හනුමාට පෙර ගිනිගත් රාමායණය

දෙසැම්බර් 27, 2018

මරදාන හන්දිය අබිමුවෙහි ඇති එල්ෆින්ස්ටන් සිනමාහල කොළඹ නගරයේ ඇති අලංකාර ගොඩනැගිලි අතරින් එකක් බැව් අමුතුවෙන් කිවයුතු නැත. හොලිවුඩ් සිනමාව ඔස්සේ මුල් යුගයේ බිහි වූ සිනමා මාලිගා (නඪජබභපඥ නචතචජඥ) සංකේතවත් කරන එල්ෆින්ස්ටන් සිනමා හල ඉදිවූයේ 1919 වසරේ පමණය. එහෙත් ලංකාවට එල්ෆින්ස්ටන් නාමය මුල්වරට අසන්නට ලැබෙන්නේ මරදානේ සිනමා හල නිසා නොව කොළඹ කොටුවට පැමිණි එල්ෆින්ස්ටන් නම් පාර්සි නාටක සමාගම නිසාය. මෙම නාමය ලංකික සිනමාවේ පමනක් නොව ඉන්දියානු සිනමාවේ ද වැදගත් ස්ථානයක් උසුලයි. 19 වන සියවසේ දී ඉන්දියාවේ බිහි වූ පාර්සි නාටක ව්‍යාපාරයේ ඉහළම ස්ථානයන් ලබා ගත් සමාගම් අතර එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් ක්ලබ් ද ඇත්තේය.

අනෙක 1889 වසරේ මෙරටට පැමිණි වික්ටෝරියා තියට්‍රිකල් කම්පනි ආයතනයයි. කටාවු ඇල්ෆ්‍රඩ් නම් දැවැන්ත පාර්සි නාට්‍ය සමාගම මෙරටට පැමිණි වගක් අපට ඉතිහාසයේ හමුවන්නේ නැත. මෙම සමාගම් දෙකම මෙරට දී ඉන්ද්‍ර සභා වේදිකා ගත කරති. එල්ෆින්ස්ටන් සමාගමේ ඉන්ද්‍ර සභා මෙන්ම ගුලේබකාවලී, ඇලඩින් සහ පුදුම පහන, තිලස්මේ පරස්තාවු, මහා ඇලෙක්සැන්ඩර් වැනි නාට්‍ය කොටුවේ මල්වත්ත පාරේ රැකට් කෝට් හි දී රඟ දක්වන ලද බව ද සිලෝන් ටයිම්ස් පුවත්පත 1882 වසරේ ජනවාරි 30 වැනි දින වාර්තා කරයි. රැකට් කෝට් යනු කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ඇති මල්වත්ත පාරට යාබද ව තිබුණු සූරිය කොටුවට යෙදුණ තවත් නමකි. මෙම නාට්‍ය සමාගම් ආසියාව පුරා සිය නාට්‍ය නිරන්තරයෙන් රඟ දැක්වූහ. එල්ෆින්ස්ටන් ඩ්‍රැමටික් ක්ලබ් පිහිටුවාලනුයේ කූවර්ජි නසීර් විසිනි. කුවාරජි නසීර් ට බෙහෙවින් උපකාර කළ ප්‍රකට ඉතිහාසඥයකු හා බොම්බායේ ආණ්ඩුකාරවරයා ව සිටි මවුන්ට්ස්ටුවර්ට් එල්ෆින්ස්ටන්ට ගෞරවයක් ලෙස තම සමාගම එල්ෆින්ස්ටන් නමින් නම් කරන ලද බව පැවසේ. එමෙන්ම අන් තැනක සඳහන් වනුයේ කුවාර්ජි බොම්බායෙ ඇති පැරණිතම විදුහලක් වන එල්ෆින්ස්ටන් විදුහලේ ශිෂ්‍යයකුව සිටි බවය. මුම්බායි නගරයේ එල්ෆින්ස්ටන් විදුහල පිහිටුවාලනුයේ ද මවුන්ට්ස්ටුවර්ට් එල්ෆින්ස්ටන් විසිනි. කෙසේ හෝ වේවා ඉන්දියානු ඉතිහාසයේ දී එල්ෆින්ස්ටන්වරු තිදෙනෙක් බ්‍රිතාන්‍ය පාලන සමයේ හමුවෙයි. එමෙන්ම බොහෝ පාර්සි සමාගම් සිය ව්‍යාපාර සඳහා බ්‍රිතාන්‍යයන්ගේ සිත් දිනා ගැනීමේ අරමුණින් මෙන් ඉංග්‍රිසි ඌරුවට නම් දමා ඇති වගක් දැකිය හැකිය. පසුකලක මෙම සමාගම මෙරට සිනමා කර්මාන්තයේ පුරෝගාමියකු වද්දී එහි හිමිකරු වනුයේ 1882 වන විට එහි සුළු සේවකයකුව සිට ජාම්ෂෙඩ්ජි ෆ්‍රාම්ජි මදාන් ය. ජාම්ෂේඩ්ජිගේ එක් සොහොයුරකු වන කුර්බෙෂ්ජි වික්ටෝරියා තියට්‍රිකල් කම්පැනි ආයතනයේ වෘත්තිය නළුවකු විය. වික්ටෝරියා තියට්‍රිකල් කම්පනි මෙරට දී ලද ජනප්‍රියත්වය 19 වන සියවසේ දී වෙනත් පාර්සි නාටක සමාගමක් නොලද බව ඉතිහාසය තහවුරු කරන කරුණකි. ඔවුහු පුරා මාස තුනකට ආසන්න කාලයක් කොළඹදී සිය නාට්‍යයන් ඉදිරිපත් කළහ. එයට සමගාමිව දේශිය නිෂ්පාදන කිහිපයක් මෙන්ම වෙනත් විදෙස් සමාගම් ද සිය නාට්‍යයන් ඉදිරිපත් කළ ද පාර්සි නට්‍ය ලද ජනප්‍රියත්වය එයට සම කළ නොහැකි විය. මේ නිසාම ඇතැම් නාට්‍ය රඟ දක්වන ලද්දේ උදේ 10.30 ට ය.

