කොරික් බයිස්කෝප් අවසානයි

පෙබරවාරි 14, 2019

ඇඩොල්ෆ් විලියම් ඇන්ඩ්‍රි විසින් රෝපණය කරන ලද ලාංකික සිනමාව පිළිබඳ මූලබීජය වෙනත් රටවල සිනමාව ගොඩ නැඟුණු ආකාරය සලකා බලද්දී එතරම් වේගවත් නොවුණ බවක් පෙනී යයි. එයට හේතුව ඇන්ඩ්‍රිගේ අකල් මරණය නොවේ. ඇන්ඩ්‍රි ජීවත්වනුයේ අවුරුදු හතළිස් එකක් වැනි කෙටි කාලයකි. ඔහු ගොඩ නැගූ කොරික් බයිස්කෝප් සමාගම ඇන්ඩ්‍රිගේ මරණයත් සමග අවසන් විය. වර්තමානයේ කොළඹ චැතම් වීදියේ ඇති පැගෝඩා හෝටල භූමියේ දී ඔහු විසින් ගොඩනඟන ලද සිනමා ශාලාවේ අඩු මිළ ප්‍රවේශපත්‍ර නිකුත් කෙරුණේ තිරයෙන් පිටුපස සිටි රසිකයන්ටය. වැඩි මිළ ගෙවන්නන්ට තිරයෙන් ඉදිරිපසය.

බැලූ බැල්මට එහි අපහසුතාවක් නොවීය. ගැටලුවක් ඇතිවනවා නම් එය සිදුවිය යුත්තේ චිත්‍රපට සඳහා උපසිරැසි යෙදීමත් සමගය. අසල්වැසි ඉන්දියාවේ සිනමා ප්‍රදර්ශනය ආරම්භ වනුයේ ද ලාංකික සිනමාව හා සමගාමිවය. ඔවුන් ට ද තම මුල්ම චිත්‍රපටය දැක ගැනීමට තවත් දස වසරකට වඩා කල් ගතවිය. එනම් 1914 වන තුරු බලා සිටින්නට සිදුවිය.

ඉන්දියානු සිනමාව දළුලා වැඩෙන්නට තවත් වසර කිහිපයක් ගත විය. ලංකාවේ ආර්ථිකය මේ වකවානුවේ සමෘද්ධිමත්ය. නව පැලන්තියේ දේශපාලනය මෙන්ම ව්‍යාපාරිකයන් ද ඉස්මතු වනුයේ මේ අවදියේය. අමෙරිකාවේ මුල්ම ස්ථාවර සිනමාහල වන ඉලෙක්ට්‍රික් තියටර් ආරම්භ වනුයේ 1902 වසරේ අප්‍රේල් මස 02 වැනි දිනය. ඒ ලොස් ඇන්ජලීස් නගරයේය. විසි වන සියවසේ මුල් දශකය සමස්තාර්ථයක් ලෙස ගත් කළ ලොව පුරා අභ්‍යන්තර අරගල පැවැතියේ නැති තරම්ය. මුළු ලෝකයම නව අධිරාජ්‍යවාදි යුගයකට මුල පුරන්නට බලා සිටි සාමකාමි යුගයක් විය.

ඇන්ඩ්‍රි මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා චිත්‍රපට මිල දී ගත් ආකාරය පිළිබඳ නිශ්චිත සටහනක් අපට තැබිය නොහැක. ඒ පිළිබඳ තොරතුරු සොයා ගත නොහැක. ඒ වන විට ඔහු අමෙරිකාවෙන් සිය ඡායාරූපාගාරය සඳහා අවශ්‍ය පළක හා රාමු ගෙන්වූ වග ඔහුගේ පුත් ලෝරන්ස් සමග කළ සංවාදයක සදහන් වෙයි. ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු සහ සිනමා විචාරකයකු වන පිලිප් කුරේ ලෝරන්ස් සමග සංවාදයේ යෙදෙන්නේ 1970 වසෙර්ය.

ලෝරන්ස් ට අනුව ඇන්ඩ්‍රි විසින් ආනයනය කරන ලද ග්‍රැමෆොන් යන්ත්‍රයකින් කරවන ලද වාදනයක් ඇසීමට පබ්ලික් හෝල් ශාලාවට දහස් ගණන් ජනයා රැස්වූ බව සඳහන්ය. මේ බව ඩී.වී.සෙනෙවිරත්න විසින් ලියන ලද චිත්‍රපටි කලාව ග්‍රන්ථයේ සදහන් වනුයේ මෙලෙසය. “පළමුවරට ග්‍රැමෆොන් යන්ත්‍රයක් ලංකාවට ගෙන්වීමේ ගෞරවය ද ඇන්ඩ්‍රි සතුය. 1901 වර්ෂයේ දී යූනියන් පෙදෙසේ පිහිටි පබ්ලික් හෝල් ශාලාවේ දී එම ග්‍රැමෆෝනය පළමු වරට වාදනය කරනු ඇසීමට ජනී ජනයා දහස් ගණනින් පැමිණි බව කියා තිබේ.‘ සෙනෙවිරත්නයන් සිය සිනමා ඉතිහාස ග්‍රන්ථයේ සදහන් කරන දහස් ගණන් ජනී ජනයා ග්‍රැමපෝන් ඇසීමට රොක් වූ පුවත් 1986 වසරේ දී ග්‍රැමෆෝන් ගී යුගය පර්යේෂණාත්මක ග්‍රන්ථය ලියන මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. ඒ 1901 වසරේ පුවත්පත් වාර්තා ඇසුරු කරමින් කළ පර්යේෂණයකින් පසුවය.

