ප්‍රේම තරඟය බැලූ සර් ජෝන්ගෙන් පුරවැසිකම් ලැබූ මුත්තුසාමි

ජුනි 27, 2019

‘ගමන නොනිමෙයි - ලෝකයේ මේ

පුරුදු ජීවන මංතලේ

ගැටෙන සැප දුක – මාරු වී යයි

වැටෙන මල් පෙති පාවුණා වේ

සුළං රැළි ඔහෙ යන අතේ

යළිත් ගහ කොළ - පාළු නෑ මේ

රිකිලි නන්වා ලිය ලැවේ

ගැටෙන සැප දුක මාරු වී යයි

පුරුදු ජීවන මං තලේ’

වයස අවුරුදු පහළොවක් පමණ වියේ සිටි මම ‘සිකුරු තරුව’ චිත්‍රපටයේ එන මේ ගීතයට ඇලුම් කළෙමි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ රචනා කළ මේ ගීතය නාරද දිසාසේකර ගැයූ අතර එහි තනුව නිර්මාණ කොට සංගීත රචනය කරමින් සමස්ත චිත්‍රපටයේ පසුබිම් සංගීතය අධ්‍යක්ෂණය කළ ආර්. මුත්තුසාමිගේ නම කෙරෙහි ද මා තුළ ආදරයක් ඇති විය. මුත්තුසාමි මාස්ටර් කවුද? මා මෙන්ම සිනමාවට උමතුවෙමින් සිටි මගේ මිත්‍රයන් දිනක් මට කිව් මේ ප්‍රකාශයෙන් මම ප්‍රීතියට පත් වීමි.

‘මුත්තුසාමි මාස්ටර් පදිංචිව ඉන්නේ අපේ ගමේ’

‘බොරු. . .’

‘බොරු නෙවෙයි ඇත්ත. අසෝක හෝල් එක ඉස්සරහ ගෙදරක’ තව මිතුරෙක් කීවේය.

මා උපන් ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය අවට කලාකරුවන් කලාකාරියන් රැසක් ආමර් වීදිය, කොටහේන හා ප්‍රින්ස් ඔෆ් වේල්්ස් මාවතේ ද පදිංචිව සිටියහ. ප්‍රේම් ජයන්ත්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ආරියරත්න කහවිට, ස්වර්ණා කහවිට, ස්වර්ණා මල්ලවාරච්චි, මල්ලිකා ද සිල්වා (කහවිට), මියගිය මොහොමඩ් ගවුස්, චිත්‍රපට නළු බී. එස්. පෙරේරා, තබ්ලා නඩරාජා, උදයප්පන් රාජ් ඒ අතර මට මතකයට එන නම්ය. පසුදා උදෑසන මගේ මිතුරන් දෙදෙනෙකු සමඟ මුත්තුසාමි මාස්ටර්ගේ නිවස අසල රැඳී සිටියේ ඔහු ගුවන් විදුලියේ රැකියාවට යාමට එන තෙක්ය. සුදෝ සුදු වේට්ටියකින් සැරසී කකුල පේන්න ඇවිදින මුත්තුසාමි මාස්ටර් දැකුම්කලු ලස්සන මුහුණකට උරුමකම් කී ප්‍රියමනාප පුරුෂයෙකි. ඔහු ප්‍රින්ස් ඔෆ් වේල්ස් පාරේ ගමන් කොට බ්ලූමැන්ඩල් පාර ඉදිරියෙන් ඇති පරාක්‍රම පාරට පැමිණ එහි ඇති පඩි පෙළ නැඟ කොස්ගස් හන්දියේ විජයබා මහා විද්‍යාලය අසල අරලිය ගහ යට සිටින්නේ මට්ටක්කුලියේ සිට බම්බලපිටියට යන 178 බස් එක අල්ලා ගැනීමටය. ඔහු රේඩියෝ සිලෝන් එක ළඟින් බසින්නේ ඒ බසයෙනි. අපි ඔහු පසුපසම ගියෙමු. මුත්තුසාමි මාස්ටර්ගේ වැඩිපුර විස්තර එකල පළ වූයේ ආරියරත්න කහවිටගේ ‘කලා’ සඟරාවේය.

අපි මුත්තුසාමි මාස්ටර් සමඟ සිනාසෙන්නෙමු. අපේ මිතුරු පිරිසේ මුඛරියා වූ ඒකනායක මුත්තුසාමි මාස්ටර්ට ළං වෙයි.

