පුෂ්ප ශාලාවේ අවසානය- ලන්ඩන් බයිස්කෝප් ආරම්භය

ජනවාරි 10, 2019

කොළඹ කොටුව ඉදිරිපිට සූරිය උයන නැතහොත් රැකට් කෝට් හෙවත් මල්වත්තේ ෆ්ලවර් හෝල්, ශාලාවට පුෂ්ප ශාලාවයැයි සිංහල පරිවර්තිත නමක් ලැබෙනුයේ 1886 මැයි මස 27 වැනි දින ලක් මිණි පහන පුවත්පත මගින් පුර්වදිග නෘත්‍ය සමාගමේ රාමායනය රඟ දැක්වීම පිළිබඳ දැන්වීමත් සමගය. පූර්ව දිග නෘත්‍ය සමාගම යනු ජෝන් ද සිල්වාට අයත් නාට්‍ය සමාගමයි. එයට පෙර එම ශාලාව හඳුන්වනුයේ ෆ්ලවර් හෝල් නමින් පමණකි. කිසිවෙක් නොසිතූ පරිදි 1886 ජූනි මස 5 වැනි දින ෆ්ලවර් හෝල් ශාලාව කිසියම් අබිරහස් ගින්නකින් විනාශව ගියේය. ඒ ජෝන් ද සිල්වා ගේ රාමායනය පෙන්වන දෙවැනි දිනයේ දීය. මෙම ගින්න ට හේතුව සෙවීමට කොළඹ නගර සභාව මගින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත් කරන ලද්දේ එය වුවමනාවෙන් ඇති කළ ගින්නකැයි සැක මතුවූ හෙයිනි. පොලිස් මූලස්ථානයේ ගිනි නිවන යන්ත්‍රය එතැනට එන විටත් ගොඩනැගිල්ල වටා මුළුමනින්ම ගින්න අරක් ගෙන තිබිණ. ගින්නෙන් විනාශ කළ නොහැකි දැවැන්ත යකඩ බාල්ක හා කනු විනා සෙසු සියල්ල ඒ ගින්නට හසුවිය. අසල බේරේ වැවෙන් එක එල්ලේ ජලය ඉසින්නට තරම් යන්ත්‍රයේ බට දිග නොවිණ. ඒ අසල තවත් සර්කස් සංදර්ශනයක් ද වෙනත් මඩුවක පැවැති අතර එයට ගිනි ඇවිලෙනු ඇතැයි බියක් ද පැවතිණ. එහෙත් ගින්න දවාලූයේ රාමායනයේ වස්ත්‍රාභරණ හා දේපළ මෙන්ම පුෂ්ප ශාලාව පමණකි. විවෘත ශාලාවක් වූ හෙයින් කිසිවකුට හෝ අනතුරක් නොවීය. මෙම ගින්නට හේතුව තරගකාරි වෙනත් නාට්‍යකරුවන් කිහිප දෙනෙකුගේ කඩාකප්පල් කටයුත්තකැයි සැක පහළ වුවද ඒ පිළිබඳ නිශ්චිත සාධකයක් නොවීය. පසුකලක ගිනි හටන නමින් නාට්‍යයක් නිර්මාණය කරන්නට ජෝන් ද සිල්වා පෙළඹවූ කාරණය එය විය.

