වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 16 වැනිදා සෙනසුරාදා




සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්

නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්

පි‍්‍රයංකර රත්නායක

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියංකර රත්නායක මේ දිනවල අප හමුවට පිවිසෙන්නේ නළු භූමිකාව ඔස්සේ ය. ඔහු රඟපෑ ‘බන්ධනය’ චිත්‍රපටය මේ දිනවල තිරගත වන අතර ඔහුගේ අධ්‍යක්ෂණයක් වන ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යය රටවටා ගමන් කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. මේ ලියැවෙන්නේ ඒ සියලු කරුණු කාරණා පිළිබඳත්, නාට්‍ය කලාවේ තිබෙන යම් යම් ගැටලු පිළිබඳත් ප්‍රියංකර රත්නායක සමඟ කළ සාකච්ඡාවකි.

මේ දිනවල වැඩිපුරම ඔබගේ අවධානය යොමු වී තිබෙන්නේ ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යය සඳහා ද?

‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යය රඟ දැක්වීම සඳහා සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. ඒ වගේ ම මා රඟපෑ ‘බන්ධනය’ චිත්‍රපටයක් මේ දවස්වල ප්‍රදර්ශනය වෙනවා. මේ සියලු කටයුතුවලට අමතරව මා අලුත්ම වේදිකා නාට්‍යයකට රංගනයෙන් දායකත්වය දක්වනවා. ඒ නාලක ස්වර්ණතිලකගේ ‘මැටිල්ඩා’ කියන ළමා වේදිකා නාට්‍යයේ.

වේදිකා නාට්‍යයක ඔබ රඟපාන්නේ කාලයකට පසුවයි?

වසර ගණනකින් මා වේදිකා නාට්‍යයක රඟපා නැහැ. වසර ගණනකට පසුව මා රඟපාන ‘මැටිල්ඩා’ නාට්‍යයේ මේ වනවිට පුහුණු වීම් ආරම්භ කරලයි තිබෙන්නේ. ඊට අමතරව මා මීට වසර දහයකට පමණ පෙර නිෂ්පාදනය කළ ‘ඊඩිපස්’ වේදිකා නාට්‍යයේ මුල් කෘතියට වඩා වෙනස් විදියකින් යුත් නිර්මාණයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ මේ වසර අවසානයේ. ‘ඊඩිපස්’ නාට්‍යය පරිවර්තනය කළ සිරි එදිරිවීර මහත්තයා මගේ ආරාධනයෙන් ‘මැක්බත්’ නාට්‍යය පරිවර්තනය කළා. එය බොහෝ විට ලබන වසරේ ආරම්භ කිරීමටයි සිතාගෙන සිටින්නේ. මේ අතර විශ්වවිද්‍යාලයේ කටයුතුත් සමඟත් මා කාර්යබහුලයි. ඒ එහි ළමයින්ගේ විභාග කටයුතු සඳහා කෙරෙන නාට්‍ය නිෂ්පාදනයි. ඒ කටයුතු මේ වනවිට ආරම්භ වීලයි තිබෙන්නේ. ඉදිරියේ රූ ගත කිරිමට නියමිත චිත්‍රපට දෙකකටත් මට ආරාධනා ලැබුණා.

‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය නියෝජනය කළත් හොඳම නාට්‍යය ලෙස සම්මාන ලබන්නේ නැහැ?

අවසන් වටයට තේරුණ ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යය සම්මාන එකක්, දෙකක් ඇරෙන්න අනෙක් සම්මානවලට නිර්දේශ වුණා. ඉන් සම්මාන තුනක් පමණයි අපට ලැබුණේ. ඒකයි සම්මාන උලෙළවල ස්වභාවය වන්නේ. එහිදි සිදුවන්නේ අප හිතන දේ නොවෙයි. සම්මාන උලෙළ කියන්නේ සමහර විට හයදෙනෙකු සිටියත්, එහි සිටි තුන්දෙනෙකුගේ තීරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා වේදිකාව සම්බන්ධයෙන් වන විනිශ්චයේදී අපේ රටේ ලොකු අවාසනාවන්ත තත්ත්වයකුයි නිර්මාණය වී තියෙන්නේ. මේ තත්ත්වය සිනමාවේවත්, පුංචි තිරයේවත් නිර්මාණය වී නැහැ.

මේ නිර්මාණය වී තිබෙන අවාසනාවන්ත තත්ත්වය කුමක් ද?

