සූරියකොටුවේ ඉන්ද්‍ර සභාවක්

දෙසැම්බර් 6, 2018

 ෆැන්ටස්මගෝරියා (phantasmagoria) යනුවෙන් වර්තමානයේ හැදින්වෙනුයේ වීඩියෝ ක්‍රීඩාවක් වුව ද එය අදින් සියවසකට පෙරාතුව භාවිතයට ගනු ලැබුණේ මිනිසුන් අන්දමන්ද කිරීමටය. චලන චිත්‍රයට විළිලන එකල එයට පූර්ව මග සාදා එළි පෙහෙළි කරන ලද්දේ මෙබඳු දෘශ්‍ය ප්‍රයෝග මගිනි. මැජික් ලන්තෑරුම් එකක් හෝ වැඩි ගණනක් යොදවමින් නරඹන්නන් අන්දමන්ද කරවමින් විවිධ භූතාත්ම හෝ සුරංගනාවන් ආදිය ඇස් පනාපිට තිරය මතුපිට මවා පෙන්වීමට මෙම ක්‍රමවේදය උපයෝගි කොට ගැනිණ.

එය මැජික් ශිල්පීන්ට මහත් ඵල ගෙන දුන්නේය. එම දර්ශන පැවැත්වූයේ අඳුෙර්ය. රූපය තීවෘ කිරීමට පරිබහිරව එයට සමගාමිව ශබ්ද උපයෝගි කර ගැනිණ. ජර්මනියේ දී හැදී වැඩුණු මෙම තාක්ෂණය 19 වන සියවසේ මුල යුරෝපයේ සිට අමෙරිකාව කරා පැතිර ගියේය. එය වර්තමාන ත්‍රිමාණ තාක්ෂණයේ මුල් පියවර ලෙස සලකණු ලබති.

ආචාර්ය ධම්මික දිසානායක රාජකීය ආසියාතික සංගමය හමුවේ ඉදිරිපත් කරන ලද මෙරට මුල්ම සිනමා ප්‍රදර්ශනය පිළිබද පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් කරන පරිදි 1873 දෙසැම්බර් 18 වැනි දින ද සිලෝන් ටෙටම්ස් පුවත්පතේ මුල් පිටුවේ පළ කරන දැන්වීමකට අනුව චාල්ස් කෘගර් විසින් මැජික් ලන්තෑරුම උපයෝගි කොට ගෙන පැවැත් වූ දර්ශනයක් විය. එය හඳුන්වාදීතිබුණේ ෆැන්ටස්මගෝරියා ලෙසය. එය මෙරට පැවැත් වූ මුල්ම චලන චිත්‍ර දැක්ම ලෙස හැදින්වීම යුක්ති සහගතය.

ඒ එයට පෙරාතුව පැවැත්වූ දර්ශනයක් පිළිබඳ සොයා ගත නොහැකි නිසාවෙනි. එම දර්ශනය පවත්වන ලද්දේ කොළඹ නගර ශාලාවේ දී ය. ඒ එම දෙසැම්බර් මස විසි වැනි දාය. එම දර්ශනය සදහා ජවනිකා හතරක් අඩංගු විය. එහි මුල් දර්ශනයට වලාකුළු එකතුව, බිහිසුණු සුළං ප්‍රවාහයන්, ගස්කොළන් සෙලවීම, හා ධාරාණිපාත වැස්ස අඩංගුව තිබිණ. දෙවැන්න ගොඩබිමින් යුරෝපයට යන මාර්ගයේ ප්‍රධාන නැවතුම්පළ හැඳීන්වීමකි. තෙවැන්න ළදරු ඇඬිල්ලේ සිට ආයාවරුන්ගේ තර්ජනය සහ ළදරු ප්‍රතික්‍රියාවන්ය. සිව්වැන්න ප්‍රංශ සහ පර්සියානු යුද්ධයයි. මෙයින් දෙවැන්නේ සහ සිව්වැන්නේ එන සිද්ධීන් කතිකයෙකු විසින් වැඩිපුර විස්තර කරන ලදී.

