සිනමාවට එක්වූ මුල්ම ලාංකිකයා

පෙබරවාරි 7, 2019

 සියල්ලම අද්භූත නිහැඬියාවකට එළැඹියේය. නිහඬ බව සමග මතුවූ අඳුර රූප රාමු රාශියක් මවනු ලැබීය. එම රූප පද්ධතිය හැඟිම් හා බුද්ධිය කළඹනසුළු එකක් විය. රුසියාවේ පැවැත්වූ මුල්ම චලන චිත්‍ර දැක්මෙන් වසඟව මහා ගත්කතුවර මැක්සිම් ගෝර්කි විසින් එලෙස ලියන ලද්දේ නිජිනි නාගෲඩ් පුවත්පතටය.

ඒ 1896 වසරේ ජූලි මස 4 වැනි දිනය යි. ඊළඟ වසර දෙක තුන ඇතුළත සිනමාව ලොව පුරා පැතිර ගියේ එතෙක් සම්ප්‍රදායික ජනප්‍රිය කලා මාධ්‍යයන් සියල්ල උඩුයටිකුරු කරමිනි. සිනමාවේ මුල් දශකය පුරාම කතා කියන්නට වඩා මිනිසුන් පුදුමයට පත් කිරීමටත් වාර්තාකරණයේ යෙදෙන්නටත් කැමරාව මෙහෙය වී තිබිණ. දැවැන්ත රූප රාමු මත පතිත වන තමන්ට වඩා දැවැන්ත මිනිස් රූප හා සිදුවීම් සදහා වසඟ වන්නට ලෝකය පුරා මිනිස්සු පෙළ ගැසුණහ.

ලංකාවේ ද එය අරුමයක් නොවිණ. ලුමියෙර් සහෝදරවරුන් විසින් සිනමා වාර්තාකරණයේ මුලකුරු කියවද්දී ප්‍රංශයේම ජොර්ජ් මේලියර් එයටත් වඩා ඉක්මනින් එයින් ප්‍රාතිහාර්ය පෙන්වන්නට පටන් ගත්තේය. වෘත්තිය මැජික් ශිල්පියකු වන මේලියර් සිය සහායක දුසයන් රෙවුලස් සමග එක්ව ගොඩ නඟන ස්ටාර් ෆිල්ම් ආයතනය මෙහිලා පුරෝගාමි මෙහෙයක් ඉටු කළේය. එළැඹි විසි වන සියවස ආරම්භයේ ලොව පුරා සිනමාව වඩාත් ප්‍රචලිත වන්නට මැජික් ශිල්පින් වඩාත් ප්‍රයෝජනවත් විය. ඔවුන් සිය මැජික් දර්ශන අලංකාර කිරීමට චලන චිත්‍ර දැක්මක්ද උපයෝගී කොට ගත් වග සිනමා ඉතිහාසයේ සඳහන් වෙයි.

සිනමාවෙන් කතා කියන්නට පටන් ගත්තේ තවත් වසර කිහිපයකට පසුවය. ඒ 1903 වසරේ එඩ්වින් එස්.පෝටර් විසින් ද ග්‍රේට් ට්‍රේන් රොබරි චිත්‍රපටය නිර්මාණය කිරීමත් සමගය. එය එයට පෙර මේලියර් විසින් මිනිසුන් පිරිසක් සඳ චාරිකාවක ගොස් වන අකතරතැබ්බයක් පාදක කර ගෙන අ ට්‍රිප් ටු ද මූන් චිත්‍රපටය නමින් තැනුණු අපූරු සිනමා අත්දැකීමක් හරහා ප්‍රේක්ෂකයන් කලඹාලූයේය. මේලියර් ගේ සිනමාව වෘතාන්ත සිනමාකරණයෙහිලා නොසැලකුවද චාලි චැප්ලින් මේලියර් ගේ කර්තව්‍යය හඳුන්වනුයේ ඔහු ආලෝකයේ රසායන විද්‍යාඥයා ලෙසය. ඩී.ඩබ්ලිව් ග්‍රිෆිත් මේලියර් හඳුන්වා දෙනු ලබනුයේ සිනමාවේ සෑම දෙයකම උරුමක්කාරායා හැටියටය.

