සුළුතරයක ගේ බහුතරය

දෙසැම්බර් 13, 2018

තවත් වසර ගණනාවකින් එළි දකින ඉන්දියානු කතානාද සිනමාවේ පමණක් නොව ඒ ආශ්‍රයෙන් ගොඩ නැගෙන ලංකාව ඇතුලු අසල්වැසි දේශයන්ගේ සිනමාවේ ද රුව ගුණ සඳහා වඩාත් බලපෑම් කරන්නේ පාර්සි නාටක බව නොරහසකි. සිනමාව බිහිවන්නට පෙරාතුවම පාර්සි නාට්‍ය මෙරට ජනප්‍රිය කලාවන්ගේ ආකල්පයන්ට සෘජු බලපෑම් කරන්නට පටන් ගත්තේය.

නාඩගම් යුගය හමාර කොට නූර්ති යුගය ආරම්භය සඳහා පමණක් නොව පාර්සි නාටක, ජනප්‍රිය සංගිතය කෙරෙහි ද බලපෑවේය. ලාංකික සිනමාවේ ඉතිහාසය පිළිබඳ සොයන අපට එකී පුර්ව යුගය ගවේෂණයේ දී පාර්සි නාටක මෙරට කලාවන්ට කරන ලද බලපෑම නොසලකා හැරිය නොහැක්කේ එබැවිනි.

පාර්සිවරුන් යනු ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ජනගහනය පිරික්සා බැලූව ද සංඛ්‍යාත්මකව ඉතා සුළුතරයකි. එහෙත් ඔවුන් ඉන්දියාවේ මෙන්ම ලංකාව ඇතුළු රාජ්‍යයන්ගේ වර්තමාන කලාවන්ට මෙන්ම ආර්ථිකයෙහි ද කරන ලද බලපෑම ඉමහත්ය. මේ පාර්සිවරුන් කවුරුන් ද ? වසර දහස් ගණනක් ඉන්දු නිම්නයේ හැදුණු සංස්කෘතියක් ලොව පුරා ගෙනයන්නට ඔවුන් දැක්වූ දාකත්වය මෙහිදී නොසලකා හැරිය යුතු නොවේ.

පාර්සි ජාතිකයන්ගේ සැබෑ නිජබිම ඉන්දියාව නොවේ. පැරණි පර්සියාව යනු පාර්සිවරුන්ගේ නිජබිමයි. එනම් වර්තමාන ඉරාකය සහ ඉරානයයි. කලක එය ලොව බලවත්ම රාජ්‍යයක්ව තිබිණ. පළමුවන ඩේරියස් රජ සමයේ (ක්‍රිස්තු පූර්ව 530 පමණ) ඔවුහු බැබිලෝනියාව ග්‍රීසිය වැනි එවකට සශ්‍රික රාජධානි පවා සිය අණසකට යටත් කර ගත්හ.

පාර්සියානුවෝ ලොව පැරණිතම දහමක් ලෙස සළකන සොරස්ත්‍රියන් ධර්මය අදහති. වසර දෙදහස් පන්සියකට එපිට එය සරථුස්ත්‍ර නම් ශාස්තෘවරයෙක් විසින් දෙසන ලද දහමකි. ඒ ක්‍රිස්තුපූර්ව 1500 දී පමණය. ඔවුහු ගින්දර පූජනීය වස්තුවක් සේ සලකනු ලබති.

පර්සියානු අධිරාජ්‍යය ක්‍රිස්තුවර්ෂ 700 දී පමණ ඇද වැටෙනුයේ මුස්ලිම් ආක්‍රමණයත් සමගය. සමහරු ඉස්ලාම් ධර්මය වැලඳ ගනිමින් පර්සියාවේ ජිවත්ව සිටිය දී කොටසක් සිය ධර්මය රැගෙන ඉන්දියාවට පළා ආහ. ඔවුන් පදිංචි වූයේ බොම්බායට නුදුරිනි. නැව් ඉදිකිරිමෙහි මෙන්ම නාවික ව්‍යාපාරයේ ද පතළ වූ ඔවුහු බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ව්‍යාපාරිකයෝ ලෙස ඉක්මනින් ඉහළ නැගුණහ.

ඔවුහු ආනයන හා අපනයන වෙළඳාම හරහා අසල්වැසි රටවල පවා සිය ව්‍යාපාර ගොඩනැගූහ. මුල්ම පාර්සි නාට්‍ය ලෙස ඉන්ද්‍ර සභා මෙරට වේදිකා ගත වන විටත් පාර්සිවරු මෙරටට අමුත්තෝ නොවූහ. ඔවුන් මෙරටට පැමිණියේ 16 වැනි සියවසේ පමණයැයි ගාල්ල වරාය අවට ඇති පාර්සි සොහොන් කොත්වල සඳහන් බැව් නුවන් ගන්කන්ද විසින් රචනා කරන ලද අපි නොදන්නා ලංකිකයෝ ග්‍රන්ථයේ සඳහන් වෙයි. එම හෙළිදරව්ව කරන ලද්දේ අමාත්‍යවරයකුව සිටි අභාවප්‍රාප්ත ජේ.එන්.චොක්සි මහතා විසිනි. චොක්සි ලංකාවේ පාර්සි ජාතිකයෙකි.