‘මාස්ටර් හදන සින්දු අහන්න අපි කැමතියි. මාතලන්, කුරුලු බැද්ද සින්දු අපි විමෝදෙට කියනවා’.

‘ආ ඒ ඒ ම ද? තෑන්ක් යූ පුතා’ මාස්ටර් කියයි. ඒ සමඟම ආ බස් රථයට ඔහු නඟින්නේ අපට නිර්ව්‍යාජ සිනාවකින් සංග්‍රහ කරමිනි. මේ සිද්ධියෙන් වසර හත අටකට පසු මා මාස්ටර්ගේ නිවසට ගියේ ‘සරසවිය’ පත්‍රයට ඔහු ගැන ලිවීමටය. එකල මෝහන්රාජ්, ප්‍රසන්තී, කීර්තිකා, චිත්‍රාංගනී කුඩා දරුවන්ය. ‘විසිතුර’ පත්‍රයෙන් 1964 ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂවරුන් තේරීමේ තරඟයක් තිබුණි. ජයග්‍රාහකයින් 6 දෙනාගෙන් 2 වෙනි ස්ථානය හිමි වූයේ මුත්තුසාමිටය. පළමු තැන ලැබි තිබුණේ අමරදේවයන්ටය. ලයනල් අල්ගම, ප්‍රේමසිරි කේමදාදස, ඇම්. කේ. රොක්සාමි හා මොහොමඩ් සාලි පිළිවෙළින් සෙසු තැන්වලට පත් වී තිබූහ.

ශ්‍රි ලාංකික සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස මුල්වරට එතෙරදී සම්මානනීය අගයකට පත් වූ සංගීතඥයා වීමේ ගෞරවය හිමි වන්නේ මුත්තුසාමිටය. තමා මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කළ ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයටය. මුත්තුසාමි ගැන ලියා ඇති එකම හා දීර්ඝතම විවරණය එන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ‘ගාන්ධර්ව අපදාන – 2’ කෘතියේය. එහි මුත්තුසාමිට Indian Jounalists Association All India Cultural Carnival – 1954 සංගමයෙන් පිරිනමන ලද සහතිකය පළ කොට තිබුණි. මෙහි ඇති සහතිකය මෙන්ම සෙසු ඡායාරූප ද එම පොතිනි.

R. Muthuswamy to receive the Award Ceylon’s Best Musical Director – 1953 in ‘Prema Tharangaya’ එහි සඳහන් වී තිබුණි. 1953 වසරේ තිරගත වූ ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයේ ආ ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත. ‘හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ’ (ගායනය – ධර්මදාස වල්පොල සහ ලතා) ‘උගත්තු වියත්තු ලොවේ පැසසුම් ලබත්’, ‘හෝ හඬ දී බැස යන ගංගා’ (ගායනය – ලතා), ‘සැපත ස්වර්ගේ හා නිරේ’ (ගායනය – ධර්මදාස වල්පොල) මේ ගීතය. මේවා ස්වතන්ත්‍ර ගී තනු සහිත ගීත යයි විශ්වාස කළ හැකි බව මහාචාර්ය ආරියරත්නයෝ පවසති.

‘රාමයියා මුත්තුසාමි හෙවත් ආර් මුත්තුසාමි දකුණු ඉන්දියාවේ නාගර්කෝවිල් හි උපත ලබා ඇත්තේ 1928 ජනවාරි 05 වෙනිදාය. ඔහු සංගීවත් කළ චිත්‍රපටවල නාමාවලියේ සඳහන්ව ඇත්තේ ‘සංගීතය – මුත්තුස්වාමි’ කියාය. මහාචාර්ය ආරියරත්නගේ කෘතියේ එන පරිදි ඔහුගේ පියාගේ නම ඉසෙක්කි මුත්තු රාමයියා හෙවත් රාමයියා බගවතාර්ය. මවගේ නම තංගම්මාය. මුත්තුසාමි කවර පාසලක, කී වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා ද යන්න කිසිවෙක් නොදනිත්. ඔහුගේ මවු බස දෙමළය. ඔහු හින්දු භක්තිකයෙකි.’

