ගී සෑයක සැතපුණු ජෝතිපාල

ජූලි 4, 2019

“ජෝති” යනු කාන්තිය, කාන්තිය පැතිරෙන, රශ්මිය, අග්නිය යන අර්ථ ඇති වචනයක් බව “සුමංගල ශබ්ද කෝෂයේ” දැක්වෙයි. “ජෝති රශ්මි රාත්‍රී” නමින් පොතක් ලියූ පරාක්‍රම කොඩිතුවක්කු එහි පසු වදනේ මෙසේ ලියා තිබුණි.

 

ජෝති ඔබ

යුගයේ වඩාත් ප්‍රේමණීය හඬ ද වූවෙහිය

වඩාත් විශ්වාසවන්ත හඬ ද වූවෙහිය

 

හැම යුගයක්ම

බිහි කරයි තම කාලයේ විරුවන්

ඇතැම් විට ඒ දරුවෝ

වැටී සමාජ පත්ලෙහි

සැඟව යති මහා නෞකා සේ

සාගර කුක්ෂියෙහි ගිලී යන

ඒ වීර දූ පුතණුවන්

යළි සොයා ගොස්

වඩා හිඳුවා

නළවන්න එපා

ඉතිහාස නම් මෑණිය උකුළේ?

ගුරුවරයෙක් නැතිව - ආධුනික පැයටත් – ගුවන් විදුලියේ ආධුනික පැයෙන් ජයග්‍රාහක පෙළපාලියටත් – ජයග්‍රාහක පෙළපාලියෙන් – චිත්‍රපට රාජ්‍යයටත් පිවිසි ජෝතිපාල ගැන ටිප්පනි, ටීකා කුමටද?

1936 පෙබරවාරි 12 වෙනිදා කොළඹ දෙමටගොඩ කැටවලමුල්ලේ උපත ලැබූ හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල, සහෝදරියන් හතර දෙනෙකු හා සහෝදරයෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය. කොළඹ ලෝරන්ස් විද්‍යාලයේ ඉංග්‍රීසි හා සිංහල හත් වන ප්‍රමාණය දක්වා ඉගෙන ද්විතිය අධ්‍යාපනය සඳහා දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ගිය ජෝතිපාල කොළඹ මරදානේ කාර්මික විද්‍යාලයට ඇතුළත් වී ඇත. එහි ගිය මුල් දිනයේම ගුරුවරයකුගේ දඬුවම් ලැබූ ඔහුට ඉගෙනීම එපා විය. ඔහු හිතුවක්කාරයෙකු විය. රැකියාවක් සොයා පළමුවෙන්ම ඔහු ගියේ කොළඹ ආමර් වීදියේ සුලෙයිමාන් රෝහලේ බෙහෙත් බෝතල් සුද්ද කිරීමටය. එතැනින් ඔහු ගියේ නොරිස් මාවතේ ඇම්. ඩී. ගුණසේන සමාගමටය. එහි පොත් ගබඩාවේ සුළු රැකියාවක් කොට එතැනින් අස් වී කොටුවේ නාගින්දාස් සාප්පුවේ පියුන් කෙනකු සේ සේවය කොට ඇත. එහි මාසික පඩිය රු: 37 යි ශත 25 ක්ලු.

‘මට හංගන්න කිසි දෙයක් නෑ. පුංචි කාලෙත්, ටිකක් ලොකු වූ පසුත් මම හරියට දුක් වින්ඳා. මේවා මල්ලී ‘සරසවිය’ පත්‍රයට ලියන්න. මගේ ජීවිත කතාව අමාරුවෙන් නැඟී එන අයට ආදර්ශයක් වේවි’. ජෝතිපාල මට කීවේ 1972 වසරේදීය. මුල්වරට ජෝති මට හඳුන්වා දුන්නේ 1968 වසරේදී ‘කලා’ සිනමා සඟරාවේ සංස්කාරක ආරියරත්න කහවිට මහතා විසින් කොළඹ අලුත් හෙට්ටිවීදියේ සිනමාස් සමාගමේදීය. දෙවැනි වරට ජෝති මට හමු වූයේ 1970 මහ මැතිවරණයේදී කොස්ගස් හන්දියේදී ආර්. ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැළියක ගීත ගැයීමට පැමිණි අවස්්ථාවේදීය. එදින ද කහවිට මහතා සමඟ අප නිවසට පැමිණි ජෝති ගීත ගැයීමට නියමිත වේලාව එන තෙක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය. එදා ජෝතිගේ රසික රසිකාවියන්ගෙන් ජෝතිට ගැලවිල්ලක් නැති විය.

