බටහිර අහස රතු සිතුවම් මැකුණාවේ

සැප්තැම්බර් 26, 2019

 

සිනමාවට ගැමි ජීවන සුවඳ කැවූ

පී. කේ. ඩී. සෙනෙවිරත්න

 

“කිව්වම මොකද ලක්ෂණට වැඩියි බොලං මේ කෙල්ලගෙ සීදේවිකම”

බෙම්පි ආතා දිනක් කිව්වේ කුරුලුබැද්දේ සියදෝරිස්ගේ එකම දියණිය වූ රන්මැණිකා ගැනය. අහිංසක ගැමියෙකු වූ සියදෝරිස් කයිතංබාස්ට විරුද්ධව සාක්කියක් කියූ හෙයින් රන්මැණිකා ඇතුළු පවුල ඔහුගේ ඊර්ෂ්‍යාවට පාත්‍ර විය. කයිතන් බාස් නඩුවෙන් දිනුවේ ඔහුගේ කෛයිරාටික අම්මණ්ඩිගේ උපායකිනි.

1953 සිට 1957 දක්වා ලංකා ගුවන් විදුලියේ සිංහල අංශයෙන් ප්‍රචාරය වූ “කුරුලුබැද්ද” නම් ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යය රචනය කළේ එවකට ප්‍රකට කවියකු වූ ද පාසල් ගුරුවරයකු වූ ද හක්ගල්ලේ පී. කේ. ඩි. සෙනෙවිරත්නයන්ය. ඔහු ඉන්පසු “හේන්යාය”, “නිල්දියලන්ද” වැනි ගුවන් විදුලි නාට්‍ය ද රචනා කළේය.

‘කුරුලුබැද්ද’ හි එන පුවත ඇසුරෙන් 1960 දී කලාත්මක චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ආශාව ඇති වූයේ මීරිගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අධිනීතිඥ ජෝන් අමරතුංග මහතාටය. මීරිගමට යාබව පදිංචිව සිටි පී. කේ. ඩී. සෙනෙවිරත්න විසින් ලියූ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ කුරුලුබැද්ද කොටසකින් චිත්‍රපට කතාව ඔහු තෝරා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස මුල් වරට සිංහල සිනමාවට ගැමි ජීවන සුවඳ වහනය වූ ‘කුරුලුබැද්ද’ බිහි විය. චිත්‍රපටයේ එන රන්මලී (පුණ්‍යා හීන්දෙනිය) තම සැමියාත් (රංජිත් දයානන්ද) නෑයින් සමඟ කරත්ත පේළියකින් යන දර්ශන පේළියේ පසුබිමින් ඇසුණ සෙනෙවිරත්නයන් ලියූ මේ කවි ධර්මදාස වල්පොලගේ හඬින් ඇසෙන විට එහි ශෝකී අවස්ථාව මොනවට ප්‍රකට විය.

 

වත්තේ වැටුණු පොල් අතු ටික නවම් මහේ

පොඟවා විලේ ගම් දැරියන් සමඟ මෙහේ

ගොඩ ඇද වියන අතරේ සෙල්ලමට පහේ

ඇය දුන් හිනා කිංකිණි හඬ තවම ඇසේ

 

වැඩිහිටියනට කීකරුකම නොම බින්ද

දීගෙක ගියා ඇය හිමියකු හා බැන්ද

දෙමාපියන් නිදහස් වුණ මුත් ඉන්ද

පාලුයි ගමේ ඇල දොල වෙල ළිඳ ලන්ද

 

පී. කේ. ඩී. සෙනෙවිරත්නයන් 1964 ‘සරසවිය’ සිනමා වාර්ෂිකයට ලියු ‘පබඳු කාරිය’ නම් ලිපියේ ඔහු ලියූ කුරුලුබැද්ද ගැන මෙසේ සඳහන් වෙයි.

‘කුරුලුබැද්දේ කයිතන් බාස් ඩී. ආර්. නානායක්කාර වෙතැයි මම සිතූයෙමි. ඔහු ඉදිරියෙහි තබාගෙන චරිතය නිරූපණය කරමින් ද ඒ ලියූවෙමි.’