අපේ රටේ රාජ්‍ය නාට්‍ය උලෙළවල විනිශ්චය මණ්ඩලවල ඉන්නේ නාට්‍ය කලාව ගැන දැනුමක් නැති, ගොඩක් වෙලවට නාට්‍යයක් නැරැඹීමට ගිය අවස්ථාවකදිවත් හමු නොවන පිරිසකුයි. මගේ පෞද්ගලික අත්දැකීම නම් නිවෙසේ කිරීමට වැඩක් නොමැති වූ අයයි රාජ්‍ය නාට්‍ය උලෙළක විනිශ්චය සඳහා සම්බන්ධ වන්නේ. ඒ අයගෙන් සමහරු අපි ජීවිතේටවත් කිසිම දිනෙක රඟහලක දැකලා නැහැ. නාට්‍ය කලාවට කිසිඳු සම්බන්ධයක් නැති අය අතින් ජීවිත කාලයේ ම නාට්‍ය කලාවේ නිරත වී සිටින අපට විනිශ්චය වීමට ලැබීම අභාග්‍යයක්. ඛේදවාචකයක්.

මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට හේතු වූ කාරණා ලෙස ඔබ දකින්නේ කුමක් ද?

අපේ රටේ මෙතක් කලක් නාට්‍ය කලාව පවතින්නේ නාට්‍ය කලාව සක්‍රීය කරමින් සිටින තරුණ පරම්පරාව නිසයි. එහෙත් ගැටලුව තිබෙන්නේ ඒ විනිශ්චය කිරීමට හෝ සංවිධානය කිරීමට හෝ අනුමණ්ඩලයට පත්වන අයට කොයිතරම් නාට්‍ය කලාව පිළිබඳ දැනුමක් තිබෙනව ද කියන ප්‍රශ්නය ගැනයි. ඒ මොකද නාට්‍ය විනිශ්වයට තෝරාගන්නේ ඔවුන්ගේ පෞද්ගලික හිතවත්කම් හෝ දේශපාලන හිතවත්කම් මත බවයි අපට හැඟෙන්නේ. එහෙම නැතිව ඒ අයට නාට්‍ය කලාව පිළිබඳ කොයිතරම් දැනුමක් තිබෙනවා ද? ඒ අය නාට්‍ය කලාවට සක්‍රීයව සම්බන්ධද? විචාරකයකු විදියටවත් සක්‍රීයව සම්බන්ධකමක් තිබෙනවා ද කියන කාරණා ඔවුන් සලකා බලන්නේ නැහැ. බොහෝ විට රූපවාහිනිය හා සිනමාව වගේ උලෙළවලදි ඒ සම්බන්ධයෙන් පත්වන අය විචාරාත්මක පැත්තෙන් හා නිර්මාණාත්මක පැත්තෙන් සම්බන්ධ අයයි තෝරා ගැනෙන්නේ. මේ තත්ත්වය වේදිකා නාට්‍ය උලෙළවල ඇත්තේ නැහැ.

ඔබ පවසන්නේ නාට්‍ය උලෙළවල විනිශ්චය කරන මණ්ඩලවල අයට ලෝක නාට්‍ය කලාව ගැන කිසිම අවබෝධයක් නැති බවද?

සමහර විනිශ්චය මණ්ඩලයේ සිටින සාමාජිකයන්ට තිබෙන්නේ පැරැණි ගතානුගතික සාම්ප්‍රදායික අදහස්. උදාහරණයක් විදියට අප පරිවර්තන නාට්‍යයක් කළා යැයි සිතන්න. එවිට එය අප නිර්මාණය කරන්නේ සමකාලීන සමාජයත් සමඟ අනුවර්තනය වීමෙන්. විනිශ්චය මණ්ඩලයේ සිටින අය සිතන්නේ ග්‍රීක නාට්‍යයක් නිර්මාණය කළ යුත්තේ ග්‍රීසියේ විදියට බවයි. ඇත්තම තත්ත්වය නම් සොෆොක්ලීස් වුණත් තමන් කළ නාට්‍යයක් නිෂ්පාදනය කරලා තිබෙන්නේ අතීත කතාවක් ග්‍රීක විදියටයි. මිඩ් සමර් නයිට් ඩ්‍රීම්ස් වගේ නාට්‍යයක් ගත්තොත් එය ගැඹුරින් විචාරය කරන නූතන විචාරකයන් විශ්වාස කරන්නේ සමහර විට මාක්ස් වාදී කියලා කියන අදහස්වල මූලබීජ මේ නාට්‍යයේ තිබෙනා බවයි. ‘ප්‍රේමවන්ත කුමාරයෝ’ නාට්‍යයේදී සිදුවන්නේ ග්‍රීසියේ තිබෙන රජ මාලිගාවකට 16 වැනි ශතවර්ෂයෙන් නාට්‍ය කණ්ඩායමක් යෑමයි. මේක ටිකක් ඇබ්සර්ඩ් තමයි. ශේක්ස්පියර්ගේ නාට්‍ය අගයන මිනිස්සු ඒවා ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔවුන් ඒවා පිළිගත්තේ නාට්‍යමය භාවිතයන් විදියටයි.