ජෝතිපාලගේ පියා වූ එච්. ආර්. ජේම්ස්ගේ ගම මාතරය. ඔහු කැටවලමුල්ලේ ගෙදර ඉස්තෝප්පුවේ මහන මැෂිමක් තබාගෙන ඇඳුම් මසා කොළඹ වයිට් වේස් කොම්පැණියට දුන්නේය. ඇහැලියගොඩ උපත ලැබූ ජෝතිගේ මවගේ නම එච්. කේ. පොඩි නෝනාය. කුඩා කල සිටම හින්දි ගීතවලට ඇලුම් කරමින් ගී ගැයූ ඔහු එවකට මරදානේ සංගීතඥ ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන තිබූ ‘සින්දු කාමරය’ ට සම්බන්ධ වී ඇත. එහි නිතර ආ ගිය ධර්මදාස වල්පොල, කේ. සේන, ප්‍රේමසිරි කේමදාස, හරුන් ලන්ත්‍රා, මිල්ටන් පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා සමඟ සංගීත සාජ්ජවලට ජෝති ද සම්බන්ධ විය.

1952 වසර ජෝතිගේ අමතක නොවන වසරකි. හාපුරා කියා ගුවන් විදුලි ගීතයකට සම්බන්ධවීමට ලැබීමය ඒ. වසන්තා සන්දනායක ගැයූ ‘තෝටියෝ’ නම් ගීතයේ ‘තොටියෝ’ කියන කොටස පමණය ජෝතිට ගැයීමට තිබුණේ. මේ අවස්ථාව ද ඔහුගේ මිතුරෙකුගේ රෙකමදාරුවක් මත ලැබුණු ගීතයකි. රාණි සමඟ ජෝතිට යුග ගීතයක් ගැයීමට ලැබිණ. ‘ලැබේ යයි සිතාලා ද ආශා කළේ’ නම් මේ ගීතය ද ගැයූ ජෝති 1954 වසරේ වසන්තා සන්දනායක සමඟ ‘අද අද එයි මාරයා’ ගීතය ගැයීය. ජෝති තනිවම ගීතයක් ගුවන් විදුලියේ වෙළඳ සේවයට ගයන්නේ 1954 දී. ‘මගේ රන් රාජනී’ ඒ ගීතයයි.

‘ මගේ ගායන හැකියාව මුලින්ම හඳුනා ගන්නේ දක්ෂ තබ්ලා වාදකයෙක් වූ නඩරාජා. ඔහු තමයි ජී. එස්. බී. රාණිට මාව හඳුන්වා දෙන්නේ. මේ පසුබිමේ මට අගනුවර හෝටල්වල, ප්‍රභූන්ගේ ගෙවල්වල හින්දි ගීත ගැයීමට අවස්ථාවත්, ගුවන් විදුලියේ වෙළඳ සේවයේ ‘ආධුනික පැය’ වැඩ සටහනේ ගීතයක් ගැයීිමටත් මට අවස්ථාව ලැබෙනවා. රැජින ලොසිංජර් සමාගම මේ තරගයේ අනුග්‍රහකයෝ. සංගීතය මෙහෙය වූයේ බී. ඇස්. පෙරේරා. මේ වැඩ සටහනින් මම පළමුවැනියාට තේරුණා. තෑග්ග ලොසිංජර් පාර්සලයක්. ඒ නිසා අනිවාර්යෙන්ම මට ‘ජයග්‍රාහී පෙළපාලිය’ වැඩ සටහනට ගීතයක් ගැයීමට අවස්ථාව ලැබුණා. එයින් ද පළමුවැනියා වූ මට ‘පාකර් 51 පෑනක් හිමි වුණා.’ ජෝති අතීතය සිහිපත් කළේ ඒ අයුරිනි.

