නිදහස් කාහල නාදය රැව් දුන් එම්පයර්

ජනවාරි 17, 2019

 කොළඹ නගරයේ කලකට ඉහත ඒ ඒ ස්ථාන හඳුන්වාදීමට තිබුණු ගැමි නාමයන් කල් ගතවත්ම අතුරුදන් ව ඇත. පොල්වත්ත, මරියකඩේ, මිලාගිරිය වැනි ග්‍රාම නාමයන් ජන වහරින් ඈත් ව ගොසිනි. ඒ වෙනුවට වෙනත් නාමයන් ඉස්මතු ව ඇත. එය වෙනම කතාවකි. පුරහලට නුදුරු ඉබ්බන්වල තවම ඉතිරිව ව්‍යවහාරයේ පවතින ග්‍රාම නාමයකි.

ඉබ්බන්වල හන්දියෙන් මදක් හැරී අතුරු පාරකට වන් කල එහි වටරවුමක් මැද විසල් නුග රුකකි. නුග රුක ඉදිරියෙන් අංක 51 දරන තැන පිහිටියේ පසුගිය ලිපියේ ලියන ලද පබ්ලික් හෝල් ශාලාවයි. ගාමිණී සිනමා හල අහිමිව ගියේ 1983 වසරේ වුව අදට ද මරදානේ ටී.බී.ජයා මාවත සහ ඩී.ආර්.විජයවර්ධන මාවත හමුවන හන්දිය හඳුන්වා දෙනු ලබනුයේ ගාමිණී හෝල් යනුවෙනි. එම්පයර් සිනමා ශාලාව ට පෙර ඉතා ප්‍රබල ඉතිහාසයක් කැටි කර ගත්ත ද බහුකාර්ය ශාලාවක් වන පබ්ලික් හෝල් නමින් බේබෲක් පෙදෙසේ සිනමා හල පිහිටි ස්ථානය හඳුන්වා දෙනු නොලැබිණ. ඒ පබ්ලික් හෝල් අබිබවා එම්පයර් නැගී සිටිය හෙයින්ය. මෙයට වසර විස්සකට එපිට අද ඒ වටා ඇති අහස සිඹින ගොඩනැඟිලි බේබෲක් පෙදෙසේ නොවිණ.

එය කොළඹ නගරයේ නිස්කලංක පෙදෙසක් විය. එම ප්‍රදේශය ජනාවාස වන්නට පටන් ගත්තේ 19 වන සියවසේ අග භාගයේය. කොල්ලුපිටිය සහ කුරුඳුවත්ත අතර මේ බිම් කඩෙහි පදචිංචිවූවන් යමක් කමක් ඇති මිනිසුන් වග එහි ඉතිරිව ඇති ගොඩනැඟිලි අපට කියා පාන කරුණකි. පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නමින් හඳුන්වන්නට පටන් ගත්තේ එය සිනමාහලක් වීමෙන් ද කලකට පසුවය.

පබ්ලික් හෝල් සිනමා ශාලාවක් බවට පරිවර්තනය කිරීමේ දී එහි බොහෝ දෑ වෙනස් කරන ලදී. සිනමාහලේ මහා දොරටුව විවෘත වූයේ නුග රුක ඇති බේබෘක් පෙදෙසට වුව පැරණි ශාලාවේ දොරටුව තිබුණේ එයින් ප්‍රතිවිරුද්ධ දෙසට නැතහොත් හරස් අතටය. එයට ඇතුලුවිය යුතුව තිබුණේ සිනමාහලේ දොරටුව දෙසින් නොව වර්තමානයේ දැවැන්ත මන්දිරයක් ගොඩනැගෙන බේබෲක් පෙදෙස දිසාවෙනි.

නැත්නම් සිරස නාලිකාවේ ප්‍රධාන කාර්යාලය දෙසින්ය. එහි උද්‍යානයක් ද විය. ශාලාවේ පිට පැත්තේ දිග අඩි 163 කි.පළල අඩි 72 කි. අභ්‍යන්තරයේ දිග අඩි 126 කි. පළල අඩි 36 කි. ඉංග්‍රිසි සමයේ බිහිවුණ ද හරි මැදින් දෙපළකට බෙදුණු එහි පියස්ස වඩා නෑකම් කීවේ සිංහල ගෙදරකටය. කුළුණු ඕලන්ද නිවසක කියාපෑවේය.

