විශිෂ්ට ඉන්දීය කලාකරුවකුගේ සමුගැන්ම

මල්ගුඩියේ ශ්‍රීනිවාසන්
ජුනි 13, 2019

ගිරීෂ් කර්නාඩ් (1938-2019)

කලා ක්ෂේත්‍රයට වටිනා නිර්මාණ රැසක් දායාද කළ විශිෂ්ට ඉන්දීය සිනමාකරුවකු වූ ගිරීෂ් කර්නාඩ් පසුගිය 10 වැනිදා අවුරුදු 81ක් ආයු වළඳා මෙලොවින් සමුගත්තේය. ඉන්දීය වේදිකාවේ මෙන්ම සිනමාවේ ද අනගි මෙහෙවරක් ඉටු කළ කර්නාඩ් වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු, නළුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම තිරරචකයකු ද විය.

කර්නාඩ් සිය කලා ජීවිතය ආරම්භ කළේ වේදිකාවෙනි. කණ්ණඩ සාහිත්‍ය ඇසුරෙන් වටිනා නිර්මාණ රැසක් ඔහු අතින් ඉන්දීය වේදිකාවට තිළිණ වූ අතර පළමු වේදිකා නාට්‍ය Yayati (1961) නිර්මාණය කරනවිටදී ඔහුගේ වයස අවුරුදු 23ක් විය. එය පාණ්ඩව රාජ චරිතයක් ඇසුරෙන් නිර්මාණය වූවකි. Hayavadana (1972), Nagamandala (1988), Tughlaq (1964) ඔහුගේ අනෙකුත් වේදිකා නාට්‍ය නිර්මාණ අතරින් කිහිපයකි. වේදිකාවෙන් සිනමාවට පිවිසි කර්නාඩ් රංගනය සහ තිරරචනය ආරම්භ කළේ එකම චිත්‍රපටයෙනි. 1970 වසරේදී තිරගත කෙරුණු Samskara නම් එය හොඳම වෘත්තාන්ත චිත්‍රපටයට හිමි ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. කර්නාඩ් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද දායක වූවෙකි. ශ්‍රී ලංකාවේ ද විකාශය කෙරුණු අතිශය ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍ය මාලාවක් වූ ආර්. කේ. නාරායන් විසින් අධ්‍යක්ෂණය කළ මල්ගුඩි දවස් ටෙලි නාට්‍ය මාලාවේ ශ්‍රීනිවාසන් හෙවත් කුඩා ස්වාමිගේ පියාගේ චරිතයට පණ පෙවූයේද කර්නාඩ් විසිනි.

කණ්ණඩ, තෙලිඟු, දෙමළ, මලයාලම් සහ හින්දි සිනමා නිර්මාණ රැසක් ඔහු සිය රංගනයෙන් ඔපවත් කළේය. ඒ අතරින් ඇතැම් ඒවා ඔහු තිරරචනය කළ චිත්‍රපට විය. Manthan (1976), Swami (1977), Naan Adimai Illai (1986), China Gate (1998), Ek Tha Tiger (2012), Tiger Zinda Hai (2017) කර්නාඩ්ගේ දශක පහක සිනමා දිවියේ චිත්‍රපට කිහිපයකි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේ 1972 වසරේ තිරගත කෙරුණු Vamsha Vriksha නම් කණ්ණඩ චිත්‍රපටයෙනි. එය ෆිල්ම්ෆෙයාර් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය. Tabbaliyu Neenade Magane (1977), Kanooru Heggadithi, Kaadu (1973)  ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂණ කිහිපයක්. කර්නාඩ් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Utsav චිත්‍රපටය ද ඔහුගේ සම්මානනීය සිනමා අතර සුවිශේෂ වන්නකි. ඔහු එය නිර්මාණය කරන ලද්දේ ශුදාක නමැති භාරතීය කවියා විසින් 6 වන සියවසේ දී පමණ රචනා කරන ලද මෘච්ඡකටිකා නමැති සංස්කෘත නාට්‍ය ඇසුරෙනි. Utsav චිත්‍රපටයේ ශංකර් නාග්, රේඛා, අනුරාධා පටේල්, ශෂි කපූර් චරිත නිරූපණය කළහ. මෙරට බිහි වූ ප්‍රකට වේදිකා නාට්‍යය නිර්මාණයක් වන මැටි කරත්තයට පසුබිම් වී තිබෙන්නේ ද මෙම කතාපුවතයි.

ගිරීෂ් රගුනාත් කර්නාඩ් 1938 වසරේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී උපත ලැබූයේ දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ තෙවැන්නා ලෙසිනි. ඔහුගේ පියා රගුනාත් කර්ණාද් වෛද්‍යවරයකු වූ අතර මව හෙදියක වූවාය. ඉන්දියාවේදී කලා උපාධිය ලද ඔහු බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. සරස්වතී ගණපති සමඟ විවාහයෙන් කර්නාඩ් ලද පුතු රඝු කර්නාඩ් මාධ්‍යවේදියකු වන අතර දියණිය රාධා කර්නාඩ් වෛද්‍යවරියකි. කර්නාඩ් කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් ඉන්දීය රජයේ ගෞරව බහුමානයට පාත්‍ර වූයේය. 1974 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පුද ලද ඔහු 1992 වසරේදී පද්ම භූෂන් සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.