දක්ෂ වයලින් වාදකයකු හා ගායකයකු ලෙස මහාරාජවරුන් හා ප්‍රභූන් අතර නමක් තැබු පියා තම පුතු මුත්තුසාමිට වයලීනය පුරුදු කළේ දස වැනි වියේදීය. පසු කලෙක තම උපන් නිවසින් පලාගිය මුත්තුසාමි මදුරාසියේ නන්නත්තාරයේ ඇවිද නැවතී ඇත්තේ චිතල්කර් රාමචන්ද්‍රන් නම් චිර ප්‍රකට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයාගේ ආවතේවකරුවකු ලෙසිනි. අල්බේලා, අශාද්, ඉන්සානියාත්, ස්ත්‍රී ආදී චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයාගේ වාදක මණ්ඩලයට තේ සෑදීම කෑම බීම සැපයීම ආදී කටයුතුවල නියැළී මුත්තුසාමි වාදක මණ්ඩලයේ විවේක කාලය තුළ සැමට හොරා වයලීනය වාදනය කළේය. එය දුටු රාමචන්ද්‍රන් ඔහුට අත හිත දුන්නේය.

මේ අතර ශ්‍රී ලාංකික ව්‍යාපාරික එස්. එම්. නායගම් මදුරාසියේ චිත්‍රාගාරයක් පිහිටුවා ද්‍රවිඩ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වුවත් එය නතර විය. චිත්‍රාගාරය චිත්‍රකලාය. චිත්‍රපටය ‘කුමරගුරු’ය. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට පැමිණි නාරායන අයියර් හා එක්ව ඔහුගේ ප්‍රධාන සහායකයා කිරීමට මුත්තුසාමිව යොමු කළේ නායගම්ය. මේ නිසා ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුවේ’ නායගම් ඉන්දියාවේ නිපදවන විට නාරයන අයියර්ගේ ප්‍රධාන සහායකයා හා වාද්‍ය මණ්ඩලයේ වයලීන් වාදකයාවීමේ අවස්ථාව මුත්තුසාමිට ලැබිණ. නායගම්ගේ ඇරැයුමෙන් ලංකාවට පැමිණි මුත්තුසාමිට ග්‍රැමෆෝන් හා ගුවන් විදුලි පටිගත කිරීම්වලට සහාය වීමට ඉඩ අවස්ථාව ලැබුණේ බී. එස්. පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන යන සංගීතඥයන් නිසාය.

ලංකාවේම චිත්‍රාගාරයක් සුන්දර සවුන්ඩ් පිහිටුවා එහි ශබ්ද පටිගත කිරීම් හා ගීත පටිගත කිරීමේදී නිත්‍ය වාදක මණ්ඩලයක් ඇති කිරීමේ කාර්යභාරය නායගම් විසින් පවරනු ලැබුවේ මුත්තුසාමිටය. ඒ අනුව නායගම් නිෂ්පාදනය කළ ‘බණ්ඩා නගරයට පැමිණීම’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට පැමිණි නාරායන අයියර්ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වූ මුත්තුසාමි සෙසු වාද්‍ය ශිල්පීන් ලෙස එම්. කේ. රොක්සාමි, ආර් චන්ද්‍රසේන සහභාගි කර ගත්තේ පසුව මේ සංගීතඥයන් දෙදෙනාම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස ප්‍රතිභාව විදහා පෑහ.

මුත්තුසාමි නමෝ විත්තියෙන් සංගීත අධ්‍යක්ෂවරයකු වූ නායගම්ගේ ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයේ සිට අවසාන චිත්‍රපටය දක්වා වයලීනයෙන් රොක්සාමිගේ දායකත්වය ලබා ගත්තේය. මුත්තුසාමිගේ චිත්‍රපට ගීතවලින් සිනමාව පෝෂණය වූයේ මේ පසුබිම යටතේය. මුත්තුසාමිගේ සංගීතයෙන් තලතෙල් ගඳ වහනය වෙනවා යයි අන්තවාදී සිනමා සඟරාවලින් පුන පුන කියා ඔහුට පහර දුන් යුගයක් තිබුණි. මේ අතර ‘මාතලන්’ නිපදවීමට ඉන්දියාවට ගොස් සිටි මාස්ටර්ලා තිදෙනෙක්ගේ වෑයමක ප්‍රතිඵලක් ලෙස ස්වතන්ත්‍ර ජනප්‍රිය ගීත කිහිපයක් බිහි කළ ආකාරය දයා ආනන්ද රණසිංහ ‘විසිතුර’ පත්‍රයට ලියා තිබුණා. මේ මාස්ටර්ලා තිදෙනා නම් චිත්‍රපටයට දෙබස් ලියමින් ද රඟපෑ හියුගෝ ප්‍රනාන්දු, ගීත රචනය කළ බෙනඩික් ප්‍රනාන්දු හා සංගීත අධ්‍යක්ෂ මුත්තුසාමිය.

