සිංහල සිනමාවේ ජනකතාකරු

පෙබරවාරි 28, 2019

සාරවිටිකාරයා, කතුරුමුවත්කාරයා, බයිසිකලයෙන් බත් පිඟන් ගෙනියන මිනිසා වැනි පොදු ජන චරිත සිනමා චරිත සිනමාවට ගෙනා පොදු ජන සිනමාවේ පුරෝගාමියා ඔහුය. මුලින් දෙබස් රචකයකු වූ පසුව සම අධ්‍යක්ෂවරයකු විය. චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේ ඉන් පසුවය. චිත්‍රපට 24 ක් සිංහල සිනමාවට දායාදය කළ ඔහුට 1972 දීපශිඛා සම්මාන උලෙළේ දී පිරිනැමුණු විශේෂ සම්මානයේ හේතුපාඨය වූයේ 'සිංහල චිත්‍රපටය පොදු ජනතාව අතරට ගෙන යෑමට පුරෝගාමී වූ සිනමාකරුවා' කොත්දුල්ල ආරච්චිගේ විල්සන් පෙරේරා නම් ඔහු 1926 අප්‍රේල් 15 වෙනිදා කොළඹ හැව්ලොක්ටවුමේ උපන් විල්සන්ගේ පියා වූයේ කේ. ඒ. විල්මට් පෙරේරා වූ අතර මව වූයේ විදානගමගේ කවිනිහාමි රත්නායකගේ නැන්සින පෙරේරාය. නාරාහේන්පිට අභයවර්ධනාරාම පාසලේත්, වැල්ලවත්තේ බොයිස් ඉන්ඩස්ට්‍රියල් හෝම් පාසලේත් අටවැනි ප්‍රමාණය දක්වා ඉගෙන ගත්තේය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සීනියර් විභාගය සමත් විය. ඔහුගේ මුල්ම රැකියාව වූයේ කඩවත බියන්විල රජයේ පාසලේ ඉංග්‍රීසි උප ගුරු තනතුරය.

ආනන්ද විද්‍යාලයේ ඉගෙනීම ලබන සමයේ කේ. ඒ. ඩබ්ලිව්. චිත්‍රපට පිස්සෙකු විය. ඔහුගේ පන්තියේම සිටි ප්‍රේමලාල් එදිරිසිංහ (ඊ. ඒ. පී. එදිරිසිංහ ද) ඊට නොදෙවෙනි චිත්‍රපට ලෝලයෙකි. ගණිත පන්තිය 'කට්' කොට නිව් ඔලිම්පියා සිනමාහලේ ප්‍රදර්ශනය වූ දහවල් 10.30 දර්ශනය නැරඹූ මේ දෙදෙනා වරක් ගණිත ගුරුවරයාට හසු විය.

'උඹලා කවදාවත් හැදෙන මිනිස්සු නොවෙයි. කවද හරි පික්චර් කාරයෝ වෙයි.'

කේ. ඒ. ඩබ්ලිව්. හා ප්‍රේමලාල් ගණිත විෂය වහ කදුරු ලෙස සැලකුවත් තරුණ වියේ සිටි ගණිත ගුරුවරයා ඔවුන් දෙස බැලුවේ සානුකම්පිතවය.

'අපිට ගණන් ඉගැන්නුවේ ලෙහෙසි පහසු ගුරුවරයෙක් නොවෙයි. එතුමා ගණිතය රසකර ඉගැන්නුවේ. තරුණ වියේදීම එතුමා ගණිත පොත් ලියා තිබුණා. නම සී. එම්. වීරරත්න. ඒ කාලේ මමත්, ප්‍රේමලාල් සිහින මැවූයේ රුක්මණී හා එඩී රඟපාන චිත්‍රපටය නිපදවන්න. අපි දෙන්නා 'කඩවුණු පෙරොන්දුව' දස වතාවක්වත් බලලා ඇති' වරක් කේ. ඒ. ඩබ්ලිව්. අපට කියා ඇත.