වර්තමානය වනවිට ලෝකයේ නාට්‍ය කලාව තිබෙන්නේ වෙනස් ම අස්ථානයකයි?

සමහර අය ‘හැම්ලට්’ නාට්‍ය වර්තමානයේ දියුණු ආකාරයෙන් නිෂ්පාදනය වී තිබෙන අයුරු නරඹලා ඇතැයි සිතනවා. එහි නිළියක් හැම්ලට්ට රඟපානවා. මෙතැනදි ඈ රඟපාන්නේ පුරුෂයකු විදියට නොවෙයි, කාන්තාවක විදියටයි. පසුගිය කාලයේ හැම්ලට් වගේ ම රෝමියෝ ජුලියට් නාට්‍ය ඉන්දියාවේ ජනප්‍රිය සිනමා සම්ප්‍රදායන්වලත් නිෂ්පාදනය වුණේ වෙනස් ම විදියටයි. රාම් ලීලා කියන්නේ රෝමියෝ ජුලියට්. හයිඩා කියන්නේ හැම්ලට්. ඔම්කාරා කියන්නේ ඔතෙලෝ. මගුබූල් කියන්නේ මැක්බත්. ඒ නිසා ග්‍රීසියේ නිර්මාණයක් ඒ විදියට ම නිර්මාණය විය යුතු නැහැ. ඒවා නිර්මාණය විය යුත්තේ වෙනස් අර්ථකථනයන් සහිතවයි. ඒ විදියේ වෙනස් අර්ථකථන දෙන, වෙනස් ම විදියේ ආකෘති සහිත නිර්මාණ ලෝකයේ ඕනෑතරම් අද නිර්මාණය වෙනවා.

ඔබ මේ කුමන දේ පැවසුවත් ඔබ මෙසේ පවසන්නේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී ඔබගේ නාට්‍ය ඇගයීමට ලක්නොවූ නිසා යැයි යමකු ඔබට චෝදනා කළොත් ඒ සඳහා ඔබ ලබාදෙන පිළිතුර කුමක් වේවි ද?

විනිශ්චය මණ්ඩලය සම්බන්ධයෙන් නැගෙන මේ චෝදනාව ඉස්සර සිට ම පැවතගෙන එන කතාවක්. මා නාට්‍යයක් කරන විටදි විතරයි අනුමණ්ඩලය මුණ ගැසිය හැක්කේ. එවිට අප නිතරම ඔවුන්ට පවසන්නේ මේ මේ අය ගන්න එපා, ඒ සඳහා සුදුසු පිරිසක් ගන්න කියලයි. එහෙම සුදුසු පිරිසක් අරගෙන අපේ නාට්‍යය ඇගයීමට ලක්නොවුණත් කමක් නැහැ. එහෙම නොවන ස්ථානයකදියි ප්‍රශ්න පැන නැඟෙන්නේ. මේ කාරණය පමණක් නොවෙයි අද අපට විචාර කලාවක් ඇත්තේත් නැහැ.

‘ප්‍රේමවන්ත කුමාරයෝ’ වේදිකා නාට්‍යය ප්‍රේක්ෂකයා අතරට රැගෙන යෑමට මොන වගේ වැඩපිළිවෙළක් ද නිර්මාණය කරමින් ඉන්නේ?