කුරුලුබැද්දෙන් සිකුරු තරුවට ගිය සෙනෙවිරත්න ඒ චිත්‍රපට තම ජීවිතයේ ජය සංකේත කර ගත්තේය. සිකුරු තරුවත් (1963) ගමේ පහළ වූ, ගමේ ගම්මුලාදෑනියකුගේ (ඩී. ආර්. නානායක්කාර) කතාවකි. කුරුලුබැද්දට වඩා සිකුරු තරුවට ඔහු කැමති බව කියා ඇති අතර ඊළඟට ලියූ ‘පරසතු මල්’ ගැන මෙසේ කියා ඇත.

‘පරසතු මල් හි විශේෂ කතාවක් නැත. මිනිස් චරිතාංග රාශියක් එකට ජීවත්වන කල එයින් ඉබේ මැවුණු කතාවක් එහි කුළුගැන් වෙයි. චිත්‍රපටයෙන් බණ කියන්නට මගේ ආසාවක් නැත. හැබැයි දීර්ඝකාලීන හැඩ ගැස්මක් ඇති සමාජයක චරිතාපදානයන් වෙතින් කිසියම් දර්ශනයක් සියුම් ලෙස මතු වී නම් එය මගේ මනෝරථ පූර්ණය කෙරෙයි. මේ සඳහා මම ඔමර් ඛායියාම්ගේ දර්ශන පථයෙන් මිදි යුෂ හා සංගීතය ස්ත්‍රියකගේ දෙතොලට දෙවා රසය සෙව්වෙමි.’

පී. කේ. ඩී. මේ චිත්‍රපටයේ නම ‘පෙම්වතුන්ගේ ලෝකය’ නමින් ද සුමිත්‍රා පීරිස්ගේ සම අධ්‍යක්ෂණයක් ලෙස ද පටන් ගෙන රූගත කිරීම් කළත් එය සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණය කළේ ගාමිණී ෆොන්සේකා විසිනි. පරසතු මල් බලා ජයවිලාල් විලේගොඩ කීවේ මෙතෙක් (1966) සිංහල සිනමාවට පැමිණි විශිෂ්ටතම කතාන්දරය ලෙසත් තමාට මෙතුවක් පවසා ගත නොහැකිව සිටි හොඳම චිත්‍රපටය එය බවත්ය. පී. කේ. ඩී. ට 1967 සරසවිය සම්මාන උලෙළේ හොඳම තිරනාටක රචකයාට හිමි සම්මානයත්, හොඳම නළුවා ලෙස බොනි මහත්තයා ලෙස රඟපෑ ගාමිණි ෆොන්සේකාටත්, ගායිකාව ලෙස සුජාතා අත්තනායකට, කලා අධ්‍යක්ෂක ලෙස හේමපාල ධර්මසේනටත් හිමි විය.

අපේ සිංහල චිත්‍රපට ඉතිහාසයේ ම ස්වතන්ත්‍ර තිරනාටක රචකයා පී. කේ. ඩී. බව ලෙස්ටර් ජේම්ස් පීරිස් කියා තිබූ අතර ඔහු ලියූ ‘කසී සළු’ නම් චිත්‍රපට තිර නාටකය රිදී තිරයට නැංවූයේ ‘රන් සළු’ නමිනි. මේ චිත්‍රපටය දිල්ලියේ ගාන්ධි සාම ත්‍යාග උලෙළේ දී ගෞරවාර්හ සඳහන් ලබා ඇති අතර 1967 සරසවිය සම්මාන උලෙළේ සම්මාන 3 ක් ද විචාරක සම්මාන 3 හිමි වූ අතර 1967 හොඳම තිර නාටක සඳහා සම්මානය ද, හොඳම කතා රචනය සඳහා විචාරක සම්මානය ද හිමි වූහ.

ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය පිරිනැමූ විචාරක සම්මානයේ හේතු පාඨය මෙසේය.