කේ. ඒ. ඩබ්ලිව්. ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ 1955 වසරේදී. වෙළඳ සේවයේ රචනා සම්පාදකයකු වශයෙනි. එකල වැඩ සටහන් සම්පාදකයා ලෙස ශ්‍රීපාලි වයමන් ද, වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකයාව සිට ඇත්තේ ආරියදාස පීරිස්ය. කේ. ඒ. ඩබ්ලිව්. වෙළඳ සේවයේ ජනප්‍රිය වැඩ සටහන් දෙකක් වූ 'හඳමාමා' ළමා පරපුර වෙනුවෙන්ද (ඉදිරිපත් කළේ සුමනා ජයතිලක) යෞවනයන් සඳහා 'රේඩියෝ සඟරාව' ද වැඩිහිටියන් දැනුම සඳහා 'වාසනා උදාව' වැඩ සටහන් ආරම්භ කොට තිබුණි. ඔහු ගුවන් විදුලි නාට්‍ය කලාවට පිවිසි මේ කාලයේම ' ඉන්ස්පෙක්ටර් පෙරේරාගේ වික්‍රම' නම් රහස් පරීක්ෂක නාට්‍ය මාලාවක් රචනා කළේය.

1955 වසරේ ලෙස්ටර් ජේම්ස් පීරිස්, විලී බ්ලේක් හා ටයිටස් තොටවත්ත සිංහල සිනමාවේ දෛවය වෙනස් කිරීමට සුදානම් කළ අතර 'රේඛාව' නම් ඔවුන්ගේ චිත්‍රපටයට හොඳ දෙබස් රචකයකු අවශ්‍යව තිබිණ. මේ වනවිට මේ තිදෙනා රජයේ චිත්‍රපට අංශයේ සේවය කරමින් උන්හ. චිත්‍රපට අංශයේ නිබන්ධ සම්පාදකයකු ලෙස කටයුතු කළ සුරේන්ද්‍ර එස්. වෙඩික්කාර ඔවුන්ට ඔත්තුවක් දුන්නේය.

'මිස්ටර් පීරිස් ගුවන් විදුලියේ හොඳ නාට්‍ය රචකයෙක් ඉන්නවා පෙරේරා කියලා. එයාගේ රහස් පරීක්ෂක කතා දැන් ජනප්‍රියයි. කවුරුත් අහනවා. ගුවන් විදුලි රඟමඬලටත් එයා ලස්සන නාට්‍යය ලියනවා. ආ . . . අද රෑට 8.30 ට අහන්නකො එයාගේ නාට්‍යයක් ප්‍රචාරය වෙනවා.'

එදා ලෙස්ටර් හා ටයිටස් ගුවන් විදුලි රඟමඬලට සවන් දුන්හ. නාට්‍යයේ නම ' ජීවිත සහතිකය' ප්‍රචාරය විය. නාට්‍යයේ දෙබස් සතුටුදායක නිසා සුරේන්ද්‍ර පසුදාම කේ. ඒ. ඩබ්ලිව්.ව දෙහිවල ලෙස්ටර්ගේ නිවසට කැඳවාගෙන ආවේය. කේ. ඒ. ඩබ්ලිව්. චිත්‍රපට දෙබස් රචකයකු වූයේ ඔය විදියටය.

ලෙස්ටර් 'සන්දේශය' චිත්‍රපටය ආරම්භ කරන විට එහි දෙබස් රචකයා ලෙස තෝරා ගත්තේ කේ. ඒ. ඩබ්ලිව්ය. එය බැරෑරුම් කාර්යකි. දර්ශන කාලයේදී අමතර දෙබස් ලිවීමට ඔහුට බෙලිහුල්ඔයට යාමට නොහැකි වූයේ ගුවන් විදුලියෙන් නිවාඩු ගැනීමට ඉඩ ඇහිරීම නිසාය.