මගේ නාට්‍ය කිසිම එකක් රාජ්‍ය නාට්‍ය උලෙළකදී ඇගයීමට ලක්වෙලා නැහැ. ඒ නාට්‍ය ජනප්‍රිය සම්ප්‍රදායේ නාට්‍ය නොවුණත් දර්ශන සියයකට වඩා රඟ දක්වා තිබෙනවා. එය පවත්වා ගෙන යන්නේ ප්‍රේක්ෂාගාරයත් සමඟ අපේ තිබෙන ගනුදෙනුවත් එක්කයි. අපේ ප්‍රධාන අරමුණ රාජ්‍ය නාට්‍ය උලෙළ නොවෙයි. එය තිබෙන්නේ මගේ අරමුණු අතර පනස් වැනි තැනෙනුත් එහා ස්ථානයකයි. ඒ නිසා අප මේ දවස්වල උත්සාහ කරමින් ඉන්නේ අලුත් නාට්‍ය ප්‍රේක්ෂාගාරයට ගෙන යන්නේ කොහොම ද කියන කාරණය ගැන සැලකිලිමත්වයි. ඒ කටයුත්ත සංවිධානය කර ගන්නේ කොහොම ද කියන කාරණය ගැන සොයමිනුයි සිටින්නේ. මාසයකට දර්ශන දෙකක්වත් වේදිකා ගත කිරීමට අවකාශයක් නිර්මාණය කරගැනීමයි අපේ අරමුණ වන්නේ. ඒත් මේ දේවල් සිදුවිය යුත්තේ නාට්‍ය අනුමණ්ඩලයෙනුයි. අඩුම ගණනේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය ලෙස තේරෙන නාට්‍යය දෙක, තුනටවත් ලංකාව වටේ නාට්‍ය දර්ශන දහයක්වත් රඟදැක්වීමේ ක්‍රමවේදයක් අද වනතුරුත් ඔවුන් නිර්මාණය කර නැහැ.

මේ කාරණා ගැන අප අතර හැමදාම කතාබහට ලක්වීම පමණක් නේද සිදුවන්නේ?

අදටත් හොඳ නාට්‍ය කිරීමට සූදානම්ව සිටින නාට්‍යකරුවන් හත්, අට දෙනෙකු ඉන්නවා. ඒත් ඔවුන්ට අලුත් නාට්‍යයක් කිරීමේ ආර්ථික වැඩපිළිවෙළක් ඇත්තේ නැහැ. නාට්‍ය අනුමණ්ඩලයක් කළ යුත්තේ එවැනි අයට ආර්ථික ප්‍රතිපාදන නිර්මාණය කර දීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමයි. අපේ රටේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ගන්න යන වාහනවලට වියදම් කරන මුදල් ගත්තාට පස්සේ නාට්‍යකරුවන් දහදෙනෙකුට වසරකට නාට්‍ය දහයක් කිරීමට මුදල් වෙන් කරන එක අපහසු දෙයක් නොවෙයි.

වේදිකාව සෑම දිනෙකම අලුත් වන මාධ්‍යයක් ද?

ප්‍රාසංගික කලාවේ තිඹිරිගෙය වශයෙන් හඳුන්වන්නේ වේදිකාවයි. මේ කාරණය ලෝකයේ කොහේ ගියත් එකයි. ඉන්දියාවේ නෂූර්දීන් ෂා, ඕම් පූරි වගේ නළුවන් වගේ ම අද සිටින නූතන පරම්පරාවෙන් නළු නිළියන් පැමිණි ඇත්තේ වේදිකාවෙන්. යුරෝපයේ සිටින ඇල්පා චිනෝ, මාලන් බ්‍රැන්ඩෝ, රොබට් ඩිනීරෝ, ඇන්තනී හොප්කින්ස් වැනි නළුවකු වේදිකාවත් සමඟ තිබෙන සම්බන්ධය දිගටම තියාගෙන ඉන්නවා. ඔවුන් දියුණු රංග සම්ප්‍රදායක් තිබෙන සමාජයක සිටින නළු නිළියෝ. ඒත් ඔවුන් වසරකට වරක්වත් වේදිකාවේ අභ්‍යාසයක නිරත වුණා. ඒ මඟින් ඔවුන් අදහස් කළේ අලුත් දැනුමකින්, ඥානයකින් සන්නද්ධ විය හැකි බවයි. වේදිකා කියන්නේ අනෙක් මාධ්‍යයන් වලට වඩා සජීවව රූපණය ඉදිරිපත් කරන්නට හැකි, සජීවව රූපණයට ප්‍රතිචාර ලබාගත හැකි, අලුත් අත්හදා බැලීම් කළ හැකි මාධ්‍යයක්.