‘ගිය වර්ෂයේ නිෂ්පාදිත වෙනත් චිත්‍රපට කතාවක නොවුණු අන්දමට තේමාව ඉදිරිපත් කිරීම අතින් දැක් වූ ගැඹුරු බව හා කතාවේ කඩතොලුවක්ව තිබූ අති පාරිශුද්ධතාවයත්, භාවාතිශය අවසානයත් මකාලන්නට තරම් සමත්ව, කල්පනාකාරී අවධානයක් යොමු කරමින් උචිත, තාත්වික, තියුණු දෙබස්වලින් කතාවක් ඉදිරිපත් කළ ‘රන්සළු’ චිත්‍රපටයේ රචක පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ට චිත්‍රපට විචාරක සම්මානය පිරිනැමේ.’

කවුද? මේ පී. කේ. ඩී. සෙනෙවිරත්න.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ අත්තනගල්ල විහාරයට නුදුරු හක්ගල්ල නම් ගමෙහි 1917 මැයි 17 වෙනිදා උපත ලැබූ පතිරාජවසම් කුඩාහිටිගේ දොන් සෙනෙවිරත්න අධ්‍යාපනය ලබා ඇත්තේ එල්ලක්කල පිරිමි පාසලෙන් හා කුඹල්ඔළුව පිරිමි පාසලෙනි.

ඔහුගේ පියගේ නම පී. කේ. ඩී. මොහොට්ටි අප්පුහාමිය. මව සේදනෝනා අතුරුගිරි හාමිනේය. පී. කේ. ඩී. ගේ පියාගේ බාල සොහොයුරා වූයේ වෛද්‍ය පී. කේ. ගුණතිලකය. ඔහුගේ පුත්‍රයෙකු වූයේ ලුතිනන් කොමාන්ඩර් වෛද්‍ය පී. කේ. ඉෂාන්ත ගුණතිලකය.

වයස අවුරුදු දහඅටේ දී ‘සිළුමිණ’ පටන් ගත් අලුත එහි කවි පිටුවට කවි ලිවීමට පටන් ගනිමින් සිය සාහිත්‍ය ජීවිතය පටන් ගත් ඔහු ගැන ‘සිළුමිණ’ ආරම්භක කර්තෘ පියසේන නිශ්ශංකයන් කියා ඇත්තේ මෙසේය.

‘උපමාව විසින් කියනවා නම් ඒ කාලයේ සිළුමිණ පත්‍රයේ කවි පිටුව තරුණ කවීන්ගේ කෙළිබිමක් විය. තරුණ කවියයන්ගේ මී අඹ වනයක් විය. එදා සිළුමිණට කවි ලියූ තරුණ කවි කොවුලන්ගේ මී මැස්සන්ගේ හා මී මැස්සියන්ගේ නාම ලේඛනයේ පී. කේ. ඩී. ගේ නම තිබුණේ ඉහළ පේළියේය.

‘ඒ කාලයේ සති අන්තයේ විනෝදවීමට සියනෑ කෝරළයේ අඹ ගහ පිටිය ගමේ මට අයිති කුඩා පොල් වත්තක මා පුංචි ගෙයක් හදාගෙන තිබුණේය. එක් දවසක ගමට ගොස් ඒ වත්තේ පුංචි ගෙයි රෑ හඳපානේ ගමේ කොල්ලන් ද රැස් කරගෙන සුපුරුදු රෑ බත් පිළියෙළ කර කර ඉන්නා විට තරුණයන් දෙදෙනෙක් එහි ආහ. ඒ එක තරුණයෙක් මා හැඳින සිටි අපට නෑකම් කියන මිල්ලැහැවේ සමරසිංහය. ඔහු සමඟ පැමිණි අනික් තැනැත්තා නම් හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නය. එදා ඔහු සිටියේ ගැටවර වියේය. එදා ඔවුන් පැමිණියේ සෙනෙවිරත්න ලියූ කවි පන්තියක් සිළුමිණේ පළ කරන්නට පුළුවන්දැයි ඇසීමටය. ඒ කවි පන්තිය ගැමි ඌරුව හිටිනට ලියූ හොඳ කවි පන්තියක් වුවත් හුඟාක්ම කෝල ගතියක් දැක් වූ සෙනෙවිරත්නට කවටකමක් කරන්ට සිතා ‘සිළුමිණේ පළ වෙන්නේ ලියනවා පමණක් නොව ලස්සනට හොඳට කියන්ටත් පුළුවන් අයගේ කවියයි’ මම කිවෙමි. එදා ඔහු හොඳ තාලකාරයකු නොවූ අතර ඔහුගේ අගේ ඇති කවි පන්තිය කවි තීරුවේ මුල් තැනක පළ කළෙමි.’