'මිස්ටර් පීරිස් මගේ හොඳ ගෝලයෙක් ඉන්නවා. තරුණ හාදයෙක්. ගුවන් විදුලි නාට්‍ය ලියනවා. ඒවායේ රඟපානවා. මිනිහව සම්බන්ධ කර ගමුද? හොඳට දෙබස් ලියන්න පුළුවන්' කේ. ඒ. ඩබ්ලිව්. කීය.

තිස්ස ලියනසූරිය නම් දෙබස් රචකයා 'සන්දේශයට' එක් වන්නේ ඔය ආකාරයටය. එපමණක් නොව තිස්ස 'සන්දේශයේ' තුන්වන සහාය අධ්‍යක්ෂවරයා ද විය. පසුව තිස්ස සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද විය. සරසවිය සම්මාන ද දිනීය.

ගුවන් විදුලියේ නිත්‍ය සේවකයන්ට පිට වැඩ තහනම් බව කියවෙන චක්‍ර ලේඛනයක් නිකුත් විය. කේ. ඒ. ඩබ්ලිව්. තම අනාගත මාධ්‍යය ලෙස සිනමාව තෝරා ගත්තේය. එදා ආනන්දයේ තමා සමඟ එකට ඉගෙන ගත් 'පන්ති කට්' කොට චිත්‍රපට බැලූ ඊ. ඒ. පී. එදිරිසිංහ (ප්‍රේමලාල්) දිනක් හමු විය.

'කේ. ඒ. ඩබ්ලිව්. අපි හදමුද චිත්‍රපටයක්'

'හොඳ අදහස, කාවද අධ්‍යක්ෂණයට ගන්නේ?'

'ඇයි තමුසෙ ඉන්නෙ. දෙබස් ලියලා අධ්‍යක්ෂණය කරමු.'

'එහෙම නෙවෙයි ප්‍රේමලාල්, මම තිර කතාව ලියන්නම්. ඔබේ පළමුවැනි චිත්‍රපටයනේ. අපි මේ වතාවේ පළපුරුදු අධ්‍යක්ෂවරයෙක් ගමු ටී. සෝමසේකරන් වගේ. මම සම අධ්‍යක්ෂක වෙන්නම්. දෙවැනි චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කරන්නම්.'

'පිරිමියෙක් නිසා' චිත්‍රපටයේ ෆ්ලොරිඩා ජයලත්, සුජාතා විජේසේකර, ගාමිණී ෆොන්සේකා, ඇල්. ඇම්. පෙරේරා, ඩේවිඩ් ධර්මකීර්ති, ජෝ අබේවික්‍රම, ඇල්. ඇම්. පෙරේරා, උදුලා දාබරේ රඟපෑහ.

මේ අතරම කේ. ඒ. ඩබ්ලිව්. චිත්‍රපට කිහිපයකම කතාව හා දෙබස් රචනා කළේය. ශ්‍රී 296, හෙට ප්‍රමාද වැඩියි, ගැටවරයෝ, කළ කළ දේ පළ පළ දේ, යටගිය දවස, සාරවිට, ඔබ දුටු දා, පේනව නේද මේ චිත්‍රපටයි.

තනිවම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නැයි යළිත් ප්‍රේමලාල් කළ ඉල්ලීම තවත් කල් දැමු කේ. ඒ ඩබ්ලිව්. ඊළඟ චිත්‍රපටය වූ 'සුහද සොහොයුරෝ' චිත්‍රපටයේ ද සම අධ්‍යක්ෂවරයා විය. මේ චිත්‍රපටයේදී වූ කටුක අත්දැකීමක් අපට විස්තර කළේ මෙසේය.

'ඒ 1962 වසරය. මා මිත්‍ර ප්‍රේමලාල් ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම වෙනුවෙන් දකුණු ඉන්දියාවේ ජනප්‍රිය 'පාසමලර්' චිත්‍රපටය අනුකරණය කරමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාව දුන්නාය. මගේ මුල්ම චිත්‍රපටය දෙමළ අනුකරණයක් වීමට මම අකමැති වුණා.