 සැකය සහමුලින්ම එල්ලවූයේ දොන් බැස්ටියන් ජයවීර හා ඒ වනවිට පුෂ්ප ශාලාවේ නාට්‍ය පෙන්වමින් සිටි තවත් නාට්‍යකරුවකු වන සී ද ජෑන්ස් වෙතටය. රාමායනය රඟ දැක්වීමට පෙර ඒහි තිබුණ බැස්ටියන්ගේ පාසලට අයත් බංකු කිහිපයක් ඉවත් කර ගැනිම ඔහු කෙරෙහි සැකය යොමු වන්නට හේතු වූයේය. ජෑන්ස් ගේ පූර්ණ චන්ද්‍රාලෝක නාට්‍ය සමාගමට සැකය එල්ලවූයේ රාමායනය රඟ දක්වන දින තුළම ඔහුගේ නාට්‍යයක් ද රඟ දැක්වීමට සැලසුම් කළ ද ශාලාවට නියමිත ගාස්තු නිසි ලෙස නොගෙවීම නිසා ඔහුට එය නොලැබීම යන කාරණය හේතු කොට ගෙනය. කෙසේ වෙතත් පුෂ්ප ශාලාව ගින්නට හසුවීම විශාල ගැටළුවක් විය. එමෙන්ම නුර්ති ව්‍යාපාරයට මහත් පාඩුවක් ද විය. එබැවින් ගින්නෙන් ඉතිරි වූ දෑ එකතු කොට නව ශාලාවක් ඉදිකරන්නට බොහෝ දෙනා උත්සුක වූහ. එහි ඉතිරිවූ යකඩ කනු ආදිය උපයෝගි කොට ගෙන තාවකාලික මඩුවක් ඉදිකිරිම ඔවුන්ගේ අරමුණ විය. දෙවසරකට පසු නගර සභාවෙන් අවසර ලැබුණේ බැස්ටියන්ගේ සිංහල නෘත්‍ය සමාගමේ වැඩ බාර කළමනාකාර සයිමන් පෙරේරා ටය. ඒ උළු සෙවිලි කළ ගොඩනැගිල්ලක් තාවකාලික පදනමක් යටතේ ඉදි කරන්නටය. 1888 වසරේ දී අරඹන ලද මෙම ශාලාව මාස පහක් ඇතුළත ඉදි කොට නිම කරවන ලදී. එයට නම ලැබුණේ නව පුෂ්ප ශාලාව යනුවෙනි (NEW FLORAL HALL)  මේ සදහා කැපවුණේ සයිමන් පෙරේරා වුව එයට මුදල් යෙදවූ දහතුන් දෙනෙකු විය. එහි පාලන බලය පැවරුණේ ආයෝජකයන් විසින් තෝරා පත් කර ගන්නා ලද හත් දෙනෙකුටය. ශාලාව සදහා මුදල් යෙදවූ පිරිස විවිධ ජාතින්ට අයත්වූවන්ය. සමාගමේ කොටසක් රුපියල් සියයක් වූ අතර එයින් සියයට තිස් පහක්ම එවකට කොළඹ පිටකොටුවේ සුප්‍රකට සිංහල ව්‍යාපාරිකයකු වූ එල්.බී.ප්‍රේරා සතුවිය. මෙම සමාගම් කටයුතු කරන ලද්දේ සමාගම්වල ව්‍යාපාරික කටයුතු පිලිබඳ අවබෝධයකින් යුතුව බැව් සිංහල නාට්‍ය ඉතිහාසය ලියන ඩී.වී.හපුආරච්චි පෙන්වා දෙනු ලබන්නකි. මෙම ශාලාව නාට්‍ය සඳහා පමණක් නොව කොළඹ නගරයේ වෙනත් කටයුතු සදහා ද කුලියට දෙනු ලැබිණ.

එහෙත් නව කුසුම් ශාලාව සිතූ තරම් ලාභ උපදවන ව්‍යාපාරයක් නොවිණ. එයට හේතුව වූයේ ඒ වන විට වඩා අංග සම්පූර්ණ ශාලාවක් කොළඹ යූනියන් පෙදෙසට නුදුරු ඉබ්බන්වල පෙදෙසෙහි ඉදි කිරිමයි. එබැවින්ම 1900 වන විට පුෂ්ප ශාලාව ගරා වැටීම ආරම්භ විය. එය නැවත ප්‍රතිසංස්කරණය නොවිණ. එයින් පසු පිටකොටුවේ මල්වත්ත පාරේ නාට්‍ය පැවැත්වනුයේ තාවකාලිකව ඒ සදහා ගොඩ නඟා ගන්නා ලද ශාලාවන්ගේය. සිංහල නාට්‍ය සභාව මගින් 1901 වසරේ නාට්‍ය රඟ දැක්වූයේ මල්වත්ත පාරේ අභිනව ක්‍රිඩා මණ්ඩල ශාලාවේ බැව් 1902 වසරේ ජූලි මස 10 වැනි දින දිනපතා ප්‍රවෘත්ති පුවත්පත වාර්තා කර සිටියි. මෙම මඩුවෙහි ආසන කදිමට පනවා ඇතැයි ද පුවත්පත සඳහන් කළේය. දිනපතා ප්‍රවෘත්ති කතුවරයා වනුයේ බැස්ටියන් ජයවීරය. මෙම ශාලාවේ කාන්තාවන් සදහා වෙනමම ආසන පනවා තිබිම විශේෂ සිදුවීමක් විය.

