල්ලේ දුක සැප බෙදා ගනිමින් දුෂ්කර අවස්ථාවලදී ඒ බර සැහැල්ලු කරමින්, රෝගී අවස්ථාවලදී යශෝධාරාවක සේ මා රැක බලා ගත් මගේ බිරිඳ මානෙල්ට කැළඹීමකින්, සැලීමකින් තොරව මෙම දුෂ්කර අවස්ථාවට මුහුණ දෙමින් අවශ්‍ය කටයුතු නිහඬව ඉටු කරමින් මා දිරිමත් කළ මගේ පුතු සුදාරක හා ඔහුගේ බිරිඳ අනෝමව ද සෙනෙහසින් සිහි කරමි.'

මේ පොත ලියා ප්‍රකාශයට පත් කොට වසර දහයකට පසු 2009 නොවැම්බර් 11 වෙනිදා ආචාර්ය හෙන්රි ජයසේන ජීවිතයෙන් සමු ගත්තේය.