'ප්‍රේමලාල් මම මේ චිත්‍රපටයෙත් දෙබස් ලියලා සම අධ්‍යක්ෂවරයා වෙන්නම්. අපි මේකට ඇල්. එස්. රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය පවරමු.'

මගේ යෝජනාවට ප්‍රේමලාල් එකඟ විය. රාමචන්ද්‍රන්, සෝමසේකරන් වගේ මධ්‍යස්ථ මතධාරියෙක් නොවෙයි. ඔහු ජාතිවාදියෙක් විය. විටින් විට රාමචන්ද්‍රන් හා මම ගැටුණා. 'පාසමලර්' මුල් චිත්‍රපටයට වඩා දේශීය මුහුණුවරක් ලබාදීමට මා කළ හැම උත්සාහයකදීම ඔහු මට හරස් වුණා. දිනක් කැමරා කාචයෙන් මම රූප රාමුවක් බැලුවා.

'තමුසේ තාම කතා රචකයා විතරයි. කැමරාවෙන් බලල කැමරා රූප බලන්න තව සෑහෙන කාලයක් යයි. එතකන් ඉවසනවා' උපහාසාත්මකව රාමචන්ද්‍රන් කීවා.

'හොඳයි මම ඉක්මනින්ම උඹට වඩා හොඳ චිත්‍රපටයක් කරලා පෙන්වන්නම්කෝ' මම හිතුවා.

1965 වසරේ සරසවිය සම්මාන උලෙළේ දී වසරේ හොඳම තිර නාටක රචකයා ලෙස කේ. ඒ. ඩබ්ලිව්. 'සාරවිට' චිත්‍රපටය සඳහා සම්මානය දිනා ගත්තේය. ඒ වසර කේ. ඒ. ඩබ්ලිව්. ගේ සිනමා ජීවිතයේ වාසනාවන්තම වසර විය. එනම් ඔහු හාපුරා කියා අධ්‍යක්ෂණය කළ 'සැනසුම කොතනද?' චිත්‍රපටය 1966 පෙබරවාරි 18 වෙනිදා තිරගත වෙමින් ආදායම් වාර්තා පිහිටුවා ප්‍රදර්ශනය වීමය.

කේ. ඒ. ඩබ්ලිව්. විවාහ වූයේ හෙදියක සමඟය. ඔවුන්ගේ ප්‍රේම කතාව ද චිත්‍රපටයක් තරම් රසවත්ය. ඔහු එය විස්තර කරන්නේ මෙසේය.

'ඒ කාලයේ මම ආනන්දයේ ඉගෙන ගන්න කාලේ තමයි මගේ ප්‍රථම ප්‍රේමය ඇති වුණේ. මම පාසලට ගියේ මරදාන පාර අසල තිබූ 'ස්ටොක්වත්ත' හරහා. හෙදි ඇබෑසි විද්‍යාලය (නර්සස් ට්‍රේනිං ස්කූල්) තිබුණේ ඒ පාරේ. ලස්සන ගැහැනු ළමයෙක් කොණ්ඩය පීරිමින් එහි ජනේලයක් ළඟ සිටිනු බයිසිකලයකින් යන විට මා දුටුවා. ඈ සිනාසුණා. මා පාසල් යන වේලාවට ඈ බලන් ඉන්නවා. හැමදාම එතැනදි මගේ බයිසිකලේ හුළං බහිනවා. ඇගේ නම තෙරේසා ඇග්නස් (මිහිඳුකුලසූරිය වර්ණපේලියගේ තෙරේසා ඇග්නස් පෙරේරා) මාණ්ඩලීය හෙදියක්. පසු කලෙක අපි විවාහ වෙන විට දෙපාර්ශයම විරුද්ධ වුණා. තනි කැමැත්තට විවාහ වුණා.'

