අට පාරක් හදපු අල්ලපු ගෙදර

මතක පොතේ මෙහෙම ඇතේ.
මැයි 7, 2020

මොහමඞ් මස්තාන් කියන්නේ මෙරටේ සිනමා පරම්පරාවක් හදපු සිනමාකරුවෙක්. අපේ සිනමාවේ ඉහළම නිෂ්පාදකයකු වූ සීමාසහිත සිනමාස් සමාගමේ කේ.ගුණරත්නම් හැඳල විජයා චිත‍්‍රගාරය නිර්මාණය කරනුයේ මස්තාන්ගේ උපදෙස් පරිදි. මස්තාන් උපන්නේ ඉන්දියාවේ වුවත් හැදුණේ වැඩුණේ නාවලපිටියේ. ඒ ඔහුගේ පියා නාවලපිටියේ ව්‍යාපාරිකයකු නිසා. ඉගෙන ගත්තේ නාවලපිටියේ සාන්ත මේරි විදුහලේ. පසුව යළි ඉන්දියාවට ගොස් සිනමා කැමරාකරණය හැදෑරු මස්තාන් සමකාලීන දකුණු ඉන්දියානු සිනමාකරුවන් අතර ඉහළින්ම සිටිය කැමරා අධ්‍යක්ෂවරයෙක්. මුල් වරට දකුණු ඉන්දියානු චිත‍්‍රපටයක චිත‍්‍රාගාරයෙන් බැහැරව එළිමහනේ සිනමා කැමරාව මෙහෙයවීමේ වාර්තාව තියෙන්නේත් මස්තාන්ට. ඒ 1948 වසරේ තැනුණු වේලක්කාරි චිත‍්‍රපටයෙන්. වේලක්කාරි අධ්‍යක්ෂණය කළ දෙමළ සිනමාව නව මගකට යොමු කළ සිනමාකරුවකු ලෙස පතළ ඒ.එස්.ඒ.සාමිත් කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලේ මෙන්ම යුනිවර්සිටි කොලේජ් ලෙස හැඳින්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි සිසුවෙක්. මස්තාන් සිංහල සිනමාවට මුලින්ම එකතුවනුයේ අශෝකමාලා චිත‍්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ හැටියට.

 සුජාතා චිත‍්‍රපටයෙත් පේ‍්‍රම ගෙඟ් මැණික් වගේ වැනි ගීත රුප ගත කරන ලද්දේ මස්තාන්. ඔහු මුලින්ම සිංහල චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලද්දේ සුකුමලී. එයින් පසු ගුණරත්නම් මහතා තමන්ගේ අලූ‍ත් චිත‍්‍රාගාරය හැදීමේ වගකීම පැවරුවේ මස්තාන්ට. ඒ අවදියේ ඔහු විජයා චිත‍්‍රාගාරයේ තැනූ අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, ධීවරයෝ,අල්ලපු ගෙදර ,සූර චෞරයා, අට වැනි පුදුමය හා ආත්ම පූජා වැනි චිත‍්‍රපටසියල්ල ජනප‍්‍රිය සිංහල සිනමාවේ සිහිවටන . මස්තාන්ගේ ඇතැම් චිත‍්‍රපට ඉන්දියානු චිත‍්‍රපට වල රී මේක් වුවත් එහි අධ්‍යක්ෂවරයෙකුගේ අනන්‍යතාව තිබුණා. ආත්ම පූජා චිත‍්‍රපටය අවසාන වන්නට පෙර ඔහුට යළි ඉන්දියාවට යන්නට සිදුවුණා. ඒ ඉන්දියානු සිනමා ශිල්පීන් මෙරටින් පිටමං කිරීමේ වැඩ පිළිවෙල නිසා. ආත්ම පූජා චිත‍්‍රපටය ඉතරු ටික රූප ගත කරන්න ඉන්දියාවට වුනත් යන්න නිෂ්පාදක ගුණරත්නම් සැළසුම් කළත් මස්තාන් කියා සිටියේ එය ගාමිණී ෆොන්සේකා නිම කරාවි කියලා.