මේලියර් ගේ සිනමාව මෙරට මුල් සිනමා රසිකයන්ට ආගන්තුක වූයේ යැයි සිතීම උගහටය. එයට එක් කරුණක් නම් සිනමාව ලොව පුරා පැතිර ගියේ ප්‍රංශ නිර්මාණ ඔස්සේ වීමය. ලුමියෙර් සහෝදරයන් ගේ සිනමා කැමරාවේ අයිතිය පවරා ගන්නා ප්‍රංශ ජාතික චාර්ල්ස් ,එමිල්,තියෝපිල් යන පැතේ සහෝදරයන්ගේ සමාගම (පැතේ ෆෙරර්) බැංකු හිමිකරුවකු වූ ශාන් නෙයිරේට් ගේ සහ ව්‍යාපාරික ක්ලවුඩ් ග්‍රිවාලොස් ගේ ආධාරයෙන් ප්‍රංශ ෆ්‍රෑන්ක් මිලියනයකටත් වඩා අයෝජනය කරන ලද්දේ සිනමාවේ ව්‍යාප්තිය පිළිබද දුරදක්නා ඥනයෙන් යුතුවය. ලොව මුල්ම සිනමා සමාගම ලෙස අදටත් වැජඹෙන පැතේ සමාගමේ චිත්‍රපට ඉක්මනින් ඉන්දියානු කලාපයට පැතිරෙන්නට පටන්ගත්තේය.

මෙම චිත්‍රපට සමග ඉන්දියාවේ බිහි වූ බොහෝ සංචාරක සිනමා ව්‍යාපාරිකයෝ අවට රටවල ගම්දනව් සැරිසරන්නට වූයේ චලන චිත්‍රයේ අරුමය පෙන්වා මුදල් ඉපැයිය හැකි බව වටහා ගත් හෙයින්ය. ඉන්දියානු සිනමාවේ ඉතිහාසය සොයා යන අපට මුල්ම ඉන්දියානු කතානාද සිනමා කෘතිය නිපද වූ අර්දේශර් ඇම්.අයිරාණි සිය අත්දැකීම් විග්‍රහ කරන්නේ මෙයට කදිම උදාහරණයක් සපයමිනි. 1900 වන විට බොම්බායේ පිහිටාවනු ලබන පැතේ ෆෙරර් ශාඛාවෙන් චිත්‍රපට ලබා ගන්නා ඔහු සංචාරක ප්‍රදර්ශකයෙක් ලෙස චිත්‍රපට ප්‍රොජක්ටරයක් ද චිත්‍රපට කිහිපයක් ද ගෙන ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද ගම්දනව් සැරිසැරීම පිළිබඳ අත්දැකීම් කියාපායි.

ඉන්දියාවේ නම් මුදල් ගෙවා ගත නොහැකි බොහෝ ගැමියන් සිය වගාවන් පවා ප්‍රවේශපත්‍රයක මිළට හිළව් කළ අයුරු ඔහු පවසයි. ලංකාවේ ඔහු පැමිණි ගම්මාන කවරේදැයි සඳහන් නොවන මුත් බොහෝ විට මෙබඳු සංචාරක සිනමා ප්‍රදර්ශකයන් කොළඹ පමණත් නොව සෙසු ප්‍රෙද්ශකරා ද ඇදී යන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. බ්‍රිතන්‍ය අධිරාජ්‍යයේ ම කොටස් කරුවන්ව සිටි එකල ඉන්දියානුවන් කලාපය පුරා විවිධ වෙළෙඳාම් වල යෙදිණ.

මෙයට පෙර ලිපියක දී ම විසින් පළ කළ අප්‍රිකානු බෝයර් සිරකරුවන්ට චලන චිත්‍ර ප්‍රදර්ශනය කරන ලද ඒ.(ඇඩොල්ප්).ඩබ්ලිව් .( විලියම් ) ඇන්ඩ්‍රි පවා චිත්‍රපට ලබා ගත යුතුවූයේ සෘජුව ප්‍රංශයෙන් හෝ ඔවුන්ගේ ඉන්දියානු නියෝජිතයන්ගෙනි. ඇන්ඩ්‍රි මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමියාය.

එමෙන්ම සිනමා කර්මාන්තයට එක්වූ මුල්ම ලාංකිකයාය. බර්ගර් ජාතික පියෙකු ට දාව දෙමළ මවකගේ කුසින් උපන් ඇන්ඩ්‍රි මෙරට ඡායාරූපකරණයේ පුරෝගාමි පවුලකට ද අයත්විය. ඔහුගේ පියා වූ ජ්‍යෙෂ්ඨ ඇන්ඩ්‍රි ද ඡායාරූප ශිල්පියෙකි. සොහොයුරු බර්ටි ද ඡායාරූප ශිල්පියෙකි. පුත් ලෝරන්ස් වෘත්තියෙන් රේගු නිලධාරියකු වූ අතර පුවත්පත් කලාවේදියෙකු ලෙස ද කටයුතු කළේය. 1880 වසරේ මෙරට පිහිටුවන ලද ආධුනික ඡායාරූප සංගමයේ සාමාජිකයකු වන කනිෂ්ඨ ඇන්ඩ්‍රි සතුව ඡායාරූපාගාරයක් කොළඹ යූනියන් පෙදෙසේ අංක 40 දරන තැන තිබිණ. එය හෝප්ටන් ස්ටුඩියෝ (HOPETOUN STUDIO) නම් විය. ඔහු ඡායාරූප පළක සහ අවශ්‍ය රූප රාමු ගෙන්වා ඇත්තේ අමෙරිකාවෙනි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ ගේ සිට හෙන්රි මැක්මිලන් දක්වා කාලයේ නිල ඡායාරූප ශිල්පියා වනුයේ ද ඇන්ඩ්‍රිය.