ඔහු කෙදිනක හෝ මුලින්ම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයේ කතාව හෙදියක් පසුබිම් කරගෙන ලියා තිබුණා. ඒත් කවුද තමාට අධ්‍යක්ෂණය භාර දෙන්නේ? මේ වන විට තමාගේ පන්ති මිතුරු ප්‍රේමලාල් ද කේ. ඒ. ඩ්බ්ලිව්.ට චිත්‍රපටයක් භාරදීමට සිතුවේ එකල ඔහු නිපදවා තිබූ චිත්‍රපටය ප්‍රදර්ශනය වී නොතිබුණි.

1970 වසරේ මාර්තු මාසයේ මෙම ලියුම්කරු 'සිහිනයක මල් පිපුණ දා' නමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ මුල්ම චිත්‍රපටය ගැන විශේෂාංගය සඳහා මුල්වරට කේ. ඒ. ඩබ්ලිව්. සොයා නුගේගොඩ කන්දවත්තේ නිවසට ගියෙමි. මට ඒ නිවසේදී මුලින්ම දක්නට ලැබුණේ කේ. ඒ. ඩබ්ලිව්. මෑණියන්ය. පින්බර මුහුණකින් හා සුදු ඇඳුමකින් සැරසුණු ඒ මාතාව බුදුන් වැඳීමට මල්කඩමින් සිටියාය. එදා සිට ඒ මාතාව මියයන තෙක්ම ඇය මට අපරිමිත ආදරයක් දැක් වූවාය. එදා කේ. ඒ. ඩබ්ලිව්. මට තම මුල්ම අධ්‍යක්ෂණය විස්තර කළේ මේ ආකාරයටය.

'මම 'සැනසුම කොතනද?' තිර නාටකය ලියලා නිදි නැති රැයක එළිමහනකට වෙලා අහස දෙස බලා මෙහෙම හිතුවා. 'අනේ, මගේ එකම ආසාව ඉටු වෙන්නේ කවදාද?' කියලා. මගේ දෑසින් කඳුළු කඩා වැටුණා. පසුවදා මට ගාමිණී ෆොන්සේකාගෙන් ටෙලිෆෝන් පණිවුඩයක් ලැබුණා.

'මම ඊයේ මගේ මිත්‍රයෙකුට කේ. ඒ. ඩබ්ලිව්. ගැන කිව්වා. හොඳ චිත්‍රපට කතාවක් තියෙනවා. හැබැයි මීට කලින් චිත්‍රපටයක් කරලා නැහැ කියලා. එයා කැමතියි. හෙට හවස මගේ ගෙදරට එන්න. එයා ඉන්නේ ගෙවල් ගාවමයි.'

මගේ සියලු වේදනා නැති වුණා. මම සැනසුමක් ලැබුවේ එදා ගාමිණීගේ ඒ වචන ටිකෙන්.

පසුදා උදේ තවත් පුදුමයක් සිදු වුණා. මගේ හිතාදර මිත්‍ර ප්‍රේමලාල් මට කතා කළා.

කේ. ඒ. ඩබ්ලිව්, මගේ චිත්‍රපටයේ වැඩ ඉවරනේ. ඔන්න දැන් ඔබේ වාරය. හොඳ චිත්‍රපටයක් කරමු.'

මම හිතුව මොකක්ද මට වෙන්නේ කියලා. මම එදින හවස ගාමිණී සමඟ ඔහුගේ මිත්‍ර සෝමසිරි පෙරේරා හමුවීමට ගියා රත්මලානේ නිවසට. ඒ කතාබහෙන් අපි 'සැනසුම කොතනද' පටන් ගන්න පදනම ලැබුණා. ගාමිණී, ජීවරාණි, ජෝ, ටෝනි, සන්ධ්‍යා ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටයේ සංගීත අංශයෙන් ලොකු වෙනසක් කළා. ධර්මසිරි ගමගේ ලියූ පදමාලාවලට ප්‍රේමසිරි කේමදාසගේ සංගීත නිර්මාණය කළ ගීත සියල්ලම ජනප්‍රිය වුණා.'