පාර්සි නාටක ලබන අතිශය ජනප්‍රියත්වය කෙබඳු ද යත් 1899 වසරේ දී පූර්වදිග නෘත්‍ය සමාගම මඟින් නිපදවන ලද අලිබබා සහ හොරු හතළිහ නාට්‍යය වේදිකා ගත කර ගත හැකි වනුයේ එක් දවසක් පමණකි. 1930 පමණ වනතුරු පාර්සි නාට්‍ය සමාගම් මෙරට නාට්‍ය වේදිකා ගත කරන ලදී. එය බිඳ වැටෙනුයේ අනුක්‍රමයෙන් හින්දි සහ දෙමළ කතානාද සිනමාව නෘත්‍ය අබිබවා මෙරට රසිකයන් ග්‍රහණය කර ගැන්මෙන් පසුවය. ඒ වන විට නූර්තිය සඳහාම ගොඩ නැගුණ බොහෝ රංග ශාලා සිනමා ශාලා බවට පරිවර්තනය ව තිබිණ. ඉන්දියානු සිනමාවේ පියා ලෙස සලකන දාදා සහාබ් පාල්කේ හැරුණු විට සෙසු සියලු පුරෝගාමීහු පාර්සි නාටක හරහා සිනමාවට පැමිණෙන්නෝය. විශේෂයෙන් ඉන්දියානු කතානාද සිනමාව බිහිවීමත් සමග එතෙක් ඉතිරිව සිටි පාර්සි නාට්‍යකරුවන් ද සිනමාවට එක්වූහ. එහි මුල් ආයෝජකයන් බහුතරය පාර්සි සමාගම්ය. එහෙත් අඩ සියවසකටත් වඩා උක්ත පාර්සි නාට්‍ය හා හැප්පුණ ද දැවැන්ත නාට්‍ය ව්‍යාපාරයක් මෙරට දී බිහි කරන්නට ලාංකිකයන් අසමත් වූ වගක් පෙනී යයි. එමෙන්ම මෙරට නාට්‍යකරුවන් බහුතරයක් සිනමාව වැලඳ ගන්නට උත්සුකවූ වගක් ද පළ නොවේ. කඩවුණු පොරොන්දුව සිනමාවට නඟන්නට ජයමාන්නවරු කැමැතිවනුයේ බොහෝ කරුණු වටහාදීමෙන් බැව් මේ ලිපි මාලාවේ ඉදිරියේ කියවන්නට ලැබෙනු ඇත. තම නාට්‍ය සිනමාවට අනුවර්තනය කරන්නට ස්වේච්ඡාවෙන් පෙළඹුණ වගක් පෙන්වනුයේ සිරිසේන විමලවීර පමණකි. වර්තමානයේ පවා ඉන්දීය චිත්‍රපට හා ටෙලි නාට්‍යය මෙරට රසිකයන් වැලඳ ගන්නා ආකාරය එදා හා සැසඳීම යුක්ති සහගත වන්නකි. මෙම පාර්සි නාට්‍යයන්ගේ ආභාෂය ලැබූ දකුණු ඉන්දිය නෘත්‍ය සමාගම් ද මෙරටට පැමිණි වග මෙහිලා අමතක කළ යුතු නැත. මදුරාසියේ හින්දු විනෝද සමාගම, මදුරාසියේ මහමත් නෘත්‍ය සමාගම, මදුරාසියේ සරස්වතී රංග මණ්ඩපම් මේ අතරින් කිහිපයකි.