ශාලාවට ඇතුළුවන තැන කුඩා පඩි පෙළක් තිබුණේ කුළුණු දෙකක් සහිතවය. එය කුඩා වහලකින් ආවරණය ව තිබිණ. එයින් ඇතුළට පිවිසි වහාම ආරුක්කු සහිත ආලින්දයකි. පබ්ලික් හෝල් ශාලාවට එහි මුල් යුගයේ පටන්ම බැල්කනියක් තිබිණ. උස් ගොඩනැගිල්ලක් වීම එයට සාක්ෂියකි. සිනමාහල ලෙස අනුවර්තනය වීමේ දී එහි පැවැති කාර්යාලය සහ ප්‍රවේශපත්‍ර කවුන්ටර් ඇති කොටස අලුතින් ඉදි විය.

ඒබව මුල් ගෘහයත් ටිකට් කවුන්ටර් හා කාර්යාලය ඇති කොටසත් ප්‍රධාන ශාලාවත් අතර ඇති ගෘහ නිර්මාණ ලක්ෂණ සැසඳීමේ පැහැදිලිවේ. බැල්කනියට ගොඩ වන පඩිපෙළ හැදුණේ මේ අලුත් ඉදිකිරීම හා පැරණි ගොඩනැගිල්ල යා කරමිනි. එමෙන්ම එහි බැල්කනිය සාමාන්‍ය සිනමා ශාලාවක බැල්කනිය මෙන් උස් නොවිණ. එබැවින් බැල්කනියේ මැද ආසනයක් අසල සිට ගත් විට චිත්‍රපටයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයෙන් පිට වන ආලෝකය එහි සිටින්නාගේ සිරුර මත පතිත වීම සුලබ කරුණකි.

සිනමා ශාලාවේ තිරය ගොඩ නැඟුණේ පැරැණි වේදිකාව මතය. 1893 වසරේ මැයි මස 5 වැනි දින සරසවි සඳරැස පුවත්පත පවසන පරිද්දෙන් පබ්ලික් හෝල් ශාලාවේ තරුණාලංකාර සිංහල නෘත්‍ය සමාගම මගින් නැග්ලිනා සහ විල්බන් නම් වූ ස්පාඤ්ඤ කතාන්තරය වේදිකා ගත කරද්දී එහි යන්ත්‍ර සූත්‍ර ද උපයෝගි කර ගැනිණ. මේ සමයේ ඇතැම් නාට්‍යකරුවන් සිය නාට්‍ය වඩා ජනතාකර්ෂණය කරනු වස් රසිකයා අන්දමන්ද කළ හැකි අවස්ථා ඉදිරිපත්කිරීම සුලබ කරුණක් බව පෙනන්නකි. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර උපයෝගී කර ගැනිණ. අහසින් යන මිනිසුන්, නාවික ගමන යනාදියේ දී වේදිකාව වඩා තාත්වික කිරීම මෙහි අරමුණ විය.

1903 දෙසැම්බර් මස 19 වැනි දින සිරිසඟබෝ 26 වැනි දින උත්තර රාම චරිතය හා ජනවාරි 2 වැනි දින සකුන්තලා ද පබ්ලික් හෝල් වේදිකාවේ රඟ දැක්විණ. ඒ හරහා වඩා ඉහළ පංතියට සිය නාට්‍ය ගෙන යෑම නාට්‍යවේදී නීතිඥ ජෝන් ද සිල්වා ගේ අරමුණ විය. මේ වන විට කොටුව මල්වත්ත පාරේ නාට්‍ය රඟ දැක්වීම සහමුලින්ම අවසන් ව තිබිණ.

1907 වසරේ ජූලි මස 6 වැනි දින ජෝන් ද සිල්වා සිය අලුත් නාට්‍යය මුල්වරට වේදිකා ගත කළේ ද පබ්ලික් හෝල් ශලාවේය . ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ නාට්‍යයයි. ඒ අනුව විශ්වනාත් ලව්ජිගේ මියුරු ගී තනුවලින් හැඩ වුණු දන්න වංහු අප කන්නසාමි, පිනවන්ට සවන් ඇති වන්ට සොඳීන් වැනි ගී පනස් අටක් මුල් වරට ගැයුණේ පබ්ලික් හෝල් ශාලාවේය.