1967 සරසවිය සම්මාන උලෙළේදී වසරේ හොඳම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය හිමි වූයේ 'සැනසුම කොතනද?' චිත්‍රපටයේ නිෂ්පාදක සෝමසිරි පෙරේරාටය. ඒ ගැන කේ. ඒ. ඩබ්ලිව් කීවේ එය තම ජීවිතයේ අමරණිය අවස්ථාවක් බවය. සෝමසිරි පෙරේරා සහ ගාමිණී ෆොන්සේකා තමාට කිසි දිනක අමතක නොවන බවය.

තම පාසල් පන්ති මිතුරා වූ ප්‍රේමලාල්ගේ ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම වෙනුවෙන් විකට චිත්‍රපටයක් වූ 'කපටිකම' (1966) අධ්‍යක්ෂණය කළේය. මෙහි ජෝ අබේවික්‍රමගේ ද්විත්ව චරිත නිරූපණය පැසසුමට ලක් විය. ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමට ඔහු අධ්‍යක්ෂණය කළ 'බයිසිකල් හොරා' චිත්‍රපටයෙන් කාර්යාලවලට බත් බෙදන බයිසිකල්කාරයන් ගැන කතා කරන උපහාසාත්මක චිත්‍රපටයකි. දෙවන වරටත් ඩී. ආර්. නානායක්කාර හොඳම නළුවා ලෙස සරසවිය සම්මානය ලබා ගත්තේ බයිසිකල් හොරාගේ චරිතයෙනි. 1975 ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස ලේක්හවුස් සම්මානය කේ. ඒ. ඩබ්ලිව්. දිනා ගත්තේ බණ්ඩාරනායක අගමැතිනිය අතිනි. ඒ ළසඳා චිත්‍රපටය සඳහාය.

කේ. ඒ. ඩබ්ලිව්. එදා පාසල් යන කාලේ පන්ති කට් කොට රුක්මණී දේවි හා එඩී ජයමාන්න රඟපෑ චිත්‍රපට බලා කවදා හෝ ඔවුන් යොදා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සිහින මැව්වේය. එය ඔහු ඉටු කර ගත්තේ 1971 වසරේ අධ්‍යක්ෂණය කළ 'සීයේ නෝට්ටුව' හා 1974 අධ්‍යක්ෂණය කළ 'දුලීකා' චිත්‍රපට දෙකෙනි. කතුරු මුවාත් (1970), ඉහත ආත්මය (1972), අපරාධය හා දඬුවම (1973), චිත්‍රපට 1974 ඔහු අධ්‍යක්ෂණය කළ 'ළසඳා' චිත්‍රපටය ටෂ්කන්ට් අන්තර් ජාතික චිත්‍රපට උලෙළේදී විශේෂ සම්මානයකින් පුද ලැබීය. දීපශිඛා, ස්වර්ණ සංඛ, සරසවිය, ජනාධිපති (ස්වර්ණ සිංහ), රණතිසර සම්මාන, සුමති සම්මාන අනුස්මරණ සම්මාන ආදී සම්මානවලින් පුද ලැබූ කේ. ඒ. ඩබ්ලිව්. අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වාසනා (1976), නෑදෑයෝ (1976), ජනක සහ මංජු (1978), සසර (1978), හිඟන කොල්ලා (1979), ආදර රත්නෙ (1980), බංගලි වළලු (1981) , වතුර කරත්තය (1981), රේල් පාර (1982), දුර්ගා (1994), මධුරි (1996), උණ්ඩය (2000), සුමේධා.

කේ. ඒ. ඩබ්ලිව්. අධ්‍යක්ෂණය කළ 'හිඟන කොල්ලා' චිත්‍රපටය ඔහුගේ චිත්‍රපට නාමාවලියේ ආශ්චර්යමත් චිත්‍රපටය වන්නේය. කරුණාසේන ජයලත් පවසා ඇත්තේ කේ. ඒ. ඩබ්ලිව්ගේ ජීවිතයේ ලොකුම දස්කම හිඟන කොල්ලා බවය.