බැස්ටියන්ගේ සමකාලින හා පසුකාලීන නාට්‍ය සමාගම් රාශියක් මෙරට නෘත්‍ය ව්‍යාපාරය ගෙන යනු ලබන බව පෙනුනක් ඒ අතරින් බහුතරයක් එක් නාට්‍යයකට හෝ දෙකකට සීමා වන ලකුණු පෙනී යයි. පැහැදිලිව පෙනෙන කරුණ නම් විදේශයන්ගෙන් එන සිනමා කෘති හමුවේ නෘත්‍ය ව්‍යාපාරය අනුක්‍රමයෙන් පහළ බසිමින් පැවැති බවය.

බැස්ටියන්ගේ සිංහල නෘත්‍ය සමාගම මතභේද හමුවේ ඉතා ඉක්මනින් කඩා වැටිණ. එමෙන්ම නාට්‍ය කණ්ඩායම් අතර අරගල ද සුලහ විණ. මරදානේ පැවැති පොල් අතු නාට්‍ය සංගමයේ ශාලාව ගින්නට හසුවිණ. ජෝන් ද සිල්වා විසින් නිර්මාණය කරන ලද මුල්ම නාට්‍යය වූ රාමායණය මුල් දර්ශනය අතරතුර මල්වත්ත පාරේ ශාලාවට කිසිවකු විසින් ගිනි තබනු ලැබිණ. එයින් අති විශාල පාඩුවක් දරන්නට ජෝන් ද සිල්වාට සිදුවිය. අනතුරුව රාමායණය වේදිකා ගත වන්නේ ගිනි ගත් රාමායණය නමිනි. රාමායණයට ගිනිතැබීම පිළිබඳ සැකය එල්ල වූ අය අතර බැස්ටියන්ගේ නම ද විය. පසුව නීති වෘත්තිය හදාරන ජෝන් ද සිල්වා විශිෂ්ට නාට්‍යකරුවකු ලෙස මතුව එන්නේය. ඔහු මෙන්ම බැස්ටියන් ද මෙරට මිනිසුන්ගේ ආකල්ප ගොඩ නැඟීමෙහිලා සිය නාට්‍ය ව්‍යාපාරය යොමු කළ බව පෙනී යන කරුණකි. ඒ අවදියේ ඉන්දියානු කලාපය පුරා යන බ්‍රිතාන්‍ය ආකල්ප වලට එරෙහි දේශිය හැඟිම් ඔප් නැංවීමේ ව්‍යාපාරයට කලා නිර්මාණ වලින් තල්ලුවක් ලැබුණ වග පෙනෙන කරුණකි. එය දේශපාලකයන් විසින් උපයෝගි කර ගනු ලබනුයේ විසි වන සියවසේ දීය. පාර්සි නාට්‍ය සිනමාවට අනුවර්තනය වන විට තැනුණු ඉන්දියානු සිනමා කෘති වල දී ද ඉන්දියානු ආකල්ප ඉස්මතු කොට දැක්වීම මුල් යුගයේ දැක ගත හැක්කේය.