චිත්‍රපටයක මුලින්ම ගී ගැයීමට ගිය ජෝතිපාලට වූයේ නොසිතූ දෙයකි. වේදනාවකි. දිනක් සංගීත අධ්‍යක්ෂ ටී. ඇෆ්. ලතීප් ජෝතිගේ හැකියාවන් දැක තමා සංගීත අධ්‍යක්ෂණය කළ ‘පොඩි පුතා’ චිත්‍රපටයේ ගීතයක් ලබාදීමට චිත්‍රපට අධ්‍යක්ෂ සිරිසේන විමලවීර වෙත කැඳවාගෙන ගියේය. ඒ කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයටය.

‘මාස්ටර් මෙයා නැගී එන දක්ෂ ගායකයෙක්. අපි හදපු සින්දුව මෙයාට දෙමු’

‘හා කියනව බලන්න මේ සින්දුව තමුසෙ නැගී එන ගායකයෙක් ද කියලා බලන්න’ මාස්ටර් උපහාසාත්මකව කියා ඇත.

චිත්‍රපටයේ තනුව ජෝතිට හොඳට හුරුය. එය ‘අමර්’ නම් හින්දි චිත්‍රපටයේ මොහොමඩ් රාෆි කියූ ගීතයක අනුවාදනයකි. ජෝති මේ ගීතය චන්ද්‍රසේන මාස්ටර්ගේ සංගීත සාජ්ජවල කියා තිබුණි.

‘මේ ලෝකෙ නවාතැන වේ

දෙදිනයි මෙහි වාසේ’

ජෝතිගේ ගැඹුරු කටහඬ නවජීවන ශබ්දාගාරයේ ටකරන් වහලේ දෝංකාර දෙන්නට විය. ලතීෆ්ගෙන් ගායනය නතර කරන්නැයි සංඥා ලැබිණ. විමලවීර මාස්ටර් ජෝති අසලට ආවේය.

‘ළමයා තමුසෙගේ කටහඬ දෝංකාර දෙනවා. මේක තමුසෙට කියන්න බෑ. ගායනයෙත් රහක් නැහැ.’

ජෝති අන්ද මන්ද විය. ඔහු චිත්‍රාගාරයෙන් පිටතට ආවේය. ලතීෆ් ඔහු අසලය.

‘ජෝති අධෛර්ය වෙන්න එපා. මෙහෙ රෙකෝඩිං මැෂිං පරණයි. ඔයාගේ හඬේ වරදක් නැහැ. අපි තවත් උත්සාහයක් කරමු වෙන චිත්‍රපටයකට’ ලතීෆ් ජෝති සනසමින් කීවේය.

පසුව මේ ගීතය ගයා ඇත්තේ සිසිර සේනාරත්න විසිනි.

ජෝතිට චිත්‍රපටයක ගීතයක් ගැයීමට තිබූ දෙවෙනි අවස්ථාව ද ගිලිහී ගියේ මෙසේය. ‘අයිරාංගණී’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර් තමාගේ ‘සංගීත කාමරයේ’ යසට ගී ගැයූ ජෝතිපාලට උදව්වවක් කිරීමට සිතුවේය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කරන ‘මතභේදය’ චිත්‍රපටයේ ගීයක් ගැයීමට අවස්ථාවක් ලබාදීමය ඒ. ජෝතිත් සමඟ මීගමුවට ගිය චන්ද්‍රසේන මාස්ටර් බී. ඒ. ඩබ්ලිව්. එඩීට හා රුක්මණීට හඳුන්වා දුන්නේය.