කේ. ඒ. ඩබ්ලිව්. අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය පහකි. ගමන, ප්‍රමාද වැඩියි, හිඟන කොල්ලා, පාසල් ගුරුවරී මේවාය. කේ. ඒ. ඩබ්ලිව්. සිංහල සිනමාවට හා ගුවන් ක්ෂේත්‍රයට පනස් වසරක් පුරා ඉටු කළ මාහැඟි මෙහෙවර වෙනුවෙන් සෝමා එදිරිසිංහ හා ස්වර්ණවාහිනී නාළිකාවේ අනුග්‍රහයෙන් එච්. ඩී. ප්‍රේමරත්න විසින් 2003 නොවැම්බර් 19 වෙනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හරසර ප්‍රණාම උලෙළක් පවත්වන ලදී.

1968 දී පමණ හෙළ සිනමාව රැක ගැනීමේ අරගලයේ පුරෝගාමිකයෙකු වූ කේ. ඒ. ඩබ්ලිව්. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහි කිරීමට ද දායක විය.

නවක නළු නිළියන් රැසක් සිනමාවට එක් කළ ඔහු තම දෙවන පුතු ජයන්තදාස් පෙරේරා නළුවකු ලෙස සිනමාවට හඳුන්වා දුන්නේය. ඔහුගේ වැඩිමහල් පුතු නයනාන්ද චන්ද්‍ර කුමාරය. බාල දියණිය තමරා චන්ද්‍රමාලී පෙරේරාය.

කේ. ඒ. ඩබ්ලිව්. වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම මානව හිතවාදී කළගුණ දන්න අවංක මනුෂ්‍යයෙකි. තමා පාවිච්චි කළ 4 ශ්‍රී 3112 ෆෝ්ඩ් රියට ඔහු දරුවෙකුට මෙන් ආදරය කළේය.

තමා මිය ගොස් අන්තිම ගමන කනත්තට යන විට මේ රථය තම අවමඟුල් රථය පිටුපස ගෙන යාම තම පුතුන් දෙදෙනාට උපදෙස් දී තිබුණි. ඔහු තම ප්‍රථම නිෂ්පාදනය වූ ' ජනක සහ මංජු' චිත්‍රපටයේ ආරම්භක මොහොතේ කැමරාව ක්‍රියාකරවීමට තෝරා ගත්තේ තම පන්ති සගයා වූ චිත්‍රපට නිෂ්පාදක ඊ. ඒ. පී. එදිරිසිංහ (ප්‍රේමලාල්) මහතාවය.

1970 සිට පෙරේරා මහතා මියගිය 2006 වසර දක්වා වසර 36 ක් මා ඔහු සමීපව ඇසුරු කොට ඇත. 'දිනමිණ' පත්‍රයේ චිත්‍රපට විචාරකව සිටි ජයවිලාල් මහතා කේ. ඒ. ඩබ්ලිව්ගේ චිත්‍රපටවලට නිතර පහර දුන්නේය. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ද අත ඇරියේ නැත. බී. එස්. පෙරේරා සහ දොන් සිරිසේන පෙනී සිටින දර්ශන චිත්‍රපටයකට ඇතුළත් කොට පිස්සු චිත්‍රපට විචාරකයන්ට නිතර පහර දුන්හ. ඒ දිනවල මා 'සරසවිය' පුවත්පතේ ඇතැම් විශේෂාංග ලිවීමට යන විට මගේ සන් මිත්‍ර කුලරත්න ආරියවංශ ද සහභාගි විය. කේ. ඒ. ඩබ්ලිව්. ගේ විශේෂාංගයක් පවත්වා අවසන් වූ පසු 'මාත් එක්ක යමු. මට කොටුවට යන්න තියෙනවා සිලෝන් තියටර්ස් එකට. ඔය දෙන්නව ලේක්හවුස් එක ගාවින් දාන්නම්' ඔහු අපට කීය. අපි යන ගමන් ජයවිලාල් විලේගොඩ ගැන කතා කරමින් ආවෙමු.