පී. කේ. ඩී. ‘අත්තනගලු නදී කාව්‍යය’, ‘දිට්ඨ මංගලිකා’, ‘ගම්බද සුන්දරී’, ‘කුමුදුමතී’ කාව්‍ය සංග්‍රහ පළ කළේය. ඔහු ‘වදරිං හයිට්ස්’ නම් විශ්ව සාහිත්‍යයේ ජනප්‍රිය නවකතාව ‘උරුමක්කාරයෝ’ නමින් සිංහලයට පරිවර්තනය කළේ රංජනී අභයවර්ධන සමඟය.

පී. කේ. ඩී ගුරුවරයකු ලෙස ජීවිතය ආරම්භ කර ඇත්තේ නෙලුම්දෙනියේ මොරවක බෞද්ධ මිශ්‍ර පාසලේ හා ගස්පේ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උප ගුරුවරයකු ලෙසිනි. දැඩි දේව භක්තිකයකු වූ ඔහු වසරකට හත් අට වතාවක් කතරගම යාම පුරුද්දක් බව මියගිය පුවත්පත් කලාවේදී සිරිමල් ෆොන්සේකා ලියා තිබුණි.

1968 සිට 1970 දක්වා අග්‍රාමාත්‍යව සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රවෘත්ති ලේකම්වරයාව සිටියේ සෙනෙවිරත්නයන්ය. කොළඹ යුගයේ ජනප්‍රිය කවියකු වූ පී. කේ. ඩී. පේරාදෙණියේ නිසඳැස් කවියකු වූ ‘සත් සමුදුර’ අධ්‍යක්ෂණය කළ මහාචාර්ය සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රන්වන් කරල්’ චිත්‍රපටයේ තිර රචනය කළ බව ඔබට විශ්වාස කළ හැකිද? එය එසේම සිදු විය.

1969 රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් නිපද වූ මේ චිත්‍රපටයේ පුණ්‍යා හීන්දෙණිය, ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර හා ශාන්ති ලේඛා රඟපෑ අතර එහි පසුබිම් කථනය කර ඇත්තේ සිරි ගුණසිංහයන් විසිනි. අර්ධ වාර්තා චිත්‍රපටයක් වූ මෙහි එන අමරදේවයන් ගයන ‘සෝමාවතී මගේ සෝමාවතී’ තවමත් ජනප්‍රිය ගීතයකි.

පී. කේ. ඩී. රසවතෙකි. ඔහුගේ සමීපතම ගජ මිතුරන් වූයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, එස්. ඒ. ජේමිස්, ධර්මදාස කුරුප්පු, චිත්‍ර බාලසූරිය, මහගමසේකර, මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා ආදීන් බව පවසා තිබුණි.

චිත්‍රපටයක් නිපදවීමට බලාපොරොත්තුවෙන් සිටි ගම්පහ චිත්‍රා ෆොටෝ අධිපති චිත්‍ර බාලසූරියට ඒ සඳහා හොඳ තිර පිටපතක් ලියවා ගැනීමට පිී. කේ. ඩී. ළඟට කැඳවාගෙන ගියේ ධර්මදාස කුරුප්පුය. පී. කේ. ඩී. ගමේ කුඹුරක සිටියදී මේ දෙදෙනා තිර කතාවක් ලිවීමට අරැයුම් කළහ. ඒ ගැන පී. කේ. ඩි. වරක් අපට මෙසේ කීවේය.