එදවස කොළඹ නගර ශාලාව තිබුණේ පිටකොටුවේය. කෙසේ වෙතත් මුල් දවසේ මැජික් ලන්තෑරුම හරිහැටි ක්‍රියාත්මක නොවීමෙන් ප්‍රේක්ෂකයන් නොසන්සුන්ව කෑගැසු වග ද වාර්තා වෙයි. මෙම දර්ශන මාලාවන් අතිශය ජනප්‍රිය විය. කෘගර් ගේ දර්ශන පසුව මහනුවර දී ද පැවැත් වූ අතර කොළඹ ෆ්‍රෙන්ඩ් ඉන් නීඩ් සමාජයට ආධාර පිණිස පැවැත්වූ දර්ශනයෙන් එනම් 1874 සැප්තැම්බර් 15 වැනි දින ප්‍රදර්ශනයෙන් පවුම් හැත්තෑවක් උපයා ගත් වග 1874 සැප්තැම්බර් 04 වැනි දින ද සිලොන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ අනුව මෙම ප්‍රසංග මාලාව සාර්ථක වීම මත එක්කෝ කෘගර් මෙකී මුළු කාලයම මෙරට රැදි සිටියා හෝ එසේ නැතිනම් යළි විදෙස් සංචාරයකින් පසු මෙරට පැමිණියා විය හැකිය. මෙම වකවානුවේ තවත් බොහෝ නාට්‍යකරුවෝ විදේශයෙන් මෙරටට පැමිණියහ. 1879 වසරේ මෙරටට පැමිණ කොළඹ මල්වත්තේ දී ආචාර්ය සිල්වෙස්ටර් ගේ නිව් තියටර් ඔෆ් ඉලියුෂන්ස් මගින් ප්‍රදර්ශණය කරන ලද ආලෝක චිත්‍ර දැක්ම ද ප්‍රක්ෂේපණ මගින් පැවැත්වූ දර්ශන මාලාවක් ලෙස පැහැදිලිය.

1888 ජනවාරි පස් වැනි දින කොළඹ බැටෑලියන් තියටර් හි කපිතාන් හෙයාස් සහ ඔහුගේ භාර්යාව විසින් පවත්වන ලද ප්‍රදර්ශනයේ ද මැජික් ලන්තෑරුම උපයෝගී කොට ගත් බව 1888 ජනවාරි මස පස් වැනි දින සිලෝන් එක්සැමිනර් පුවත්පත වාර්තා කරයි. මෙල්බර්න් සිට බොම්බාය බලා යමින් සිටි ද රෝයල් ඉංග්ලිෂ් ඔපෙරා කම්පැණි, ජපානයේ ද රෝයල් ටයිකූන් ගෘප්, කොලින්ස් හා එඩ්වඩ්ගේ ප්‍රසංග සමාගම, මිකාඩෝ ජැපැනිස් තියටර් සංගමය, ආදි විදෙස් නාට්‍ය සමාගම් රාශියක් එකල මෙරට නාට්‍ය ඉදිරිපත් කළහ.

ඇතැම්විට නාට්‍ය ජවනිකා පමණක් නොව විවිධ සංදර්ශන ද මෙම ප්‍රසංග සඳහා ඇතුළත් ව තිබුණ වග මහාචාර්ය තිස්ස කාරියවසම් ගේ සිංහල නාට්‍ය කලාවේ විකාශය ග්‍රන්ථය හෙළිකරයි. එමෙන්ම ශාන්ත තෝමස් විදුහලේ නාට්‍ය කණ්ඩායම, පොලිස් ආධුනික නාට්‍ය කණ්ඩායම වැනි නාට්‍ය කණ්ඩායම් ද මෙරට ක්‍රියාකාරිව කටයතු කළහ.

මේ නාට්‍ය ඉංග්‍රිසි බසින් නිර්මිත ඒවාය. 1861 වසරේ ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණෙන මැක්ලම්ස් ග්‍රෙට් නම් අමෙරිකානු සර්කස් කණ්ඩායම ද සිය දර්ශන වාරයන් පවත්වනුයේ මල්වත්ත පාරේ දීය. වෘත්තිය සමාගමක් වූ එය සිය ආසන වෙන් කරන ලද්දේ ප්‍රේක්ෂකයන්ගේ සැප පහසුව සළකමිනි.සිට ගෙන නරඹන්නන්ගෙන් රුපියලක් අය කළ ඔවුන් එම කොටස ගැලරිය නමින් හදුන්වා දී තිබිණ.

1877 මැයි මස 26 වැනි දින හින්දුස්තාන් ඩ්‍රැමටික් කම්පැණි පිටකොටුවේ පුෂ්පා ශාලාවේ ඉන්දර් සභා නම් ගීත නාටකය වේදිකාගත කිරිම මෙරට විශේෂ සිදුවීමකි. ඉන්දර් සභා උර්දු බසින් රචනා කරන ලද නාට්‍යයක් වන අතර එය රචනා කරන ලද්දේ අගා හසන් අමනාත් කවියා විසිනි.

එය මුල් වරට වේදිකා ගත වනුයේ 1853 වසෙර්ය. ඒ අවාද් හි නවාබ් වරයා වන වජිද් අලි ෂා ගේ ඉල්ලීමටය. එයට පාදක වනුයේ මහාභාරතයේ එන දේව කතාවකි. ලංකාවේ දී එම නාට්‍යය රඟ දැක්වූයේ පිටකොටුවේ සුරියකොටුව නමින් හැදින්වූ ප්‍රදේශයේය. කොළඹ නගරයේ බොහෝ පැරණි ග්‍රාම නාමයන් ව්‍යවහාරයෙන් ඈත් වූ ආකාරයටම සූරියකොටුව ද ව්‍යවහාරයෙන් ඈත්වූවකි. සූරියකොටුව යනු කොටුවේ දුම්රිය පොළ ට මුහුණ ලා ඉදිරියට යන මල්වත්ත පාරේ වම් පසින් පිහිටි භූමියයි.