1909 පෙබරවාරි මස 13 වැනි දින වන විට මෙරට මුල්ම සිනමා ශාලාව ලෙස සැලකෙන ලන්ඩන් බයිස්කෝප් ශාලාව ටී.ඒ.ජේ.නූර්බායි විසින් ඉදිකරනු ලබනුයේ ද මේ භූමි භාගයේමය. 19 වැනි සියවස වන විට පදිංචිකරුවන් පිරි පිටකොටුව සහ කොටුව ප්‍රදේශ විසි වැනි සියවසේ මූලාරම්භය සමග ජනාවාසයන්ගෙන් තොර ව්‍යාපාරික ස්ථානයක් බවට පරිවර්තනය වන්නට පටන් ගත්තේ ශීඝ්‍රයෙනි. 1868 වසරේ දී 54802 ක්වූ කොළඹ ජනගහනය 1901 වසරේ දී 154691 ක් විය. 1914 වසරේ දී පළමු ලෝක මහා සංග්‍රාමය ද ඇරඹිණ. රට පුරා ඇතිවිය හැකි භාණ්ඩ හිඟය මැඩලීමට නම් වරාය අවටින් විශාල ගබඩා සංකීර්ණයක් ඉදිවිය යුතුව තිබිණ. සූරිය උයන චාමර්ස් ධාන්‍යාගාර භූමිය ලෙසට පරිවර්තනය වූයේ එයින් පසුවය. වරාය අවටින් එතරම් හොඳ ගබඩා සංකීර්ණයක් සොයා ගැන්මට අද පවා කොළඹට නොහැකි බැව් අමුතුවෙන් කිවයුතු නැත. කොටුව පිටකොටුව ප්‍රදේශවාසින් එයට නුදුරු වඩා දියුණුවෙමින් පවතින අසල්වැසි පෙදෙස් කරා සංක්‍රමණය වන්නට විය. මරදාන, කොටහේන බොරුල්ල ආදි ප්‍රදේශ වඩා ජනාකීර්ණ වන්නට පටන් ගත්තේ ද මේ සමයේය. මෙම වකවානුවේම සූරිය උයනට නුදුරින් තිබුණු බේරේ වැවේ එහා ඉවුරට මදක් ඔබ්බෙන් තිබුණු බ්‍රිස්ටල් වීදියේ (වර්තමාන රසීක් ෆරීඩ් මාවත) පැවැති බ්‍රිස්ටල් හෝටලයේ ද බිෂු ශාලාව නමින් ශාලාවක් පැවැති අතර එය විදුලි ආලෝකය සහ පංකා ආදියෙන් යුත් රංග ශාලාවක් විය. එහෙත් මෙහි ජෝන් ද සිල්වා ගේ සිරිසඟබෝ වැනි නාට්‍යයක් එක් වරක් රඟ දක්වා ඇති නමුත් බෙහවින් නාට්‍ය රඟ දැක්වූ වගක් පළ නොවෙයි. එය සාමාන්‍යය ජනයාගෙන් බැහැරව ඉහළ පංතියට වැඩිපුර අවධානය යොමුවූ ශාලාවක් වග හැඟෙන්නකි. එමෙන්ම ග්‍රෑන්ඩ් ඔරියන්ටල් ශාලාව පිහිටියේ ද පෙනෙන මානයේමය. 1983 ජූලි කලබල අතරතුර බ්‍රිස්ටල් හෝටලයේ ඉතිරි කොටස ගිනි තබා විනාශ විය. එයට පෙර එහි තිබූ ඇතැම් අංග නවීකරණයේ දී වෙනස් ව ගියේය. අද වන විට බ්‍රිස්ටල් හෝටලයේ සළකුණක් හෝ ඉතිරිව නැත.