නෘත්‍ය දැක්ම සදහා ප්‍රචාරය අත්‍යවශ්‍ය වූ වග පැහැදිලිය. ගුවන් විදුලිය හෝ නොතිබුණ එකල ඒ සදහා කරත්ත උපයෝගී කර ගනු ලැබිණ. එමෙන්ම අත් පත්‍රිකා බෙදා දීම සුළභව සිදුවින. මෙකී අත් පත්‍රිකාවල කතා සාරාංශය ද ඇතුළත්ව තිබිණ. පුවත්පත් මගින් ද දැන්වීම් පළ කෙරිණ. එය සිදු කරන ලද්දේ ප්‍රධාන පෙලේ නිෂ්පාදකයන් පමණකි. ඉංග්‍රිසි මෙන්ම සිංහල පුවත්පත්වලද නාට්‍ය පිළිබඳ ලිපි පළවිණ. බොහෝ ඉංග්‍රිසි පුවත්පත්වල පවා සිංහල නාට්‍ය පිළිබඳ ලිපි පළවීම දැක ගත හැකිය. නෘත්‍ය යුගයේ දී පවා ඇතැම් රචකයන් සිය පිටපත ලියන ලද්දේ නළුවන් සිතේ තබා ගෙනයැයි මහාචාර්ය තිස්ස කාරියවසම් සිංහල නාට්‍යයේ විකාශය කෘතියේ සඳහන් කරයි. එමෙන්ම නාට්‍ය කලාව ශුද්ධ තත්වයක පැවැත්විය යුතු හෙයින් මත්පැන් වැනි දෑ රංග ශාලාවලින් ඉවත් කළ බවත් මහාචාර්යතුමන් පවසයි. නළුවන් අතර විශේෂ හික්මීමක් පැවැත්වීම අවශ්‍ය විය. මෙය මෙරට මුල් යුගයේ සිනමාකරණයේ යෙදුන ඉන්දියානු සිනමාකරුවන් තුළ ද පැවැති විනයක් විය. නාට්‍ය අතරින් රසිකයා වඩාත් ඇලුම් කරන ලද්දේ ගීතයටය. ඇතැම් නාටක පෙළ මුද්‍රණය විය. සමහර නාටක පෙළ එළි දුටුවේ නාට්‍ය වේදිකා ගත වන්නට කලින්ය. ජෝන් ද සිල්වා ගේ ඇතැම් නාට්‍යයන් සඳහා පිටපත් පන් දහසක් පමණ පෙළ මුද්‍රණය වූ වග වාර්තා වෙයි. පිටපතක මිළ සත පනහකි. ඒ සඳහාම අලුත් මුද්‍රණාල පැන නැගුණ බැව් මහචාර්ය තිස්ස කාරියවසම් පෙන්වා දෙනු ලබන්නකි. එමෙන්ම පසුකාලීනව ඇතැම් නාට්‍ය ගීත තැටි මගින් ද එළිදැකිණ. කෙසේ වෙතත් ග්‍රැමෆෝන් ගීතය මෙරට එළිදකින්නේ විසි වන සියවසේ ආරම්භයේ පමණය. එබැවින් සී.දොන් බස්තියන් ගේ ගීත තැටියට නැගුණේ එම නාට්‍ය වේදිකා ගත වූ පසුකලක බැව් පෙනෙන කරුණකි.

එලෙස එළි දුටු ගීතය අපේ මෙන්ම ඉන්දියානු සිනමාවට ද ඉහළ අගයක් ගත්තේය. එයට පාදක වනුයේ ද පාර්සි නාටක හරහා ගොඩ නැගුන නව ආශ්වාදයම විනා වෙනත් කවරෙක්ද ?

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.