චන්ද්‍රසේන මාස්ටර්ගේ වචනයක් අහක නොදැමූ බි. ඒ. ඩබ්ලිව්. ජෝතිට ගීතයක් ගායනා කිරීමට දීමට කැමති විය. මේ ආරංචිය ජෝතිට කී විට ඔහු පස්වනක් ප්‍රීතියට පත් විය. ‘ජෝති එහෙනං ඉන්දියාවට යන්න ලෑස්ති වෙන්න’ මාස්ටර් කීය. මීට පෙර පිටරටකට ගොස් නොමැති ජෝතිට ‘පාස්පෝට්’ ගැනීමට නොසිතීය. ගුවන් තොටුපලේදී මාස්ටර් ‘පාස්පෝට්’ එක ඉල්ලන විට ජෝතිට තරු පෙනුණේය.

‘දැන් කරන්න දෙයක් නැහැ. ඔය තරම් දෙයක්වත් තමුසෙ දන්නේ නැද්ද? අපි යනවා. පස්සේ බලමු’ මාස්ටර් කියන විට ජෝති කඳුළු පිරි දෑසින් බලා සිටියේය.

අවස්ථා දෙකක චිත්‍රපට ගායනය නැති වූ අවස්ථාවේ ජෝතිගේ හිතට ධෛර්ය දුන්නේ ආදරණීය අම්මා පමණි. කෙසේ වෙතත් ජෝතිගේ බලවත් අධිෂ්ඨානය සාර්ථක කරගැනීමට චිත්‍රපට නළු ඇම්. පී. ගැමුණු උපකාර වු හැටි මට ජෝති කියා තිබුණේ මේ කතාවය.

‘ඒ කාලයේ ‘සුරතලී’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක සිරිල් පී. අබේරත්න මහතා ළඟට ඇම්. පී. ගැමුණු මාව එක්කර ගෙන ගියා. මගේ ගී ගායනයට රුකුලක් දීමට කල්පනා කළ අබේරත්න මහතා මට ආනන්ද ජයරත්න වෙනුවෙන් ‘සිරියා මෙ සාරා නැගේවි හද මෝරා’ නම් ගීතයත් තවත් ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. මේ ගී රචනා කළේ ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා. එතැන් සිට මම ‘දෙයියන්නේ රටේ, ගැහැණු ගැට, එකමත් එක රටක, සීගිරි කාශ්‍යප’ චිත්‍රපටවල ගිත ගැයුවා. ‘දස්කම’ චිත්‍රපටයේ ගීතමය ජවනිකාවකට පෙනී සිටියා. ‘සුදු සඳේ කළු වලා’ චිත්‍රපටයේ මුල්ම සුළු චරිතයක් රඟපෑ මට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට ආරාධනය කළේ චිත්‍රපට අධ්‍යක්ෂ එම් එස්. ආනන්දන් හා ගීත රචක, දෙබස් රචක ඒ. ජේ. ද සොයිසා . මම ආනන්දන්ගේ ‘සත පනහ’ චිත්‍රපටයේ ‘චන්ද්‍රා මේ රෑ පායා’ ගීතය ගයන්න ගියා. එදා ‘ජෝති රඟපෑමට කැමති ද’ කියලා මගෙන් ඇහැව්වා. මට ‘හා’ කියවුණා. මම ආනන්දන්ගේ ‘ඇතුල්වීම තහනම්’ චිත්‍රපටයේ සන්ධ්‍යා කුමාරි එක්ක රඟපෑවේ. එතකොට මම ෂෝවෙලස් හා හෙජස් සමාගමේ ප්‍රචාරක නිලධාරියකු ලෙස වැඩ කරනවා.’

ජෝතිපාලගේ ප්‍රියතම හින්දි නළුවා වූයේ ෂම්මි කපූර්. බටහිර ගායකයා වූයේ එල්විස් ප්‍රෙස්ලිය. ජෝති මිය යනතුරු චිත්‍රපට 300 කට අධික ගීත ගැයූ බව වාර්තා වේ. කැසට් 102 ගීත 1222 ක් ගැයූ බව ද පැවසේ. ජෝති ‘සරා සඳේ’ (මිහිදුම් සිහින) ‘පාළු සුසානේ’ (ඔබට දිවුරා කියන්නම්) ගීත සඳහා හොඳම ගායකයාට හිමි සම්මාන දිනුවේය.