1803 වසරේ දී හෝමුස්ජි අස්පානඩියාජි කම්භාතා මෙරට ව්‍යාපාර අරඹන මුල්ම පාර්සි ජාතිකයාය. ඔහු සතුව නැව් තුනක් තිබිනැයි මහාචාර්ය කුමාරි ජයවර්ධන සිය සොක්කන් ලොක්කන් වූ වගයි ග්‍රන්ථයේ සදහන් කරයි. 1807-13 කාලය ඇතුළත කොවස්ජි එදුල්ජි, ෆ්‍රාම්ජි බිකයිජි ,සොරාබිජි පෙස්ටන්ජි, එදුල්ජි හොර්මුස්ජි, සොරාබ්ජි රටන්ජි, සහ ඩාඩි මංචර්ජි ද මෙරට ව්‍යාපාර ඇරඹූහ. 1880 ගණන් වන විට ඉන්දියාව හා ලංකාව අතර නාවික ව්‍යාපාරයේ මෙන්ම ආනයන අපනයන වෙළඳාමේ ද ප්‍රමුඛත්වය ගැන්මට පාර්සි ජාතිකයෝ සමත්වූහ. (මෙයට සමගාමිව බෝරා ජාතිකයෝද ව්‍යාපාර ලෝකයේ යෙදුණහ) බ්‍රිතාන්‍යයන් සමග තිබුණු ඇයි හොඳයිය නිසාම පාර්සිවරුන් ට සිය ව්‍යාපාර පුළුල් කිරිමේ අවහිරයක් නොවුණු වග පෙනී යයි.

බොම්බායේ මුල්ම වානිජ මණ්ඩලයේ සාමාජිකත්වය ගත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන් හැරුණු විට සෙසු සාමාජිකයන් වූයේ පාර්සි ජාතිකයන් ය. බොම්බායේ බැංකු ව්‍යාපාර අරඹන මුල්ම ස්වදේශිකයන් වනුයේ ද පාර්සි ජාතිකයන්ය. මෙරට මුල්ම වාණිජ මණ්ඩලයේ ආරම්භක සාමාජිකයන් අතර සිටි බ්‍රිතාන්‍යයන් නොවන සාමාජිකයන් දෙදෙනා වනුයේ ද පාර්සි ජාතිකයන්ය. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ගේ ඉතාම සැලකිය යුතු සහයෝගිකරුවන් ලෙස හැඳීන්වුව ද ඉතා ඉක්මනින් බ්‍රිතාන්‍යයන් අබිබවා මෙරට වෙලඳ කටයුතුවල යෙදෙන්නට මෙකී ඉන්දියානුවන් සමත් වූ වග පෙනී යන කරුණකි.

සියවසකට එපිට ඉංග්‍රිසින් විසින් අරඹන මෙරට වෙලඳාමේ යෙදෙන කීර්තිමත් නාමයන් සහිත සමාගම් ඔවුන් අතින් මුල්වරට ගිලිහෙනුයේ එම කාරණය නිසාය. කොවස්ජි එදුල්ජි මෙරටින් කෝපි අක්කර 815ක් මිළ දී ගත්තේය. ෆ්‍රාම්ජි බිකයිජි ගෙන් පැවැත ආ පී.එස්, ඩී.බී, හා බී.එෆ් ඛාන් සොහොයුරන් මෙරට දේශපාලනයට ද සම්බන්ධ වූහ. කොටුවේ සුප්‍රකට ඛාන් ඔරලෝසු කනුව ඉදි කරවන ලද්දේ ද ඔවුන් විසිනි. ඒ ෆ්‍රාම්ජි බිකයිජිගේ මරණයෙන් 45 වසර සැමරීම සදහාය.

පාර්සිවරු නාට්‍ය කලාව වෙත යොමුවන්නේ 18 වන සියවසේ මැදභාගයේය. 1776 වසරේ දි ලන්ඩනයේ ග්‍රාන්ට් රෝඩ් තියටර් අනුව යමින් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් හා පෙරදිග ඉන්දියානු වෙලඳ සමාගම වෙනුවෙන් බොම්බේ තියටර් ගොඩනැඟීම එහි වැදගත් සිදුවීමක් විය. ශ්‍රීමත් ජාම්ශෙඩ්ජි ජීජීබෝයි විසින් 1857 වසරේ ජේ ජේ ස්කූල් ඔෆ් ආට් නමින් විශිෂ්ට පාසල ආරම්භවීම පාර්සි නාට්‍ය සම්ප්‍රදායේ විශේෂ සිදුවීමක් විය.