‘සියුම් මානුෂික වින්දනයක් උතුම් වූ සත්‍ය ප්‍රේමයක ඇතැයි දැකීමට බෞද්ධ දර්ශනයට යාන්තම් කිට්ටු වූයෙමි. පෙරදිග කලා කාමයක ඕජෝ ගුණය සොයා දිගින් දිගට සිතුවෙමි. මේ සෑම දෙයින්ම වැද අන්තිමට අපේ ජන ජීවිතය අතරින් ‘පරසතු මල්’ සොයන මං පාදා දුන්නෙමි. චිත්‍ර බාලසූරියෝ ඒ ගෙන උසස් නිධානයක් සඳහා සුදුසු පිරිස් සපයන්නාහු දස්කම් අතින් අග්‍ර පිරිසක්ම තෝරා ගෙන ගාමිණී ෆොන්සේකා වෙත පැවරූහ. මම ද ඔවුනතර වූයෙමි. චිත්‍ර බාලසූරියත්, ගාමිණිත් කලා සයුරු අලලීමට චිත්‍රපට මාධ්‍යය උපයෝගී කොට ගත්තෝය. එසේ අලලද්දී මතු වූ නව නළු රස උහාගත් නළු නිළි ගණයා ජයග්‍රහණයක ‘පරසතු මල්’ සේ පෙනී සිටිතැයි මම සිතමි. ඒ සටනේදී සිතුමිණ, බදුරු කළ පහළ වුණේදැයි මම නොදනිමි. අමා රසය මිනිසුන් ඇසට ‘පරසතු මල්’ ලැබුණු බව නම් මම කියමි. එහි සුවඳ මා සිතුවාට වඩා පැතුවාට වඩා සිනිඳුය. එහි ලක්ෂණ මට ම අමුතුය. මිහිරිය. එමැ නිසා චිත්‍ර බාලසූරියට මම තුති පුදනු රිසිවෙමි.

පරසතු මල් පුබුදුවාලන සටනේ පුරෝගාමී වු තරුණ අධ්‍යක්ෂවරයාට ඉතා ළෙන්ගතුව මම අමතන්නෙමි. ඒ අනුව පිපී සිටිනා - පරසතු මල් බලා ප්‍රීතියෙන් පිනා යන්නෙමි. අන්තිමට මම ගාමිණී ද කැමති මගේ කවියක් ලියා ඒ රසයට එකතු වන්නෙමි.

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ

දෙනි පෙත අඬන හිරියා මල් පිපුණාවේ

මා ආදරය දුටු වග නොම හැඟුණාවේ

මැ නැති කලක – උන් සුවඳක් දැනුණාවේ

පී. කේ. ඩී. මේ චිත්‍රපට කතාවට ‘ප්‍රේමවතුන්ගේ ලෝකය’ යි නම් තැබුවත් ඒ නම ගැන ඔහුගේ හිතට හරි ගියේ නැත. දිනක් මානවසිංහත්, චිත්‍රත්, ලයනල් අල්ගමත් හලාවත පැත්තේ ගිය ගමනකදී එක්තරා අම්බලමක නැවතී එහි වූ එළිමහනේ බිම හිඳගෙන සිටියදී සල්ලාපයේ යෙදී සිටියහ.

‘මානවේ චිත්‍රපටයේ නම මගේ හිතට හරි නෑ. ‘පෙම්වතුන්ගේ ලෝකය’ නැතිව වෙන නමක් දාමුද?’පී. කේ. ඩී. මානවසිංහගෙන් ඇසීය.

පී. කේ. ඩී. චිත්‍රපට කතාව සැකෙවින් විස්තර කරද්දීම මානවසිංහ ‘ඕකෙන් කියන්නේ තමාට හිමි නැති ගැහැනියක් ගැනනේ, ඒ කියන්නේ අනුන්ගේ ගෑනු වගේ නමක්’ කීය. ඒ කියන්නේ පරසතු.

‘මල්’ කෑල්ලත් අගට එකතු කරමු’ ලයනල් අල්ගම කීවේය.