‘මංගම්මා සබදම්’ චිත්‍රපට කතාව ද්‍රවිඩ කතාවක් නිසා එහි ගීත ද ද්‍රවිඩ ගීත අනුකරණය කළ යුතු යයි නිෂ්පාදක හා අධ්‍යක්ෂවරුන් තරයේම කියා සිටියදී බෙනඩික් මාස්ටර්, හියුගෝ මාස්ටර් හා මුත්තුසාමි මාස්ටර්ලා ගෙනගිය අරගලයට ගායක ධර්මදාස වල්පොල ද එක් වූහ. මේ සැවොම එක හඬින් කියා ඇත්තේ අපේ වන්නම්, සීපද, රබන් පද ආදී තාල ඇසුරෙන් අලුත් තනු නිර්මාණය කරන්න ඕනෑ කියාය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමට එක හින්දි තනුවක් අසුරෙන් ලතා ගැයූ ‘දිනේ දිනේ සව්ශ්‍රීනි’ ගීතය (පරිනිතා හින්දි චිත්‍රපටයේ ගීතයකි) ඇරෙන්නට අනික් ගීත සියල්ලම නව නිර්මාණ ලෙස මුත්තුසාමිගේ දස්කම් ගැන මදුරාසියේ සංගීතඥයන් මවිත වූ බවත්, ඉන්දියාවේ ප්‍රභූ මඟුල් ගෙවල්වල මේ ගී තනු වාදනය කළ බව ද බෙනඩික්ට් මාස්ටර් දයා ආනන්ද රණසිංහට විස්තර කර තිබුණි.

‘සිංහල චිත්‍රපට සංගීතය’ ගැන අදහස් දක්වමින් වරක් මුත්තුසාමි මෙසේ අදහස් ප්‍රකාශ කර තිබුණි.

‘මගේ අදහස ලංකාවට සංගීතයෙන් කිසියම් සේවයක් සිදු කිරීමටයි. සිංහලයාට තමාගේම භාෂාවක්, ඇඳුම්, කෑම යනාදි සියල්ල තිබියදී තමාගේ කිව හැකි සංගීතයක් නැති වීම මට මහත් කනගාටුවකි. සිංහලයාට වන්නම්, කවි, විරිදු ආදියෙන්. මාතලන් චිත්‍රපටයේ ‘දිනිදා උදයේ’, ‘උපත ලබා මේ ලෝකේ’, ‘සුභ නැකතින්’, ‘සිරියලතා’ චිත්‍රපටයේ ‘ප්‍රීති හර්දේ පුරා’ විරිදුවලින් ද ප්‍රබන්ධ කළ ඒවාය. එසේ තනු ප්‍රබන්ධ කිරීමට ලැබීම ගැන මා ඉතා සතුටුයි. එම නිසා සිංහල සංගීතය කියා එකක් ඇති කිරීමට පුළුවන් බව මගේ අදහස.’

මුත්තුසාමිට ලංකාවේ පුරවැසිකම ලැබූ ආකාරය ගැන ගුණරත්න පනාගොඩ විසින් 1964 පෙබරවාරි 10 වෙනිදා ‘කලා’ සඟරාවට ලියා තිබුණි.

‘ලංකාවේ පුරවැසියකු ලෙස ජීවත්වීමට ඔහු තුළ පෙරදී බලාපොරොත්තුවක් තිබී නැත. එහෙත් මුත්තුසාමිගේ අදහස වෙනස් කර ගැනීමට සිදු වූයේ ඔහු සංගීතය සැපයූ ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටය එවකට අගමැති ධූරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා නරඹා සුමිහිරි සංගීතය ගැන පැහැදී ඔහුට මෙරට පුරවැසිභාවය ලබා දුන් බැවිනි. අදත් ඒ මහතාව මුත්තුසාමි ආදරයෙන් සිහිපත් කරයි.’

ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක් සඳහා වැඩිම වාදක මණ්ඩලයක් යොදා ගත්තේ මුත්තුසාමිය. එහි සාමාජිකයන් ගණන 33 කි. චිත්‍රපටය ‘රම්‍යලතා’ය. එසේම වාද්‍ය භාණ්ඩ වැඩිම ගණනක් වාදනය කළ හැකි ‘කී බෝඩ්’ මුල්වරට ලංකාවට මුලින්ම ගෙනා චිත්‍රපට නිෂ්පාදක විජේපාල හෙට්ටිආරච්චිය. එය අත්හදා බැලීමට මුත්තුසාමිට බව 1966 ජූනි 26 වෙනිදා ‘සරසවිය’ පත්‍රයට කුමාරදාස වාකිස්ට ලියා තිබුණි. මේ කී බෝඩ් එකෙන් මුත්තුසාමි මුලින්ම වාදනය කෙට ඇත්තේ ‘සුදට සුදේ වලාකුළයි’ ගීතයේ අනුවාදනයයි. ‘ඔක්කොම හරි’ චිත්‍රපටයේ ගීත හා පසුබිම් වාදනවලට මුත්තුසාමි මේ වාද්‍ය භාණ්ඩ භාවිතා කර ඇත.

‘සන්දේශය’ චිත්‍රපටයේ සියලු ගීතවල තනු නිර්මාණය කළේ සුනිල් සාන්තය. ඒ සියලුම ගීතවල සංගීත සංයෝජනය කොට අධ්‍යක්ෂණය කර ඇත්තේ මුත්තුසාමිය. ජෝතිපාල, වල්පොල, සිඩ්නි ආටිගල, බෙග් ආදි ගායකයන් මුල්වරට ලෙස්ටර්ගේ චිත්‍රපටයකට එක් වන්නේ ‘සන්දේශය’ චිත්‍රපටයෙනි. මේ ගීත සියල්ලම එක ලෙස ජනප්‍රිය වී එහි වෙළෙඳ තැටි ලක්ෂයක් පමණ අලෙවි වී ඇති බව පැවසේ.

පසුව චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරුන් වූ ප්‍රේමසිරි කේමදාස බටනලාවෙන් ද, සරත් දසනායක සිතාරයෙන් ද, වික්ටර් රත්නායක හා ඇම්. කේ. රොක්සාමි වයලීනයෙන් ද, මොහොමඩ් සාලි සර්පිනාවෙන්ද, ටී. එෆ්. ලතීෆ් ක්ලැරිනට් වාදනයෙන් ද, පසුබිම් චිත්‍රපට ගායක ධර්මදාස වල්පොල බටනලාවෙන් සහාය කර ගත් මුත්තුසාමි මුලවරට නන්දා මාලනීව සිංහල ගීයක අත්වැල් ගායනාවකට යොදා ගත්තේය. මහාචාර්ය ආරියරත්නයෝ මේ තොරතුරු සිය කෘතියේ දක්වති. ‘දරුවා කාගේද’ චිත්‍රපටයේ එන ‘මී මැස්සා රූං රූං රූං’ නමැති ළමා ගීයේ නන්දා මාලිනී, සුදර්මා ද සිල්වා, විජිත කුසුම් ලියනගේ, නොයෙලීන් හා චන්ද්‍රා යන ළමා ගායිකාවෝ මේ ගීත ගැයූහ.