ඉන්දියානු අධ්‍යාපනයේ විශිෂ්ටයකු වන ජගන්නාත් ශංකර්ශේට් මෙහිලා කැපී පෙනෙන වැදගත් මෙහෙයක් ඉටු කළේය. දශකයක් ඇවෑමෙන් වෘත්තිය නළුවන් මෙන්ම රචකයන් හා නිර්මාණකරුවන් ඉන්දියාව පුරා පැතිරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

සිය සෙසු ව්‍යාපාර මෙන්ම පාර්සිවරු මෙම නව කලා ව්‍යාපාරය ලාබ උපයන ව්‍යාපාරික මට්ටම දක්වා වර්ධනය කළහ. දාදාබායි නාරෝඕජි විසින් අරඹන පාර්සි ස්ටේජ් ප්ලෙයර්ස්,(1853) වික්ටෝරියා කම්පනි (1867) එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් කම්පනි,(1863) සොරස්ට්‍රියන් ත්‍රියට්‍රිකල් ක්ලබ්,(1866) මේ ආකාරයෙන් ඉන්දියාවේ ගොඩනැගුණ පාර්සි නාටක සමාගම්ය.

මේ සියල්ලම මෙරට දී වේදිකා නාට්‍ය ඉදිරිපත් කළ බව පැහැදිලිය.එමෙන්ම බොම්බායේ පාර්සි නාට්‍ය ආභාසය ලද පිරිස කරච්චි, හා ලාහෝර් (වර්තමාන පාකිස්තානයට අයත්,එදවස ඉන්දියාවේ) මෙන්ම අග්‍රා.හයිද්‍රාබාද්,ලක්නව්, වැනි නගරයන්හිද සිය අනු සමාගම් පිහිටුවා ගත්හ.‍ පැරණි සංස්කෘත නාට්‍ය විලාසය මෙන්ම ශේක්ෂ්පියර් නාට්‍ය ද ආභාසය ලබන පාර්සි නාට්‍ය ඒ වන විට බ්‍රිතාන්‍ය සමග අලුත් වන ජනතා රස වින්දනය ගොඩ නැංවීමට මහත් මෙහෙයක් කළේය. ප්‍රේම වෘත්තාන්ත. මෙන්ම වීර කාව්‍යයන් ද, ඔවුහු එකසේ තරගකාරිව වේදිකාවට නැංවූහ. අගා හෂීර් කාශ්මීර්, නාරායන් ප්‍රසාද් බේතාබ්, විමින්ජ් කව්සාජ් වැනි රචකයන් ද ශොරාබි මෝඩි, ප්‍රිත්විරාජ් කපූර් වැනි ඉන්දියානු සිනමාවේ පතාක යෝධයන් වැන්නන් ද පැණ නැඟුණේ එකී පාර්සි නාටක ඔස්සේය.

ලක්නව් නගරයේ දී හැදෙන ඉන්ද්‍රසභා සෙසු පාර්සි සමගාමී එහි ආභාසය ලබන දකුණු ඉන්දියානු නට්‍යකරුවන් කම්පනි නාටක් ද බෙංගාලයේ වංග ජාතිකයන් කල්කටා තියටර් ද ගොඩ නැංවූයේ ඒ අනුවය. පසුකාලිනව ඉන්දියානු කතානාද සිනමාව ගොඩනංවනුයේ මේ සමාස්ථාර්ථයේ එකතුවෙනි. මෙරට මුල්ම සිනමා ශාලාවනුයේ නෘත්‍ය ශාලාවන්ය. අප මුලින් ගීත ලෙස අසන්නේ ද පාර්සි නාට්‍යවල ගී තනු අනුව තැනෙන සිංහල ගීතයන්ය.

එහෙත් අප රටේ චිත්‍රපට තනන්නට ලෝක සිනමාවේ මුල්ම චිත්‍රපටය තනා වසර පනහක්ම ගත වන තුරු සිටිය යුතුවූයේ ඇයි ? බැස්ටියන් විසින් ගොඩ නංවන ලද සිංහල නෘත්‍ය ලෝකයේ නිහඬ සිනමාව ඉදිරියේ නිසොල්මන් වූයේ මන්ද? නොඑසේ නම් මුල්ම ලාංකික නිහඬ චිත්‍රපටය තනන්නට 1925 වනතුරු ද කතානාද චිත්‍රපටය තනන්නට 1947 වසර වන තුරු ද කල් බලන්නට අපට සිදුවූ කාරණය කුමක්ද ? පාර්සි නාට්‍ය මත ගොඩ නැගුන ද මෙරට සිනමාව හදන්නට පුරෝගාමි වනුයේ බෝරා ජාතිකයෙකි. කතානාද සිනමාවට මුල පුරනුයේ දෙමළ ජාතිකයන්ය.

එය විමසන්නට පෙරාතුව ඉන්ද්‍ර සභා නාට්‍යයෙන් මෙරටට පිවිසි පාර්සි නාට්‍ය සමාගම් හා නිර්මාණ ගැන ද බැස්ටියන් හා සමකාලින ලාංකික නාට්‍යකරුවන් ගැන ද යම්තාක් දුරට විමසා බැලිය යුතුව ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.