 ඒ අනුව එය අවසන් කළේ ගාමිණී.. කොහොම උනත් මේ අවස්ථාවේ චිත‍්‍රාගාරයේ ඇතැම් පාලකයෝ මස්තාන් මහතාට හිමි මුදල් හරියට ගෙව්වේ නෑලූ‍. ඒ පාර කෝපවුණු මස්තාන් මහතාගේ භාර්යාව චිත‍්‍රාගාරයට වැලි මිටක් අරන් විසිකරලා. මේක ගිනි අරන් විනාස වෙන්න කියලා. කොහොම උනත් 1983 අවුරුද්දේ මේ දැවැන්ත චිත‍්‍රාගාරය ගින්නෙන් විනාස උණා. ඒ ගින්න තිබ්බේ පිටින් ආපු මැරයන්ට වඩා එහි දේපළ අල්ලන්න බලා හිටපු සමහර සිනමා ශිල්පින්ගේත් දායකත්වය ඇතිව කියලා සමහරු කියනවා. කොහොම උනත් මස්තාන් මහත්තයාගේ නෝනා සාප කරපු එක හරි ගියා කියලා තමා මේ ගැන වතාවක් එහි සිටි අති දක්ෂ සිනමා ශිල්පියෙක් පැවසුවේ. කොහොම උනත් මස්තාන් නැවත ලංකාවට ආවේ නැහැ. එහෙත් හැටේ දශකයේ අමුතුම සිනමා විලාසයක් ගෙනා මෙරට ජනප‍්‍රිය සිනමාව තහවුරු කළ මස්තාන් හමුවන්නට මට අවස්ථාව ලැබුණා. ඒ මදුරාසියේ (වර්තමාන චෙන්නාය නගරයේ * ඔහුගේ නිවහනේ. ඒ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතාගේ මග පෙන්වීම යටත්. 1998 වසරේ විතර. බොහෝ අමාරුවෙන් ගේ හොයා ගත්තට මස්තාන් මහත්තයා සාකච්ඡුාවක් දෙන්න කලින් කොන්දේසියක් පැනවූවා. ඒ තමයි ඔහුගේ නිවසේ ඔහු සමඟ දහවල් ආහාරයට එනවා නම් පමනක් කියන කොන්දේසිය. මේ කතාවේ ඔහු තමන්ට වුණු මෙහිදී සිදුවූයේ යැයි කියන අසාධාරණකම් ගැන වචනයක්වත් පැවසුවේ නැහැ.

ඔහු ගේ චිත‍්‍රපට ගැන අභිරුචියෙන් කතා කළා. ඒ වගේම තමන් අතින් ශිල්පය ඉගෙන ගත්තු අපේ රටේ සිනමා ශිල්පීන් සම්මාන ගත් ආරංචි කිව්වාම ඔහු සතුටු වුණේ තමන්ගේ දරුවකු ගැන සතුටු වුණු පියෙකු වගේ කියලයි මට හිතුණේ. මේ අල්ලපු ගෙදර චිත‍්‍රපටයට මුලින් නම දාලා තියෙන්නේ වට්ටඩියෝ කියන නම. වට්ටඩියෝ කියන්නේ පුරාජේරුකාරයෝ නැත්නම් කපටියෝ කියන අර්ථය දෙන වචනයක්. හැබැයි මේ නොතේරෙන නමට වඩා දෙමළ චිත‍්‍රපටයේ හැටියටම අල්ලපු ගෙදර කියලා නම දාපු එක නම් චිත‍්‍රපටයට ආශිර්වාදයක්. අල්ලපු ගෙදර චිත‍්‍රපටයට පාදක වනුයේ 1960 වසරේ තැනුණ අඩුත්ත වීඩු පෙන් කියන දෙමළ චිත‍්‍රපටය කියලා කිව්වත් එයට ඇත්තටම පාදක වනුයේ 1952 වසරේ බෙංගාලි බසින් තැනුණු පශෙර් බාරි කියන චිත‍්‍රපටය. පශෙර් බාරි කියන්නෙත් අල්ලපු ගෙදර කියන එකම තමා. එය බෙංගාලි කෙටිකථාවක් ඇසුරු කර ගෙන තැනූ චිත‍්‍රපටයක්. මේ බෙංගාලි චිත‍්‍රපටය කොපමණ ජනප‍්‍රිය වුණා ද කිවහොත් එයින් පසු තෙළිඟු‍ බසින් පක්කා ඉන්ති අම්මමෙයි නමින් 1953 වසරේත් චිත‍්‍රපටයක් හැදුණා. දෙමළ චිත‍්‍රපටය හැදුණේ එයින් පසුවයි. මේ දෙමළ හා තෙළිඟු‍ චිත‍්‍රපට දෙකේම ප‍්‍රධාන චරිතය රඟපෑවේ අංජලී දේවි නමි ජනප‍්‍රිය සිනමා තරුව. පස්සෙන් පහු 1968 වසරේ දී පඩෝසන් නමින් හින්දි බසින් සිනමාවට නැගුනෙත් මේ කථාවමයි.කොහොම උනත් මේ සියලූ‍ චිත‍්‍රපට වලට වඩා සිංහල චිත‍්‍රපටය හැම අතින්ම ඉහළ බව කිව යුතුයි. සිනමාකරුවකු හැටියට මස්තාන් කතාව ආභාෂය ගත්තාට හැදුවේ තමන්ගේම චිත‍්‍රපටයක්. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය සඳහා නිෂ්පාදක මුලින් තෝරා ගත්තේ එඩි ජයමාන්න වුනත් මස්තාන් එයට කැමැති වුණේ නැහැ. ඔහුගේ හිත ගිහින් තිබුනේ ඒ වන විට අලූ‍ත් විකට නළුවකු වූ ජෝ අබේවික‍්‍රමට.