පුෂ්ප ශාලාව හා තරග වැදුණ පබ්ලික් හෝල් ශාලාව ඉදි කිරිමෙහි අදහස පහළ වනුයේ මෙරට නෘත්‍ය කලාව ආරම්භ වන්නටත් පෙරාතුවය. ඒ 1869 වසරේ පමණය. ඒ සදහා සංවිධානයක් ද පිහිටුවා ගැනුණු අතර ශාලාවේ අරමුදල සඳහා ව්‍යාපාර කොටස් ද අලෙවි කරන ලදී. එහෙත් ශාලාව ඉදිවුණේ නැත. 1870 වසරේදී මෙරටට පැමිණෙන එඩින්බරෝ ආදිපාදතුමා ප්‍රසිද්ධ ශාලාව නමින්(THE PUBLIC HALL) ගොඩනැගිල්ලකට මුල්ගල තබන ලද වග ලක් රිවි කිරණ සැප්තැම්බර් මස තුන් වැනි දින වාර්තා කරන ලදී. එය උත්සවාකාරයෙන් සිදුවූවකි. කොළඹට පිටරටවලින් එන ගී නැටුම් පවත්වන්නටත් කොළඹ ජනයාගේ ශාස්ත්‍ර දියුණුව සඳහා කලින් කලට පවත්වන අනුශාසනා කරන්නටත් සෑහෙන ස්ථානයක් ලෙස මෙම අභිනව ගොඩනැගිල්ල හඳුන්වා දී තිබිණ. මුල් ගල පැළවුණා විනා එවර අදහස ඉටු නොවිණ.

යළි එම අදහස පහළ වූයේ කුසුම ශාලාව ගිනි ගැනීමෙන් පසුවය. මේ වන විට කොළඹ නගරය පුළුල් වෙමින් පැවතුන යුගයයි. එය කොල්ලුපිටිය දෙසටද අනෙක් පසින් ඉබිබන්වල පෙදෙසට ද පැතිරෙමින් තිබිණ. අලුත් ශාලාව නිසා කුසුම ශාලාවේ හිමිකරුවන් හා නගර සභාව අතර මත අරගලයක් පැවැතියේ නව පබ්ලික් හෝල් සදහා වූ සමාගමේ කොටස්කරුවන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් අතර නගර සභිකයන් සිටිම නිසාය. එමගින් පබ්ලික් හෝල් වෙත විශේෂ වරප්‍රසාද ලැබෙන බැව් පුෂ්ප ශාලාව වෙනුවෙන් නගර සභාවට ලිපියක් ලියන සමාගමේ ලේකම් එන්.එස්.ප්‍රනාන්දු චෝදනා කර තිබිණ. පබ්ලික් හෝල් සමාගම පිහිටුවන ලද්දේ 1889 අගෝස්තු මස 5 වැනි දිනදීය. එහි ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් අතර ද විවිධ ජාතීන්ට අයත් සාමාජිකයන් හත් දෙනෙක් වූහ. මේ අතරින් ඒ.සෙනෙවිරත්න මෙන්ම එෆ්.සී.ලෝස් ද කොළඹ නගර සභාවේ සාමාජිකයෝ වූහ. එබැවින් පබ්ලික් හෝල් වෙත පුෂ්ප ශාලාවට වඩා වාසි ලැබීම අරුමයක් නොවේ.

එමෙන්ම පුෂ්ප ශාලාවේ ලේකම්වරයාගේ චෝදනාව ද සහේතුක කරුණක් විය. පබ්ලික් හෝල් සඳහා රුපියල් තිස් පන්දහසක මුදලක් ආයෝජනය කර තිබිණ. 1889 වසර ගැන සලකා බලද්දී මෙය විශාල ආයෝජනයක් බැව් පැහැදිලිව පෙනෙන කරුණකි. ශාලාවට අමතරව වෙනත් ක්‍රිඩාගාර සංකීර්ණයක් මෙම ස්ථානයෙහි පිහිටුවීමට සමාගමේ මුල් ප්‍රකාශනයේ සඳහන්ව තිබිණ. 1890 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී පබ්ලික් හෝල් විවෘත විය. එය 1892 වසර වන විට අංග සම්පූර්ණ ශාලාවක් විය.

මෙරට මුල්ම චලන චිත්‍ර දැක්වීමේ භාග්‍යය හිමි කර ගත් පබ්ලික් හෝල් ශාලා තොමෝ 2003 වසරේ කඩා දමන තුරු වසර සියකට අධික කාලයක් නිරුපද්‍රිතව වාසය කොට මේ ලියන මා ඇතුළු ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ගේ සිනමා ආස්වාදය සපුරාලන්නට සමත්වූවාය. පුරා විද්‍යා රක්ෂිතයක් විය යුතු පබ්ලික් හෝල් අවසන් ගමන් ගිය හැටි ලබන සතියේ දක්වමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.