ඔහු මෙරට මුල්ම ඡායාරූප තැපැල්පත් (පික්චර් පොස්ට්කාඩ්) නිෂ්පාදනයේ ද පුරෝගාමි විය. 1869 වසරේ උපන් ඇන්ඩ්‍රි 1910 වසරේ ජූලි මස 02 වැනි දින අකල් මරණයකට ගොදුරු විය. මෙරට සිරකරුවන් ව සිටි බෝයර් වරුන්ට චිත්‍රපට පෙන්වීමේ වරප්‍රසාදය ඇන්ඩ්‍රිට හිමි වන්නට ඇත්තේ ඔහුගේ ඉහළ සම්බන්ධතාවන් නිසා විය හැකිය. එමෙන්ම මෙරටට මුල්ම ග්‍රැමෆෝනය ගෙන්වන ඇන්ඩ්‍රි එමගින් පබ්ලික් හෝල් ශාලාවේ ප්‍රදර්ශණයක් ද පැවැත් වූ බව ඇන්ඩ්‍රි ගේ පුත් ලෝරන්ස් වරක ඔබ්සර්වර් පුවත්පතට ලියා තිබිණ. පසුකලෙක මෙරට කලා ප්‍රබෝධයක් ඇති කිරීමේ පුරෝගාමි වන ලයනල් වෙන්ඩ්ට් හට ළමා වියේ දී කැමරාවක් තිළිණ කරනුයේ ද ඇන්ඩ්‍රි විසිනි.

හෝප්ටන් ස්ටුඩියෝව දෙමහල් මන්දිරයක් විය. අද කොම්පඤ්ඤවීදියේ යූනියන් පෙදෙසේ නැතහොත් වර්තමාන කොල්වින් ආර් ද සිල්වා මාවතේ හෝප්ටන් ස්ටුඩියෝව තිබුණ තැන හඳුනා ගැනීම අපහසුය. ඒ අංක 40 නමින් තැනක් එහි නොමැති නිසාවෙන්ය. ජ්‍යෙෂ්ඨ ඇන්ඩ්‍රිගේ ඡායාරූපාගාර ය ද නිවෙස ද පිහිටියේ කොළඹ නොරිස් පාෙර්ය. එනම් වර්තමාන ඕල්කට් මාවතේය. ඇන්ඩ්‍රිගේ පුත් ලෝරන්ස් කොල්ලුපිටියේ චෙල්සි ගාඩ්න්ස් හි පදිංචිව සිටියේය. එම පරපුරේ වර්තමාන සාමාජිකයන් සොයා ගත නොහැකි විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳව අ ලොන්ලි ආර්ටිස්ට් නමින් ග්‍රන්ථයක් රචනා කළ පිලිප් කුරේ 1970 වසරේදී ලෝරන්ස් සමඟ ඔබ්සර්වර් පුවත්පතට කළ සංවාදයක් පවත්වා ඇත්තේ චෙල්සි ගාඩ්ර්න් නිවසේ සිටය.

දියතලාවේ සිරකරුවන් උදෙසා චිත්‍රපට ප්‍රදර්ශනයේ යෙදුණු ඇන්ඩ්‍රි මෙරට මුල්ම සිනමා සමාගම සිය මුල්ම චිත්‍රපට සමාගම පිහිටුවාලූයේය. ඒ කොරික් බයිස්කෝප් නමිනි. මුල් වරට චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ඔහු තෝරා ගත්තේ බ්‍රිස්ටල් හෝටලයේ පිහිටි බිෂූ තියටර් ශාලාවයි. පසුව එතැනින් කොළඹ කොටුවේ චැතැම් වීදියේ වර්තමාන පැගෝඩා හෝටල භූමියේ ඔහු චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹුවේය. ඔහුගේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරුවා වූයේ එවකට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්මිකයකු වූ රැල්ෆ් මෙල්ය. ඔහුගේ සිනමා ශාලාවේ තිරය පිහිටියේ හරි මැද ය. ධනවත්තු තිරය ඉදිරිපිට සිට අසුන් ගෙන ද සෙස්සෝ පිටුපස සිටගෙන ද චිත්‍රපට නැරඹුහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.