අද ප්‍රසිද්ධ රථ ගාලක් මෙන්ම එහි කෙළවරක රේගු දෙපාර්තමේන්තු මූලස්ථානය ද පිහිටුවා ඇත්තේය. ඉතිරි බිමිකඩ තවම හිස්ය. සූරියකොටුව දහ අට වන සියවසේ කොළඹ පැවැති බොහෝ සංදර්ශන ,ප්‍රදර්ශන, ආදී දේට වෙන් වූ බිම් කඩකි. පළමු ලෝක මහා සංග්‍රාමයේ අතරතුර ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුමක් ලෙස කොළඹ වරායට නුදුරින් ගොඩ නැංවූ ගබඩා සංකීර්ණයක් සඳහා එම බිම් කඩ පසුව වෙන් විය. චාර්ම්ස් ධාන්‍යාගරය නමින් ගබඩා සංකීර්ණයක් ඉදිව තිබුණේ ද එම බිම්කඩෙහිය.

එය චාර්ම්ස් නමින් නම්වූයේ 1915 වසරේ සිංහල මුස්ලිම් කෝලාහලයේ දී යුද්ධ නිතිය පැනවීමෙන් සිය චරිතයට කළු පැල්ලමක් ඇති කර ගෙන අවසානයේ තනතුරත් අහිමි කර ගත්ත ද පාලි හා බෞද්ධ උගතෙකු මෙන්ම ත්‍රිපිටකයේ මජ්ජිම නිකාය සහ පන්සිය පනස් ජාතකය ඉංග්‍රිසි බසට පරිවර්තනය කළ රොබට් චාර්ම්ස් ආණ්ඩුකාර නමිනි.

තවත් සිය වසකට ආසන්නයේ දි ධාන්‍යගාරය ද එයින් ඉවත් විණ. එසේ නොවන්නට නූර්ති යුගයේ මෙන්ම ඉන් අනතුරුව සිනමා යුගයේ ද ජනී ජනයා වෙත යොමු කළ ඵතිහාසික බිම් කඩ ලෙස අදට ද සළකුණු ඉතිරි වන්නට එහි ඉඩ තිබිණ. මන්ද යත් පසුකලෙක මුල්ම සිනමා ප්‍රදර්ශනයේ දී සිනමා ශාලාවක් ලෙස ලන්ඩන් බයිස්කෝප් ශාලාව ඉදිවුණේ ද එහි බැවිනි. එකී පැරණි බිම සිහි වන්නට අද ගෙන්දගම් පොළවේ ඉතිරිව ඇත්තේ කන පැලෙන සංගීතයෙන් යුත් ගීත කඩවලින් පිරි එකදු මලක් හෝ නොමැති මල්වත්ත පාර නම පමණි.

එහි වේදිකා ගත කරන ලද ඉන්ද්‍ර සභා නාටකය ලංකාවේ පමණක් නොව ඒ සමයේ ඉන්දියානු නාට්‍ය කලාවේ ද නව ප්‍රබෝධයක් ඇති කරලිමෙහි සමත් විය. එකක් නම් එහි ආ මියුරු ගිතයන්ය. අනික රංගනයේ දී හා වේදිකාවේ දී අනුගමනය කළ ක්‍රමවේදයයි. පැය තුනකට නොවැඩි කාලයක් වේදිකා ගත වූ මෙම නාට්‍යයන්ගේ ගී පෙර ඇසුණු ගීවලට වඩා මිහිරි විය.

එහි නළුවන් මෙන්ම නිළියන් ද වූ වග වාර්තා වෙයි. ඉන්දර් සභා 1932 වසරේ දී සිනමාවට නැගුණ අතර එය ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ ලොව වැඩිම ගීත ගණනක් ඇතුළත් චිත්‍රපටය හැටියටය. එයට ගීත 72 ක් ඇතුළත් විය. එයට මුලින් පාදක වූ ඉන්දර් සභා නාටකය එතරම් ආශ්වාදයක් ගෙන දීම අරුමයක් නොවේ.

මෙරට බැස්ටියන් වැනි තරුණයන් පමණක් නොව අනතුරුව බිහි වන ජනප්‍රිය ඉන්දියානු සිනමාවේ ද මුල එහිය. එපමණක් නොව අපේ සිනමාවේ පසුකාලින නම් දැරූ ඇතැමෙකුගේ මුල් පරම්පරාවන් මෙකී පාර්සි නාට්‍ය අනුභූතිය ඔස්සේ කළ එළි බට බව තවමත් රහසකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.