1903 වසරේ ජෝන් ද සිල්වා ගේ නාට්‍ය රංගගත කරද්දි පළමු පන්තියේ පුටු හතරක් සහිත පවුල් ආසනයක් සඳහා රුපියල් විසි පහක් අය කරන ලදී. දළ වශයෙන් එක් ආසනයක් රුපියල් හයකි. මෙය ඉතා ඉහළ මිළක් ලෙස සැලකිය හැක්කේ අනතුරුව ජෝන් ද සිලවාගේ නාට්‍යය රංග ගත කරනු ලැබූ ඌරුගොඩවත්තේ නෘත්‍ය ශාලාවේ දී ආසනයක මිළ රුපියලක් විය. පබ්ලික් හෝල් ශාලාව ඉහළ පෙළේ ශාලාවක් ලෙස එය ආරම්භයේ සිටම පැවැති වග මෙයින් සනාථ වන්නකි. එයම ජින්තුපිටියේ මුරුගන් ශාලාවේ වේදිකාගත වද්දී විශේෂ ආසනයක මිළ රුපියල් තුනක් විය.

1911 වසරේ දී පබ්ලික් හෝල් ශාලාව මෙරට පුරෝගාමි සිනමා ව්‍යාපාරිකයකු වන වොරින් බර්ට්‍රම් මේජර් ට බදු දෙනු ලැබිණ. (ඇතැම් තැනක එනම් ඩී.වී.සෙනෙවිරත්නගේ චිත්‍රපට කලාව ග්‍රන්ථයේ මේජර් වෝර්වික් යන නමින් හඳුන්වනුයේ ද ඔහු යැයි සැක කරමි. වෝර්වික් මේජර් මදුරාසියේ මුල්ම සිනමාහල වන ඉලෙක්ට්‍රික් තියටර් 1900 ගොඩ නැගූ තැනැත්තාය. 1911 වසරේ පබ්ලික් හෝල් අදාළ බදු ගිවිසුමේ සඳහන්වනුයේ වොරින් බර්ට්‍රම් මේජර් යන නමය. මේ දෙදෙනෙකු ද නැතහොත් එක් අයෙකු ද යන්න කිව නොහැකිය.) 1912 වසර වන විට ඔහු කොළඹ මල්වත්තේ පිහිටි එම්පයර් සිනමා හලේ ද හිමිකරු විය.

පබ්ලික් හෝල් ශාලාව එම්පයර් නමින් නම් කරනුයේ ද ඔහු විය යුතුය. ඔහු ගේ බදු ගිවිසුම වසර දහයකටය. 1920 දී සිනමා ශාලාව මදාන් සමාගම මගින් බදු ගනු ලැබිණ. මේවන විට පබ්ලික් හෝල් හිමිකාරිත්වය පැවරී තිබුණේ අධිනීතිඥ ඊ.ටී. ද සිල්වාටය. ඔහු පබ්ලික් හෝල් සමාගම වෙතින් එය මිළයට ගත්තේ 1918 මාර්තු 28 වැනි දිනය. 1921 ජනවාරි 31 වැනි දින සිල්වා මහතා විසින් ශාලාව එහි බදුකරු වූ මදාන් සමාගමට විකුණා දමන ලදී. මෙරට මුල්ම චිත්‍රපට දැක්ම පැවැත්වූයේ 1898 වසරේ ජනවාරි මස 8 වැනි දින බැව් මෙම ලිපි මාලාව ආරම්භයේ ම සටහන් කළෙමි.

එමෙන්ම 1902 වසරේ පෙබරවාරි 24 වැනි දින සිංහල සමය පුවත්පත වාර්තාකරනුයේ පබ්ලික් හෝල් ශාලාවේ බයිස්කෝප් ප්‍රදර්ශනයක් සිදු කළ ආකාරයයි. ඒ වන විට මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය පුළුල් මට්ටමින් ආරම්භ වී නැත. ඒ වන විට ලෝක සිනමාව කතා කියන්නට පටන් ගෙන ද නැත. පබ්ලික් හෝල් මතු යම් දිනක සම්පූර්ණයෙන් සිනමාහලක් වනු ඇතැයි එහි මුල් දර්ශනයේ දී හිමිකරුවන් කිසිවිටෙකත් හෝ සිතන්නට නැත. චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදුණ ද එම්පයර් ශාලාව බහුකාර්ය ශාලාවක තත්ත්වයෙන් මිදුණේ නැත. එය මෙරට ඉතිහාසයේ වැදගත් සිදුවීම් සඳහා ද දායක වී ඇත්තේ නිදහස් සටනේ ද කොටස්කරුවෙකු වෙමින්ය. ඒ විස්තර ලබන සතියට.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.