ජෝතිපාල රඟපෑ චිත්‍රපට අතර ගීතා, සුජිවා, ඔබයි මමයි, ශාන්ති විශේෂ ය. ‘සුමිතුරෝ’ ඔහු ගී ගයමින් රඟපාමින් නිෂ්පාදනය කළ චිත්‍රපටය විය. 1975 සරසවිය – ජනතා ප්‍රියතම සිනමා කලාකරුවන් තේරීමේ තරගයෙන් ජනපි‍්‍රය ගායකයා ලෙස ජෝති සම්මාන ලැබුවේ ‘ඔන්න බබෝ බිල්ලේ එනවා’ චිත්‍රපටයයේ ‘මේ ජීවනයේ’ ගීතය සඳහා පාඨක ඡන්ද දහස් ගණනක් ලබා ගනිමිනි. එක්දාස් නමසිය පණස් ගණන්වල ජෝති තම ප්‍රාණසම එවකට සිටි ජනප්‍රිය ගායකයකු වූ මිල්ටන් පෙරේරා සමඟ අනංග වාදයකට පැටලුණ හැටි වැඩිහිටි සංගීත රසිකයන්ට මතක ඇති. ගීත රචක ගුණරත්න අබේසේකර මේ පිළිබඳව (සරසවිය 1987 – 7 – 16) මා සමඟ කළ සංවාදයේදී මෙසේ පැවසුවේය.

‘ඒ අවදියේ ජෝති වැඩියෙන් ප්‍රිය කළේ ආදර ගීත ගැයීමටය. ඔහුගේ ළයාන්විත හඬ පෙමින් වෙලුණු තරුණ හදවත්වල කිඳා බැසීමට තරම් මධුර විය. කඩවසම් පෙනුමෙන් යුත් මේ තරුණ ගායකයා එකල කවර වේදිකාවක දී වුව නෙත් සිත් වශී වන පරිද්දෙන් කළ ගායනාවන්ගෙන් නරඹන්නන් මෝහනය කිරීමට සමත් වී යැයි කීම නිවැරැදිය. වරක් ඔහු මිමිණූ තාලයකට

‘අනංගයා මම්, අනංගයා

ආදරේ ප්‍රේමයේ

සුර ලොව තනතුරු දැරූ

අනංගයා’

යැයි පද යෙදීමට මා පෙළඹුණේ ඔහුගේ ගායන විලාසයත් ප්‍රසන්න පෙනුමත් නිසා යයි සිතේ. මේ ගීතය මා ජෝතිට ලියා දුන්නේ එදා ලොකු අයියා (කරුණාරත්න අබේසේකර) නොසිටි නිසා ඔහුගේ කාර්යය මා වෙත පැවරුණු බැවිනි. පසු දිනක ජෝති අපේ ගෙදරට එන විට මිල්ටන් පෙරේරා ගීතයක් ලියවා ගැනීමට ඇවිත් සිටියේය. මා ලියූ ‘අනංගයා මම්’ ගීතය ජෝති කරු අයියාට පෙන්වීය. මීට පිළිතුරු ගීතයක් ලිවීමෙන් අසන්නන් අතර උනන්දුවක් ඇති කළ හැකි බැව් සිතූ කරු අයියා

‘සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා

ඔය අනංගයා තමයි මහ පෙම් හොරා’

යනුවෙන් මිල්ටන්ට ගීයක් ලියා දුන්නේය. වාදයකට මුල පිරුණෙත් අභියෝගය පිළි ගත යුතු බව ජෝති තරයේම මට කියා සිටියේය. මේ වන විට ජෝතිගේත් මිල්ටන්ගේත් මේ ගීත ගැන ශ්‍රාවකයින් අතර සෑහෙන උන්නදුවක් ඇති වී තිබුණි.