මහාචාර්යතුමන් පෙන්වා දෙනු ලබනුයේ ග්‍රැමෆෝනයේ පුරෝගාමියා වූ ග්‍රැෆෝෆෝනය 1902 වන විට මෙරට භාවිතා වූ අන්දමයි. එයට උදාහරණකොට ගන්නේ 1903 වසරේ දී ග්‍රැෆොෆෝනය පිළිබඳ කොළඹ ඇපොතිකර් සමාගම මගින් පළ කළ වෙළෙඳ දැන්වීමකි. ජර්මානු ජාතික එමිල් බර්ලිනර් විසින් ග්‍රැමෆෝන් තැටිය ලොවට හඳුන්වා දෙනු ලබනුයේ 1888 වසරේ දීය. ලුමියෙර් සහෝදරයන් විසින් සිනමාව ලෝකයා හමුවේ ගෙන හැරපාන ලබනුයේ 1895 වසෙර්ය. වසරක ඇතුළත චලන චිත්‍රය දැක ගැනීමට මෙරට සාමාන්‍ය ජනතාවට හැකි විය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ග්‍රැමෆෝන් ගී යුගය ග්‍රන්ථයේ පෙන්වා දෙනු ලබනු පරිදි 1906 මාර්තු මාසය වන විට මුල්ම සිංහල ගී තැටිය එළි දැක්වූ ආකාරයයි. එවකට ප්‍රසිද්ධ සින්දුකාරයන් වූ ඇන්.සිල්වා, කොර්නේලිස් අල්විස්, ආර්.ජෝන් පෙරේරා ආදීන් ගේ ගීත මෙලෙස තැටියට නැගුණ බව මහාචාර්ය ආරියරත්න පෙන්වා දෙයි.

සියවසක් එපිට දී පවා මෙරටට නව තාක්ෂණය ඉක්මනින් ළඟා වූ අයුරු එයින් මැනවින් වටහා ගත හැකිය . 1908 තරම් ඈතකදී මෙරට මුල්ම ගී තැටි ගතකිරීම සිදු වූ බව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද ගාන්ධර්ව අපදාන කෘති මාලාවෙහි එන බී.එස්.පෙරේරා චරිතාපදානයේ හෙළිදරව් වෙයි. ඒ සිංහල ගී තැටි නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන දොන් කරෝලිස් සමාගම මගින් ශබ්දාගාරයක් කොළඹ ග්‍රෑන්ඩ්පාස්වල පිහිටුවාලීමෙනි.

එම ස්ථානය සමාගමේ සංගීත භාණ්ඩ අලෙවි අංශයේ ප්‍රධානියා වූ ජෝර්ජ් පෙරේරාගේ නිවහනයි. ජෝර්ජ් පෙරේරා දොන් කරෝලිස් හේවාවිතාරණ පවුලේ ඥාතිවරයෙක් ද වෙයි. දොන් කරෝලිස් සමාගම මඟින් හේවා ලේබලය යටතේ නිකුත් කරන ලද ගී තැටිවලට ගැයූ මුල්ම ගායිකාව වූයේ ග්‍රේස් මාගට් ද සිල්වා වර්ණකුලසූරියයි. මුල්ම සිංහල චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා ලෙස 1949 වසරේ තිර ගත වන පෙරළෙන ඉරණම චිත්‍රපටයෙන් දොරට වඩින බී.එස්.පෙරේරා ජෝර්ජ් හා ග්‍රේස් මාග්‍රට් යුවළගේ දරුවන් ගෙන් සිව්වැන්නාය.

ලොව පුරා පැතිරෙමින් පැවැති සිනමාවට වඩා නාට්‍ය ව්‍යාපාරය කෙරෙහි මෙරට ඉහළ ව්‍යාපාරිකයන්ගේ අවධානය යොමු වූ වගක් පෙනෙන්නේ එවකට පැවැති ඉහළ පෙලේ සමාගම් රාශියක්ම නාට්‍ය ප්‍රෙව්ශ පත්‍ර අලෙවිය සඳහා ඉදිරිපත්වීම නිසාය. කාර්ගිල්ස්, මිලර්ස්, එච්.ඩබ්ල්වි.කේව්, ජේ.ඩබ්ලිව් මොරිසන් වැනි ව්‍යාපාර සියල්ලගේම නාට්‍ය ප්‍රවේශ පත්‍ර අලෙවි ස්ථාන පැවැති බව මහාචාර්ය තිස්ස කාරියවසම් සිය සිංහල නාට්‍යය විකාශය 1867-1911 ග්‍රන්ථයේ සඳහන් කරයි.

මේ වන විට අනුක්‍රමයෙන් පිටකොටුවට වඩා මරදාන ජනාවාස වෙමින් පැවතිණ.ඉන්දියාවේ බිහි වූ පාර්සි නාට්‍ය සමාගම් අතර දැවැන්තම සමාගම මෙන්ම පසුකාලිනව මෙරට නුර්තියට වඩාත් බලපෑම් කරන ලද්දේයැයි සැලකෙන පාර්සි ඇල්ෆ්‍රඩ් සමාගම ලංකාවට පැමිණයේ ද 1908 වසෙර්ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.