මුත්තුසාමිට අනාගත බිරිය හමු වන්නේ 1961 වසරේදීය. ඇගේ නම බමුණුකුල ආරච්චිගේ දෝන නීලියා පෙරේරාය. ඇගේ සොහොයුරා වූ හෙන්රි පෙරේරා ගැයූ ‘මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයිනේ ඔයා’ ගීතයේ තනු නිර්මාණය කළේ මුත්තුසාමිය. ඇය මුත්තුසාමි සංගීත අධ්‍යක්ෂණය කළ ‘කුරුලු බැද්ද’ ගීත පටිගත කිරීම බැලීමට නීලියා ගියේ සොහොයුරාත්, තාත්තාත් සමඟය. එවකට ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියකි. එදා හෙන්රි ‘පුන් සඳේ ඔහොම නොකරන්’ නම් ජන කවි ගායනා කළේය. ඇගේ තවත් සොහොයුරෙකු වූ සංගීත ශිල්පී ගායක වික්ටර් විජයන්තය. මුත්තුසාමිට නීලියා පිළිබඳ සිතක් ඇති විය. දෙමාපියන්ගේ විරෝධතා මැද මුත්තුසාමි හා නීලියා අතර සම්බන්ධය 1961 දී විවාහයකින් කෙළවර වුහ. ඇය ඔහුට වඩා වසර 26 කින් බාලය. මුත්තුසාමි යුවළගේ වැඩිමහල් පුතා මෝහන්රාජ්ය. ‘අප්සරාස්’ සංගීත කණ්ඩායම පිහිටුවා ගත් මෝහන්රාජ් පසු කලෙක චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු වූයේ වීර උදාර, උතුර දකුණ, රජ කෙල්ලෝ, ලව් ඉන් බැංකොක් චිත්‍රපටවලට දායකත්වය දෙමිනි. නන්දා මාලිනී ගයන ‘ළසොවින් හඬන්නී’, ‘ගොවිඳුනි මේ සිරි යහනෙ’, ‘සඳට නිගා දී සඳ අමනාපෙන්’ ගීත නිර්මාණය කළේ ද ඔහුය.

මුත්තුසාමි හා නීලියාගේ දියණියන් වූයේ චිත්‍රාංගී, ප්‍රසන්නවදනී හා කීර්තිකාය. මීට මාස තුනකට පමණ පෙර ප්‍රසන්නවදිනි මියගියාය. නීලියා දැන් පදිංචිව සිටින්නී කීර්තිකා සමඟ බෙල්ලන්විල රජ මහා විහාරය අසල නිවසකය.

මුත්තුසාමි ගායකයෙකු ලෙස ද චිත්‍රපට කීපයකට සම්බන්ධ වී ඇත. ‘ගිලුණා සෝක ගඟේ’ (නළඟන), (සිතක මහිම), ‘ඔබ පානා ඔය බැල්මේ’ (සත පනහ) ‘මධුර යාමේ’ (සුජාතා අත්තනායක සමඟ) ‘මගෙ දෑසම පිය වී එන්නේ’(සසරක හැටි), ‘ළිඳ තුළ මැදි වුණ මැඩියා’ (අල්ලපු ගෙදර) මේ ගීතය. ඔහුගේ ජනප්‍රිය චිත්‍රපට ගී අතර ‘පරම රමණී අපේ ආලේ -අරුණ උදයේ පිපෙන මලසේ - ඔය බැල්ම ඔය කැල්ම – ඔරු පැද පැද කිරි මූදේ – කසලෙ රඳනා මැණික අගනා - රූපය සාපය වේ මගේ – ඇසේ මධුර ජීවේ – අඬලා වැලපීලා පලක් නෑ - සැමදාම ඔබ මගේ කියා - අලංකාරෙහී සෑදූ - සිල සිලියේ නව සුවඳක් – ඔබ මගේ ලෝකෙ - නෙළුම් මානෙල් මඩේ පිපිලා - මග හිඟන කොටත් – මංගලම් ජය මංගලම් – විනෝද වෙන්න – ගඟ යන්නේ කොහෙද ගලා - සාගර රැජිනට ආදරෙයි කියා - පියා සලන ඉගිල්ලී – මහ ගන වනන්තරේ - මේ පිපාසිත ලෝතලේ - සොබා අලංකාරේ මූණේ – ආදරේ මන්දිරේ සඳලු තල එළිවෙලා - පිපෙන මලක මී මදු රස පෙරෙන්නයි - දෙවියන් වන්නෙත් තිරිසන් වන්නෙත් – ඔංචිල්ලා තොටිලි කොයින්දෝ - රස ගඟකි දෙපා මුලෙහි – මල්සරාට ප්‍රේම ලෝකේ – චන්ද්‍රා මෙ රෑ පාය ආවා - නොදැන කරපු දේ ගැන – ආදරයේ සමන් වැලේ අගේට මල් පිපුණා මේ ගීතයන්ය.

මුත්තුසාමි ටැක්සි ඩ්‍රයිවර්, මංජල කුංකුමම්, කුත්තු විලක්කු, වෙන් සංගු යන ශ්‍රී ලාංකික දෙමළ චිත්‍රපටවලට ද සංගීත අධ්‍යක්ෂණය කර ඇත. පුෂ්පරාණි ආරියරත්න ගැයූ ‘පෙම් හදවත පාරවා’ හා හෙන්රි පෙරේරා ගැයූ ‘මං පොඩි කලේ දැක්කට පස්සේ’ යන ගුවන් විදුලි ගීත දෙක මුත්තුසාමිගේ තනු ඇසුරෙන් තැනූ ගීතය.