‘පෙම්වතුන්ට සරණේ

අනංගයා මමනේ

පෙම් සටනින් පැරදී

දොස් නැඟීම වැරදී

යයි ජෝතිට මා ලියූ ගීතය නිසා කරු අයියා හා මාත් අතර තරහක්, මතභේදයක් ඇතැයි ඇතැමුන් සිතූහ. ජෝති හා මිල්ටන් තරහ වී ඇතැයි ඇතැමෙක් සිතූහ. වාදය උග්‍ර වී යනවිට කට කතා දුරු කරවීමට ඔවුන් දෙදෙනා ලවා එක ගීතයක් ගායනා කරවීම මැනවැයි සිතා මමත් කරු අයියාත් එක්ව ජෝති හා මිල්ටන් ලවා එක විට,

අපි සන්තෝසෙන් ඉන්නේ

දුක ශෝකය නැහැ දන්නේ

අයියා මල්ලී වාගේ

අයියා මල්ලී’

යන ගීතය ගායනා කරවීමු. අනංග වාදය ජෝති හා මිල්ටන් අතර මිත්‍රත්වය තව තවත් වර්ධනය කිරීමට හේතු වූයේ ගායකයන් වශයෙන් ඔවුන්ගේ ජනප්‍රියත්වය ද වැඩි කරමිනි. ‘ගුණරත්න අබේසේකර එදා රසවත් අත්දැකීමක් අපට විස්තර කළේ්ය.

ප්‍රියතම ගායකයා කවුරුදැයි වරක් ජෝතිපාලගෙන් මේ ලියුම්කරු ඇසූ විට ඔහු කීවේ තමා ප්‍රිය කරන ගායකයා මිල්ටන් පෙරේරා බවය. මිල්ටන්ගේ ගායන කුසලතාවය හඳුනාගෙන ඔහු මතු කර ගැනීමට පදනම දැමුවේ ජෝතිපාල යයි වරක් මිල්ටන් ද මට කියා තිබුණි. වරක් ජෝතිපාල හා මගේ බිරිඳ දමයන්ති ජයසූරිය ‘ධීවර සම්පත්’ චිත්‍රපටය සඳහා යුග ගීයක් ගැයුහ. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ප්‍රේමදාස අතුකෝරාලය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජෝ මයිකල්ය. චිත්‍රපටයේ මේ ගීතය පටිගත කරන අවස්ථාවේ ඊළඟ යුග ගීතය ජෝති හා ගැයීමට මිල්ටන් පැමිණ සිටියේය. ගීතය හොඳින් අසා සිටි මිල්ටන් සංගීත අධ්‍යක්ෂ ප්‍රේමදාස අතුකෝරාල අසලට ගොස් ‘මාස්ටර් මේකට ඩොල්කි පාරක් තිබුණා නම් මරු’ කීවේය.

‘ඩොල්කි එකක් තියෙනවා. ගහන්න කවුරුවත් නෑ’ ඔහු කීය.

‘කෝ ගේන්න මම ගහන්නම්’ මිල්ටන් කීවේය.

පටිගත කිරීම නතර කොට, අලුතින් ගීතය ගයන්නැයි කී මිල්ටන් ඩොල්ක් එක වාදනය කළේය. ගීතයට අනුප්‍රාණයක් ලැබිණ. ජෝති මිල්ටන්ට ස්තූති කළේය. එදා පටිගත වූ ඒ ගීතයෙන් පසුව පටිගත කළ ජෝති හා මිල්ටන් ගැයූ ගීතයත් හමස් පෙට්ටියට ගියේ චිත්‍රපට අතරමඟ නතර වූ බැවිනි. ඒ ගීත දෙක රචනා කළේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ සහ සිරිල් ඒ. සීලවිමල විසිනි. මේ ගීත දෙක ප්‍රේමදාස අතුකෝරලගේ පුතා ළඟ ඇති බව ඔහු මට මේ ළඟදී දුරකතනයෙන් පැවසීය.

‘මගේ ගායනවලට මිල්ටන් තබ්ලා වයන්න’ යැයි කළ ජෝතිගේ ඉල්ලීම අඩුවක් නැතිව මිල්ටන් ඉටු කළේය. ඇලෝයි ගුණවර්ධන විසින් රචනා කළ ‘ආලෙහි ගැලී ජීිවිත අඳුරේම නැසේවි’ ගීතය මිල්ටන්ට වෙළඳ සේවයෙන් ගයා ගායකයකු වීමට මං පාදා දුන්නේ ජෝති විසිනැයි ගුණරත්න අබේසේකරයන් මට කියා ඇත.