එයට පෙර ධිවරයෝ චිත‍්‍රපටය හදද්දී ගුණරත්නම් කියපු නළුවා තෝරා නොගන්නා මස්තාන් ඒ වෙනුවට අලූ‍ත් නළුවකු වන ගාමිණී ව යොදා ගන්නවා. එයට පෙර අදට වැඩිය හෙට හොඳයි චිත‍්‍රපටයේ රඟපාද්දී එවකට නැගී එන නවක නළුවකු වූ ගාමිණී දාපු පාට් ගුණරත්නම්ට ඇල්ලූ‍වේ නැහැ. ඒ නිසා ධීවරයෝට ගාමිණීව තෝරා ගැනීමට ගුණරත්නම් කැමැති වුණේ නැහැ. සංදේශය චිත‍්‍රපටයටත් ගාමිණී තෝරා ගත්තාට ගුණරත්නම් කැමැති වුණේ නැහැ. එය ආචාර්ය ලෙස්ටර් ගේ හිතුවක්කාර තීරණයක්. එහෙත් ධීවරයෝ අධි සාර්ථකත්වය නිසා ගාමිණි යොදා චිත‍්‍රපට රැුසක් තනන්නට ගුණරත්නම් දෙපාරක් හිතුවේ නෑ. ඒ විතරක් නෙවේ ගාමිණි සහ ගුණරත්නම් අතර ඉතා ඉහළ මිත‍්‍රත්වයක් පවා ගොඩ නැගෙනවා. කොහොම උනත් අල්ලපු ගෙදරට ජෝ අබේවික‍්‍රම තෝරා ගත්තත් ඒ වන විට ජෝ මහත්තයාට පැපොල රෝගය වැළදෙනවා. මස්තාන් කිසිම පැකිලිමකින් තොරව ජෝ නම් නවක නළුවා වෙනුවෙන් අල්ලපු ගෙදර රූප ගත කිරීම කල්දානවා. නිෂ්පාදක ගුණරත්නම් කියන්නේ චිත‍්‍රපටයට නිකම්ම සල්ලි දාපු කෙනෙක් නොවේ. චිත‍්‍රපටයේ හැම කටයුත්තක් ගැනම ඔහුට අවබෝධයක් තිබුණා. ඉතින් අල්ලපු ගෙදර රූ ගන්වපු කොටස් ගුණරත්නම් නරඹනවා. හරියට හොලිවුඞ් නිෂ්පාදකයෙක් වගේ. බලන ගුණරත්නම් එකපාරම මෙහෙම කියනවා.

මස්තාන් මහත්තයා මම මේ චිත‍්‍රපටයට කැමැති නැහැ. හැබැයි එච්චරයි කියන්නේ. ඉතින් මස්තාන් ඇතුලූ‍ කණ්ඩායම ආපහු රූ ගන්වනවා. උත්තරේ ඒකමයි. ඔන්න අට වැනි වතාවට ගුණරත්නම් මහත්තයා මෙහෙම කියනවා. හරි ෂෝක්.

ඒ අට වැනි වතාවට ගුණරත්නම් දැක්කේ පරිපූර්ණ දැක්මක්. ඒ හින්දා තමයි එක් අතකින් සිනමාස් චිත‍්‍රපට ඒ දවස්වල ජනප‍්‍රිය වුණේ. ධීවරයෝ චිත‍්‍රපටයේ බහුතරය එළිමහනේ රූප ගත කළ මස්තාන් අල්ලපු ගෙදර සම්පූර්ණයෙන්ම රූප ගත කළේ චිත‍්‍රාගාරය ඇතුළේ. අල්ලපු ගෙදර හදන්නට මස්තාන් ගේ මෙහෙයුමත් ගුණරත්නම්ගේ මෙහෙයුමත් කෙතරම් සාර්ථක දැයි දැනෙන්නේ අවුරුදු පනහක් ගිහිල්ලාත් එහි ජනප‍්‍රියත්වයට හා අපූර්වත්වය අදටත් ඉහළ නිසාවෙන්.