'ඔය ජයවිලාල්ට මගේ නෑකමකුත් තියෙනවා. මොන හේතුවක් ද මං දන්නේ නෑ මගේ චිත්‍රපටවලට දිගට හරහට පහර දෙනවා.'

අපි මෙසේ කතා කරමින් නුගේගොඩ හන්දිය පැත්තට ඔහුගේ 4 ශ්‍රී 3112 ෆෝඩ් රථයෙන් එන විට කොහුවල හන්දියේ බස් නැවතුම් පොළක ජයවිලාල් බසයක් එනතරු බලා සිටිනු මම දුටුවෙමි.

'ජයවිලාල් මහත්තයා නං ලෙහෙසියෙන් මැරෙන්නේ නෑ. අර කියනකොටම බස් හෝල්ට් එකේ ඉන්නේ' කුලරත්න කීවේය.

කේ. ඒ. ඩබ්ලිව්. කාර් එක නතර කළේය.

'විලේගොඩ ඔෆිස් එකට ද යන්නේ?' කේ. ඒ. ඩබ්ලිව්. ඇසීය.

'ඔව්, කේ. ඒ. ඩබ්ලිව්. ඒ පැත්තට ද යන්නේ?'

'ඔව් මේ ගොල්ලොත් යන්නේ ලේක්හවුස් එකට. නගින්න . . .'

ඉස්සරහ අසුනේ වුන් මම ජයවිලාල්ට අසුන පිළිගන්වා පිටුපසට ගියෙමි.

'නෑ රන්ජිත් ඉන්න. මට පිටුපස සීට් එක හොඳා' ඔහු නිහතමානීව කීය.

'අපි මේ ඔයා ගැන කතාකර කර ආවේ. දැන් බලන්න මේ දැන් අපි දෙන්නා මෙහෙම හමු වුණු එක සිදු වූ දේම මම චිත්‍රපටයකට ලිව්වා නං අභව්‍ය අවස්ථාවක් කියලා විචාරකයෝ ලියනවා.'

ජයවිලාල් ද සිනවකින්ම පිළිතුරක් දුන්නේය. එතැන් සිට ලේක්හවුසිය අසලට යනතුරුම විලේගොඩ කතා කළේ සිනමාව ගැන නොව රට තොට තොරතුරුය.

ඉන් වසර තුනකට පමණ පසු විලේගොඩ මිය ගියේය. ඒ වන විට කේ. ඒ. ඩබ්ලිව්. සිටියේ නුවරඑළියේ රූගත කිරීමකය.

'මට හරියට හිතට අමාරුයි විලේගොඩගේ අවමඟුලට එන්න බැරි වීම ගැන. මට මොනව කිව්වත් මිනිහා චිත්‍රපට විචාරයට ලොකු සේවයක් කළා. මම හර්බට් අමරවික්‍රමට (චිත්‍රපට නළු) ටෙලිෆෝන් කෝල් එකක් දීලා මල් වඩමකුත් යැව්වා' කේ. ඒ. ඩබ්ලිව්. මා හමු වූ අවස්ථාවක කීය.

අද කේ. ඒ. ඩබ්ලිව්. හා විලේගොඩ ජීවතුන් අතර නැත. පොදු සිනමා රසිකයාගේ හදවතට සිනමා බසින් කතා කළ කේ. ඒ. ඩබ්ලිව් 2006 වසරේ අගෝස්තු 20 වෙනිදා මිය ගියේය. මා සරසවිය කර්තෘ ලෙස සිටි කාලේ 1989 ඔහුට රණ තිසර සම්මානයත්, සුමති සම්මාන උලෙළේ අධ්‍යක්ෂකව සිටි කාලේ යූ. ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානයත් ලබාදීමට දායක වීම ගැන මම අදත් සතුටු වෙමි.