‘හොඳම නම ‘පරසතු මල්’. පී. කේ. ඩී. සතුටින් කීය.

මේ සිද්ධියෙන් මතු වන්නේ පී. කේ. ඩී. ගේ නිහතමානී බවයි. තමා කවියකු, ලේඛකයකු වුව ද තම සහෝදර කවියකු, ගීත රචකයකු අප්‍රමාණ මිනිසෙකු වූ මානවසිංහයන්ගේ යෝජනාවට අවනත වීමය.

‘සරසවිය ‘පුවත්පතට ඒ නම දැමීම ගැන ද පී. කේ. ඩී. ගේ සම්බන්ධතාවයක් තිබුණි. මේ ගැන සරසවිය කර්තෘවරයකුව සිටි විමලසිරි පෙරේරා කියන කතාවයි මේ.

‘පත්‍රයට නමක් සොයා ගැනීමට අපහසු කාරණයක් වුණා. මමත් (මුල් පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ) නම් ලැයිස්තුවක් ගෙන දින ගණනක් කල්පනා කරමින් සිටියා. දිනක් එක් හැන්දෑවක අපේ බොරලැස්ගමුවේ ගෙදර මිදුලේ දෙල් ගහ යට මීමන ප්‍රේමතිලකත් (ප්‍රධාන කර්තෘ), මමත් පුටු දෙකක් තබාගෙන පත්‍රයට දැමිය යුතු නම ගැන කතාබස් කරමින් හිටියා. මේ අතර හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න එතැනට පැමිණියා. පී. කේ. ඩී. තමයි මගේ අතේ තිබුණ නම් ලැයිස්තුව අරගෙන ‘සරසවිය’ කියන නම යෝජනා කළේ.’

‘සරසවිය’ පුවත්පතත්, පී. කේ. ඩී. අතර තිබුණේ අවියෝජනීය සම්බන්ධතාවයකි. ඔහුගේ පද්‍ය රචනා මෙන්ම සාහිත්‍ය රස මතුවන පෙම් රස වෑහෙන ‘පෙම් සුවඳ කවන සුරුපී ගැහැනු’ ගැන ද ලිපි ලියූහ. ඔහු ‘පරසතු මල්’ චිත්‍රපට කතාව කොටස් වශයෙන් සරසවිය පත්‍රයට සති ගණනක් ලියුවේය. තවත් වරෙක ඔහු (1966. 2. 27) එදා සිටි නළු නිළියන් ගැන පර්සි ජයමාන්න සමඟ කළ සාංවාදයක් පළ කර තිබුණි. එහිදී ගැමි චරිතවලට අපූරු හපන්කම් දක්වන ඩී. ආර්. නානායක්කාර, අපේ පැරැණිම නිළිය - රුක්මණී දේවිය ගැන ද, කැලෑහඳේ හපනා - ස්ටැන්ලි පෙරේරා, චිත්‍රපට අධ්‍යක්ෂවරියක් වූ - ෆ්ලොරිඩා ජයලත්, හොඳ නළුවෙක් - ඩේවිඩ් ධර්මකීර්ති, විවිධ චරිතවලට හපන් – මිලී කහඳවල, ජනප්‍රිය වන අලුත් නළුවා - ජෝ අබේවික්‍රම ගැන අපූරු විවරණයක් කර තිබුණි. පී. කේ. ඩි. අවසන් වරට ලියූ කවිය ‘සරසවිය’ පත්‍රයට ලැබෙන විට ඔහු ජීවිතයෙන් සමුගෙනය. එහි මාතෘකාව ‘මුහුදට මුහුලා . . ‘ය. එහි ආරම්භක කව මෙසේය.

