කූඩාරමෙන් නිවහනට...

මැයි 16, 2019

 

සංචාරක සිනමා ශාලාවක් පවත්වා ගැනීමට පෙර අදාළ ප්‍රදේශවලින් අවසර ලබා ගතයුතු විය. බොහෝ විට ඒ තාවකාලික බදු පදනමිනි. ඇතැම්විට ඉඩම බදු ගත්තේ මාස තුනකට නොඅඩු හෝ වසරකට වැඩි කලක් සඳහාය. ඇතැම් ප්‍රදේශයන්ගේ සිනමා ඉල්ලුම හා ඉඩම් වල වටිනාකම අනුව හෑන්ස් වැන් ස්ටාරෙක්ස් බොහෝ ප්‍රදේශවලින් ඉඩම් මිළයට ගත්තේය. පසුකලෙක ස්ථිර ගොඩනැඟිලි සහිත ඉම්පීරියල් සිනමාහල් ඉදිවූයේ ඒ අවදියේ මිළයටගත් ඉඩම්වලය. ඉම්පීරියල් සටහන් අනුව වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ජීවත්වූයේ කොළඹ හැරුණු විට සබරගමුවේය. එබවින් ඉම්පීරියල් සංචාරක සිනමා ශාලා රැසක් සබරගමුවේ ඉදිවිණ. ඔවුනගේ මුල්ම ස්ථාවර සිනමාශාලාව ඉදිවුණේ ද සබරගමුවේය.ඒ යටියන්තොටය.

 

එහි බැල්කනිය කුෂන් කරන ලද ආසන වලින් සමන්විත විය. පහතමාලයේ පුටු සහ බංකුවලින් සමන්විත විය. වතු හිමියන් ඇතුළු ප්‍රදේශයේ ප්‍රභූවරුන් හැමවිටම අසුන් ගත්තේ බැල්කනියේය. යටියන්තොට හැරුණු විට සබරගමුවේ රත්නපුර, බලංගොඩ, ද ඉම්පිරියල් සිනමාහල් ගොඩ නැඟිණ. බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල , පාණදුර ,බේරුවල සහ කළුතර ද මධ්‍යම පළාතේ තලවකැලේ ද නැගෙනහිර පළාතේ මඩකලපුව සහ මුත්තූර් ද සෙසු ඉම්පීරියල් සිනමාහල් පැවැති ස්ථානයන්ය.

සංචාරක සිනමාහලක් එක් තැනකින් තවත් තැනකට යන විට ඒ පිළිබද සියලු වාර්තා කළමනාකරු විසින් ප්‍රධාන කාර්යාලයට දැන්විය යුතුවිය. ඒ සමග අඟලේ සිතියම් මඟින් සලකුණු කිරීම ද අත්‍යවශ්‍ය විය. මේ නිසා දිනපතා ඔවුන්ගේ සංචාරය ද නවාතැන් ගත් ප්‍රදේශය ද පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කොළඹ කාර්යාලයට ලැබීම අනිවාර්ය කරුණක් විය. අලුත් ප්‍රදේශයක චිත්‍රපට ප්‍රදර්ශනයේ දී කරත්ත අත් පත්‍රිකා ආදියෙන් ප්‍රචාරයක් සිදු කරන ලදී. ලවුඩ්ස්පීකරයක් බැඳ ගත් මෝටර් රථ යෙදුණේ පසුකාලිනවය. කරත්තය සඳහා මෝලං සංගීත කණ්ඩායම් ද සහායට ගැනිණ. ගමට චිත්‍රපටයක් පැමිණීම පළාතේ ප්‍රබෝධයට හේතුවූ අතර ප්‍රභූවරුන්ගේ විශේෂ ගෞරවය ද සිනමාහලේ කළමනාකරුට ලැබිණ. එබැවින් කෑමෙන් බීමෙන් පමණක් නොව ඇතැම් පළාතක නම් ගත හා සිත යන දෙකම සනසන දෑ ඇතැම් කළමනාකරුවන්ට නොමිළයේම ලබා ගත හැකිව තිබිණ. මුල් අවදියේ චිත්‍රපට ප්‍රදර්ශනයෙන් සියයට තිස් පහක් චිත්‍රපට සපයන්නාට හිමි විය. ඉතිරිය ප්‍රදර්ශකයා සතුවිය. ප්‍රවේශපත්‍රය මුද්‍රණය කරවන ලද්දේ ද සමාගම මගිනි. කලකදී ප්‍රවේශපත්‍රයට අමතරව කුඩා සිනමා සඟරාවක් ද ඉම්පීරියල් මුද්‍රණාලයේ මුද්‍රණය විය. පසුකලක නම් දැරූ සිනමා ලේඛකයන් රැසකගේම තිඹිරි ගෙදර එය විය. සරසවියේ කලක් අතිශය කීර්තිමත් ලේඛකයකුව සිට අකල් මරණයකට ගොදුරු වූ සුනිල් හොරේෂස් මෙන්ම රෝලන්ඩ් අබේපාල (දැන් මහාචාර්ය) ද ඒ අතර වෙයි.

චිත්‍රපට කර්මාන්තය පුළුල් වීමත් සමග බොහෝවිට ඉම්පීරියල් චිත්‍රපට සපයා ගත්තේ සිලෝන් තියටර්ස් වෙතිනි. පසුකලෙක විට්ටචිචි පවුලට අයත් ජෙමිනි සර්කිට් නමින් තවත් සංචාරක සිනමා ශාලා ව්‍යාපාරයක් ඇරඹි අතර ඔවුන් චිත්‍රපට ලබා ගත්තේ සීමාසහිත සිනමාස් වෙතින්ය. ජෙමිනි සහ ඉම්පීරියල් තරගකාරි සමාගම් වුව ද ඔවුහු ඉඳහිට චිත්‍රපට හුවමාරු කර ගත්හ. ඒ අනුව සිනමාස් සමාගමේ ඇතැම් සාර්ථක චිත්‍රපටයක් ඉම්පීරියල් සංචාරක සිනමාහලක දී ද දැක ගත හැකි විය.

චිත්‍රපටය අතරතුර සිදුවන ගැටුම් ද මේ ප්‍රදර්ශනයේ සුලබ කාරණයක් විය. බොහෝ විට චිත්‍රපට නරඹන්නට ප්‍රේක්ෂකයන්ට ඇති ඉස්පාසුවක් නොමැතිවීම අරගලයන්ට ලොකුම හේතුව විය. කාටත් කලින් ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම එහි ලොකුම වෑයම විය. බොහෝ කූඩාරම් චිත්‍රපට සඳහා චිත්‍රපට ලැබුණේ ප්‍රදාන සිනමාහල් වලින් ඉවත් කළ පසුවය.මුල් යුගයේ නම් සෘජුවම චිත්‍රපට ප්‍රදර්ශනයට ඉඩ ලැබිණ. . ඉම්පීරියල් ස්ථාවර සිනමාශාලා ගොඩ නැංවීමෙන් පසු සිලෝන් තියටර්ස් ප්‍රදර්ශක මණ්ඩලයේ ප්‍රධාන සිනමාහල් රාශිය අතරට පත්වන්නට ඔවුන්ට හැකිවූයේ පැරණි ව්‍යාපාරික සබඳතාවත් සමගය. මේ අතරින් ද වඩාත් ජනප්‍රිය සිනමාහල් බවට පත්වනුයේ කුරුණෑගල ඉම්පීරියල් සිනමාහල සහ රත්නපුර සිනමාහලයි.

අරුණ ගුණරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.