1974 දිපශිඛා සම්මාන උලෙළේදී 1947 – 1974 වැඩිම චිත්‍රපට ගණනක සංගීතය සැපයීම වෙනුවෙන් දීපශිඛා සම්මානයක් ද 1985 වසරේ ර්‍ණඛ්ධ්ඛ් සම්මානයක් ද හිමි වී ඇත.

මුත්තුසාමිගේ ජීවිතයේ අවසාන භාගය ඛේදනිය බව මහාචාර්ය ආරියරත්න පවසා ඇත. 1983 සිංහල හා දෙමළ කැරලි කෝලාහල ඇති වූ අවස්ථාවේ ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ සිංහලයෝ මුත්තුසාමි පවුලේ අයට රැකවරණය දුන්හ. ටී. එම්. සංඝදාස මෙහි ප්‍රමුඛත්වය දැරූ බව ඔහුගේ මිතුරෙකු වශයෙන් මෙයට සහාය වූ මම සාක්ෂි දරමි. (එපමණක් නොව අපි යෝගරාජා නම් කැමරා ශිල්පියා රැගෙන ගෙයක සඟවා තැබීමට යසපාලිත නානායක්කාර සමඟ ගිය ගමනක් සිහිපත් කරන්නෙමු).

1975 පසු මුත්තුසාමිට චිත්‍රපට නොලැබුණ බවත් චිත්‍රපට නොලැබීම සහ ආර්ථික දුෂ්කරතා නිසා මානසික වශයෙන් ද දියවැඩියා රෝගයෙන් ද කායිකව වශයෙන් පිරිහී හුන් මුත්තුසාමි ඒ තත්ත්වයෙන් මුදවා ගන්නට ඉදිරිපත් වූයේ විජය කුමාරතුංගයන් බව බිරිය නීලියා මහාචාර්ය ආරියරත්නට කියා තිබුණි. විජය කුමාරතුංග නිෂ්පාදනය කළ ෂර්ලි විජේරත්න අධ්‍යක්ෂණය කළ ‘සමාව’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට මුත්තුසාමි මාස්ටර්ව තෝරා ගෙන ඇත්තේ ද විජයමය.

මහාචාර්ය ආරියරත්න ලියූ මේ සටහනින් මේ ලිපිය අවසන් කරමි.

‘පුනර්ජීවනය ලත් මුත්තුසාමි පුරා වසර දහතුන් වසරකට පසු චිත්‍රාගාරයකට ගොඩ වැදී (සමාව) සඳහා ගී කිහිපයක් පටිගත කළේය. එහෙත් ඊට ටික කලකට පසු විජය කුමාරතුංග ඝාතනය සිදු විය. ජීවිතයේ කිසිදාක නොහැඬූ මුත්තුසාමි එදා හැඬුවේය. ඒ තමාට දයානුකම්පාව දැක් වූ එකම මිනිසා එවන් රුදුරු මරණයකට ගොදුරු විම නිසාවෙනි. විජයගේ මරණය මුත්තුසාමිගේ මානසිකත්වය බිඳ වැටීමට බෙහෙවින් බලපෑවේය. යටපත්ව තිබුණු දියවැඩියා රෝගය උත්සන්න විය. කායිකව හා මානසිකව පිරිහී සිටි මුත්තුසාමි 1988 ජූනි 27 වැනිදා අවසන් හුස්ම හෙළුවේය.

 

ලාල් සෙනරත්

Comments

victor (තහවුරු වී නොමැත)
මෙතන කියල තියන දින වකවානු ගැන පටලැවිල්ලක් තියනවා වගෙයි. මුත්තුසාමි ඉපදුනේ 1928, විවාහ වුනේ 1961, එතකොට විවාහ වන විට ඔහුට වයස 33 යි. නීලියා ඔහුට වඩා අවුරුදු 26 ක් බාල නම් විවාහ වන විට ඇගේ වයස අවුරුදු 7 යි. වෙන්න අමාරුයි නේද?
බදා, 07/03/2019 - 23:53

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.