මුහුද කැඹේ ඔරු ද නැළවේ බිඳෙන නලියන තරඟ රැලිදේ

අමොද වාහිමි, ළහිරු එළියේ එගන නිල්මිණි තලිය ලෙළදේ

පිබිද අලුයම නුවන් නිලුපුල් පසන් සෝබා මහිමෙ කිමිදේ

මහද සිහිනය වෙරළ සුදුවැලි තලා තිරයේ නැවත විහිදේ

1970 ජුලි 19 වෙනිදා එනම් 1970 මහා මැතිවරණයට දින දෙකකට පෙර මේ කලාවට පෙම් බැඳි අවිවාහක රසවතා මියයන විට ඔහුගේ වයස අවුරුදු 53 කි. ඔහු තිර නාටකය ලියූ අවසන් චිත්‍රපටය වු ‘ප්‍රියංගා’ 1970 සැප්තැම්බර් මස තිරගත විය.

එවකට සරසවිය කර්තෘ මණ්ඩලයට අනුයුක්තව සිටි මම පී. කේ. ඩි. ගැන දුරකතනයෙන් ගාමිණි ෆොන්සේකාගෙන් ඇසුවෙමි.

‘දිනක් මම හා කිණිගම යක්කල පෙදෙසේ පරසතු මල් මැවීමට පසුබිම සොයද්දී හක්ගල්ලේට (පී. කේ. ඩී. ට ගාමිණි කතා කොට ඇත්තේ ඒ නමිනි) නැසීගිය කපිල සෙනෙවිරත්නයන්ගේ කවි පදයක් මම මතක් කළා.

‘ඇත්තෙන්ම මොට ද ඒ නිවන’

එයින් මතු වූ සැඟවුණු රස ගුලාව හක්ගල්ලේ මට විස්තර කළේ ගුරුවරයකු ශිෂ්‍යයකුට උගන්වන විලාසයකිනි. දවසක් ඔහු නොසිටි නිසා පරසතු මල් ජවනිකා කිහිපයක් මා අතින් ලියවුණා. එයින් එදා චිත්‍රපට ගත කළ බොනී කමලා සමඟ කතා කරන පළමුවැනි මොහොත. හිරු අවරට ගිහින් බටහිර අහස රූ සිත්තම් මවද්දී නැගෙනහිරින් පොඩි තරු එළි පිපෙද්දී එළියටත් අඳුරටත් මැදි වූ දෙදෙනෙක් කරන සවාදයක් මේ.

කමලා - ඒ ඔක්කොටම වැඩිය මහත්තය අඳුරන්නෙ මම. එදා ගොයම් කොළේට ගිනි තිබ්බ දවසෙ මම දැන ගත්තෙ. ඒ වුණත් ඒ ඇඳුනුකම මට පාවිච්චි කරන්න විදිහක් නෑ.

බොනී – ඔය ඇත්ත ද කමල. ඒක ඇත්තනං කෙල්ලෙ මේ බොනී පැරදිලා මැරෙන්නෙ නෑ මළත්.

කමලා යන්නට හැරී බොනී මෙසේ සැනසෙයි.

කෙල්ලේ උඹ මට නැතිවට කමක් නැහැ. උඹ අයිති මට වඩා උසස් මිනිහෙකුට’

මේ දෙබස් පසුව දුටු හක්ගල්ලේ මෙහෙම කිව්වා.

‘මම ලියන්න ඕනෑ දෙයක් ගාමිණිගෙන් ලියැවුණා. එකම වචනයක්වත් වෙනස් කරන්න එපා.’

කියා හක්ගල්ලේ වෙනින් තැනක ලියු කව් පද හතරකින් පරසතු මල් කෙළවර කළේය. ඒ – ‘බටහිර අහස . . .’

ගාමිණි විසින් හක්ගල්ලේ ගැන ලියු ලියුම අවසන් කරන්න කීවේ මේ වැකියෙනි.

‘අද හක්ගල්ලේ නෑ. නැති දා හමන සුවඳ කවි සුවඳ, රස සුවඳ තවමත් දැනෙනවා. නමුත් හමන හැම තැනම මහ පාළුවකුත් දැනනෙවා. ඒ ඔහු නැති නිසා. ඉතින් ඒ සුළඟ හැමුවත්, බටහිර අහස රතු සිත්තම් මැකුණත්, පාළුයි ගමේ ඇළ දොළ වෙළ ළිඳ ලන්ද’.

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.