සිංහල සිනමාවේ පිය සටහන් අතරත් ඉතා උතුම්ම සිද්ධිය වන්නේ අමරදේවයන්ගේ දක්ෂතාවයට ජෝතිපාලගේ ජනප්‍රියත්වය ද ජෝතිපාලගේ සහජ දක්ෂතාවයට අමරදේවගේ ජනප්‍රියත්වය එක් වීම යයි මාධ්‍යවේදී ඇන්ටන් අල්විස් ලියා තිබුණා. මේ කලාකරුවන් දෙදෙනා එකට එක් වූයේ විමල් වෛද්‍යසේකර අධ්‍යක්ෂණය කළ ‘තරංගා’ චිත්‍රපටය සඳහාය. අමරදේවයන්ගේ සංගීත මෙහෙයවීම යටතේ ජෝතිපාල ‘කන්දෙන් කන්දට ලන්දෙන් ලන්දට’ ගීතය ගැයීය. ඒ 1975 වසරේදීය.

ජෝතිපාල තම මවට අසිමිත ලෙස ආදරය කළේය. ‘මේ ජීවනයේ මතු සංසාරේ’ චිත්‍රපට ගීතය ගැයූ ජෝතිපාල සරත් වික්‍රමගේ සංගීත නිර්මාණයකට අම්මා ගැන ගායනා කළ කැසට් ගීතයක් පටිගත කිරීම ‘සරසවියට’ ලිවීමට මාත්, කැමරා ශිල්පී උපාලි ෆොන්සේකාත් සමඟ ගිය අවස්ථාවක් මට මතක් වේ. මේ ගීතය හින්දි ගීතයක් ඇසුරෙන් රචනා කළේ තිස්ස ඩයස්ය.

‘මේ නොනිමෙන දිවි ගමනේ

නිවනේ මඟ පෙනෙන තුරා

අම්මේ ඔබෙ පුතෙකු වෙලා

මම එන්නෙමි සසර පුරා’

මේ ගීතය ජෝති ගයන විට ඔහුගේ දෑසින් කඳුළු ගලා ආවේය. මේ ගීතය අම්මාට ඇසීමට දෙන තුරු ජෝති සිටියේ නොඉවසිල්ලකිනි. පසු දිනෙක මට හමු වූ ජෝති කීවේ ගීතය ඇසූ තම මව කියා ඇත්තේ ‘පුතේ උඹ කියපු හොඳම සින්දුව මේකයි’.

ජෝතිට තරම් ආදරය කළ රසික රසිකාවියන් මගේ ජීවිතයේ දැක තිබුණේ නැත. වරක් රූමත් තරුණියක් තම ළය විවෘත කොට ජෝතිගේ සමරු සටහනක් තබන ලෙස ඉල්ලා සිටියාය.

ජෝති තරම් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන ගායකයෙක් තවත් මා දැක තිබුණේ අමරදේවයන් පමණි. තව ගායකයන් සිටින්නට ඇත.

1987 ජූලි 07 වෙනිදා එච්. ආර්. ජෝතිපාලයන් මිය ගිය විට ගුණරත්න අබේසේකරයන් මට කියූ වැකියකින් මේ ලිපිය අවසන් කරමි.

‘ලෝං ෆෙලෝ නමැති ඉංග්‍රීසි කවියා විසින් ලියන ලද ගායකයෝ (ද සිංගර්ස්) නමැති පද්‍ය පන්තියේ ගායකයන්ගේ මෙහෙවර ගැන මෙසේ සඳහන් කර තිබෙනවා. ශෝකය සහ ප්‍රීති ප්‍රමෝදය පිළිබඳ ගායනා සහිතව ගායන ශිල්පීන් දෙවියන් වහන්සේ විසින් මනු ලොව එවනු ලබන්නේ මිනිස් හදවත් පිරිමැද ඔවුන් යළි ස්වර්ගයට ගෙන්වා ගැනීම පිණිසයි. මේ පාඨය ජෝතිපාල නමැති ගායන ශිල්පියාට අතිශයින්ම උචිතය.’

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.